ඔබට සිතන්නට හැකි බව කියන සිතු­වම් දැක්මක් | Page 2 | සිළුමිණ

ඔබට සිතන්නට හැකි බව කියන සිතු­වම් දැක්මක්

ලස්සන මල් පිරුණු ගහක් දුටු විට ඉබේම අපේ සිත එතැන නවතී. පසළොස්වක සඳ නැග එනු දකින විට අපේ සිත ඉබේම එතන නවතී. තනිව සුළඟ සමඟ සටනක පැටළූණු පහන් සිළුවක් දකින විට ඉබේ ම අපේ සිත එතැන නවතී. සුළං සමඟ එක්ව සාගර ජලය මවන දහසක් හැඩතල අපේ ඇස් ඒ මත රඳවාගනියි. දුරින් මතුවන ගිරි ශිඛරයක් අපේ ඇස් අහසට ඇද ගනියි. ලේනාගේ හඬටත් වඩා නගුට ලෙලවමින් ඒ හඬ නඟන ලේනා ලස්සන යැයි ඇතැම් විට අපට සිතේ.

මේ ඇස හසුකරගන්නා ලස්සන සමහර විට අන් සියලු සිතිවිලිවලින් අප මුදවා ඒ ලස්සන මත දැහැන් ගත කරවයි. පාර අයිනේ අත්තක පිපී එකවර අපේ නෙතට එබෙන මල් පොකුරක් හිතේ කරදර සියල්ල එක මොහොතකට අපට අමතක කරවයි. අපේ සිත ද මල් පොකුරක් බවට මොහොතකට පත් කරවයි.

කලාව යනු සිත තැන්පත් කිරීමේ යම් තරමකට දැහැන්ගත කිරීමේ හැකියාව ඇති ඕනෑම රූපයක් හෝ හඬක් හෝ ලියැවිල්ලක් යැයි කියන්නට මම කැමැත්තෙමි. මේ දැහැන්ගත කිරීම මගින් අප තුළම සිටින අපට අමතක වූ අපව අපට මතක් කරනු ලැබේ. නොඑසේ නම් සිහිය එළඹවීම සතිය පිහිටවීම කරනු ලැබේ.

කෙසේවුවත් ඕනෑම කලා නිර්මාණයක් මැනීම උදෙසා මා යොදාගන්නා පොදු නිර්ණායකයක් බවට හොඳට හෝ නරකට ජෝතිගේ ගීත පත්ව ඇත. යම් කිසි චිත්‍රයක් හෝ ලියැවිල්ලක් මගින් ජෝතිගේ ගීතයකින් ජෝතිගේ හඬින් හිතට ලැබෙන සතුට හා සැනසීම ලබාදෙන්නේ නම් එය කලාව යැයි කීමට හා සිතීමට මම දැන් කලක සිට පුරුදුව සිටිමි. කලාව යනු කුමක්දැයි නිර්වචනය කිරීම මහා දාර්ශනික ව්‍යායාමයක් මතගැටුමක් යුද්ධයක් බවට පත්ව ඇති යුගයක මේ කලාව පිළිබඳ මගේ ඉතා සරල නිර්වචනයකි. ඒ අනුව ම චමරි තපස්වරීගේ චිත්‍ර ලස්සන යැයි කියන්නට සිතේ.

ඇය ජෝතිපාලගේ ගීතවලට කැමැති ද යන්න මම නොදනිමි. එහෙත් ලස්සන හා සුන්දරත්වය පිළිබඳ හැඟීම අප ලබාගන්නේ කොතනින් ද කෙසේ ද? මෙහි දී මම අපේ රටේ වැඩිදෙනා ලස්සන යැයි පිළිගන්නා ජෝතිගේ හඩ ලස්සන යැයි පිළිගැනීමට කැමැත්තෙමි. මගේ කලා රසිකත්වයේ හා රුචිකත්වයේ පදනම ජෝතිගේ හඬ හා රිද්මය මත පිහිටුවන්නට මම උත්සාහ කරමි.

ඒ අනුව මම චාමරි තපස්වරීගේ චිත්‍ර ලස්සන යැයි කියන්නට කැමැත්තෙමි. ඇගේ චිත්‍රවල මා දකින වැදගත් ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්නට කැමැත්තෙමි. ඇගේ චිත්‍ර එක අදහසකට හෝ මතයකට කොටු කිරීමට නොහැකිය. එසේම එම අදහස් අප හමුවට එන්නේ පළමු වතාවටයි. එනම් එම චිත්‍රවලින් පැවසෙන දේ නැවුම්ය. තවත් කරුණක් වන්නේ එම චිත්‍රවලින් පැවසෙන දේ පැවසිය හැක්කේ එම චිත්‍රවලින් ම පමණක් වීමයි. එය ඇගේ චිත්‍රකලාෙව් අනන්‍යතාව යැයි පැවසිය හැකිය.

වචනයෙන් කිව හැකි දෙයක් කියන්නට අපට චිත්‍ර අවශ්‍ය නොවේ. ඒ අනුව ස්වකීය මාධ්‍යයේ සුවිශේෂීත්වය ඇය ඇයගේ ම අනන්‍යතාවකින් යුතුව පරිහරණය කරයි.

කාන්තාව පිළිබඳ අදහස් සමුදායක් ඇගේ චිත්‍ර මගින් ඉදිරිපත් කෙරේ. කෙසේවුවත් චිත්‍ර මත කාන්තාවන් දකින්නට ලැබුණත් එම චිත්‍ර මගින් කියැවෙන්නේ කාන්තාවන් ගැන පමණක් ම යැයි ද කිව නොහැක. අනිත් අතට කාන්තාව යනු ද කාන්තාව පමණක් යැයි ද කිව නොහැක. කාන්තාව නිරර්වචනය වන්නේ පිරිමියාට සාපේක්ෂවය. පිරිමියා නිර්වචනය වන්නේ කාන්තාවට සාපේක්ෂවය. එහෙත් ලොව තුළ සිටින්නේ ද පවතින්නේ ද කාන්තාවන් හා පිරිමින් පමණක් ද නොවේ. මේ ලෝක ස්වභාවය ද අනායාසයෙන් ඇගේ චිත්‍රවලට පිවිසේ. ඇගේ චිත්‍ර එක මතයකට කොටු කළ නොහැකි යැයි හැඟෙන්නේ ඒ නිසාය.

මල් සහ කාන්තාව ඇය ඇගේ චිත්‍ර සඳහා භාවිත කරන්නේ කාන්තාවන්ට පමණක් නොව මල්වලටත් අනන්‍යතාවක් ලබා දෙමිනි. මල් මෙන් ම කාන්තාවද ද ඇය එක මතයකට කොටු නොකරයි. ස්වකීය සිතුවම් තුළින් කාන්තාවට මෙන් ම මල්වලටත් අසීමිත නිදහසක් ලබාදෙයි. එනම් නරඹන්නාගේ සිතට අසීමිත නිදහසක් ලබාදෙයි. ඒ නිදහසේ සිතන්නටය. නිදහස හා ඉඩ ඇගේ චිත්‍රවල ප්‍රමුඛතම ලක්ෂණයකි.

ඇගේ චිත්‍රවල මා දකින සුවිශේෂම ගුණය එයයි. එනම් නරඹන්නාගේ මනස සීමා නොකිරීමයි. ඇගේ නිර්මාණශීලීත්වය මගින් නරඹන්නාට ද නිර්මාණශීලී අදහස් සමුදායක් මවාගැනීමට ඇගේ චිත්‍ර දොරටුවක් හා ප්‍රවේශයක් වේ.

ඇගේ චිත්‍ර වෙහෙසකර නොවේ. ඒ වෙනුවට සිතට විවේකය ගෙන එන බව කිව හැකිය. මෙය නම් කලාවේ අනන්‍යතාවය යැයි ද කිව හැකිය. කලාව මගින් කරනු ලබන්නේ සිතට විවේකය ගෙන ඒමය.

කෙසේවුව ද මෙය චිත්‍ර විචාරකයෙකුගේ අදහස් නොව පසුගිය ඔක්තෝබර් 20 සිට 22 දක්වා ලයනල් වෙන්ඞ්ට්හි දී පැවැති ඇගේ සිතුවම් දැක්ම නැරඹීමෙන් මා තුළ පහළ වූ සිතිවිලි ධාරාව පෙළගැස්වීමට උත්සාහ කිඣිමක් පමණි.

චිත්‍රය නමැති සම්ප්‍රදාය ආරක්ෂා කිරීමටත් ඔසවා තැබීමටත් කලාකාරිනියක වශයෙන් ඇය දරන ප්‍රයත්නය සැබවින් ම අගය කළ යුතු වේ. 

 

 

Comments