මලාලා ගේ පාඩම සහ ඕල්කො­ට් තුමා | Page 2 | සිළුමිණ

මලාලා ගේ පාඩම සහ ඕල්කො­ට් තුමා

අපි හැමෝ ම අහලා තියෙනවා අංගුලිමාල මහරහතන්වහන්සේ ගේ කතාව. තක්සලාවට අහිංසක ගියේ ශිල්ප ඉගෙනගන්න. ඒත් ඒ අහිසංක මහා දාමරික මිනීමරුවෙක් බවට පත්කරන්න ඔහු වටා සිටි අයත් ඔහුට ශිල්ප ඉගැන්වූ ගුරුතුමාත් කටයුතු කළා. මිනිසුන් දහසක් මැරීමේ උගුලට අහිංසක යොමු කළේ ඔහු ගේ ම ගුරුතුමා. ගුරුළුගෝමින්ගේ අමාවතුරෙන් විස්තර කෙරෙන විදිහට ඒ ගුරුතුමා එහෙම උපක්‍රමයක් යෙදුවේ “ඉදින් ඔහු මැරුයෙම් වීම් නම් දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි කියා වටාලා ශිල්ප උගන්නට එන්නෝ නොවෙති. එසේ වන්නාහා මට ලාභ පිරිහෙයි” කියන චේතනාවෙන්. මේ කතාවෙන් පැහැදිලි වෙනවා අධ්‍යාපනයටත් ගුරුවරුන්ටත් කරන්න පුළුවන් දේ. ඒ වගේ ම, ඒ කාලයේ දී පවා අධ්‍යාපනය ලබාදුන්නේ ලාභ උපයන අරමුණකින් බව.

අපේ පන්සල්, පිරිවෙන්වල ලබාදෙන අධ්‍යාපනයට පවා යම් ආකාරයක පිරිවැයක් දරන්න වෙනවා. දායක කාරක අපි ඒ වියදම් යම් යම් ආකාරවලින් කරට ගන්න හින්දා ඒ අධ්‍යාපනය ලබාදෙන ස්වාමීන්වහන්සේලාටත් ඒ අධ්‍යාපනය ලබාගන්නා ගිහි පැවිදි පිරිස්වලටත් ඒක බරක් වෙන්නේ නෑ. නිදහස් අධ්‍යාපනය හරහා අපිට නොමිලේ අධ්‍යාපනය ලැබුණත් ඒකේ පිරිවැය දරන්නේ රටේ පුරවැසියෝ. එක එක විදිහට අපි ගෙවන බදුවලින් ආණ්ඩුව මේ වැඩේ පිරිවැය පිරිමහ ගන්නවා. ඉතින් මොන ආකාරයෙන් හිතලා බැලුවත් අධ්‍යාපනය කියන්නේ නිකම් ම නිකම් අහසින් කඩා පාත්වෙන එකක් නෙවෙයි. ඒ වෙනුවෙන් අපි මොන මොන ආකාරයෙන් හරි විශාල විදිහට මුදල් වියදම් කරනවා. ආණ්ඩුවේ අධ්‍යාපන වැය ශීර්ෂයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන්කරන්න කියන අය පවා නොකියා කියන්නේ අධ්‍යාපනය කියන්නේ සල්ලි වියදම්කරලා ලබාදෙන්න ඕන සේවාවක් කියන එක. එහෙම නැතිනම් ඒ වෙනුවෙන් සතයක්වත් වෙන්කරන්න වුවමනා වෙන්නේ නෑ.

ඉතින් අධ්‍යාපනය විවිධාකාර විදිහට විකුණනවා. සමහරු අධ්‍යාපනය විකුණලා ඒ සේවය ලබාගන්න කෙනාගෙන් කෙළින් ම මුදල් ලබාගන්නවා. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවා මේ බිස්නස් එකේ යම් යම් ආකාරයෙන් යෙදිලා ඉන්නවා. දැන් කාලේ විශ්වවිද්‍යාවලවලට එන ශිෂ්‍යයන් අතරින් ටියුෂන් නොගිය කෙනෙක් හොයාගන්න එක නොමළ ගෙයකින් අබ මිටක් හොයාගන්නවාටත් වඩා අමාරුයි. ඉතින් ඒ අයත් මේ “අධ්‍යාපන භාණ්ඩය” වෙනුවෙන් මදි නොකියන්න වියදම් කරලා තියෙනවා.

මලාලා ගේ තාත්තාත් බොහොම පිළිවෙලකට මේ “අධ්‍යාපන භාණ්ඩය” විකුණපු කෙනෙක්. ෂියා උද්-දීන් යූෂුප්සායිට - ඒ කියන්නේ මලාලා ගේ තාත්තාට; පුද්ගලික පාසල් ජාලයක් ම තිබුණා. ඒවා නම්කරලා තිබුණේ කුශාල් මහජන විද්‍යාල කියලා. කොහොම හරි මේ ඉස්කෝලවල කරපු ඉගැන්නිල්ලට තලේබාන් සංවිධානයත් එක්ක සම්බන්ධ අය ගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. විශේෂයෙන් ම, ගැහැණු ළමයින්ට ඒ අධයාපනය ලබාදෙන එක වහා ම නවත්තන්න කියලා ඒ අය කිව්වා. තලේබාන් කියන නමේ තේරුමත් “ශිෂ්‍යයෝ” කියන එක. ඒ කියන්නේ, ඒ අයත් ඉගෙනගන්න අය. තමන් ව “ශිෂ්‍යයෝ” විදිහට හඳුන්වාගන්න පිරිසක් අධ්‍යාපනය ලබාදෙනවාට විරුද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් ද?

ඒත් මේ “ශිෂ්‍යයෝ” මලාලා ගේ තාත්තා මුල්වෙලා කරගෙන ගිය ඉගැන්නිල්ලට විරුද්ධ වුණා. හැබැයි මේ අය විරුද්ධ වු‍ෙණ් සල්ලි අයකරලා “අධ්‍යාපන භාණ්ඩය” විකුණන එකට නම් නෙවෙයි. එහෙම නම් පිරිමි ළමයින්ට ලබාදෙන අධ්‍යාපනයත් නවත්තන්න කියන්න ඕනනේ. ඒත් ඒ අය විශේෂයෙන් ම විරුද්ධ වුණේ ගැහැණු ළමයින්ට ඒ අධ්‍යාපනය ලබාදෙන වැඩේට.

මේ, පකිස්ථානයට විතරක් අදාළ ගැටලුවක් නෙවෙයි. නයිජීරියාව මුල් කරගෙන ඒ රටේත්, චැඩ්, නයිජර්, කැමරූන් කියන රටවල්වලත් ක්‍රියාත්මක වෙන බෝකෝ හරාම් කියන සංවිධානය ගැන අපි හැමෝ ම වගේ අහලා තියෙනවා. බෝකෝ හරාම් කියන නමේ තේරුම තමයි “බටහිර අධ්‍යානය එපා” කියන එක. ඒ අයත් වැඩියෙන් ම විරුද්ධ ගැහැණු ළමයින්ට මේ බටහිර අධ්‍යාපනය ලබාදෙන වැඩේට. 2014 අවුරුද්දේ අපි අවුරුදු කකා ඉන්න දවස්වල - ඒ කියන්නේ අප්‍රේල් 14 – 15 දවස් දෙකේ දී; මේ අය නයිජීරියාවේ ඉස්කෝලෙක ඉගෙනගත්ත ගැහැණු ළමයි 276 දෙනෙක් පැහැරගෙන ගියා. ඒ විදිහට පැහැරගත්ත අයගෙන් 2017 අවුරුද්දේ මැයි මාසය වෙද්දිත් නිදහස් වෙලා ඇවිල්ලා තිබුණේ ගැහැණු ළමයි 82 ක් විතරයි.

ඉතින් පකිස්ථානයේ “ශිෂ්‍යයෝ” විරුද්ධ වෙන්නේත් මේ බටහිර අධ්‍යාපනයට. ඒ හින්දා ඒ අය ආඥාවක් නිකුත් කළා 2009 අවුරුද්දේ ජනවාරි 15 වැනි දාට පස්සේ තමන් ගේ බල ප්‍රදේශයේ කිසිම ගැහැණු ළමයෙක් ඉස්කෝලේ යවන්න එපා කියලා. ඒත් ඒ වෙද්දි තමන් ගේ තාත්තා ගේ අනුබලය පිට මලාලා “අධ්‍යාපන අයිතිය” ගැන කතාකරන්න පටන් ඇරගෙනයි තිබුණේ. ඒ වෙද්දී මලාලාට වයස අවුරුදු 11 යි. මලාලා කතාක‍ළේ ලෝකයට ම ඇහෙන්න. මොකද ඒ වැඩේට ඉඩදීලා තිබුණේ බී. බී. සී. එක. ඉතින් මලාලා දිගට ම කතාකළා. “ශිෂ්‍යයෝ” දිගට ම ඉස්කෝල වහගෙන ගියා. 2011 අවුරුද්දේ ජාත්‍යන්තර ළමා සාම තෑග්ගට පවා මලාලා ගේ නම යෝජනා කෙරුණා. ඒ වැඩේට මුල්වුණේ දකුණු අප්‍රිකාවේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුතුමා. ඒ අවුරුද්දේ දී ම ජාතික තරුණ සාම තෑග්ග ඇයට ලබාදෙන්න පකිස්ථාන ආණ්ඩුව කටයුතු කළා. ඒත් “ශිෂ්‍යයෝ” මේ වැඩ ගැන කිසි ම කැමැත්තක් පෙන්නුවේ නෑ. දවසින් දවස ම ඒ අය මලාලා ව දැක්කේ ඉවරයක් කරලා දැමිය යුතු පිළිලයක් විදිහට. ඉතින් 2012 ඔක්තෝබර් මාසේ 9 වැනි දා එක “ශිෂ්‍යයෙක්” මලාලාට වෙඩි තිබ්බ.

පකිස්ථාන ආණ්ඩුවත් මුල්වෙලා මලාලා ව එංගලන්තයට ඇරගෙන ගිහිල්ලා ඇය ගේ ජීවිතය බේරුවා. මලාලාට වෙඩි තියපු එකට විරුද්ධ ව මුළු පකිස්ථානය ම වගේ නැගී හිටියා. “මමත් මලාලා කෙනෙක්” කියලා ව්‍යාපාරයක් පවා ඇතිවුණා. 2014 අවුරුද්දේ දී මලාලාට නොබෙල් සාම තෑග්ගත් ලැබුණා. එතකොටත් මලාලාට වයස අවුරුදු 17 යි. ඉතින් ඇය තමයි නොබෙල් සාම තෑග්ග ලබපු ලාබාල ම කෙනා. දැන් මලාලා අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරිනියක්. ඇය ගේ තාත්තාත් දැන් එක්සත් ජාතීන් ගේ ගෝලීය අධ්‍යාපන වැඩසටහනේ විශේෂ උපදේශකයෙක්.

මේ අවුරුද්දේ - 2017 අවුරුද්දේ; මලාලාට අවුරුදු 20 ක් පිරුණා. වෙඩි වැදිච්ච වෙලාවේ ඇයට දක්වපු කරුණාව, අනුකම්පාව අද පකිස්ථානයේ බහුතරයක් මිනිස්සු ළඟ නෑ. බොහෝ දෙනෙක් මලාලා ව හඳුන්වන්නේ බටහිර ඒජන්තයෙක් විදිහට. ඒ හින්දා දැන් “මම මලාලා කෙනෙක් නෙවෙයි” කියලා ව්‍යාපාරයකුත් පකිස්ථානයේ ආරම්භ වෙලා. මෙහෙම වෙන්නේ ඇයි?

තුවක්කු ඇරගෙන පකිස්ථානයේ “ශිෂ්‍යයෝ” වගේ එහෙම නැතිනම් නයිජීරියාවේ බෝකෝ හරාම් සංවිධානයේ අය වගේ මලාලාලා ගේ ඔළුවලට වෙඩි නොතිබ්බත් ඉස්කෝලවලට බෝම්බ නොගැහුවත් අපි අතරත් බටහිර අධ්‍යාපන ක්‍රමය ගැන විවේචනයක් තියෙනවා. උදේ දවල් රෑ නැතිව අධ්‍යාපන සංශෝධන එන හින්දා අපේ රටේ මොනම අධ්‍යාපන ක්‍රමයක් නැති බවටත් චෝදනාවකුත් තියෙනවා. “බටහිර අධ්‍යාපන ක්‍රමය” “බටහිර අධ්‍යාපන ක්‍රමය” කියලා අපි කිව්වාට ඇත්තෙන් ම එහෙම එක අධ්‍යාපන ක්‍රමයක් නෑ. එංගලන්තේ උගන්වන දේවල් නෙවෙයි ප්‍රංශයේ උගන්නන්නේ. ඇමෙරිකානු ජනපද සංගමයේ වුනත් එහෙමයි. බටහිර අධ්‍යාපන ක්‍රමය රටින් රටට වෙනස්. ෆින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමය ගැන මේ ළඟ දී මහා හා හූවක් ඇතිවුනා. ලෝකයේ හොඳ ම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ඒ රටේ කියලා කියන අයත් ඉන්නව

එහෙම නම් මොකක්ද මේ විදිහට “බටහිර අධ්‍යාපන ක්‍රමය” කියලා හඳුන්වන්නේ? විවිධාකාරයේ ශිල්ප ශාස්ත්‍ර අපේ ළමයින්ට ලබාදෙන එකට විරුද්ධ කවුරුවත් ඉන්නවා කියලා හිතන්න බෑ. බටහිර රටවල උපදින ශිල්ප ශාස්ත්‍රම ඉගැන්නිල්ලට මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ වැඩි ඉඩකඩක් ලැබිලා තියෙන බව ඇත්ත. ඒකට ඉතින් දොස් කියාගන්න ඕන අපිටමනේ. අපිටත් පුළුවන් නම් අපේ ශිල්ප ශාස්ත්‍ර විධිමත් විදිහට නිරවුල් කරගෙන වර්ධනය කරගන්න, ඒවාට තැනක් හොයාගන්න එක අමාරුවෙන් හරි කරන්න පුළුවන් වේවි. කිසි ම දෙයක් අපි හිතන පතන සැනෙකින් වෙන්නේ නැහැනේ.

ගැහැණු ළමයින්ට ලබාදෙන්න හොඳ අධ්‍යාපන ක්‍රමයක් පකිස්ථා‍නයේ “ශිෂ්‍යයොත්” නයිජීරියාවේ බෝකෝ හරාම් කට්ටියත් හදාගෙන වැඩිදියුණු කරගෙන නෑ. හැම රටේ ම ඉන්න ගැහැණු ළමයි එක ම අධ්‍යාපනය ලබාගන්න ඕන කියලා කාටවත් නියම කරන්න බෑ. ඉතින් තමන් පිළිගන්න ආගම ධර්මයටත් තමන් ගේ ඇවැතුම් පැවැතුම්වලටත් ගැලපෙන විදිහට අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නඟාගැනීමේ අයිතිය කාටත් තියෙනවා. ඒත් මුලින් ම කරන්න ඕන ඒ විදිහට තමන්ට උවමනා කරන ශිල්ප ශාස්ත්‍රත් ඒවා උගන්නන්න ඕන විදිහත් මූලික විදිහට හරි හඳුනාගෙන ඒවා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරන්න උත්සාහ කරන එක. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ ක්‍රම පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළට කාවද්දන්න උත්සාහ කරන එක. තමන් ගේ අතේ තුරුම්පු නැතුව මේ සෙල්ලමෙන් දිනන්න බෑ.

ඕලකොට්තුමා මුල්වෙලා ආරම්භ කරපු බෞද්ධ ඉස්කෝලවල උගන්වන්නෙත් මලාලා කියලා දෙන්න හදන පාඩම් ම තමයි කියලා කියන එක හොඳ නිරීක්ෂණයක්. හැබැයි එහෙම කියලා ඕල්කොට්තුමාටත් ඒ පාසල්වලින් ලබාගත්ත අධ්‍යාපනයෙන් “නොමඟ ගියා” කියලා පෙනෙන අයටත් බැන බැන හිටියා කියලා ලැබෙන සෙතක් නෑ. අපි කරන්න ඕන අපේ ළමයින්ට කියලා දෙන්න ඕන පාඩම් මොනවාද කියලා විධිමත් ව හොයලා බලන එක. ඊට පස්සේ ඒවායේ අන්තර්ගතය ක්‍රමවත් පෙළ පොත් විදිහට සකස් කරගන්න එක. ඒත් කුමාරතුංගගෙන් පස්සේ බිහිවෙච්ච අපේ කිසිම පඬිවරයෙක් මේ ගැන ඒ විදිහට හිතලා වැඩකරලා නෑ. ඉතින් අපි මුලින් ම ඒ පාඩම ඉගෙනගනිමු! 

 

Comments