අගෝස්තු 18 රාහු මාරුවේ වැඩිම අමා­රුව කාටද ? | Page 2 | සිළුමිණ

අගෝස්තු 18 රාහු මාරුවේ වැඩිම අමා­රුව කාටද ?

කාල චක්‍රයේ තවත් වැදගත් පිම්මක් සනිටුහන් කරමින් ලබන අගෝස්තු 18 දා පාන්දර 04.48 ට රාහු ග්‍රහයා කටක රාශියට පිවිසෙයි. ඒ මොහොතේ උදා වී තිබෙන්නේ ද කටක ලග්නය වීම විශේෂත්වයකි. ටොලමියානු ජ්‍යොතිෂ මූලධර්ම අනුව රාහු වායූ බලැති ග්‍රහයෙකි. සඳු හිමි කටක රාශිය ජල බලයෙන් යුක්තය. රාහු මුලින් ම එහි ගමන් අරඹන්නේ පඨවි බලැති බුධ හිමි අස්ලිස නැකතේ 4 වැනි පාදයෙනි. මේ සූක්ෂ්මස්ථානය ද ජල බලයට ම නතුවන අතර එහි අධිපතිත්වය ගුරුට සහ නෙප්චූන්ට අයත්වෙයි. මේ අනුව කටක රාශියේ ආරම්භයේදී රාහුට තම ආවේණික ස්වරූපයෙන් ම ක්‍රියාත්මකවීමට එතරම් පිටුබලයක් නො ලැබෙන බැව් පෙන්නුම් කරයි.

ඒ අනුව ඔක්තෝබර් 20 දක්වා උදාසීන ගතියෙන් ගමන් කරන රාහූ එතැන් සිට දෙසැම්බර් 22 දා තෙක් තමාට ඉතා මිතුරු වායු ක්ෂූද්‍ර සූක්ෂ්ම කලාපයේ අධි වේගයෙන් ක්‍රියාකාරී වෙයි.

ඉන් අනතුරුව 2018 පෙබරවාරි 23 දා තෙක් දෘඪ සූක්ෂ්ම ශක්ති කලාපයේ ප්‍රතිවිරෝධතාවන්ට ලක්වෙමින් ගමන අඩාල කැර ගන්නා රාහු වඩාත් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයන් පළකරයි. එහෙත් 2018 පෙබරවාරි 23 සිට අප්‍රේල් 28 දක්වා කාලයේදී රාහු ප්‍රතිපෝෂක ගිනි සූක්ෂ්ම කලාපයේදී අධි ක්‍රියාකාරීත්වයට පත්ව පෙරළිකාරයකු ලෙස කටයුතු කරයි.

ඉන් අනතුරුව 2018 අප්‍රේල් 28 සිට ජූනී 29 දක්වා වායු බලැති සෙනසුරු හිමි පුෂ නැකතේ 4 වැනි පාදයේ ජල සූක්ෂ්ම කලාපයේ මධ්‍යස්ථ එහෙත් විපරීත විනාශකාරී ගමනක යෙදෙන රාහූ එතැන් සිට අගෝස්තු 28 දා තෙක් තමාට මිතුරු වායූ සූක්ෂ්ම කලාපයේ විජයග්‍රාහී ගමනක යෙදෙයි.

එතැන් සිට නොවැම්බර් 01 දා තෙක් නැවත මධ්‍යස්ථ එහෙත් ප්‍රයෝගකාරී ගමනක යෙදෙන රාහූ ඉදිරි විනාශකාරී ක්‍රියාවන් සැලසුම් කරයි. එතැන් සිට 2019 ජනවාරී 04 දා තෙක් තමාට ප්‍රතිපෝෂක ගිනි සූක්ෂ්ම කලාපයේ ගමන් කරන රාහූ අධි වේගය සහ ස්ථිර එහෙත් ක්ෂණික විපර්‍යාසයන්ට දායක වෙයි. එතැන් සිට 2019 මාර්තු 07 දා තෙක් වඩාත් තැන්පත් සහ සැනසිලිදායක ගමනක යෙදෙන රාහූ අනතුරුව මිථුන රාශියට පිවිසෙයි.

2017 අගෝස්තු 18 දා සිට සිදුවන රාහුගේ ගමනේ එක් එක් සන්ධිස්ථාන සාමාන්‍ය පාඨකයන්ට ගෝචර වන ලෙසින් කිවහොත් ඒ මෙසේය.

# 2017 අගෝස්තු 18 සිට 2018 අප්‍රේල් 28 දා තෙක් රාහු ක්‍රියාකරන්නේ සූක්ෂ්ම කපටි කෛරාටිකයකු සහ යටි උගුල් අටවන එදිරිවාදියෙකු ආකාරයෙනි. තමාගේ ගමනට එරෙහිව මග අහුරා සිටින මහා පර්වතයක් මැදින් උමගක් හාරන අයෙකු ලෙස ඔහු සියුම් ප්‍රයෝගයන් ක්‍රියාවට නංවයි.

මේ සමස්ත කාලයේදී රාහු අවස්ථා හෙවත් චරිත හතරකට පිවිසෙයි. පිළිවෙළින් 2017 අගෝස්තු 18 සිට ඔක්තෝබර් 20 දක්වා තැන්පත් සෝමාරි තවුසකු මෙන් ඔහු කන්ද පාමුල බවුන් වඩයි. ඉන් අනතුරුව ඔක්තෝබර් 20 සිට දෙසැම්බර් 22 දා තෙක් ඔහු අයෝමය පුරුෂයකු බවට පත්ව අධිවේගයෙන් වෙහෙස නොබලා ක්‍රියාකරමින් පර්වතය විනිවිද උමං මග හාරන්නට ගනී.

තුන්වැනිව 2017 දෙසැම්බර් 22 දා සිට 2018 පෙබරවාරී 23 දා තෙක් ඔහු කාය ශක්තියෙන් සහ වේගයෙන් පිරිහුණු කම්කරුවකු මෙන් දුක්බරව හෙමිහිට උමං මාර්ගය හාරන්නේ බැරි මරගාතය සහ සිතේ දැඩි ද්වේශයක් පුරවා ගත් අයෙකු ලෙසිනි.මේ භූමිකාවේ අවසානයේ ඔහු වෙහෙසකර නිද්‍රාවකට ගොදුරු වෙයි. එහෙත් ඒ නිද්‍රාවෙන් පිබිදෙන ඔහු 2018 පෙබරවාරී 23 දා සිට අප්‍රේල් 28 දා තෙක් ක්‍රියාකරන්නේ ශක්තියෙන් බලයෙන් ජවයෙන් පොහොසත් කිසිවකුට අවනත නොවන මුරණ්ඩු ගති ඇති යක්ෂාරූඨ වූ සෙන්පතියකු ලෙසිනි. ඒ භූමිකාවේදී අධිවේගයෙන් පර්වතය හාරාගෙන ඔහු ඉන් පිටතට යන්නේ ගිනිගත් වා සුළියක් පරිද්දෙනි.

ටොලමියානු ජ්‍යොතිෂය පිළිබඳව උනන්දුවන විද්‍යාර්ථීන්ගේ පහසුව පිණිස ඉහත උපමාව තුළ ඇති සිද්ධාන්තය ද පැහැදිලි කළ යුතුය. මෙහි පර්වතය යනුවෙන් අදහස් කෙළේ කටකයේ අවසාන ස්ථූල ශක්ති කලාපය වූ දෘඪ හෙවත් පඨවි (earth) ශක්ති කලාපයයි.

අනෙක් අවස්ථා හතරින් සංකේතවත් වන්නේ පිළිවෙළින් එහි අඩංගු ජල - වායූ - දෘඪ - ගිනි යන පරමාණුස්වරූපී සූක්ෂ්ම ශක්ති කලාපයන් ය. වායූකාරක රාහු එහි ජල සහ දෘඪ සූක්ෂ්ම කලාප හරහා ගමන් ගන්නේ පීඩිත තත්ත්වයෙන් වන මුත් වායූ සහ ගිනි සූක්ෂ්ම ශක්ති කලාප ඔස්සේ ඔහු අධිවේගයෙන් ජයග්‍රාහීව ගමන් ගන්නා බවත් එයින් අරුත් ගැන්වෙයි. කෙසේ නමුත් තමාගේ මග අවහිර කළ පර්වතය තරණය කරන රාහූ 2018 අප්‍රේල් 28 දා සිට පිවිසෙන්නේ ක්ෂේම භූමියකටයි. එතැන් සිට තමාට හිතකර සහ මිතුරු වායූ ශක්ති කලාපයක ගමන් ගන්නා රාහු මෙහිදීත් පිළිවෙළින් ජල-වායූ - දෘඪ - ගිනි යන අවස්ථා හතරට අනුගත භූමිකාවන් ඉටු කරයි. එහෙත් මේ සමස්ත කලාපය ම රාහුට ජය භූමියක් වන හෙයින් 2018 අප්‍රේල් 28 සිට 2019 ජනවාරී 04 දා තෙක් උපරිමයෙන් තම ක්‍රියාකාරීත්වය ප්‍රකට කරයි.

රාහු ග්‍රහයාගේ මේ ගමන් රටාවෙන් විශ්ව කේන්දරයේ ස්ථූල සහ සූක්ෂ්ම ශක්ති කලාපයන් උත්තේජනය වෙයි. එහි ප්‍රතිඵල එක් එක් රටවලට සහ එක් එක් ජන්මීන්ට බලපාන්නේ දෘෂ්ටිය සහ ජ්‍යාමිතික පිහිටීම අනුවයි. දැන් අපි මුලින්ම ශ්‍රී ලංකාව පිළිබඳව විමසමු.

2017 අගෝස්තු 18 දා සිට රාහු ගමන් ගන්නේ රටේ කේන්දරයෙන් 06 වැන්නේ ය. එනම් 07 න් 12 වැන්න සහ 10න් 09 වැන්න වේ.

ශ්‍රී ලංකාව රටක් ලෙස අන්තර්ජාතික සබඳතා සහ ගිවිසුම් යනාදියෙන් කිසියම් අවාසියක් අත්කැර ගත්තේ නම් ඉදිරි වසර එකහමාරක කාලයේදී එකී අවාසි ඉවත්වී රටට හිතකර වාසිදායක අන්තර්ජාතික සබඳතා සහ ද්වී පාර්ශ්වීය ගිවිසුම් සඳහා අවස්ථා උදාවෙයි. දේශපාලන ස්ථාවරභාවය දුර්වල කිරීමට බලපෑම් කළ හේතු සාධක ඉවත්ව යයි. පොදු ජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැගෙයි. ඒ සමඟ ම රෝහල් සෞඛ්‍ය සේවය සනීපාරක්ෂාව ආහාර සුරක්ෂිතතාව වේගයෙන් වර්ධනය වන අතර ඒ සම්බන්ධ නව නීතී අණ පනත් ක්‍රියාවට නැංවෙයි.

අඩු ආදායම්ලාභීන් සහ වැඩකරන ජනතා ඉල්ලීම් කෙරෙහි වඩාත් සාධාරණ පියවර ක්‍රියාත්මක කරන්නට සිදුවෙයි. සමස්ථයක් වශයෙන් ගත් කළ රාහු මාරුව ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක වෙයි.

ඉහත කී ජයග්‍රහණයන් උපරිමයෙන් රටට ලැබීමට අවශ්‍ය පරිවර්තනයන් සිදුවන්නේ 2017 ඔක්තෝබර් 20 සිට දෙසැම්බර් 22 / 2018 පෙබරවාරි 23 සිට අප්‍රේල් 28 / සහ 2018 අප්‍රේල් 28 සිට 2019 ජනවාරී 04 දක්වා වූ කාල සීමාවන්වලදීය. අනෙක් අවස්ථා සහ කාල සීමාවන්වලදී රාහු විසින් දැඩි පීඩාකාරී අත්දැකීම් ගෙන දෙනු ඇත. කෙසේ නමුත් රටේ දැවැන්ත පෙරළියකට මුල පිරීමේ පළමු සංඥාව රාහු ග්‍රහයා වෙතින් නිවේදනය කෙරෙන බැව් අවධාරණය කළ යුතුය.

එංගලන්තය ජර්මනිය පෝලන්තය පලස්තීනය ඊශ්‍රායලය සිරියාව ලිතුවේනියාව යන රටවලට මෙකී රාහු මාරුව විසින් සෑම අංශයකින් ම ගෙන දෙන්නේ අභාග්‍ය සම්පන්න කාලයකි. ආණ්ඩු බිඳ වැටීම අභ්‍යන්තර අර්බුද ආර්ථික සහ සමාජ නොසන්සුන්තාව ඉහළ යෑම් ආදී වශයෙන් එය විහිදී යයි.

ටැස්මේනියා සයිප්‍රස් අයර්ලන්තය ස්වීට්සර්ලන්තය ග්‍රීසිය යන රටවලට මෙකී රාහු මාරුව වාසිදායක ය.

බෙල්ජියම අයිස්ලන්තය සාර්ඩිනියා මොරොක්කෝ වේල්ස් ටියුනීසියාව යන රටවලට නම් මෙය පවතින ආණ්ඩු සහ පාලකයන් කෙරෙහි අහිතකර වෙයි.

ඕලන්දය අමෙරිකා එක්සත් ජනපදය පැරගුවේ ස්කොට්ලන්තය නවසීලන්තය යන රටවලට මේ රාහු මාරුව අර්බුදයෙන් අර්බුදයක් ම වෙයි.

ප්‍රංශය ඉතාලිය මැසිඩෝනියා රුමේනියාව සිසිලි මැඩගස්කර් සෙන්සිබාර් යන රටවලට ද මේ රාහු මාරුව හිසරදයට කොට්ට මාරු කරන කාලයක් වනු ඇත.

බ්‍රසීලය ග්‍රීසිය ස්විට්සර්ලන්තය තුර්කිය ක්‍රීට් උරුගුවේ බටහිර ඉන්දීය කොදෙව් යන රටවලට මේ රාහු මාරුව ඉතා වාසිදායක වෙයි.

ආර්ජන්ටිනා ඔස්ට්‍රියා බර්මා කැනඩාව චීනය ජපානය ටිබෙට් සිරියා යන රටවලට මේ රාහු මාරුව රාජ්‍ය පාලනයෙහිලා ඉතා උද්වේගකර තීරණ සඳහා හේතු වෙයි. ඔවුන් බලවත්ව සහ ආක්‍රමණශීලී ලෙස හිස ඔසවයි. ලෝකයට පුවත් මවන්නෝ වෙති.

පින්ලන්තය බැවේරියා නෝර්වේ කොරියාව ක්වීන්ස්ලන්තය යන රටවල ආණ්ඩු සහ රාජ්‍ය පාලකයන්ට මේ රාහු මාරුව අතිශය දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙයි.

ඔස්ට්‍රේලියාව චිලී හංගේරියාව සවුදි අරාබිය සිංගප්පූරුව දකුණු අප්‍රිකාව ස්පාඤ්ඤය යන රටවලට මේ රාහු මාරුව අර්බුද මවන්නෙකු බවට පත්වෙයි.

බල්ගේරියාව මෙක්සිකෝව ඇල්බේනියා බොස්නියා ඇෆ්ගනිස්තානය ලිතුවේනියා ඉන්දියාව යන රටවල් මේ රාහු මාරුව නිසා අන්තෝ ජටා බහි ජටා කියූවාක් මෙන් ජාතික සහ අන්තර්ජාතික යන දෙඅංශයෙන් ම දරුණු අර්බුදයන්ට ගොදුරු වෙයි.

ශ්‍රී ලංකාව ඉරානය රුසියාව ස්වීඩනය ඉතියෝපියාව යන රටවලට මේ රාහු මාරුව ඉතා වාසිදායකය.

ඊජිප්තුව උතුරු අප්‍රිකාව ලිබියාව පෘතුගාලය සැමෝවා ස්කැන්ඩිනේවියා නෝර්මැන්ඩි යන රටවලට මේ රාහු මාරුව අහිතකර වන අතර එකී රටවල ආණ්ඩු සහ කර්මාන්ත අර්බුදයට ලක්වෙයි.

( මේ සමඟ පළවන රූප සටහනේ රතු පැහැති රේඛාවලින් දැඩි අවදානම් ස්ථාන ද නිල් පැහැති රේඛාවලින් ඉතා සුබදායක ස්ථාන ද කළු පැහැති රේඛාවලින් අඩු අවදානම් ස්ථාන ද කොළ පැහැති රේඛාවලින් සුබදායක ස්ථාන ද පෙන්නුම් කෙරෙයි.) 

 

Comments