මිනිස් කට­හඬ සංගීත භාණ්ඩ­යක් | Page 2 | සිළුමිණ

මිනිස් කට­හඬ සංගීත භාණ්ඩ­යක්

1980 දශකයේ මුල් යුගයේ දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් බටහිර සම්භාව්‍යය සංගීතයත්, පෙරදිය සංගීතයත් පර්යේෂණාත්මකව හදාරා ටෝන් පොයම් (Tone Poem) සංගීත ශෝනර (Genre) හඳුන්වා දෙන ලදී. මේ පොළොවේ මිනිසාගේ ජීවිත කතාවේ හදගැස්ම මුළු මහත් විශ්වයේම මිනිසාගේ හදගැස්ම බවට පත් කරන්නේ, සංගීතඥයෙකුගේ සැබෑ ආත්ම ප්‍රකාශනයේත්, සැබෑ මිනිසෙකුගේ හිතේ උපන් මානව ප්‍රේමයේත් රිද්මයේ එක්තැන් වීමෙනි.

ලම් ලම් ලා ලා ලා ලා ලා

ජීවය හතිලන පොළොවේ හුස්මයි...

කාලය එම සුව‍‍දේ හිස් සුසුමයි

සොඳුරු බවේ....ලේ කඳුළක් නොම සලනා.

සොඳුරු බවේ....රැස් කිරණක් නොම දැනෙනා.

පිනට උපන් මිනිසුන් සිටිනා රට නියම කලට වසිනා....වැහි කුමකට?

කුමකට? කුමකට? වැහි කුමක ට?

පද රචනය - ආචාර්ය ධර්මසේන පතිරාජ

ටෝන් පොයම් නිර්මාණය පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කටහඬ මෙසේ අවදි විය. තාත්තා හැම මොහොතකම වෙනස් දේවල් තුළින් අලුත් දේවල් හඳුන්වලා දෙන්න උස්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1980 දශකයේ දී ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) නිර්මාණය කරන්නේ. මෙහි දී කිසිදු සංගීත භාණ්ඩයක් භාවිත කරන්නෙ නැතිව කටහඬ විතරක් යොදාගෙන, පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසින් කිසියම් අදහස් ප්‍රකාශනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙනයනවා. මෙය රචනා කරලා තියෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්. ටෝන් පොයම් ( Tone Poem ) මුල්ම ගායනයේ දී අමරසිරි පිරීස්, අයිවෝ ඩෙනිස්, ලෙස්ලි ප්‍රනාන්දු වැනි පිරිසක් එය ගායනා කරලා තියෙනවා. ආරම්භයේ දී මාලනී බුලත් සිංහල ගායනයෙන් එක් වූ බවක් අසා තිබුණ ද පසුව කිසිම වෙලාවක ස්ත්‍රී හඬක් යොදා ගෙන නැහැ.

මෙහි දී වැදගත් වෙනවා. ඇකපෙලා (acapella) කියන්නේ කුමක් ද? ටෝන් පොයම් (Tone Poem) කියන්නේ කුමක් ද? යන්න පිළිබඳ තේරුම් ගැනීම. බටහිර සංගීතයේ දී මේ සංගීත ශෛලීන් දෙක අතර පැහැදිලි වෙනසක් පවතිනවා.

15-16 වැනි ශතවර්ෂවල ක්‍රිස්තියානි පල්ලියේ ගීතිකා විශේෂයක් වුණු මැ’ඩ්රිගල් (Madrigal) ගායනා විශේෂය හරහා ඇකපෙලා(acapella) යන ගායන ශෛලිය ගොඩනැගෙනවා. කැන්ටාටාවේ මූලයන් මෙම ඇකපෙලා (acapella) යන ගායනයන් තුළ අන්තර්ගත වනවා. කැන්ටාටා නිර්මාණය වෙන්නේ මුලින් කට හඬ විතරක් ඇවිත් පසුව සංගීතයත් එයට එකතු වෙලා. කටහඬට, සංගීතය සහා නාට්‍ය තුළින් ගොඩනැගෙන භාව ප්‍රකාශනයන් එකතු වෙලා ඔපෙරා (Opera) හැදෙනවා. ඇකපෙලා (acapella) කියන්නේ කිසිදු සංගීත භාණ්ඩයක් නැතිව කටහඬ විතරක් පාවිච්චි කරලා කියන කතාවක්.

ටෝන් පොයම් (Tone Poem) එකක එන්නේ සංගීතයෙන් කියන කතාවක්. ඒ නිසාම එය සන්ධ්වනි කාව්‍යය (Symphonic Poem) යන නමින් ද හඳුන්වනවා.(Tchaikovsky-Fatum-Symphonic Poem,Op.77). 19 වෙනි ශතවර්ෂයේ රොමැන්ටික් යුගයේ දී (Romantic period) ටෝන් පොයම් ආරම්භ වෙනවා. සන්ධ්වනි ලියවෙන්නේ සන්ධ්වනි ඉතිහාසයේ පැවති නීතී රීතී මත පදනම් වෙලා. අලුත් දෙයක් කිරීමේ සැබෑ උවමනාවෙන් සංගීතඥයින් සන්ධ්වනියේ පැවති නීතී රීතී කඩාගෙන ඉන් එළියට විත්, ටෝන් පොයම්( Tone Poem ) යන සංගීත ශානරය බිහි කරනවා. (Franz Liszt- Mazeppa-Symphonic poem) සන්ධ්වනියක කතාවක් කියවෙන්න ඕන් නෑ. ඒත් ටෝන් පොයම් එකක අනිවාර්යෙන්ම සංගීතය තුළින් කියවෙන කතාවක් තියෙනවා. බොහෝ දුරට ප්‍රේක්ෂාගාරය තුළ දී ලියවුණු කතාව ප්‍රේක්ෂකයා අතට ලැබෙනවා. ප්‍රේක්ෂකයා ටෝන් පොයම් (Tone Poem ) රසවිඳින්නේ එහි කියවෙන කතාවට අදාළ සාහිත්‍යයමය ලියවිල්ල අතේ තියාගෙන. ටෝන් පොයම් රසවිඳිමේ දී ප්‍රේක්ෂකයාට එය පහසුවක් වෙනවා. එහි කටහඬ භාවිතය තියෙන්න ඕන නෑ. ටෝන් පොයම් (Tone Poem) නිර්මාණයක වාද්‍යය භාණ්ඩවලින් කියවෙන සංගීතයක් තියෙන්න අවශ්‍යයයි.

තාත්තා මෙම සංගීත භාවිතය සඳහා ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) කියන අදහස භාවිත කළා. තාත්තට අවශ්‍ය වුණේ, ‘කටහඬ සංගීත භාණ්ඩයක් කරගෙන ඒ ඔස්සේ කතාවක් කියන එක’. කිසිම සංගීත භාණ්ඩයක් භාවිත නොකර කටහඬ තුළින් පමණක් යම් භාව ප්‍රකාශනයක් සිදු කිරීමක් මෙහි දී සිදු වෙනවා.

ලම් ලම් ලා ලා ලා ලා

එක අකුරක් ඇතුලේ කටහඬ අඩු වැඩි වෙනවා. ඒ හඬ සියුම් ලෙස විවිධ තලවලට ගමන් කරනවා. ඉන්පසුව ඒ සියල්ල බිඳිමින් විවිධ කටහඬ තලයන් (Voice Parts) ඔස්සේ එක් හඬක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ හ‍ඬ වෙනම තැනක තියෙන්නේ. මෙතන දී අපිට වාදන වෘන්දයක් අවශ්‍යය නෑ. සංගීත නිර්මාණයක් ආරම්භයේ දී වාදන වෘන්දයෙන් සිදු කෙරෙන දේම තාත්තා කටහඬවලින් අරගෙන තියෙනවා.

මෙහි දී ප්‍රධාන වෙන්නෙම කටහඬ පුහුණුව. කටහඬ මගින් විවිධ තලයන්ට යන්න හඬ පුහුණුවීම වැදගත්. සංගීත භාණ්ඩයක් පුරුදු වෙනවා වගේම මෙතන දී සිය දහස් වතාවක් කටහඬ පුරුදු වීම ඉතා වැදගත්. ඇකපෙලා (acapella) නිර්මාණයක කිසිම සංගීත භාණ්ඩයකින් ශ්‍රැතිය (Pitch) දීමක් සිදු කරන් නෑ. සමහර අවස්ථාවල දී ආරම්භයක් ලෙස පමණක් ලබා දෙනවා. කටහඬවල් ඇතුලෙ දී හැමෝම තමන් තනි තනියෙන් තමන්ගේ ස්ථානය හොයා ගත යුතු වෙනවා. එකිනෙකා වෙනස් වෙනස් ස්වරයන් මත පිහිටිය යුතු වෙනවා. එහි පවතින සුවිශේෂිත්වය වෙන්නේ, අපේ ළඟ සිටිනා අනෙකාගේ කටහඬ ඇහෙන නෑසෙන තැනක සිට තමන්ගේ කටහඬ බාධාවකින් තොරව අනෙකා සමග සම්බන්ධ කිරීමයි. ඉතාමත් වැදගත් දේ අනෙකා කියන්නේ මොකක් ද කියන දේ ඇතුළේ දීඅපි ඒ හඬට ඇහුන්කන් දීලා අපේ හඬ හොයාගෙන වෙනම තැනකින් පටන් ගන්න එක.

1980 දශකයේ මුල් යුගයේ දී ටෝන් පොයම් මුල්ම ගායනයේ ඉහළ තලයේ කටහඬ පරාසයන් තුළ, සිය ගායනය මෙහෙයවූ ලෙස්ලි ප්‍රනාන්දු ගායන ශිල්පියා සිය මතකය අවදි කරමින් මෙසේ පැවසීය,

“මාස්ටර් ළඟට ආවට පස්සේ තමයි කටහඬ දියුණු වුණේ. ඔහු තමයි මේ පොළොවේ සංගීතයට ඒ හඬ භාවිතයන් හඳුන්වලා දෙන්න මුල් වෙන්නේ. සංගීත භාණ්ඩයක් නැතුව ගායනා කරනවා කියන දේ ලොකු අත්දැකීමක් වුණා. අපි තුන් දෙනෙක් ස්වර රටාවන් තුනකින් පැති තුනකින් ගායනා කරනවා. ඒ තුළින් කියවෙන්නේ ‘පොළොවත් එක්ක, ස්වභාව සෞන්දර්යත් එක්ක ගැටෙන මිනිසා සුවඳයි’ කියන අදහස. මෙම නිර්මාණය පෙන්නපු හැම අවස්ථාවකම ප්‍රේක්ෂකයින් හුඟක් ප්‍රශංසා කළා. මේ ගීතයේ ගායනා කෙරෙහිත්, වචන භාවිතටත්, ගායනා විලාසයත්, මාස්ටර්ගේ ප්‍රතිරූපයත් හැමෝම වර්ණනා කළා. ඇත්තටම ඒ වගේ ගීතයක් මේ වන විටත්, කිසිම කෙනෙක් නිර්මාණය කරලත් නෑ. ගායනා කරලත් නෑ. බය නැතුව කියන්න පුළුවන්”.

ටෝන් පොයම් (වර්ණ කාව්‍යය) එකෙන් කියවෙන දේ සමකාලීනයි. එහි එන වචනවල අදහස විශ්වීයයි.

ල ල ලා ල ල ලා

එක් කටහඬක් ගැඹුරු තලයක පවතින අතරේ අනෙක් කටහඬවල භාව ප්‍රකාශනයන් (Voice expression ) එන්න එන්නම වෙනස් වෙනවා. එක තප්පරයක් ඇතුළත දී කටහඬ කියන වාදන භාණ්ඩය විවිධ හඬ තලයන් ඔස්සේ වෙනස් වෙනවා.

ජීවය හතිලන පොළොවේ හුස්මයි...

මෙහි වස්තු විෂය මානව සංහතියටම පොදු වූවකි. එහි යොදා ඇති වචන භාවිතය, එය ගායනා කරන විලාසය තුළ අපූර්වත්වයක් පවතිනවා. “ජීවය හතිලන පොළොවේ හුස්මයි”මෙහි අදහසේ පවතින ප්‍රබලත්වය මත ඉතාමත් කුරිරු හැඟීමක් දැනවෙන තැනකින් කටහඬ භාවිත කරන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍යය නැහැ වචන තුළ පවතින ගැඹුරු අර්ථය තාත්තා කටහඬ තුළින් ඉතා සියුම්ව එළියට අර ගන්නවා. ඒ කටහඬ භාවිතයන් තුළ පවතින සියුම් බවින් අපිව වචනාර්ථයේ ගැඹුරු පරාසයන්‍ වෙත නිරායාසයෙන් අරන් යනවා.

ලම්.. ලම්... ලා... ලා... ලා... ලා...

ඕනෑම සංගීත නිර්මාණයක් ආරම්භ වෙන්නේ සංගීතමය ප්‍රවේශයකින්. මෙහි දී එම සංගීතමය ප්‍රවේශය ලබා ගන්නේ ‘ලම්’ කියන ශබ්දය ඇතුලේ කටහඬවල් තුළින් ගොඩනැගෙන සංගීතයෙන්. එම ශබ්දයන්ගේ සංගීතය තුළින් තමයි වර්ණ කාව්‍යය කියන අදහස ටෝන් පොයම් සඳහා එන්නේ. ඒ තුළ කෙතරම් දුරට අපි කටහඬ සංගීත භාණ්ඩයක් විදිහට පාවිච්චි වෙනව ද?කොහොම ද පාවිච්චි වෙන්නේ කොච්චර ප්‍රමාණයකට කටහඬ අඩු වැඩි වෙනව ද? කෙතරම් සියුම් වනවා ද? කියන පරාසයන්ගේ උපරිම භාවිතයක් ටෝන් පොයම් සංගීතමය භාවිතය සඳහා යොදා ගන්නවා.

කාලය එම සුව‍‍‍දේ හිස් සුසුමයි.

සාමාන්‍යයෙන් ගලපන් නැති අදහස් දෙකක් එක තැන ගලපලා, තුන්වෙනි අර්ථයක් මතු කරනවා. සංගීතඥයා වචනාර්ථය තුළ ව්‍යාංගයාර්ථය ඉස්මතු වෙන ලෙස කටහඬ තුළින් සංගීතය සංරචනා කරනවා.

සොඳුරු බවේ....ලේ කඳුළක් නොම සලනා.

මෙහි දී ‘සොඳුරු බවේ’ යන වචනයන් ශබ්දයෙන් වැඩිවෙලා ‘ලේ කඳුළක්’ යන්න හිතන්නෙවත් නැති සියයුම් තැනකට ගේනවා. ‘නොම සලනා’ යන වචනයන් තුළ ඉමහත් සංයමයකින් කටහඬ පාලනය වෙනවා.

නො / ම / ස / ල / නා

හැම අකුරක් තුළදීම කට හඬ පාලනය වෙනවා. කටහඬ තුළින් හික්මීමක් හැම අකුරකටම දෙනවා. ඒ හික්මීම එන්නෙ තාත්තා කරපු පුහුණුවීමත් එක්ක. වචනෙක එක අකුරකට ‘හැඟීමක්’ කටහඬ රිද්ම පරාසයන් ඔස්සේ දැනෙන්න දෙනවා. ඒ නිසාම අකුරු හුස්ම ගන්නවා, මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා.

(Tone poem Gayathri khemadasa -You Tube - HADUNAGATHOTH OBA MA )

(ඉදිරි කලාපය හා සම්බන්ධයි.) 

 

Comments