ළඟම පාසල හොඳම පාසල | Page 2 | සිළුමිණ

ළඟම පාසල හොඳම පාසල

අප කුඩා කාලයේ ගියේ ගමේ ළඟම පාසලට ය. එය හොඳ ම පාසල ද විය. මුල්ගුරුතුමා ආදර්ශවත් ය. නීතිගරුක ය. සාධාරණය . කලට වෙලාවට වැඩ කරයි. අනෙක් ගුරුවරු ද එසේ ම වූහ. ඉගැන්වීම හැර අන් දෙයක් නොකරතිි. පාසල තම වස්තුවක් සේ සලකා සේවයේ නිරත වෙතිි.

මාපියන් ද පාසලට ළැදිය. පාසලට මුරකරුවන් නැත. පාසල අවට මවුපියන් පාසල ආරක්ෂා කරනු ඇත. පාසලේ දේපොළ, ගහකොළ උපකරණ පරෙස්සම් කරයි. රැක බලා ගනියි. දෙමාපියන් ‘මේ මගේ දරුවාගේ පාසලයි’ යන ආකල්පයෙන් පාසල තමන් සතු දෙයක් සේ පිළිගෙන ඇත.

සිසුහු ද එසේ ම වූහ. ගුරු ගෞරවය, පාසලට ඇති හිතවත්කම, පාසලේ දේපොළට හානි නොකිරීම, පතපොත පරිහරණය ද ඉතා හොඳ මට්ටමක විය. පාසලට කම්කරුවෝ නැත. අනධ්‍යයන සේවකයන් නැත. අද මෙන් මවුපිය ශ්‍රමදාන නැත. උදේට පාසල් පැමිණි වහාම පන්ති කාමර, පාසල් වත්ත අත්පතු ගා මල්වලට, එළවළු පාත්තිවලට වතුර දමා ගොම පෝර දමා සාත්තු කරනු ඇත.

මා ඉහත සඳහන් කළ පරිදි අද පාසල් ඒ තත්ත්වයට ගෙන යෑම මේ ලිප‍ියේ අරමුණ නොවේ. ‘ළඟම පාසල හොඳම පාසල’ ලෙස සංවර්ධනයේ දී ගුරු, සිසු, මවුපිය තුන් පිරිසගේ ම වගකීම් යුතුකම් පිළිබඳ ආකෘතියක් දැක්වීමයි. මෙහි දී ළඟම පාසල නව අධ්‍යාපන තාක්ෂණයෙන්, ඉගැනුම් ක්‍රමවේදවලින්, සම්පත් වලින් පෝෂණය කළ යුතු ය. එසේ පාසල සංවර්ධය කරන විට ගමෙන් බැහැරට යන දරුවන්ගේ ගමනාගමන කාලය, ‘ටියුෂන්’ සඳහා ගත වන කාලය අවම කර ගනිමින් යහපත් චර්යාමය වෙනසකට දරුවන් යොමු කරන්නට ‘ගමේ පාසලට’ හැකි වනු ඇත. වෙනත් විදියකට කියනවා නම් ගම්බද දරුවාට, ගෙදර ළඟම පාසලට ගොස් අධ්‍යාපනය නොඅඩුව ලබා ගන්නට හැකි වෙ යි. එනම් ‘ළඟම පාසල’ සංවර්ධනය කිරීමෙන් හෙට දවසේ දරුවන්ට ලෝකයේ සෙසු රටවල් වල මානව සම්පත සමඟ කරට කර සිටින්නට හැකි නිපුණතා ගමේ පාසලෙන් ලබා දීමයි.

ගමේ පාසල, ‘ළඟම පාසල හොඳම පාසල’ කිරීමේ ප්‍රධානතම අවශ්‍යතාවය කැප වී සේවය කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබා දීමයි. බො‍හෝ විට එදා ගමේ පාසලේ විදුහල්පති ගමේ ම අයෙකි. දුර බැහැරින් පැමිණියත් ගුරු නිවාසයේ නේවාසික වන අයෙකි. ඒ කියන්නේ විසි හතර පැය පුරාම පාසල ගැන අවබෝධයෙන් උනන්දුවෙන් තම සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දී මේ කටයුතු මෙහෙය වන බවකි. පාසලට පත් කරන විදුහල්පතිවරයා දැනුමෙන්, අධ්‍යාපනයෙන් උසස් මට්ටමක විය යුතුය. අධ්‍යාපනය ගැන ගුරු පුහුණුව, පශ්චාත් උපාධි ඩිප්ලෝම, පශ්චාද් උපාධිධාරී වීම වඩා වැදගත්ය. එමෙන්ම සේවා කාලයෙන් පරිණත වීමත් පාසල් කළමනාකරණය පිළිබඳ සුවිශේෂ පාඨමාලා, සේවාස්ථ පුහුණු, සාර්ථක ලෙස හදාරා තිබීම නිසා හොඳ කළමනාකරණ වාතාවරණයක් පාසල තුළ සකස් කරන්නට හැකි ය. ඒ නිසා දක්ෂතම, උගත් විදුහල්පතිවරුන් දේශපාලන බලපෑම් වලින් තොරව පත් කළ යුතු අතර තම පාසල සංවර්ධනය කිරීමට ඔහුට පූර්ණ නිදහස ලබා දී නිර්මාණාත්මක පාසල් කළමනාකරණයකට ආධාර කළ යුතු ය.

පාසලේ ප්‍රගමනය සඳහා නිතර ගුරුවරුන් සමඟ විදුහල්පති විවෘතව සාකච්ඡා කරමින් ප්‍රමුඛතා පිහිටුවා ගනිමින් සහභාගී කළමනාකරණයක් අත්‍යවශ්‍ය ම වේ. විදුහල්පතිවරයා පාසල් කාමරයේ රැඳී සිටිමින් අන් අයට වැඩ පවරා සිටීම ප්‍රමාණවත් නැත. පාසල පවත්නා කාලය පුරාම පන්ති කාමරයේ උගන්වන ගුරුවරුන් හමු වෙමින්, අධීක්ෂණය කරමින්, දක්ෂතා අගය කරමින් ඌනතා පෙන්වා දෙමින් වඩා හොඳ ප්‍රශස්ත අධ්‍යාපනයක් ‘ගමේ පාසලෙන්’ ලබා දෙන විට ඉබේම හොඳම පාසලක් වනු නියතයකි.

‘ළඟම පාසල හොඳම පාසල’ බවට පත් කිරීමේදී මනා ගුරු - සිසු සබඳතාවක් පාසල තුළ ප්‍රකට විය යුතු ය. පාසල් දරුවන්ගේ අවශ්‍යතා, ඉගෙනුම් හැකියා මෙන්ම දුර්වලතා, රස වින්දනය සඳහා සෞන්දර්ය අධ්‍යාපනය, ශාරීරික සෞඛ්‍යය සඳහා ක්‍රීඩා සහ ව්‍යායාම ලබා දෙමින් අත්‍යවශ්‍ය නිපුණතා දරුවාට බරක් නො වන පරිදි නිරායාසයෙන් සංවර්ධනය කෙරෙන ක්‍රියාකාරකම් පාසල තුළත්. පන්ති කාමරයේත් දියත් කළ යුතු ය. පාසල නමැති ආයතනය දරුවගේ ප්‍රිය ජනක මෙන්ම ශාරීරික, මානසික සහ චිත්ත වේග සංවර්ධනය සඳහා තෝතැන්නක් කිරීම වැඩිහිටි, ගුරුවරුන්, දෙමාපියන් ආදි ශිෂ්‍යයන් සහ පාසල් පරිපාලන ආයතනවල වගකීමකි. එහෙම වීමට නම් සිසු - ගුරු - දෙමාපිය පාසල් සංවර්ධන ත්‍රිකෝණය ම සමපාද විය යුතු ය. එක් පාදයක් හෝ ඈත් වී සබඳතාව කැඩී ගියහොත් දුරස්ථ වුවහොත් එතැන ගමේ පාසල හොඳම පාසල කිරීමේ වැඩසටහන් අඩපණ වනු ඇත. ළඟම පාසල හොඳම පාසල කරන්නේ නම් ප්‍රාථමික පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 25 ට අඩු විය යුතු ය. ද්විතියික පන්තියක නම් 30 ට අඩු විය යුතු ය. අනවශ්‍ය පරිදි සිසුන් වර්ග අඩි 400 ක හිරකොට පන්තියේ උගන්වන ගුරුවරිය කොරිඩෝවේ රැඳී සිටියි. දරුවන් අතර ගැවසෙන්නේ ඉතා ආයාසයෙනි. මේ රටාව ‘ළඟම පාසල හොඳම පාසල’ කිරීමේ වැඩසටහනකදී පිටු දැකිය යුතුය.

‘ළඟම පාසල හොඳම පාසල’ යට‍තේ සංවිධානය වන පාසල් පද්ධතියේ ඒ පාසල්වලට ආවේණික වූ පාසල් සංස්කෘතියක් ද නිර්මාණය වනු ඇත. එදා කන්නන්ගර චින්තනයේ වැදගත් පියවරක් වූ මධ්‍ය මහා විද්‍යාලවල ඒ පාසල් වලටම පොදු වූ සංස්කෘතියක් නිර්මාණය වූ බව මධ්‍ය මහා විද්‍යාල ආදි ශිෂ්‍යයන්ට මතක ඇත. ඒ නිසා මධ්‍ය මහා විද්‍යාලවලින් උගතුන්, විද්‍යාඥයන්, මහාචාර්යවරුන් බිහි වී සමාජ සචලතාවයක් ඇති විය. කන්නන්ගර නිදහස් අධ්‍යාපනයේ පියාණන්ගේ වචනයෙන් කියනවා නම් ‘දුප්පත්කම මං තරම් දන්නා කෙනෙක් නැත. අපේ ළමයි කන්නේ සම්බෝලයි බතුයි, නිදා ගන්නේ බිම පැදුරුවල, මට අවශ්‍ය වන්නේ මේ දුප්පත් දරුවන්ට හොඳ අනාගතයක් සකස් ‍කොට රටට දැයට සේවය කරන්නට පිරිසක් හැදීමයි’ ඇත්තටම ඒ අදහස මුදුන් පත් වූයේ බොහෝ දුරට මධ්‍ය මහා විද්‍යාල සංකල්පය සහ නිදහස් අධ්‍යාපනය නිසා ය. මෙලෙස අපේ ගමේ පාසල් ‘ළඟම පාසල හොඳම පාසල’ සංකල්පය දියත් කරන විට අපේ ගම්බද දරුවන් වෑන් වලින්, බස් වලින් සැතැපුම් ගණන නිදි කිරා වැටෙමින් දුවන දිවිල්ලත්, පාසල නිම වූ වහාම ‘ටියුෂන්’ පන්තියට දුවගෙන යාමත් තරමක් දුරට හෝ පාලනය කරන්නට හැකි වනු ඇත.

මේ පාසල් පද්ධතියේ පාසල් සංස්කෘතියේ සාරධර්ම, හරයන්, වටිනාකම් දරුවන් තුළ ප්‍රචලිත කරමින් යහපත පරිචිත පුරුදු පුහුණු කිරීමේ විෂය සමගාමී සහ ක්‍රීඩා කටයුතු ද අර්ථවත්ව සැලැසුම් කිරීම අවශ්‍යය. පාසලට දරන්නට හැකි පරිදි, දරුවන්ගේ කායික හා මානසික ප්‍රබෝධයක් ඇති කරවන පාසල් කාලයෙන් බැහැර වූ විවේක කාලය ගත කිරීමේ උපාය මාර්ග අවශ්‍ය වේ.

පාසලේ සමාජ ආර්ථික සහ ආගමික පරිසරය ගැන ද අවධානය යෙදිය යුතුය. ඇතැම් පාසල්වල පෝෂිත ප්‍රදේශ ධනවත් නොවේ. එදිනෙදා හරි හම්බ කර ගන්නා අයගෙන් සමන්විත වේ. මේ අනුව පාසල ඒ ආර්ථිකයට තැව් දෙන පරිදි හොඳ අනාගතයක් දරුවන්ට හෙට දවසේ උරුම කර දිය හැකි පරිදි පාසල් වැඩසටහන් දියත් කළ යුතු ය. පාසලේ විවිධ රැකියා කරන, විවිධ තරාතිරමේ වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ ඇත. මේ කවුරුත් එකම තලයක සේ සලකා බලමින් කවුරුත් එක්ව පාසල සංවර්ධනය කිරීමේ ප්‍රජා සංවිධානයක් මෙහෙයවීමට විදුහල්පති සහ ගුරු මණ්ඩලයට නිදහස දිය යුතු ය. දිනපතා දෙමාපියන් තුන් හතර දෙනකු පාසල් ගැවසීමටත්, සුළු අලුත්වැඩියා කරවා ගැනීමටත්, තම දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය ගැන පන්ති භාර ගුරුවරිය සමඟ කතා කිරීමටත් සෑම මවුපියකුටම වර්ෂයකට වරක් අවස්ථාව දිය යුතු ය. දැනට පවත්නා පන්ති කව, පාසල් සංවර්ධන සමිති වලට වඩා සක්‍රීය වන අඛණ්ඩ මවුපිය සහභාගීත්වයක් සජීවී ලෙස පාසලට තුළට ප්‍රවේශ වීම වඩා වැදගත් ය. සමහරවිට විශේෂඥ දැනුමක් ඇති විවිධ වෘත්තීන්වල නියුතු වූවන් පාසලේ විෂය මාලාව අනුව පන්ි කාමරයට ගෙන්වා ගැනීමට හැකිය.

ළඟම පාසල‍ හොඳම පාසල කිරීමේ දී ප්‍රජා සහභාගීත්වය පාසලට ලබා ගත යුතු ය. ග්‍රාමීය මට්ටමෙන් පමණක් නොව විවිධාකාරයෙන් පාසල් සංවර්ධනයට ප්‍රජාව සහභාගී කරවා ගැනීමට පාසලේ ප්‍රගතියට හේතුවකි. පාසල් සංවර්ධන සමිති, පාසල නඟා සිටුවීමේ සංවිධාන, ආදි ශිෂ්‍ය සමිති වැනි ප්‍රජා සංවිධාන වලදී පාසලේ නායකත්වය විදුහල්පති සහ ගුරු මණ්ඩලය විසින් කළ යුතු වෙයි.

විශේෂ අවධානයක් පාසල් පුස්තකාලයට යෙදිය යුතුය. අද පාසල්වල අන්තර්ජාල, පරිගණක, බහු මාධ්‍ය උපකරණ භාවිතයට යොදා ඇත. පුස්තකාල යනු පාසලේ හදවතයි. හඬ අසමින් රූප බලමින් රූපවාහිනී තිරය දෙස විවිධ කාටූන් බලන සිසුහු ඇත. හරවත් වැඩසටහන් බැලුවාට කමක් නැත. එහෙත් ඇතැම් වැඩසටහන් ළමයින්ගේ අප ගමන චර්යාවන් සඳහා පොලඹවන සුලු ය. එහෙයින් පාසල් පරිශ්‍රයේ හොඳ පුස්තකාලයක් මඟින් පොත් කියවීමට දිරි ගන්වන සුළු පරිසරයක් හැම විටකම නිර්මාණය විය යුතුය.

ළඟම පාසල හොඳම පාසල වන්නේ නම් නිතර පත පොත කියවීමට හුරුවූ පාසල් සමාජයක් සැකසිය යුතු වේ. පොතක් කියවීමෙන් ලබන අත්දැකීම්, දැනුම සහ වින්දනයෙන් උගතුන් නැණවතුන් බිහි කිරීමට පාසල් පුස්තකාලය විවෘත විය යුතු ය.

මේ කොහොම කළත් අවසානයේ පාසල්වල විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමත් අවශ්‍ය ය. ජාතික විභාගවලින් ඉහළම සාධන ලබා ගැනීම සඳහා දරුවන් මෙහෙයවීම ද හොඳම පාසලක් ගොඩනැඟීමේදී අමතක කළ නොහැකි ය. උසස් ලෙස විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේදය නම් ඒ ඒ වකවානුවට නියමිත විෂය පටිපාටිය නිම කිරීමයි. ඒ පසුබිම මත පාසලට දරුවන් බාර දීමට මවුපියන් කැමැති වනු ඇත. 

 

Comments