අගෝස්තු මස 08 දින පටන් සැප්තැම්බර් මස 02 දින දක්වා මෙවර පැවැත්වෙන අ.පො.ස. (උ.පෙ.) විභාගයට අයදුම්කරුවෝ 315227 දෙනෙක් පෙනී සිටිති. මෙයින් 28000 ක් පමණ දෙනා හැර ඉතිරි අයට විශ්වවිද්‍යාල දොරටු වැසී යනු ඇත. උ.පෙ. විභාගය තරුණ ප්‍රජාවගේ ජීවිතවල ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය වෙයි. 2016 වර්ෂයේදී උ.පෙ. විභාගයේදී එකම විෂයයකින්වත් සමත් නොවූ සංඛ්‍යාව 17702 කි. ජාතික අධ්‍යාපන කොමිසම විසින් ම ලෝක බැංකු ආධාර යටතේ කරන ලද විධිමත් පර්යේෂණ මඟින් ද උ.පෙ. පාඨමාලාවේ දුර්වලතා හඳුනාගෙන ඇත. මෙම දුර්වලතා මඟ හරවා ගැනීම පමණක් නොව අනාගතයට ගැළපෙන ලෙස මෙම පාඨමාලාව සංවිධානය කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙවැනි හැඟීමකින් සහ විවෘත මනසකින් බලන මම උ.පෙ. පාඨමාලාව සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එම විකල්ප යෝජනාව මෙසේ ය.
ශිෂ්‍යයා 12 වැනි ශ්‍රේණියේදී විෂයයන් දෙකක් පමණක් අධ්‍යයනය කොට වර්ෂය අවසානයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයට පෙනී සිටිය යුතුය. 13 වැනි ශ්‍රේණියේදී තවත් විෂයයන් දෙකක් අධ්‍යයනය කොට වර්ෂ අවසානයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයට පෙනී සිටිය යුතු ය. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා z - core ගණනය කරන්නේ දැනට කරන ආකාරයට ම විෂයයන් 3 ක් මත පමණි. මෙම විෂය තුන ශිෂ්‍යයා විසින් ම තීරණය කරනු ලැබේ.
* විෂයයන් තුන වෙනුවට විෂයයන් හතරක් අධ්‍යයනය කිරීමේ වාසි
අමතර විෂයක ඥානයක් ද සහතිකයක් ද සුදුසුකමක් ද ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල, තාක්ෂණික විද්‍යාල ආදී ආයතන වැඩි සංඛ්‍යාවක පාඨමාලා තෝරාගැනීම පහසු වේ. එසේ ම ක්ෂේත්‍ර වැඩි සංඛ්‍යාවක රැකියා සඳහා අයදුම්කළ හැකි වනු ඇත.
දැනට පවත්නා ක්‍රමය අනුව ශිෂ්‍යයෙකුට වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය නම් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව හැර වෙනත් කිසිම විෂයයක් ඉගෙනීමට අවසරයක් නැත. ශිෂ්‍යයෙකුට ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය නම් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා සංයුක්ත ගණිතය හැර වෙනත් කිසිම විෂයයක් ඉගෙනීමට ඉඩක් නැත. විෂයයන් හතරක් ඉගෙනීමට අවස්ථාව දීමෙන් ඉහත කී විෂයයන්ට අමතරව සංගීතය, චිත්‍ර හෝ සමාජ විද්‍යාව වැනි තවත් විෂයයක් අධ්‍යයනයට අවස්ථාව ලැබේ. එම අමතර විෂයය පාසලෙන් බාහිර ඉගෙනීමට බාධාවක් නැත.
විෂයය සංඛ්‍යාව වැඩි වූ විට ජාත්‍යන්තර පාඨමාලා විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේදී වැඩි ලකුණු ලබාගැනීම ද හැකිවනු ඇත.
විෂයය සංඛ්‍යාව වැඩිවීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වේ. ලන්ඩන් ජී.ඩී.ඊ. (ඒ.එල්.) විභාගය සඳහා විෂයයන් පහකට හෝ හයකට පෙනී සිටිය යුතු ය. (විෂයයන් තුනකට පෙනී සිටින්නේ ඉතාම දුර්වල ශිෂ්‍යයෙකු පමණි) ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවත්වන වී.සී.ඊ. (V.C.E) විභාගයට අනිවාර්ය විෂයය කීපයට අමතරව තවත් විෂයයන් හයකට පෙනී සිටිය යුතු ය. බොහෝ රටවල තත්ත්වය මෙසේ ය. ශිෂ්‍යයා ප්‍රිය කරන, ඉගෙනීමට පහසු විෂයයන් තෝරා ගැනීමට අවසර ලැබීමෙන් ඔහු අවසාන ඉලක්කයට පහසුවෙන් ළඟාවේ.
* විෂයයන් දෙක බැගින් දෙවරකට පෙනී සිටීමේ වාසි
විෂයයන් තුනක් එකවර අධ්‍යයනය කොට විභාගයට පෙනී සිටිනවාට වඩා විෂයයන් දෙකක් අධ්‍යයනය කොට විභාගයට පෙනී සිටීම පහසු ය. වෙහෙස අඩුය. ආතතිය අඩු ය.
වැඩි රුචියකින් එම කාර්යය කළ හැකි ය. එමඟින් ගුණාත්මක අධ්‍යාපනයක් ද ඉහළ මට්ටමේ සහතිකයක් ද ලැබෙනු ඇත. ටියුෂන් වියදම ද 1/3 කින් අඩු වනු ඇත. මේ තත්ත්වය දෙමාපියන්ට අස්වැසිල්ලකි. එකම විෂයයන් තුනක් අවුරුදු දෙකක් තිස්සේ ඇදගෙන යාම නවත්වා විෂයයන් දෙකක් පමණක් එක් අවුරුද්දකින් අවසන් කරනු ඇත.
පළමු අවුරුද්දේ දී තමා ප්‍රිය කරන ඉගෙනීමට පහසු අනාගතයට වඩාත් උපකාරි වන විෂයය දෙකක් තෝරාගෙන ඉගෙනීමට අවස්ථාව ලැබේ.
මේ මඟින් ඉගෙනීම ප්‍රියමනාප වන අතර ආතතියෙන් තොරව සැහැල්ලුවෙන් ඉගෙනීමට ලැබෙනවා පමණක් නොව වඩා ඉහළ ප්‍රතිඵල ද අපේක්ෂා කළ හැකි ය.
අධ්‍යයනය නිම කොට විභාගයෙන් 50% ක් පළමු අවුරුද්දේ දීම අවසාන කළ හැකි ය. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යය ද 50% ක් කලින් ම අවසන් කිරීමට උපකාර වේ. දැනට පවත්නා ක්‍රමය මෙන් නොව තම ප්‍රතිඵල අවුරුද්දකට කලින් දැන ගැනීමෙන් තමන් යා යුතු මඟ තීරණය කළ හැකි ය. තම දක්ෂතාව, දුර්වලතාව අවබෝධ කරගත හැකි ය. විශ්ව විද්‍යාලයට ප්‍රවේශ විය හැකි ද යන්න නිසැකව ම අවසාන ප්‍රතිඵලයට අවුරුද්දකට කලින් තීරණය කළ හැකි ය.
සමහර ශිෂ්‍යයෝ ඉහළ ලකුණු අපේක්ෂාවෙන් දෙවන වරට ද තෙවන වරට ද විභාගයට පෙනී සිටිති, දැනට පවත්නා ක්‍රමයට අනුව නම් ඒ සෑම වාරයකදීම විෂයයන් තුනටම පෙනී සිටිය යුතු ය. එවිට පළමු වාරයේ විෂයය තුනෙන් එකකට A සාමාර්ථයක් ලබාගෙන තිබුණත් දෙවන වාරයේදී ද එම විෂයට ද පෙනී සිටිය යුතු ය.
තෙවන වාරයක් ද පෙනී සිටියහොත් දෙවරක් ම A සාමාර්ථය ගත් විෂයයට නැවතත් පෙනී සිටිය යුතුය, මෙම රෙගුලාසිය මගේ විකල්ප යෝජනාවෙහි ඇතුළත් නොවේ.
දැන් පවත්නා ක්‍රමයට අවුරුදු හතරක අධ්‍යාපනයෙන් පසු තුන් වරක් විභාගයට පෙනී සිටියත් ලැබෙන විෂය ඥානය ද, සහතික ද විෂයයන් තුනකට සීමා වේ. මගේ විකල්ප යෝජනාව අනුව අවුරුදු තුනක අධ්‍යාපනයෙන් පසු තුන් වරක් විභාගයට පෙනී සිටියත් ශිෂ්‍යයාට බොහෝ විට විෂයයන් හයක විෂය ඥානයක් ද විෂය හයකට සහතිකයක් ද සුදුසුකමක් ද ලැබීමේ ප්‍රවණතාවක් පවතී.