‘හතුරු හිතක්’ අත­හැර ‘පිරුණු හදක්’ සොයා­ගෙන යෑම | Page 2 | සිළුමිණ

‘හතුරු හිතක්’ අත­හැර ‘පිරුණු හදක්’ සොයා­ගෙන යෑම

හොඳ යහපත් මිනිසුන් අපි දකිමු. යම් යම් වැරදි ඇති අය ද අපි දකිමු. අභියෝගය වන්නේ ඒ චරිත ඒ ලෙසින් ම වචන මගින් ජීවමාන කිරීමයි. කරුණාසේන ජයලත් මහතා මවන චරිතවලට පණ තිබේ. ඇත්තමට සමහර විට එම චරිත හුස්ම ගන්නා හඬ ඇසෙනා තරමට කරුණාසේන ජයලත් මහතාගේ භාෂා භාවිතය ප්‍රබලය. සංවේදීය. මගේ උගත් යොවුන් තරුණ මිත්‍රයා බාල යැයි දුටුවේ එවන් සියුම් ආකාරයෙන් වචන ගෙත්තම් කළ ලේඛකයෙකුගේ කෘතීන්ය.

 

මෙය සිදුවූයේ මාස හත අටකට පමණ පෙරය. අපේ තාත්තාගෙන් ලැබුණු පොත් එකතුවද මා විසින් එක්රැස් කර ඇති පොත් ද ඇතුළු ව තරමක පොත් එකතුවක් අපේ නිවසේ ඇත. ඒ වෙනුවෙන් ම පොත් රාක්ක කිහිපයක් ද තනා ඇත. මාස හත අටකට පෙර යම් කිසි කාර්යයක් සඳහා තරුණ විශ්ව විද්‍යාල උපාධිධරයෙකු අපේ නිවසට පැමිණියේය.

සැබැවින්ම ඔහු යම් තරමක් දුරට ලිවීමට ද එයිටත් වඩා රංගනයට ද දක්ෂකම් දක්වන්නෙකි. කැපවී ක්‍රියාකරන හොඳ දැනුම් තේරුම් කමක් ඇති යමක් වහා තේරුම් ගත හැකි ශිල්පියෙකු ලෙස ඔහුට කීර්තියක් ඇත. ඔහුටත් කියවීමේ පුරුද්දක් ඇති නිසා අපේ නිවසට පැමිණ ඔහුගේ අවධානය පොත් රාක්ක වෙත ද නිතැතින්ම යොමු විය.

ඔහු එක් රාක්කයකට අත තබා එක් පොතක් ගත්තේය. එය කරුණාසේන ජයලත්ගේ පොතකි. ඉන්පසුව ඔහු එතැනින් ම තවත් පොතක් ගත්තේය. එය ද කරුණාසේන ජයලත්ගේ පොතකි. ඉන්පසු ව ඔහු එතැනින් තවත් පොත් දෙකක් ගත්තේය. ඔහුගේ පුදුමයට එය ද කරුණාසේන ජයලත්ගේ පොත් විය. ‘ඔක්කොම තියෙන්නේ බාල පොත්නේ’ මේ ඉන්පසුව ඔහු අතින් කියැවුණු වචනයයි.

ඒ පොත් රාක්කයේ තෝල්ස්තෝයිගේ දොස්තයෙව්ස්කිගේ පොත්වල ඉංග්‍රීසි පරිවර්තන තිබිණි. පැරණි සංස්කෘති සඟරා තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පොත් තිබිණි. කේ. ජයතිලක මහතාගේ කෘති තිබිණි. මහාවංසය හා වෙනත් ඉතිහාස ග්‍රන්ථ ද බුත්සරණ දම්සරණ සද්ධර්මරත්නාවලිය අමාවතුර ආදීබෞද්ධ සාහිත්‍ය කෘතින් ද තිබිණි. එහෙත් ඒ සියල්ල මැද ඔහුගේ අත ගැසුණේ කරුණාසේන ජයලත් මහතාගේ පොත් වෙතය. එසේ වීම හොඳය. නොඑසේ නම් ඉබේ ම ඔහුගේ මුවින් ඒ වචන කිහිපය පිට වීම ද ඒවා මට ඇසීම ද සිදු නොවන බැවිනි.

සැබවින්ම කරුණාසේන ජයලත් මහතාගේ පොත් මගේ රාක්කයට පැමිණෙන්නට වූයේ දැනට වසර තුන හතරක පමණ සිටය. මා පාසල් වියේ දී විශේෂයෙන් ම අට නමය ශ්‍රේණිවලින් පසුව කරුණාසේන ජයලත් මහතාගේ පොත් නොකියවූවෙමි. එයට හේතුව ඒ වන විට මා ද සිටියේ අර මා වෙත පැමිණි විශ්ව විද්‍යාල උපාධිධාරි යෞවනයා සිටි මතයේ වීමය. එහෙත් හතර පහ හය හත පංතිවල කාලයේ කරුණාසේන ජයලත් මහතාගේ පොත් කිහිපයක් කියවූවෙමි. ඒ ඒවායේ යම් කතා රසයක් දැනීම නිසාය. එහෙත් අටෙන් නමයෙන් පසුව මා කරුණාසේන ජයලත් මහතාගේ පොත් කියවූ බවක් මතක නැත.

මේ අනුව මා කරුණාසේන ජයලත් මහතා වෙත නැවත පැමිණෙන්නේ දොස්තයෙව්ස්කිගේ සියලූම ප්‍රධාන නවකතා පමණක් නොව ‘ඩයරි ඔෆ් අ රයිටර්’ නමින් පළව ඇති ඔහුගේ අවසන් කාලීන පුවත්පත් ලිපි එකතුව ද කියවීමෙන් පසුවය. තෝල්ස්තෝයිගේ සියලුම ප්‍රධාන නවකතා කියවීමෙන් පසුවය. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නවකතා කෙටිකතා සහ විචාර ඇතුළු බොහෝ කෘති කියවීමෙන් පසුවය. කේ. ජයතිලක මහතාගේ සියලු ම නිර්මාණ පාහේ කියවීමෙන් පසුවය. පියදාස සිරිසේන මහතාගේ බොහෝ නවකතා කියවීමෙන් පසුවය.

ගුණදාස අමරසේකර මහතාගේ සියලු නවකතා කෙටිකතා කියවීමෙන් පසුවය. බුත්සරණ අමාවතුර කියවීමෙන් පසුවය. ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ ප්‍රධාන නවකතා කියවීමෙන් අනතුරුවය. මට කරුණාසේන ජයලත් මහතාගේ නිර්මාණවල රසය දැනෙන්නට වූයේ ඒ සියලු නිර්මාණ ද කියවීමෙන් පසුවය. මා විසින් ද යම් විචාරක අවධානයකට ලක් වූ නිර්මාණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුවය. ඒ නිසා ම අර තරුණයා ගැන අහිතක් සිතන්නට දෙයක් නැත. ඔහු ද මගේ වයසට පැමිණීමෙන් පසුව සමහර විට කරුණාසේන ජයලත් මහතාගේ නවකතාවල රසය හඳුනාගනු ඇත.

මා මේ කියන්නට හදන්නේ කරුණාසේන ජයලත් මහතාගේ නිර්මාණ තෝල්ස්තෝයිගේ නිර්මාණවලටත් වඩා උසස් යැයි කියන්නට යැයි වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ ද වුවත් කරුණාසේන ජයලත් මහතාගේ බොහෝ නිර්මාණ මට උසස් නිර්මාණ වේ. සමහර නවකතා ඉතා උසස් නිර්මාණ වේ. එහෙත් මගේ වැටහීම නම් කරුණාසේන ජයලත් මහතාගේ නිර්මාණ සමඟ සසඳන විට ඉතා පහළ ගණයේ යැයි සැලකිය හැකි නිර්මාණ ඉතා උසස් නිර්මාණ ලෙස පසුගිය වසර හතළිහක පනහක සමය තුළ විචාරක අගැයීමට ලක්ව ඇති බවය.

මගේ මිත්‍ර තරුණ උපාධිධාරයාට කරුණාසේන ජයලත්ගේ නිර්මාණ බාල යැයි සිතෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය. එනම් බාල නිර්මාණ උසස් කරගත් විට ඉබේ ම උසස් නිර්මාණ බාල වේ. මා කියන්නට උත්සාහ කරන්නේ සාහිත්‍ය නිර්මාණවලට ද වඩා මෙම වර්තමාන ඛේදවාචකය ගැනය. එනම් සෝබන බාල නිර්මාණකරුවන් ප්‍රබුද්ධයන් වී ප්‍රබුද්ධයන් බාලයන් වීමේ ඛේදවාචකය ගැනය.

තරුණයන් අවි ගැනීමට පෙළඹ වූ ගීත නිර්මාණ එක් කලෙක ඉතා උසස් නිර්මාණ වී ජෝතිපාලගේ ගීත ‘පීචං’ විය. මේ අනුව උසස් පහළ තත්වය උඩුයටිකුරුවීම ඔබ විසින් හඳුනාගැනීම අවශ්‍ය යැයි සිතමි. මේ උඩුයටිකුරු වීම සරල හා සුළු දෙයක් යැයි ගත යුතු නැත. එනම් මේ තත්වය තුළ සිදුවන්නේ අප එළිය යැයි සිතමින් අඳුර සොයා යෑමත් අඳුර යැයි සිතමින් එළිය අතහැරීමත්ය.

කරුණාසේන ජයලත් මහතා මහජන පක්ෂයේ නායකයෙක් විය. එයට පෙර 71 කැරැල්ලට සම්බන්ධයෙන් සිරභාරයට ගනු ලැබුවෙක් විය. මතවාදයෙන් සමාජවාදී විය. එහෙත් ඔහුගේ නවකතාවල ප්‍රධාන වන්නේ ‘මාක්ස්වාදී දෘෂ්ටිය’ යැයි කීමට නොහැක. කෙසේ වුවත් තමන් ඉගෙනගත් ‘මාක්ස්වාදී අදහස්’ නමැති දැනුම තුළ කරුණාසේන ජයලත් නම් නිර්මාණශීලී නවකතාකරුවා සිරවෙන අවස්ථා දැකිය හැකිය. එහෙත් එය කිසිසේත්ම ඔහුගේ නවකතාවල ප්‍රධාන දෘෂ්ටිය හෝ අන්තර්ගතය බවට පත් නොවේ.

ඔහුගේ නවකතාවල ඇත්තේ සිංහල බෞද්ධ ගැමි දෘෂ්ටිය යැයි කියන්නට ද මම අකැමැත්තෙමි. එහෙත් අප අපට උරුම සංස්කෘතික ශික්ෂණය තුළ ප්‍රශ්න දකින ආකාරය හා ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය ඔහුගේ නවකතා තුළ දැකිය හැකිය. එම ශික්ෂණය හා උරුමය තුළ සිටිමින් වෙනත් බොහෝ දේ නිරික්ෂණය කරනු ලබන ආකාරය ද ඔහුගේ නවකතා තුළ දැකිය හැකිය. එහෙත් මේ සියල්ලේ විශේෂත්වය වන්නේ එහිදී කරුණාසේන ජයලත් මහතා ප්‍රචාරකවාදී නොවීමය.

හොඳ යහපත් මිනිසුන් අපි දකිමු. යම් යම් වැරදි ඇති අය ද අපි දකිමු. අභියෝගය වන්නේ ඒ චරිත ඒ ලෙසින් ම වචන මගින් ජීවමාන කිරීමමයි. කරුණාසේන ජයලත් මහතා මවන චරිතවලට පණ තිබේ. ඇත්තමට සමහර විට එම චරිත හුස්ම ගන්නා හඬ ඇසෙනා තරමට කරුණාසේන ජයලත් මහතාගේ භාෂා භාවිතය ප්‍රබලය. සංවේදීය. මගේ උගත් යොවුන් තරුණ මිත්‍රයා බාල යැයි දුටුවේ එවන් සියුම් ආකාරයෙන් වචන ගෙත්තම් කළ ලේඛකයෙකුගේ කෘතීන්ය.

ඇත්තටම අපේ ජීවිතයේ සමහර විට අප හුස්ම ගන්නේ දෙනාසාපුටුවලින් පමණක් නොවේ. අප වචනවලින් ද හුස්ම ගමු. ඇසින් පමණක් නොව වචනයෙන් ද කඳුළු සලමු. ඇත්තටම අප වැඩියෙන් ම අඬන්නේ වචනවලිනි. වැඩියෙන්ම සිනාසෙන්නේ ද වචනවලිනි.

අපේ ජීවිතයේ මේ වචනවල ජවය ජීවය කරුණාසේන ජයලත් මහතාගේ නවකතා තුළ එලෙස ම පවතියි. එම නවකතා රසවත් වී ඇත්තේ ඒවා බොළඳ වීම නිසා ඒ තරම් සීරුවෙන් සියුම්ව වචන හැසිරවූ තෝරාගත් සංකලන කළ ගෙත්තම් කළ ලේඛකයන් ඉතා දුර්ලභ වීම නිසාය. විචාරක පොත් නොකියවා නිර්මාණය තුළින් නිර්මාණ මනින සාමාන්‍ය රසිකයන් අතර කරුණාසේන ජයලත් මහතාගේ පොත් අදත් එදත් මෙතරම් ම ජනප්‍රිය ඒ නිසාය. එහෙත් මගේ තරුණ උපාධිධාරි මිත්‍රයා විචාර පොත් පමණක් කියවා පිටකවරයෙන් ම කරුණාසේන ජයලත් මහතාගේ පොත් මැන ඇති බව පෙනේ.

ඔහු විසින් මේ රටේ උගතුන්ගෙන් සියයට අනූවක් නියෝජනය කරනු ලබන්නේ යැයි සිතමි. මේ ගැන ඒ තරම් ම ලියන්නේ ඒ නිසාය. අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වෙනවා යැයි කියන්නේ ද මේ ගැන ම විනා අන් කරුණක් ගැන නොවේ. ගොමරිති උඩ මතු වී මැණික් යට යාම ද මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් හැදුණු තවත් කතාවකි. කෝසල සිහින තුළ ලබු කබල් දිය යට ගොස් කළු ගල් උඩ පාවීම යන්නෙන් ද කියන්නට උත්සාහ කරන්නේ මේ කරුණම වෙනත් ක්‍රමයකින් යැයි මට සිතේ.

ජයලත් මහතා සැනසීම සොයන්නේ මතවාදයක් තුළ නොවේ තමාගේ ම සිත තුළය. තමාගේ ම හදවත තුළය. එය මේ බිමේ බොහෝ මිනිසුන්ට හිමි හිතයි. හදවතයි. ඔහුගේ පොත් බාල වශයෙන් හැඳින්වීමට එය ද හේතුවක් විය හැකිය. එනම් අමුතු අරුමු පුදුම ගාම්භීර විප්ලවීය ආගන්තුක බවක් ඇති චරිත ඔහුගේ නවකතාවල ප්‍රධාන අන්තර්ගතය කර නොගැනීමයි. දොස්තයෙව්ස්කිගේ පොත්වල අපට හමුවන්නේ පීටර්ස්බර් නගරයේ වෙසෙන රුසියානුවන් නම් අපට ජයලත් මහතාගේ පොත්වලදී හොරණ අවට ගම්බද ප්‍රදේශවල දුක් විඳිගෙන ජීවිතයට මුහුණ දුන් මිනිසුන් හමු වේ.

ඒවා ඔවුන්ට හිමි අහිංසක ස්වරූපයෙන් ම ජයලත් විසින් නිරූපණය කර ඇති නිසා ඔවුන් කෙසේවත් අපට වීරයන් ද නොවේ. කෙසේ වුවත් මේ අහිංසක වීරයන්ගේ වීරත්වයට නැංවීමට එම චරිත මත මාක්ස්වාදය ආලේප කිරීම නිසා සමහර විට සමහර අවස්ථාවන්හිදී කරුණාසේන ජයලත් මහතාගේ කෘතීන්හි අව්‍යාජත්වය සිඳී යයි. එය සුළු කරුණකි. එනම් ඔහුගේ නවකතාවන්හි මහා අන්තර්ගතය වන්නේ කිසියම් හෝ මතවාදයක් නොව

මේ පොළවේ ගැහැනුන්ගේ මිනිසුන්ගේ තරුණයන්ගේ තරුණියන්ගේ හදවත ගැහෙන රිද්මයයි. ඔහු ලියන දෙය ඇසින් කියවෙන විට ඒ හද ගැස්ම කනට ද ඇසේ. එනම් මිනිසුන් අතර සිටිනවාටත් වඩා මිනිසුන් අතර සිටින්නා සේ කරුණාසේ ජයලත් මහතාගේ පොත් කියවන විට හැඟේ. ඔහුගේ ලිවීම එතරම් ම ප්‍රබලය. මිනිසුන් අතර නොසිටි විචාර පොත් අතර සිටින අය විසින් ඒවා බාල පොත් වශයෙන් හැඳින්වීමට හේතුව එය ද විය හැකිය. මේ මා කියන්නේ මගේ මිතුරු තරුණයා නොව ඔහුගේ ඇදුරන් ගැනය. ඔවුන්ගේ හදවත ගැහෙන අලස රිද්මය ඔවුන්ගේ ජීවිතයේ නීරස භාවය ඔවුන්ගේ ජීවිතයේ මන්දෝත්සාහී බව කරුණාසේන ජයලත් මහතාගේ නවකතාවල නැත. ඒ නිසා ම ඒ පොත් ඔවුන්ට නීරස වීම අරුමයක් නොවේ.

මා මේ උත්සාහ කරන්නේ කරුණාසේන ජයලත් මහතාගේ නවකතා ගැන ලිවීමටත් වඩා අපේ ජීවිතවලට සිදුව ඇති වින්නැහිය ගැන ලිවීමය. ගුත්තිල කාව්‍යය නීරස යැයි කියන්නේ නම් ඔහු ගැන කිව හැක්කේ කුමක් ද? අපේ පැරණි ජනකවි බාල යැයි යමෙකු කියන්නේ නම් ඔහු ගැන කිව හැක්කේ කුමක් ද? සැබැවින්ම ගුත්තිලය බාල කාව්‍යයක් යැයි නීරස කාව්‍යයක් කිසිවෙක් නොකියති. එසේ නොකීවත් භාවිතයේ දී එය සිදුවේ. එනම් ඔවුන්ට ගුත්තිලය හෝ බුත්සරණ රස විඳීමට හැකියාවක් නැත. මේ නොහැකියාව නොපෙන්වන ඔවුහු තමන්ගේ හැකියාව මොකක් හෝ බටහිර චිත්‍රපටයක් වර්ණනා කිරීමෙන් පෙන්වති.

ඔවුන්ට ගුත්තිලය මෙන්ම කරුණාසේන ජයලත් මහතාගේ පොත් ද රස විඳීමට තරම් රස සංවේදීතාවක් හෝ භාෂා සංවේදීතාවක් නැත. එහෙත් ඔවුහු ගුත්තිලය නීරස හෝ බාල පොතක් යැයි නොකියති. එහෙත් කරුණාසේන ජයලත් මහතාගේ නිර්මාණ බාල යැයි කියති. මෙය ගුත්තිලය බාල යැයි කීමක් ලෙස මට හැඟේ. මක්නිසාද යත් මට හැඟෙන පරිදි බුත්සරණේ සිට ගුත්තිලය හරහා කේ. ජයතිලක මහගමසේකර දක්වා අපේ භාෂාව පණ පිහිටුවා ලියූ ලේඛකයන් ගොන්නට කරුණාසේන ජයලත් මහතාද මට අනුව නම් නිතැතින්ම අයත් වේ.

කරුණාසේන ජයලත් මහතාගේ ‘පිරුණු හදක්’ හා ‘හතුරු හිතක්’ යැයි නවකතා දෙකක් ඇත. කරුණාසේන ජයලත් මහතාගේ නිර්මාණ විචාරය කළ යුත්තේ ඒ පොත් වෙන් ව ගැනීමටත් වඩා එක්ව ගැනීමෙනි. එනම් ‘පිරුණු හදක්’ නවකතාවේ කුසුම්ගේ දෘෂ්ටිකෝණයෙන් කියවෙන කතාව ‘හතුරු’ හිතක් නවකතාවේ නිමල්ගේ දෘෂ්ටි කෝණයෙන් කියැවේ. (කෙසේවුවද නවකතා දෙකේම ඇත්තේ කරුණාසේන ජයලත් මහතාගේ දෘෂ්ටි කෝණයයි.) සරලව ගත්තොත් නිමල්ට ඇත්තේ ‘හතුරු හිතකි’. කුසුම්ට ඇත්තේ ‘පිරුණු හදකි’. අප බොහෝ දෙනාට ඇත්තේ හතුරු හිත්ය. අප විසින් කුසුම්ගේ පිරුණු හද සොයා යා යුතුය. කරුණාසේන ජයලත් මහතාගේ නවකතා ඒ සඳහා උපකාරී වේ. 

 

Comments