හේ...හේ... ගෲෂා නුඹ සිටියා නම් අද බ්‍රෙෂ්ට හොරෙන් නුඹත් හඬනු ඇත... | Page 2 | සිළුමිණ

හේ...හේ... ගෲෂා නුඹ සිටියා නම් අද බ්‍රෙෂ්ට හොරෙන් නුඹත් හඬනු ඇත...

 (2017 ජූලි 23 වන දින යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කාවාසගම් ඉලන්චේලියන් මහතා නල්ලූර් ප්‍රදේශයේ දී සිය නිල රථයේ ගමන් කරමින් සිටිය දී සිදු වූ වෙඩි තැබීමකින් ඔහුගේ ආරක්ෂකයෙකු වූ උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතා මිය යයි. මෙම සිද්ධියෙන් පසු විනිසුරුවරයා උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ඉදිරියේ හඬාවැළපෙමින් කම්පාවී, උප පොලිස් පරීක්ෂකවරයාගේ දරුවන් දෙදෙනා සිය දරුවන් සේ දිවි ඇති තුරු රුකබලා ගැනීමට ප්‍රතිඥා දෙයි.)

 

මව් ගුණය දිණූ දයාබර ගෲෂා,

බලනු මැන,

නුඹේ කාලයේ විනිසුරුවන්,

හුණු වටයක් ඇඳ, තබා මයිකල් කුමරු ඒ මත, අණ කර සිටියා දැඩි ලෙස,

දෙපසට අදීන ලෙස කිරි සප්පයෙකුගේ සිඟිති දෑතක්,

නුඹටත්, සෝබන නටාලියාටත් බලකර සිටියා

ඔහු සීරූවෙන් පෙරෝගෙන විනිසුරු ලෝගුව.

හදවතක් නැත්තෙකු ලෙස,

හොරෙකු විනිසුරුවකු වූ ඒ අසිරිමත් මොහොතේ නුඹට දුන් තීන්දුව අපූරූයි...

“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිවිය යුතුයි”.

විශ්ව සාධාරණ වුණා එය හැම පොළොවකම.

හේ... හේ ගෲෂා බලන් මේ පොළොව දෙස,

සුඳු ඇතුන් කළු වෙන.

සුඳු වෑන් මතු වෙන.

මිනිසුන් හිටිගමන් අතුරුදහන් වෙන

මේ අපුරූ රඟමඬලේ

නිල දරන්නන්, බල දරන්නන්,වගකිව යුත්තන් හොරුන් බවට පත්වෙන,

යහපත් බවේ සාපය වැදී තිබූ මේ පොළොව ආලෝකයෙන් පුරවපු මිනිසත් බවේ සුවඳ

ගෲෂා

අපේ කාලයේ විනිසුරුවන් දෙස, බලනු මැන, දෑස් හැර

විනිසුරෙකුගේ- උසස් මිනිසත්ගුණය

පිරිමි හිතක- උතුම් මව්ගුණය

එකම විට මුණගැහුණු ඒ ආලෝකයේ මොහොත..

ගෲෂා නුඹට පුළුවනිද?

එය දැක නොහැඬු නිවසකින් ගෙන එන්න එක අබ ඇටයක්,

මිනිසුන් සිටි නම් ජීවත්ව මේ මිහිපිට.

සක් සුදක්සේ දනිමි මම,

ඔහු දැක නොවැළපුණු මිනිසෙක්,

මිනිස් හදවතක් සමඟ නම් නුඹට හමු නොවනු ඇත.

ගෲෂා දැක්කා ද නුඹ,

ගැහැණියක ඉදිරිපිට ඉදිරී වැටුණ රූස්ස පිරිමි බව

මිනිස් ගුණයෙන් දියවී හැලුණ කඳුළු බිඳුවල තරම

ගෲෂා,අමතක කරන්න එපා

ඒ කඳුළු බිඳු නිකන් හැලුණා නොවෙයි

එයට ඉතිහාසයකුත් තිබුණා ඇඟ හිරිවැටෙන.

හේ ...හේ අසඩක් නුඹත් ඔට්ටු නෑ දැන් මේ බිමට...

බුදුන්,ජේසුන්,නබිනායක තුමන් ඉපඳුණා ශීව දෙවියන්ද සමඟ

එකම විට,

එකම තැන,

එකම මිනිස් හිතක,

දනෝ සතර දෙස වඳිනවා තවම

සාධු...සාධු... සාධු...සාධු...

අපුරූයි... අපුරූයි

මේ මහා පොළොව මත

අපේ කාලයේ විනිසුරුවනි...

පියෙකි නුඹ මව්ගුණ දිනූ.

සොයුරෙකි නුඹ යහගුණ දිනූ.

පුරුෂයෙකි නුඹ නිල තල දිනූ.

මිනිසෙක් නුඹ මිනිසත්බව දිනූ.

වෙන කිසිවක් නොවෙයි

මේ මිහිපිට,

“මිනිසත් බවේ ආලෝකයයි එය.”

 

Comments