රට වෙනු­වෙන් පෙම්ව­ති­යට සමු­දුන් අදේ­ව­වා­දියා | Page 2 | සිළුමිණ

රට වෙනු­වෙන් පෙම්ව­ති­යට සමු­දුන් අදේ­ව­වා­දියා

වසර එකසිය දහයකට පෙර එනම් 1907 සැප්තැම්බර් 27 වන දින ඉන්දියාවේ එවකට පන්ජාබ් ප්‍රදේශයේ, වර්තමානයේ පකිස්ථානයට අයත් පන්ජාබ් ප්‍රදේශයේ ඉපදුණු ඉන්දීය නිදහස් අරගලයේ ගිනිපුපුර හෙවත් විප්ලවීය පරමාදර්ශය ලෙස සැලකෙන භගත් සිං උපත ලැබීය. වසර 24ක කෙටි ජීවිත කාලයේදී ඉන්දියානු නිදහස් අරගලයේ පුරා වෘත්තයක් වෙමින් මරණය වැළඳ ගත් මේ අසාමාන්‍ය තරුණයා කුඩා වියේදී පටන් දැනුම ලබා ගැනීම කෙරෙහි අසීමිත ලෙස ආදරය කළ අතර දැනුම ලැබීමෙන් පැවැති විශ්වාසයන් මෙන්ම පැරැණි සම්මතයන් ප්‍රශ්න කරමින් නව විශ්වාස සහ නව දර්ශනයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ අයෙකි. අවාසනාවකට ඔහුගේ දර්ශනය ගොඩනගා ගැනීමට තරම් ජීවිත කාලයක් ඔහුට නොවීය .

මරණය තෙක් තම විශ්වාස සමග ජීවත් වු ඔහු අවසානයේ තම විශ්වාස සමඟම මරණයට ඉඩ දුන්නේය. බ්‍රිතාන්‍ය පාලනය විසින් මරණයට පත් කරන ලද අවස්ථාවේ ඔහු දැක්වු නිර්භීතභාවයත් සැහැල්ලුවත් මරණ දඬුවම් වෙනස් කර ගැනීම වෙනුවෙන් එකදු ඉල්ලීමක් නොකීරීමෙනුත් ඔහුගේ දැඩි ස්ථාවරය පැහැදිලි වේ. . විශ්වාස සහ ආගම මිනිසුන්ට සිදු කරන හානිය පිලිබඳව ඔහු අදහස් දැක්වු අතර ඉන්දියාවේ සන්නද්ධ අරගලයකින් දිනාගතයුතු සමාජවාදී නිදහසක් පිලිබඳව ඔහු විශ්වාස කළේය.

මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී සටන් ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කළ ඔහු 1919 දී ඉන්දියාවේ ජාලියන් වහබ් වල සිදුවු අහිංසක ඉන්දියානුවන් 1500 කට වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය පාලනය විසින් ඝාතනය රනු ලැබීම පිළිබද සිද්ධියේදී අවුරුදු 19ක ගැටවරයෙකු ලෙස ඉන්දියානු නිදහස් අරගලයට සන්නද්ධ අරගලයක අවශ්‍යතාවය පෙන්වා දුනි. ඒ බ්‍රිතාන්‍යයන්ගේ කෘර පාලනය ප්‍රශ්න කිරීම කෘර ලෙස සිදු කළ යුතු බව පවසමිනි. නිදහස පිළිබඳ මතවාදයන්ගෙන් පෝෂණය වු ඉන්දියානු නිදහස් අරගලයේ දී, පසු කාලීනව ඉන්දියාවට නිදහස දීමට ගාන්ධිගේ අවිහිංසා වාදි මතවාදී අරගලය හේතුවක් ලෙස විස්තර කළ ද ඉන්දියාව තුළ වුවද බ්‍රිතාන්‍යයන්ට හිසරදයක් වු සමාජවාදි ඉන්දියාවක් පිළිබඳ අදහස නිර්මාණය කරන ලද්දේ භගත් සිං වැනි තරුණයින් විසිනි. මෙය ගාන්ධිගේ අවිහිංසාව ජයග්‍රහණය කරවීමට එක හේතුවක් විය.

මක් නිසාද යත් බ්‍රිතාන්‍යයන් වඩාත් කැමකි වුයේ තමන්ට හානියක් නොවන පිරිසක් අතට බලය හුවමාරු කිරීමටයි .ගාන්ධිගෙන් පසු දේශීය ධනපතියන් අතින් දූෂණයට ලක් වන්නේ නිදහස් ඉන්දියාවේ ආර්ථික නිදහසයි. වර්තමාන ඉන්දියාවේ ධනය බෙදී යාමේ විෂමතාවය හා විශාල පැල්පත් නගර බිහිවීම ඉන්දියාවේ නිදහසේ මාවත ප්‍රශ්න කරමින් තිබේ. මෙම තත්ත්වය භගත් සිං තම කෙටි ජීවිත කාලයකදී මතු කරනු ලැබු ගැටලුවකි.

1857 දී ඉන්දියාව තුළ බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ ස්වදේශිය සොල්දාදුවන් වු සිපොයි භටයන් විසින් ඇති කළ සිපොයි කැරැල්ල ඉන්දියානු නිදහස් අරගලයේ පළමු වෙඩි මුරය ලෙස සැලකිය හැකි අතර එතැන් සිට තම රට නිදහස් කර ගැනීම වෙනුවෙන් සෑම ඉන්දියානුවෙකුම සිහින දකින්නට වූහ. එහි ප්‍රතිඑලයක් ලෙස මතවාදී අරගල අවිහිංසාවාදී අරගල මෙන්ම සන්නදධ අරගලද ඉන්දියාව භුමිය තුළ උපත ලැබීය.

උපන් භූම්යට ආදරය කළ යුතුය යන සටන් පාඨය අනුව ගාන්ධි ඇති කළ දේශප්‍රේමි ව්‍යාපාරය තුළ කුඩා දරුවකුව සිටි භගත් සිං ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. වයස් 13 වන විට ඔහු දේශපාලන ව්‍යාපාරයන් තුළ කතාබහට ලක්වන චරිතයක් බවට පත් වන්නේ තම මාතෘ භූමියට නිදහස ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ අරගලයේ දී ඔහු කරන ලද කැප කිරීම නිසාවෙනි . සිපොයි කැරැල්ලේ ගිනි පුපුරු නැවතත් දැල් වු අයෙකු ලෙස භගත් සිං හඳුන්වන්නේ මේ නිසාවෙනි .

ඉගෙනීම සඳහා අති දක්ෂයෙකු ලෙස සැලකෙන භගත් සිං1923 ද් ලාහොරයේ ජාතික විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබමින් එහි සුවිශේෂි දක්ෂතා පෙන්වීය. මිත්තනිය විසින් සූදානම් කළ විවාහය තුළ තම පෙම්වතිය සමඟ විවාහ විම ප්‍රක්ෂේප කරනු ලැබුයේ ‘මගේ ජීවිතය ගෞරවණීය අරමුණක්‌ වෙනුවෙන් කැප කර තිබේ. එනම් මව්බිමේ නිදහසයි.

එයින් පරිබාහිරව මා පොළඹවා ගත හැකි වෙනත් අභිප්‍රායක්‌ මේ මිහිපිට නොමැත්තේය. මා සූදානම් වන්නේ එම අභිමතාර්ථය සාක්‌ෂාත් කිරීමටය. ඔබ මා වෙත සමාව දෙනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ අනුව මගේ පෞද්ගලික සන්තෘෂ්ටිය පසෙකලා රට වෙනුවෙන් කැප වීමට පිටත්ව යමි.

තම පෙම්වතිය සමග විවාහ වී ඇය වැන්දඹුවක් කළ නොහැකිය යනුවෙන් පවසා පියාට ලිපියක් ලියා තබා නිවසින් පැන යන බගත් සිං පූර්ණ කාලීනව දේශපාලන කටයුතු වලට යොමුවේ. නිරන්තරයෙන් පොත් පත් අසුරු කිරීම ඔහුගේ දින චරියාවේ අනිවාර්ය අංගයක් විය. ඔහු මරණ දඬුවම් සඳහා රැගෙන යාමට බන්ධනාගාර නිළධාරීන් ඔහුගේ කුටියට යන විටත් ඔහු පොතක් කියමින් සිටි බව සඳහන් වේ. ඔහු විසින් වර්ධනය කරන ලද චින්තනය තුළ ප්‍රබල ලෙස ඉස්මතු කරන කාරණයක් වන්නේ අදේවවාදයයි.

සම්මතයන් සහ දෙවියන් මිනිසුන්ට කර ඇති හානිය ඔහු තම ලිපි තුළින් විස්තර කර ඇත. පහත දැක්වෙන්නේ මා අදේවවාදියෙක් වන්නේ ඇයි යනුවෙන් ඔහු විසින් ලියන ලද ලිපියක කොටසකි.

‘ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක්කළ යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක් න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ.

ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි.

1931 මාර්තු 24 දිනට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීන්දුව ලබා දී තිබියදී මාර්තු 23 දින ඉතා රහසිඅගතව මරණ දඬුවම සඳහා පෝරකය කරා මේ අසහාය වීරයා රැගෙන යන්නේ ඔහුට බ්‍රිතාන්‍ය රජය කොතරම් බියක් දැක්වුවාද යන්න පැහැදිලි කරමිනි. පෝරකය කරා යන විටත් විප්ලවයට සුබ පතමින් ඉතා සතුටින් මරණය කරා ගිය බව සදහන් වේ.

ඔහු පරමාදර්ශ කර දුන් දේ මත නව පරම්පරාවන් බිහි වන අතර පැරණී දේ වහල් කොට ගනිමින් නව ඉන්දියාවක් නිර්මාණය වෙමින් පවතී. ඒ තුළ ඉන්දියානු දේශප්‍රේමිත්වය බැබලෙමින් ඇත.

සැබවින්ම වසර 24ක කෙටි ජීවිත කාලය තුළ ඔහු පෙන්වා දුන්නේ උපන් භුමිය කෙරෙහි ඇති අසීමිත ආදරයත් උපන් භූමිය වෙනුවෙන් මිනිසෙකුට කළ හැකි උපරිමය වු ජීවිතය පුජාකිරීමත් ඉතා සතුටින් කළ හැකි බවයි. 

 

Comments