පාසලේ දී පීඩ­න­යට පත්වන දරු­වන්ගේ කඳුළු කතාව | Page 2 | සිළුමිණ

පාසලේ දී පීඩ­න­යට පත්වන දරු­වන්ගේ කඳුළු කතාව

සරසවියෙන් උපාධිය ලද අලුතම වාගේ පත්වීමක් ලද ගුරුතුමා පාසලේ තමාට නියමිත පන්ති කාමරයට ගියේ. එය 12 වසරේ පන්තියකි. ගුරුතුමා සි‍ටියේ තරුණ වියේය. නියමිත පන්තියට ගිය ගුරුතුමාට දකින්නට ලැබුණේ සිත කලඹන දසුනකි.

යාබද පන්තියේ එනම් 11 වසරේ සිස‍ුවෙකු පන්තිය ඉදිරියේ දණ ගසා සිටීමය. විෂය දැනුමෙන් ආඪ්‍යව සිටියද ගුරුතුමා සාමාන්‍ය පාසලක ක්‍රියාදාමය පිළිබඳ දැනුමෙන් අඩුය. පන්තිය ඉදිරියේ දණ ගසා සිටි ළමයා හිස බිමට නමාගෙන මුහුණ සඟවා ගෙන සිටියේය. එය ඔහු තමාගේ දණ හිසෙන් නැ‍ඟෙන වේදනාවට වඩා සිතට නැ‍ඟෙන වේදනාව බලවත් බව කියනා ලකුණකි.

එහෙත් පෙනෙන්නේ, අදාළ පන්තියේ ගුරුතුමාට නම් මේ ගැන වගක්වත් නැති බවය. ළමයා දණ ගසා සිටින්නේ ඔහු කළ යම්කිසි වරදකට විය හැකිය. දණ ගසා සිටීම එයට දුන් දඬුවමය.

මොකක්දෝ හේතුවක් නිසා මේ ක්‍රියාව අපේ අලුත් ගුරුතුමාට ඇල්ලුවේ නැත. ඔහුගේ සිත බෙහෙවින් නරක් විය. ගුරුතුමා සිතුවාක් මෙන්ම දණ ගසා සිටි ළමයා ඉන්පසු පාසලට ආ‍ෙව් නැත. අද එයි හෙට එයි කියා සිතුවද ඔහු ආවේම නැත.

ඔහුට ගුරුතුමා පමණක් නොව පාසලද එපා වී ඇති හැඩය. මේ සිද්ධිය ඇවිස්සී ගියේ සති අන්තයේ පැවැති ගුරු රැස්වීමේදී ය. අලුත් ගුරුතුමා මේ සිද්ධිය සඳහන් කොට ඉන් සිසුවාට ඇති විය හැකි පීඩාකාරී තත්ත්වය ගැන විස්තර කළේය. ඔහු ඒ දිනවල මනෝවිද්‍යාව ගැන දැන නොසිටියද මනුස්සකම දත් හොඳ පියකු සතු දරුවන්ට ඇති ආදරය ගැන දැන සිටියේය. ගුරුභූමිකාවේ ධනාත්මක පැත්ත ගැන ඔහුට දැනුමක් තිබිණ.

ගුරුමණ්ඩලය තුෂ්ණිම්භූතව සිටියද විදුහල්පතිතුමා මැදහත් ලෙස ගැටුම දෙස බැලුවේය. රැස්වීමෙන් පසු ගුරුතුමා කැඳවූ විදුහල්පති හැකි කමක් ඇත්නම් එම සිසුවා නැවත පාසල වෙත කැඳවා ගෙන එන්නැයි ඉල්ලීමක් කළේය. පුදුමයකි. අලුත් ගුරුතුමාගේ බස පිළිගත් සිසුවා නැවත පාසලට ආවේය. සිසුවාගේ දෙමාපියන් සිටියේ දණ ගැස්වූ ගුරුවරයා ගැන දැඩි කලකිරීමකිනි. ඔවුන් කියා සිටියේ අදාළ ගුරුවරයා තම දරුවාගෙන් පළිගන්නා බවකි.

කලකට ඉහත සිදු වූ මේ සිදුවීම අපට කීවේ වී.පී. චන්ද්‍රසේන මහතාය. ඔහු ගුරුවරුන්ටත් උගන්වන හැටි උගන්වන ගුරුවරයෙකි. මාතර නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිව සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පීඨ කොමසාරිස්ව සේවය ‍කොට දැනට විශ්‍රාමිකව සිටින්නෙකි.

අප එතුමාගේ නිවසට ගියේ ගුරුවරුන් ඉවක් බවක් නැතිව තම සිසුන්ට දැඩි ශාරීරික දඬුවම් පැමිණ වීමේ ප්‍රවණතාවයක් මතුවෙමින් ඇති නිසා ඒ පිළිබඳ තතු දැන ගැනීම පිණිස ය.

“ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?”

“ඒ ළමයා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියා. අනතුරුව රජයේ බැංකුවක කළමනාකාර තනතුරක් ලැබුවා.”

පසු ගියදා එවැනි එක් පුවතක් වාර්තා වන්නේ අනුරාධපුරයේ ගම්බිරිගස්වැව පෙදෙසේ විද්‍යාලයකිනි. පහර දීමට ලක් වී ඇත්තේ 7 වසරේ 12 හැවිරිදි දරුවෙකි. තමාට බැණ වැදුනේ යයි චෝදනා කරමින් පාසල අවසානයේදී පහර දී ඇත්තේ එම පාසලේ ගුරුවරයෙකු විසිනි.

ඊළඟ වාර්තාව ලැබෙන්නේ දඹුල්ල පැත්තේ පාසලකිනි. එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් 34 දෙනකුට පාසලේ සිංහල හා බුද්ධ ධර්මය උගන්වන හිමිනමක් විසින් කරන ලද පහර දීමක් ගැනය. කෙටි සටහන් නොගෙනීමේ වරදට ගිනිසීලියා පොල්ලකින් පොලු පහර 3 බැගින් දී ඇත. පහර දීම සිදු වී ඇත්තේ සවස් කාලයේ අමතර පන්තියකදී බවයි සිසුන් කියා සිටින්නේ.

පාසල් යන දරුවන් තම නිවසට පැමිණ පවසන්නේ තම ගුරුවර හා ගුරුවරියන් ගැන රසකතා නොවන බව ඒ අය නොදන්නවා වෙන්නට පුළුවන. දරුවන් බොරු නොකියන බව සැබෑ නම් ඒ අය පිටතින් පෙන්වන දේව දූතයින් හා දේව දූතියන් ලෙස සැලකිය නොහැකිය.

මේ ආකාරයට ගුරුවරුන් ළමයින්ට කෲර දඬුවම් දීම නිසා අගතියට පත් දරුවාට ඇතිවන පීඩනය කෙබඳු විය හැකිදැයි චන්ද්‍රසේන මහතාගෙන් ඇසුවෙමු.

“ඇත්තටම මෙහිදී අපට මතු පිටින් පෙනෙනවාට වඩා තදබල මානසික හා කායික පීඩනයක් අගතියට පත් දරුවා තුළ ඇති වෙනවා. සෑම කායික පීඩනයක් සමඟම එයට පසුබිමින් ගොඩ නැ‍‍ඟෙන මානසික පීඩනය අති ප්‍රබලයි.

ප්‍රථමයෙන් ඔහු අධික ලජ්ජාවකට පත් වෙනවා. ගුරුවරයා කෙරෙහි තිබූ අපේක්ෂා පුලුදු වීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වෙනවා.

මේ චිත්ත පෙරළිය පිටතට නොපෙනෙන නමුත් එය දරුවාගේ සිත තුළට පිවිස සෙමින් වර්ධනය වන්නට පටන් ගෙන අවසානේය මුළු ආත්මයම විනාශකර දැමීමට වුවද බලවත් වන බවකිව හැකිය.

ඔහුට ඉගෙනීම පවා එපා විය හැකි අතර තම දෙමාපියනට හා මිතුරන්ට මුහුණ දීමට ඇති ලජ්ජාවෙන් පීඩාවට පත්වන තත්ත්වයකට පත්විය හැකිය.

මෙයින් දරුවාට ආසන්න ප්‍රති ක්‍රියා තුනක් ඇතිවිය හැකියි. මුලින්ම ඔහුට ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඔහුව එපා වෙනවා. දෙවනුව අධ්‍යාපනය එපා වෙනවා. අවසානයේ පාසලම එපා වෙනවා. මෙය කොතරම් බරපතළ තත්ත්වයක්දැයි සෑම ගුරුවරයෙක්ම වටහා ගත යුතු කරුණක් බව කිව හැකියි.”

සංවාදයට එක්වූ රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජයසුන්දර මහත්මියගෙන් අප ඇසුවේ ගුරුවරුන් මෙලෙස පන්තිකාමරය ‍තුළ රව ලෙස ක්‍රියා කරමින් සිසුන්ට ශාරීරික දඬුවම් දීමට පෙළඹෙන්නේ කුමක් නිසාද කියාය.

“මෙයට බොහෝ හේතු තියනවා. එකක් ගුරුවරයාගේ බෙලහීන මානසිකත්වය. පන්ති කාමරයට පිවිසෙන ගුරුවරයා ඇතැම් විට මානසික අව පීඩනයකින් යුතුව එන්නෙකු විය හැකිය. එය නිවසේ දී ඇති වූ කිසියම් (ඇතැම් විට බිරිය සමඟ) කලහකරී තත්ත්වයක් නිසා හෝ පාසලේදී විදුහල්පති හෝ වෙනත් ගුරුවරයෙකු සමඟ ඇති වූ උණුසුම් කතාබහක් විය හැකිය. මෙවැනි ගුරුවරයෙක් තම සිතේ ඇතිවූ කෝපය හා පරපීඩනය තමාට මුලින්ම හමුවන සේවාදායකයා වන දරුවා කෙරෙහි මුදා හැරීමට ඇති ඉඩකඩ වැඩිය.

ඒ වගේ ම ඔහු ජීවත්වන වානිජ, බහුභාණ්ඩික සමාජ ක්‍රමය විසින් ඔහු තුළ පවතින යහගුණ සිඳ බිඳ දමා තිබීම තවත් කරුණක්.

හැම දෙයම මුදල් මත යැපෙන වටිනාකම් මුදලින් මැනෙන යුගය ඔහුගේ ගුරුභූමිකාවේ උතුම් අභිලාෂයන් විනාශ කරලයි තියනේනේ.

ගැටලුව දෙස ඔහු සුසමාහිතව නොබලා ආඥාදායක මනසකින් බැලීම තවත් හේතුවක්.

ළමයා යනු කවුදැයි ඔහුට ඇති මූලික හිමිකම් ගැන ගුරුවරයා දැනුවත් කරන්නට පුළුළුන්. ළමයා කියන්නේ මිනිසාගේ කුඩා මොඩල් එකක් සාම්පලයක් නොවේ.

මවුපියන් ළඟ සිටියත් පාසලක ගුරුන් භාරයේ සිටියත් නීතිය සලකන්නේ ළමයා තනි පුද්ගල ඒකකයක් ලෙසයි. 1989 දී එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥප්තිය අනුව දරුවන් කායික හා මානසික පීඩාවලට පත්කිරීම නොකළ යුතු බව නිර්දේශ කර ඇත. බොහෝ රටවල මෙය අනුදක්නා අතර ලංකාවේ ළමා රක්ෂණ පණත් අනුව දරුවන් ශාරීරික දඬුවම් දීම නීතියෙන් ද දඬුවම් ලැබිය හැකි වරදකි.

එමෙන්ම දණ ගැස්සවීම, පොත් හිස මත තබා අව්වේ සිටවීම, බැංකු මත නැංවීම ප්‍රසිද්ධියේ අවමන් කිරීම හා වේවැලින් තැලීම අනුමත කළ හැකි දඬුවම් නොවෙයි.

මේ සටහන අවසන් කරන්නට කලින් කාගේත් අවමානයට හා නොසලකා හැරීමට ලක් වී මුරණ්ඩු වූ දරුවෙකු යළිත් ප්‍රකෘති තත්ත්වයට ගෙන ආ විශිෂ්ට ගුරුවරයෙකුගේ භූමිකාව නිරූපිත සිනමා කෘතියක් ගැන පැවසිය යුතුයයි සිතුණා. මේ සිනමා සිත්තම නම් ටාරේ සමීන් පර් (tare Zameen Par) ය. එහි තේරුම පොළොවේ පෑයූ තරු යනුයි.

මෙහි ඉන්නා දරුවා 12 හැවිරිදි ඉෂාන්. ඔහු ගෙදරටත් පාසලටත් මහත් ප්‍රශ්නයක් වෙනවා. ඔහුට හැරි හැටි පාඩමක් මතක හිටින්නේ නැහැ. මුරණ්ඩුයි. කවුරුත් හිතන්නේ ඔහු ඕනෑ කමින් එසේ කරනවා කියලයි. ඒ නිසා ඔහුට නිතර ලැබෙන්නේ ඇනුම් බැනුම්. ගෙදරදි පියාගෙන්. පාසලේදී ගුරුවරුන්ගෙන්.

චිත්‍රපටය ඇරඹෙන පළමු රූප රාමුවේ අකුරු උඩට යටට එහාට මෙහාට දුවනු නරඹන්නාට පෙනෙනවා. ඇත්තටම ඉෂාන්ට පෙනෙන්නෙත් ඒ විදියටයි. ඇත්තෙන්ම මේ අවාසනාවන්ත තත්ත්වය වටහා ගන්නේ පාසලට අලුතෙන් එන චිත්‍රකර්ම ගුරුවරයායි.

රාම් නිකුම්බි (අමීර් ඛාන්) ඇත්තටම ඉෂාන්ට (දර්ශිල් සෆාර්) ඇත්තේ රෝගී තත්ත්වයක්. එය ඩිස්ලෙක්සියා Dyslexia යනුවෙන් ගුරුවරයා හඳුනා ගන්නවා.

මේ රෝගයේ ලක්ෂණය වන්නේ භාෂෘවේ සංකේත අකුරු බවටත් අකුරුවලින් දැක්වෙන අරුත් භාෂා සංකේතයන් බවට හරවා ගැනීමට නොහැකි වීමයි.

එතැන් සිට ආදරයත් (මෙතෙක් නොලැබී තිබුණු) දයාවත් දක්වමින් ඉෂාන්ට සමීප වෙන ගුරුතුමා තමාගේ විනෝදාත්මක පිවිසුම් හා සුවිශේෂ ශිල්ප ක්‍රම අනුගමනය කරමින් ඉෂාන් යතා තත්ත්වයට ගෙන එනවා. මෙම සිනමා සිතුවම කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් දැනට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් එය නරඹා තිබෙනවා. ඉන්දියාවේ සිනමාහල් 420 ක පෙන්වා උපයන ලද මුදල ඉන්දියානු රුපියල් කෝටි 131 ක්. ලංකාවේ මුදලින් කෝටි 300 ක්. සම්මාන ගණනාවකට හිමිකම් කියා ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අමීර් ඛාන් විසින්. 

 

Comments