කට හඬ­කට පුළු­වන්, යළි යළිත් ඉපදෙන්න... | Page 2 | සිළුමිණ

කට හඬ­කට පුළු­වන්, යළි යළිත් ඉපදෙන්න...

2016 අගෝස්තු මස 25 වන දින නෙළුම් පොකුණ රංග ශාලාවේ දී ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ශිල්පීන් සමග ගය­ත්‍රී කේම­දා­ස­යන්  පිරි­නි­වන් මංග­ල්‍යය කැන්ටා­ටාව මෙහෙ­යවූ අව­ස්ථාව.

“පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව” යන මැයෙන් මෙහි මුල් කොටස ඉකුත් සතියේ දී පළ විණි.

හෙළයේ මහා ගාන්ධර්වයන් වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1990 දශකයේ මුල් භායයේදී නිර්මාණය කළ ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වන පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව, ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට දී 2007 වෙසක් පෝය දිනයේ දී ගායනා කරන ලදී. ඉන් අනතුරුව 2008 ඔක්තෝම්බර් මස 27 වන දින කේමදාස පදනමේ ශිෂ්‍යය, ශිෂ්‍යාවන් එතුමන්ගේ අවමඟුල් උස්සවයේ දී ගායනා කර ඇත. ඉන් වසර අටකට පසුව, 2016 අගෝස්තු මස 25 වන දින ගයත්‍රී කේමදාසයන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීන් සමග යළි මේ පොළොව මත පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව ප්‍රතිනිර්මාණය සිදු කරයි.

පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කට හඬ මෙසේ අවදි විය.“තාත්තා හැමදාමත් සංගීතය නිර්මාණය කිරීමේ දී කියූ දෙයක් තමයි, “කිසියම් නිර්මාණයක, සංගීතඥයා ඉන්නේ, ඛේදවාචකයත් සමග මිය යන තැනක නෙමෙයි, විඥානයත් සමග ඉපදෙන තැනක” කියන දෙය. තාත්තා මෙම අදහස පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව තුළින් ඉස්මතු කරලා තියෙනවා. එහි දී සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු බුදුන් වහන්සේගේ දර්ශනය ඉදිරියට ගෙනයන්න අවශ්‍යයම කරන තැනක සංගීතඥයා ඉන්නවා. ඒ නිසාම මේ මොහොතේදීත් මානව සංහතියක විඥානයට ආමන්ත්‍රණය කරන්න ඒ තුළින් හැකි වෙලා තියෙනවා.

සිංහල නම් බෙර ගහන්න ඕනි, බටහිර නම් වයලීන් ගහන්න ඕනි කියන කිසිදු හිරවීමක තාත්තා හිටියෙ නෑ. තාත්තා සංගීතය තුළින් කියන්නේ අපේ කතාවක්. අපේ කියූ පළියට මැටිවලින් හදපු ගෙයක් නෙමෙයි .අපේ ජන ගී භාවිත කරලා, අපේ සංගීත භාණ්ඩ භාවිත කරලා, අපේ ජන සංගීතය ඇතුලේ එච්චර ඇහෙන්නෙ නැති සංගීත නාද රටා භාවිත කරලා, ඒ තුළින් තාත්තා අපි දන්න කතාවක් කියනවා. අපේ ජන සංගීතය ආකෘතින් තුළ කොටු වීමත් පවතිනවා. ජන සංගීතය තුළදී අපි ගැමි ගීයක් ගායනා කරනවා නම් ගැමි ගීයේ ගායනයට අදාළව එහි පවතින නාද රටාවලට, තාලයට ගීතය ගයනවා විතරයි. බෙරේ ගහානවා නම් බෙරේ විතරමයි. තාත්තා ජන සංගීතයේ පවතින සම්ප්‍රදායික ආකෘතියෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. තාත්තා පර්යේෂණාත්මකව සංගීතය වෙනස් වෙනස් තල ඔස්සේ සොයා යන්න පටන් ගත්තා. ඒ ‍සොයා යාම්වල ප්‍රතිඵලයක් විදිහට තමයි පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව නිර්මාණය වෙන්නේ.

බුදුන් වහන්සේගේ උත්තරීතර වූ ශ්‍රේෂ්ඨත්වය, සංගීතය සහා විවිධ හඬතල තුළින් ගොඩනගන රිද්මය ඔස්සේ මහත් වූ සංයමයකින් සහ ඉමහත් හික්මීමකින් යුතුව පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාවේ ගලායාම සිදුවෙනවා. සම්බුද්ධ පරිනිර්වානය සිදුවෙන අවස්ථාවේදී සංඝයා වහන්සේලාගේ හැසිරීම, මල්ල රජුන්ගේ පැමිණීම, සෑය දැවීමට ගන්නා උස්සාහය, මේ සෑම අවස්ථාවක් සඳහාම නිර්මාණය කර ඇති සංගීතය තුළ සජීවීබවක් පවතිනවා. ඒ තුළින් අවස්ථාවෙන්, අවස්ථාවට රසික සිත් තුළ චිත්තරූප මැවීමට සමත් වෙනවා.

සතියකි අවුලා සෑය නිවෙන්නේ

අරුමය රහතුන් ගෙන් දැන ගන්නේ

ගුණ නැණ යුත් කසුයුප් තෙරිඳුන්නේ

අදිටන් බලයෙන් වේදැයි වන්නේ

 

කසුයුප් තෙරිඳුන් කොතැන කියන්නේ

සමවත් ගෙවමින් ලෙනක සිටින්නේ

මෙපවත් දැන පිරිනිවන බුදුන්නේ

එනතුරු සෑයේ ගිණි නොවදින්නේ

 

සිප්පළි ගුහා උන්

කසුයුප් තෙරිඳු විළසින්

සමවත් නැගි පෙමින්

කොයිද අප මුණි බලා දිවැසින්

 

පිරිනිවන් පාලා

රන් දෙණ තුළ දිලීලා

බුදුන් බඳ පෙනිලා

බලා දිවැසින් යන්ට සිතිලා

 

කුසිනාරා පුර මල්ල රජුන්ගේ

වෙසෙනා සැට දහසින් සුදනන්ගේ

සෙවණා සංයම සල් සුවඳින්නේ

දැනුණා මෙන් පිරිනිවන බුදුන්නේ

 

සුරපති සෑ හිස මල් වැසි වස්නේ

නොදනිති ඒ දන මල් අහුලන්නේ

පරසතු මල් ලොව කොතැන තිබෙන්නේ

ගෞතම අප මුණි සොහොනින් වන්නේ

 

නොරහත් තෙර හඬලා වැටෙමින්නේ

සිරිමත් මුණි අප කෙ‍ළෙස දකින්නේ

දුසිරිත් පැවිදා මෙලෙස කියන්නේ

එ මහත් මැරුණා අපි ජයගන්නේ

 

නායක කවුරුත් අපට ඉතින්නේ

දායක දන් පෙළ නැත වරදින්නේ

ඒ සැකයෙන්මද පෙර අප උන්නේ

ඒ දැක මන්දැයි දොම්නස් වන්නේ

“ඒ දැක මං දැයි දොම්නස් වන්නේ”... යනුවෙන් එම අවස්ථාවේ එකිනෙකාගේ සිතේ පවතින මනෝභාවයන්ගේ ස්වභාවය විවිධ හඬ තල තුළින් විටින් විට දෙබසක් ලෙසින් ප්‍රකාශ කරයි. එහි දී මිනිස් සිතේ පවතින ස්වභාවයත්, මිනිස් හැසිරීමවල ස්වභාවයත්, අවස්ථාවෙන් අවස්ථාවට, සිද්ධියෙන් සිද්ධියට, පුද්ගලයාගෙන් පුද්ගලයාට නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවය හඬ තල සහ සංගීතය තුළින් මැනවින් නිරූපණය වෙනවා.

 

එ බසට සිතිමින් කසුයුප් තෙරිඳු

අද සිට නැතිවෙයි සාසන මුණිඳු

මිසදිටුවන් වේ නම් මතු මෙබඳු

දහමට සංගායන වෙයි විසඳු

 

ගින්දර දැයි නෙවදින්නේ නොකියා

රන් දෙණ දම් මුණි ඉන්නේ නොකියා

මන්ද නිවන් පුර වැඩියේ නොකියා

ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා.

දිගු කොට සිරිපා තෙරිඳු දිසාවට

මුනිඳුට වැන්දේ නළල තබා හිස

අද සිට බුදු දැක්මක් නැත මෙලොවට

සඳ සිව් ගාථාවෙන් අදිටන් කොට

 

මුණි සිරිපා රන් දෙණට වඩින්නේ

තනියම සෑයේ ගිණි ඇවිලෙන්නේ

මුණි සිරි ධාතුව සිව් වගකියන්නේ

ගිණි සිළ නිවමින් එ මැද දිලෙන්නේ

 

බුදුන් පිරිනිව් අසා සත් රජ වරුන් දඹදිව රජයනා

යොදුන් ගණනින් දිගින් සිවුරඟ සියල් සේනා සමගිනා

බුදුන් ධාතුව බෙදා සම ලෙස පුදන්නට අප සැම දනා

බුදුන් වෙන බැණ අඬා ගැසුමන් ද්‍රෝණ බමුණා සනසනා

 

සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව වේදනාවටත්, දුකටත් පත් වෙන අවස්ථාවක පිරිත් හඬ ඇහෙනවා. ඒ තැන ඉතාමත් විශේෂයි. එය සංගීතය තුළින් බුද්ධ දර්ශනය ඉදිරියට ගෙන යන අවස්ථාවක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතිය තුළ දී අදටත් පිරිත් සඡ්ඡායනය සිදුකිරීම තුළින් බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලබා මිනිසා කායික සහා මානසික සැනසීම ලබනවා. මෙම අවස්ථාවේදී එම සංස්කෘතික විඥානය සංගීතය තුළින් ස්පර්ෂ කරනවා. එම සංගීතමය භාවිතය ඉතාමත් සුවිශේෂී වනවා.

කුසිනාරා වේඨ දීප අල්ලකප්ප විසල් නුවර

යසදීරා පාවා පුර රාමාග්‍රය කිඹුල්වතද

ලංකාරා ශ්‍රාවස්තිය නුවර අටම සමගි නොබිඳ

දුනි නෑරා ධාතු සමව ලෝ සතුන්ගෙ සාධු නදින

මේ පොළොවෙ ජීවත් වෙන ඕනෑම මිනිසෙකුට ජන සංස්කෘතිය සමග බද්ධ වුණු, ආත්ම සංයමයක් පවතිනවා. ඒ තුළ ඇති මිනිස්සුන්ගේ ජීවන රිද්මය නිවැරදිව වටහාගෙන ඒ ඔස්සේ පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව නිර්මාණය කරනවා. ඒ නිසාම බටහිර කැන්ටාටාව තුළ ඇසෙන්නෙ නැති අලංකාර, නැලවිලි ඔස්සේ ගොඩනැගෙන දේශීය රිද්මයක් පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව තුළින් අපට ඇහෙනවා. එක සමාජ රටාවක් ඇතුලේ පුද්ගලයාගෙන් පුද්ගලයට අත්විඳින පීඩනය වෙනස්. අන්න ඒ සංකීර්ණත්වය සංගීතය තුළින් අපිට ගේන්න පුළුවන්. වඩා වැදගත්ම දේ තමයි, හැම කෙනාගේම පීඩනය සංගීතයේ කොටසක සංකේතයක් වීම. සංගීතය ඇතුළේ හරිම වැදගත් අපිට පුරුදු එක කටහඬක් හෝ එක සරල දෙයක් එක්ක ගොඩක් දේවල් එකතුවෙලා යන ගමන. අනෙක් අයවත් ඒකට එකතු කරගන්න පුළුවන් වෙන තරමට මිනිස්සුන්ගේ රසාඥතාව ඉහළට යනවා. පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව තුළ ඒ දේ ඉතා හොඳින් සිද්ධ වෙනවා කියන එක තමයි මගේ අදහස.

සම්බුද්ධ පරිනිර්වානයත් සමඟ බුද්ධ දර්ශනය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා. පිරිසක් අවංකවම බුද්ධ දර්ශනය ඉදිරියට ගෙන යන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම අපි දකිනවා එසේ නොවන වංක පිරිසකගේ ක්‍රියා කලාපයත්. මෙහි දී රජතුමාගේ පැමිණීම, මැදිහත් විම ඉතාමත් සුවිශේෂයි. පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව තුළ ගොඩනැගෙන යටි පෙළ තුළ අපේ සමාජ රටාවේම පිළිබිඹුවක් පවතිනවා. පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සාධාරණ දෘෂ්ටියක් මත පිහිටා මේ මොහොතේදීත් සමාජය විෂයේත්, පුද්ගලයා විෂයේත් පවතින සංකීර්ණත්වය මානව සංහතියටම පෙදු වූ සංගීතමය රිද්මයෙන් නිරූපණය කරනවා. ඒ ඔස්සේ පුළුල් අවකාශයන් වෙත යමින් වෙනස් අත්දැකීමක් විදීමට රසිකයාට අවස්ථාව හිමි වෙනවා. සම්බුද්ධ පරිනිර්වානය වස්තු විෂය සේ ගෙන නිර්මාණය කරන පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව බවට පත් වන්නෙත් අන්න ඒ සුවිශේෂිත්වය මත.

පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව පිළිබඳ ගයාත්‍රී කේමදාසයන් මේ වන විට සමාජයත්, ලෝකයත් කියවමින්, සංගීතඥයාගේ ආත්මීය ප්‍රකාශනය වෙනස් මිනිස් කණ්ඩායම් සමඟ හුවමාරු කරගනිමින්, පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව ලෝකයත්, මිනිසාත් වෙත ගෙන යාමට සිය වගකීම නෙපිරිහෙළා ඉටු කරමින් වෙහෙසීම, යුගයේ භාග්‍යයකි. 

Comments