සිනමාව වෙනුවෙන් ජීවිතය දුන් සිහින සිත්තරා වෙනින් කවුරුත් නෙමෙයි ඒ ලෙනින් මොරායස් | Page 2 | සිළුමිණ

සිනමාව වෙනුවෙන් ජීවිතය දුන් සිහින සිත්තරා වෙනින් කවුරුත් නෙමෙයි ඒ ලෙනින් මොරායස්

වර්ෂ 1969 දී 'සූරයන්ගෙත් සූරයා' සිනමාවට ගෙන එමින් ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත්වන හෙතෙම ලාංකේය වාණිජ සිනමාව ඔසවා තැබූ අග්‍රගන්‍ය කැමරා ශිල්පියකු, අධ්‍යක්ෂවරයෙකු, සහ තාක්ෂණික සිනමා ප්‍රයෝග හඳුන්වා දුන් පුරෝගාමියකු වේ. හේ ආලෝකකරණය කැමරාකරණය, අධ්‍යක්ෂණය සහ සිනමා තාක්ෂණය පිළිබඳ උපතින් ලද මේ නිසග හැකියාවෙන්, මෙරට සිනමාව ජනකාන්ත කළා පමණක් නොව සරල සිනමා සිත්තමට නව මානයක් ද එක්කළේය. ඉන්දීය සිනමාවෙන් ඔහු ආභාෂය ලැබුවද එය ලාංකේය රසිකයාට හද බසින් සමීප කර වීමටත් ඔහුට ම අනන්‍ය වූ ආඛ්‍යානයක් ඒ තුළින් ඉදිරිපත් කිරීමටත් හැකි විය. අටුවා ටිප්පනි පසෙක තබා පවසන්නේ නම් හේ වෙනකකු නොව 'ලෙනින් මොරායස්ය'. ඔහු පිළිබඳව සිය සිහින මතකයන් පෙළින් පෙළ අමුණමින් මෙරට අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මෙලෙස හඬ අවදිකළාය,

මම වැඩිපුරම වැඩ කරල තියෙන්නේ ලෙනින් මොරායස් එක්ක. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, කැමරා ශිල්පියෙක් හා තාක්ෂණික සිනමා ප්‍රයෝග නිර්මාණ ශිල්පියෙක් ආදී සකලවිධ භූමිකාවන්හි එක ලෙසින් දක්ෂතා දැක්වූ අයෙක්. දකුණු ඉන්දියානු ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දන් මහතාගෙන් ගුරුහරුකම් ලැබූවත් ලෙනින් ඔහුගේ අනුප්‍රප්තිකයකු වුණේ නැහැ. ඔහු සිංහල සිනමාවේ‘වාණිජ කිඩියර’ (Commercial Magic) ජයගන්නේ තමන්ගේම වූ අනන්‍යතාවක් සහිතව නොමැකෙන සලකුණක් ද තබමින්. ඇත්තටම ලෙනින් මොරායස් කියන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි, ලෙනින් මොරායස්ම තමයි. ඔහු සම කළ හැක්කේ ඔහුටම පමණයි.

මට මුලින්ම ලෙනින්ව හම්බ වෙන්නෙ එම්. එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කළ 'ප්‍රවේශම් වන්න' චිත්‍රපටයෙදි. අපි එතනදි අඳුන ගත්තා. ලෙනින් එක්ක මුලින්ම වැඩ කළේ 1970 දී තිරගත වුණු නීල් රූපසිංහ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ 'දැන් මතකද' චිත්‍රපටයෙදි. ඔහු එහි කැමරා අධ්‍යක්ෂවරයා ලෙසයි කටයුතු කළේ. නැවතත් නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ 'හතරදෙනාම සූරයෝ' හීදී මට ඔහුව හමුවෙනවා. මම ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කළ මුල්ම චිත්‍රපටිය 'අභිරහස' . මට ඒකෙ ජෝති එක්ක "සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි..." කියන ගීතයටයි රඟපාන්න තිබුණේ. නමුත් මම එහි මුළුමනින් ම පෙනී හිටියේ නැහැ. ඔහුගෙ කැමරා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය යටතේ ප්‍රධාන භූමිකාව රඟපෑ මුල්ම චිත්‍රපටය වෙන්නේ 'එදත් සූරයා අදත් සූරයා' චිත්‍රපටය යි. එහි මගෙත් එක්ක ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ ගාමිණී අයියා. 'ආදරේ හිතෙනව දැක්කම', 'හොඳම වෙලාව', 'හොඳයි නරකයි', 'ආවා සොයා ආදරේ', 'සූරයා සූරයාමයි', 'උන්නත් දාහයි මළත් දාහයි', 'ඔන්න මාමෙ කෙල්ල පැනපි', 'සරදියල්ගෙ පුතා', 'ආදරෙයි මං ආදරෙයි', 'හිතුවොත් හිතුවමයි',.. ආදී ඔහු දායක වුණු චිත්‍රපට ගණනාවකම මට කටයුතු කරන්න වසනාව ලැබුණා.

ලෙනින් කැමරාව අතට අරගෙන අධ්‍යක්ෂණයට පිවිසුණාම, අපිව ආවේෂ කරනව. අපි වෙනමම ලෝකවලට ගෙනියනව. "මාලනී මෙතනදි මෙහෙමයි වෙන්න ඕන. මෙතන දි කැමරාව ඔයාගෙ පිටිපස්සට එනවා. දැන් දාල තියෙන ලෙන්ස් එක මේකයි. මෙතනදි ඔයා මේ විදියට ඉන්න ඕන. එතකොට ඔයාව ලයිටප් වෙන්නෙ මේ විදියට. මේ ලයිම් එකෙන් ලයිටප් වෙන්නෙ ඔයාගෙ මේ කොටස. එක හරියට වැටෙනවද බලන්න. ඔයා ඉන්න ඕන ඈන්ගල් එක ගැන සැලකිලිමත් වෙන්න. ඩාර්ක් ප්‍රේම් එක මේකයි. " හරියට සිනමා පාසලකට ගියා වගේ. එච්චරට දැනුමක් මට එයාගෙන් ලැබුණ. වී. වාමදේවන්, සුමිත් අමරසිංහ, තිමති වීරරත්න, ඩොනල්ඩ් කරුණාරත්න වගේ අයගෙනුත් මට ඒ විදියෙ දැනුමක් ලැබුණා. නමුත් ලෙනින් හරිම වෙනස් විදියටයි හැමදෙයක්ම කළේ. ඔහු හරිම සැහැල්ලුයි. ඔහු ඒ සැහැල්ලු බව අපි තුළත් ඇති කරනව. " මාලනී කැමරා එක මෙතන තියෙන්නේ, දැන් ඔයා කැමරාවට පිටි පස්ස හරවලා ටිකක් දුර ඇවිදගෙන යන්න ඕන. එහෙම යන ගමන් ලස්සනට බඳ නළවල ඇවිදන් යන්න ඕන." මම එතකොට " මට බැහැ. මට බැහැ ඕව කරන්න" කියල මම කියනව. "නැහැ නැහැ ඔයා ඒ විදියට ඇවිදන් යන්න. සිලින් දෙකයි සිලින් පහයි කියල ඇවිදන් යන්න." අන්න ඒවගේ හරීම සරල විදියට අපිට දැනෙන විදියට අපිව මෙහෙයවපු කෙනෙක් ලෙනින්.

ඔහු ඉන්දියානු අාභාෂය ගත්තා වුණත් හුඟක් චිත්‍රපටිවල කතාව කියද්දි ඔහු අපේ අනන්‍යතාවය ඊට මුසු කළා. අද එහෙම නෙමෙයිනෙ. කෙලින්ම කොපි කරනව. නමුත් ලෙනින්ගෙ චිත්‍රපටිවල එහෙම පෙන්නෙ නැහැ. ඒකාලෙ ඔහු කළ වාණිජ චිත්‍රපටයකුයි අද හැදෙන වාණිජ චිත්‍රපටයකුයි අරන් සන්සන්දනය කරල බලපුවාම හාත්පසින්ම වෙනස්. මං කියන්නෙ කළු දුසු වෙනස නෙමෙයි. කතා තේමාව අරන් බැලුවත්, දෙබස් අරන් බැලුවත් මිනිස්සු කොයිතරම් ඒ දේවල් ඇඳ බැඳ ගන්නවද කියන කාරණයට ආවම එදා සිනමාව අදට වඩා මිනිස්සුන්ට සමීප වුණා. ඒක ඉන්දියානු චිත්‍රපටයක කතාවක් වුණත් ඒකෙ නැවුම් බවක් තිබුණා. ඒක හුදු අනුකරණයකින් එහාට ගිය ගතියක් තිබුණා. නමුත් දැන් ඒ විදියට හැදෙන චිත්‍රපටි බලපුවම අපිට හිතෙන්නේ මුල් කෘතියට වඩා මේක මොනතරම් දුර්වලද කියලයි. අපේ රටට අපේ රසිකත්වයට ගැලපෙන විදියට, අපේ මිනිස්සු ආස කරන විදියට ලංකේය අනන්‍යතව රැකෙන විදියට ඒක කරන්න ඕන. ඒ හැකියාව උපරිම විදියට ලෙනින් සතුව තිබුණා.

හින්දි චිත්‍රපටයක් හෝ දමිල චිත්‍රපටියක් ආශ්‍රයෙන් ඔහු සිනමා කෘතියක් කරද්දි එහි දකින නිළියගේ ස්වරූපයටම මේකප් කරල ආභරණ පළඳවලා මාව අන්දන්න ඔහුට ඕන වුණේ නැහැ. අහවල් චිත්‍රපටියේ අරයා මෙහෙමයි රඟපෑවේ ඔයත් ඒක ඒ විදියට කරන්න ඕන කියල ඔහු කවදාවත් කිව්වෙ නැහැ. අපේ තියෙන අනන්‍යතාවය දක්ෂකම රැකගෙන ඒක ඉස්මතු කරලා තමන්ගෙම අනන්‍යතාවක් හදාගෙන ප්‍රේක්ෂකයින් අතරට යන්න ඔහු උපරිම නිදහස දුන්නා. එය කිසිදු අයුරකින් ‘කොපි චිත්‍රපටයක්’ හෝ ‘අනුවර්තනයක්’ හෝ ‘පරිවර්ථනයක්’ හෝ ‘ප්‍රති නිර්මාණයක්’ (Re Make) හෝ වුණේ නැහැ. ඒක හැම වෙලාවෙම නැවුම් (Originals) සිනමා කෘතියක් බවට පත් වුණා.

මොනවහරි දෙයක් කරන්න එයගෙ ෂෙඩුල් එකේ තියෙනව නම් ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය මොන විදියකින් හරි එතැනට ගෙනත් ඔහු වැඩේ කරනවා. මට මතකයි මම ආචාර්ය පීරිස්ගෙ 'අක්කරපහ' චිත්‍රපටයෙ වැඩ කරමින් ඉන්න අවස්ථාවක මාව සේට් එකෙන් හොරකම් කරගෙන අරන් ආව. 'දැන් මතකද' චිත්‍රපටියට වගේ මට මතක. මගේ යාළුවෙකුට සනීප නැහැ කියල මහ රෑ අවිත් රගෙන ගියා. මම දැනං හිටියෙත් නැහැ ෆිල්ම් එකක වැඩකට කියලා. "ඉක්මනට යං මාලනී. එයා ඔයා එනකම් බලන් ඉන්නව" කියලා මාව එක්කගෙන ආවා. ඇවිත් නතර වුණේ විජය ස්ටුඩියෝ එක ගාව. "ඇයි මේ විජය ස්ටුඩියෝ එකට අවේ". "මේකයි මාලනී ෆිල්ම් එකේ තව කෙටසක් තියෙනවා ඔයාට කියල කරගන්න. හෙට මේක ලැබ් එකට දාල ඉක්මන්ට රිලීස් කර ගන්න ඕන" කියලා. ඊට පස්සේ රෑම ඒ දර්ශන ෂූට් කළා. එදා රෑම මාව අරන් ගිහින් සෙට් එකට අරලුවා. ඒ විදියෙ වැඩ එයාගෙ තිබුණා.

ජනතාව අතරට සිනමාව ගෙනියන්න බොහෝ දේ අවශ්‍යය වෙනවා. ශෘංගාරාත්මක දර්ශන, සටන් ජවනිකා, සිනමා ප්‍රයෝග හා සිනමාත්මක ගීත වගේ දේවල්. මේ හැම දෙයක්ම ලෙනින් ජයගන්නේ කැමරා කාචයෙන් විතරක් නොමෙයි, ඔහුගේ පැතුරුණු සිනමාත්මක භාවිතාව හරහායි. ‘කිඩියර’ සිනමාකරුවන් (Commercial Magical Filmmaker) රටක බිහි වන්නේ අතළොස්සයි. ලෙනින් ඒ අය අතර ප්‍රධාන චරිතයක් බවට පත්වෙන්නේ ඔහුගේ මේ කැප වීම නිසයි. ඒ කාලේ මොකක් හරි සිනමා ප්‍රයෝගයක් හරි බිහිසුණු සටන් ජවනිකාවක් හරි තිබුණ නම් අහන්න දෙයක් නෑ, ඕන කෙනෙක් දන්නවා මේක ලෙනින්ගේ වැඩක් කියල. ඔහුට තිර නාටකය දැක්කම කරන්න ඕන මොකක්ද කියල අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලෙනින් එක්ක වැඩ කරන්න ගියාම ලෙහෙසියි වගේම අමාරුයි. ඔහුට සිනමා ක්ෂේත්‍රය පුරාම පැතිරුණු දැනුමක් තිබුණා. ඒ නිසා අධ්‍යක්ෂකවරුන්ට ඔහු එක්ක වැඩ කරන එක පහසුයි. ඒවගේම ඔහු යමක් කරන්න ගියාම ඒක හැකි උපරිමයෙන්ම කරනවා. අඩුපාඩු ඇතිව වැඩක් කරන්න ඔහු කැමති නැහැ. ඒ පැත්තෙන් බැලුවම ඔහු එක්ක වැඩකරන එක ලේසි නැහැ. ඔහු බොරුවට මවා පාල ෂේප් වෙන කෙනෙක් නෙමෙයි. වැඩේ නම් වැඩේ හරියට තියෙන්න ඕන. ඇතැම්විට ඔහු කැමරා අධ්‍යක්ෂණය කරන සමහර චිත්‍රපටවල ‘සැඟවුණු’ අධ්‍යක්ෂවරයා ඔහුයි. ඒත් මේක මම කළේ කියලා ඔහු කවදාවත් එළියට ඇවිත් කිව්වේ නැහැ. ලෙනින් හරිම ගුණ යහපත් මනුෂ්‍යයෙක්.

නමුත් ලෙනින් ලෙනින්ව බලාගත්තේ නැහැ. එයා එයාගෙ ජීවිතය ගැන එච්චර තැකීමක් කළ කෙනෙක් නෙවෙයි. ඔහු 'අද' ජීවත් වුණු කෙනෙක්. ඔහුට හෙටක් තිබුණේ නැහැ. ඔහු මධුවිතත් එක්ක හාද වෙලයි හිටියේ. හරිම විනෝදයෙන් ජීවත් වුණේ. ඔහුට සිනමාව හැර වෙන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් තිබුණේ නැහැ. දරුමල්ලො බිරිඳ මේ කිසි කෙනෙක් ගැන ඔහුට වගවීමක් තිබුණේ නැහැ. මුළු ජීවිතේම කැප කළේ සිනමාව වෙනුවෙන්. අවසාන සමයේ ඔහු ඉතාම දුක්කිත ඉරණමකට මුහුණ දුන්නා. ඒත් කවදාවත් කිසිම කෙනෙකුට දොස් කිව්වේ නැහැ. කිසිම දෙයක් ඉල්ලුවෙත් නැහැ.

‘දැන් මතකද’, ‘අාදරේ හිතෙනව දැක්කම’,‘සිතක මහිම’, ‘ස්විප් ටිකට්’, ‘අපරාධය සහ දඬුවම’, ‘ලොකුම හිනාව’, ‘හතර දෙනාම සූරයෝ’, ‘සූරයා සූරයාමයි’, ‘උනනත් දාහයි මළත් දාහයි’, ‘සරදියල්ගෙ පුතා’...ආදී චිත්‍රපට ගණනාවක කැමරා අධ්‍යක්ෂවරයා වශයෙන්, ප්‍රශස්ත මට්ටමේ ආලෝක හා සිනමාත්මක ප්‍රයෝග නිර්මාණය කරමින්, සිනමාව වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළත්, මෙරට කිසිදු සිනමා සම්මාන උළෙලකදී ඔහුට සම්මානයක් පිරිනැමුණේ නැහැ. කිසිදු ඇගයීමක් කළේත් නැහැ.

අද සිනමා කර්මාන්තයක් විදියට අප මුහුණ දී සිටින තත්ත්වයට මෙවැනි හේතු කාරණා බලපාන්න ඇති කියල ඔහු පිළිබඳ මතකය අවදි කරන මේ මොහොතේ මට හිකෙනවා.

Comments