සුනිල් ශ්‍රීගේ ‘අංආවෝ’ උසස් නාට්‍ය­යක් ද? | Page 2 | සිළුමිණ

සුනිල් ශ්‍රීගේ ‘අංආවෝ’ උසස් නාට්‍ය­යක් ද?

වෙද ආතාගේ නිවසයි. වෙද ආතා මිය ගොසිනි. ඔහුගේ ඡායාරූපයක් නිවසේ බිත්තියේ එල්ලා ඇත. වෙද ආතාගේ පුත්‍රයා මත්පැනට හා වෙනත් දුරාචාරයන්ට ද ඇබ්බැහි වූවෙකි. ඔහුට හා ඔහුගේ බිරිඳට සිටින්නේ එක දියණියකි. වෙද ආතා මිය ගිය ද ඔහුගේ භූතාත්මය නිවසේ වැඩවාසය කරයි. මේ දියණිය අසල් වැසි දිළිඳු තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් අරඹයි. පියාගෙන් දියණියට නොලැබෙන මඟ පෙන්වීම මිනිපිරියට ලබාදීමට භූතාත්මය උත්සාහ කරයි. කෙසේවුවත් දියණිය දිළිඳු තරුණයා හා හොරෙන් පැන යයි. මේ ගැන දිළිඳු තරුණයාගේ පියා සමඟ සිදුවන බහින් බස් වීමකින් පසුව වෙද ආතාගේ පුතා අතින් අත් වැරැදීමකින් දිළිඳු තරුණයාගේ පියා මිය යයි. මිය යන ඔහු ද භූතාත්මයක් බවට පත්ව වෙද ආතා සමඟ එක්වෙයි. මේ අලූත් භූතාත්මයට තමන් පවතින බව දැනෙන හෙයින් තමා මිය ගියා යැයි කීම ප්‍රශ්නයක් වන ආකාරය ද නාට්‍යය තුළ නිරූපණය වේ. මේ අතර පැන ගිය යුවළට කිසිදු ආදායම් මාර්ගයක් නැත. එහෙත් වෙද ආතාට මිනිපිරියට පිහිට වීමට අවශ්‍ය වේ. ඒ අනුව තරුණයාගේ පියාගේ භූතාත්මය සමඟ එක්ව තරුණයාට පිහිට වෙයි. එනම් පියා පුතාට ‘කර්ණ මුණ්ඩ’ නම් ක්‍රමයෙන් සමීප වී ශාස්ත්‍ර කීමේ වරම ලබාදෙයි. ඒ අනුව මළ ගිය පියාගේ භූතාත්මයේ පිහිටෙන් ඔහු ආරූඪයෙන් ශාස්ත්‍ර කියයි. ඔහු කෙටි කලකින් මහත් ධනවතෙකු වන අතර ධනයත් සමඟම ඔහු චරිතයෙන් පිරිහෙයි. ධනයත් සමඟම චරිතයෙන් පිරිහීම අද සමාජයේ පොදු ප්‍රවණතාවක් බවට පත් වී ඇති ආකාරය ද නාට්‍යකරුවා දැක ඇති බව පෙනෙයි. ශාස්ත‍්‍ර කීමෙන් ධනවත් වූ ඔහු දේශපාලනයට ද පිවිසෙයි. ධනයෙන් ඉහළ ගිය විට දේශපාලනයට ද පිවිසීම ද දැන් සාමාන්‍ය දෙයකි. ධනයෙන් බලයෙන් උමතුවන ඔහුට සියල්ල අමතක වේ. සියලූ දුශ්චරිත ඔහුට පෙනෙන්නේ මහා වීරකම් වශයෙනි. හදිසියේ මිය යන ඔහු නැවත උපත ලබන්නේ සුනඛයෙකු වශයෙනි. මේ සුනිල් ශ්‍රී ගේ අංආවෝ නාට්‍යයේ කතා පුවත සැකවින් දැක්වීමකි.

මේ නාට්‍යයේ ප්‍රබලම චරිතය වෙද ආතාය. එම චරිතයට පණ දෙන්නේ එම නාට්‍යයේ රචකයා මෙන් ම අධ්‍යක්ෂවරයා ද වන සුනිල් ශී‍්‍ර ම විසිනි. නාට්‍යයේ තේමාව රැගෙන යන කේන්ද්‍රීය චරිතය වන එයට සුනිල් ශ්‍රී ජවයකින් යුතු ව පණ දෙයි. යහපත හා ධර්මය නියෝජනය කරන්නේ එම චරිතය විසිනි. එහෙත් හොඳ නරක යම් පමණකින් පෙන්වාදීමට විනා යමෙකු කරන නරක වැළැක්වීමට හෝ යමෙකු ලවා හොඳ වැඩකරවීමට හෝ භූතාත්මයට ශක්තියක් නැති බව නාට්‍යයේ නිරූපණය වේ. භූතාත්මයට පණ පිටින් සිටින අය පෙනේ. එහෙත් පණ පිටින් සිටින අයට භූතාත්මය නොපෙනේ. භූතාත්මය කියන දෙය නාට්‍යයේ චරිතවලට නොඇසුණ ද පේ‍්‍රක්ෂකයන්ට ඇසේ. භූතාත්මයන් කරන දේ නාට්‍යයේ චරිතවලට නොපෙනුණ ද ප්‍රේක්්ෂකයන්ට පෙනේ. ඒ ඔස්සේ අමුතු නාට්‍ය රසයක් මතු වේ. එපමණක් නොව භූතාත්මයන්ට හොඳ නරක තේරුණත් ජීවත් ව සිටින අයට නොතේරේ. අනෙක් අතට හොඳෙ නරක තේරුණත් භූතාත්මයන්ට කළ හැකි දේ ද සීමිතය. එය ඔස්සේ ද නාට්‍ය රසය මතු වේ. එපමණක් නොව සියල්ල කළ යුත්තේ මනුෂ්‍යත්මභාවයක් ලබා ඇති මේ සීමිත කාල සීමාව තුළ යන්න ද අන්‍යාකාරයකින් ෙප්‍ර්ක්්ෂකයා වෙත සිහිපත් කරනු ලැබෙයි. එහෙත් ඒ වාසනාව ලබන මිනිසා කරන්නේ නොකළ යුතු ම දේ බව ද නාට්‍යයෙන් කියැවේ.

අංආවෝ නාට්‍යයේ තේමාව මෙසේ අපේ සංස්කෘතික විශ්වාසයක් මත පදනම් වේ. එය අපේ ජීවිතයේ යහපතට හේතුවන විශ්වාසයකි. එනම් අප කරන පව් මේ ආත්මයේ නැතිනම් ඊළඟ ආත්මයේ හෝ පල දෙනවා යන්නයි. අප කරන පව් හේතුවෙන් අප හරකුන් එළුවන් සුනඛයන් වී ඉපදීමට ඉඩ ඇති බවයි. මේ අනුව විවිධ ජාවාරම් මගින් මේ ආත්මයේ මහේශාක්‍ය අන්දමින් සිටියත් මතු ආත්මය එතරම් උදාරම් හෝ මහේශාක්‍ය නොවීමට ඉඩ ඇති බව අං ආවෝ නාට්‍යයෙන් මැනවින් ප‍්‍රකාශ වේ. අපේ සංස්කෘතික විශ්වාසයක් නාට්‍ය වේදිකාව මතට ගෙන ඒමට සුනිල් ශ්‍රී සමත් ව ඇත. එය අගය කළ යුතු උත්සාහයකි. මිනිසුනට නොතේරෙන විවිධ සංකීර්ණ සංකල්ප වෙනුවට මෙවන් සංකල්ප ඔස්සේ ගෙන එන සරල නිර්මාණ මිනිසා පවින් ද අධර්මයෙන් ද ඈත්කිරීමට යම් තරමකින් හෝ උපකාරී විය හැක.

මේ නාට්‍යයේ අඩුපාඩු ඇත. එහෙත් මට ඒවා පෙනෙන්නේ එම නාට්‍යයේ පවතින අඩුපාඩුවලට ද වඩා අපේ කලා විචාරයේ හා අපේ පවත්වාගෙන යන කලාවේ අඩුපාඩු ලෙසය.

කලාවේ පවතින ප්‍රධානම ලක්ෂණය එය විසින් මිනිසා සමාන්‍ය කරනු ලැබීමයි. සමාජවාදී සිහිනය සැබෑවන දවසක් එනතුරු අපි ඔක්කොම රජවරු වන්නේ ජෝතිගේ ගීයක් ඉදිරියේ පමණි. කලාව හමුවේ අපට අපේ වෙනස්කම් අමතක වී යයි. එහෙත් එවන් වූ කලාව ම වෙන ම පැළැන්තියක් වීම සඳහා භාවිතා කිරීම අද ජනප්‍රිය ලක්ෂණයකි. නොඑසේනම් ජනප්‍රිය කලාවයි. තමන් බලන නාට්‍ය, කියවන පොත්, අහන ගීත විශේෂ කුලයක් වීමට භාවිතා කෙරේ. ලොවම සමානයන් කරන කලාවම වෙන ම කුලයක් වීමට භාවිතා කෙරේ. මුදලිවරුන් පැළැඳගත් කඩුගස්තාන සේ වෙනම පැළැන්තියක් වීමට තමන් බලන නාට්‍ය, අසන ගීත භාවිතා කරති. ජෝතිගේ ගීතවලට පවා නිසි ඇගැයීම නොලැබුණේ මේ පැලැන්තිවාදී කලා මානසිකත්වය නිසාය. ජෝති ගීත ඇසුවේ පොදු ජනතාවයි. පොදු ජනතාව හා සම වීමට අකමැති පිරිසක් විශේෂ පැලැන්තියක් වී ජෝති ගීත හෙළා දැකීමට පෙලඹුණහ.

එසේම අපේ ජනප්‍රිය ධාරාවේ නාට්‍යවලට ද සාධාරණ නොවන විවේචනයන්ට ලක්වීමට සිදු වී තිබේ. සුනිල් ශ්‍රී ගේ ඇතැම් නාට්‍යකරුවන්ගේ නාට්‍ය හේතු රහිතව නොසලකා හැරීම සිදුවේ. සාජන්ට් නල්ලතම්බි වැනි ඉතා ජනප්‍රිය එසේ ම ඉතා උසස් නාට්‍යයකට ලැබිය යුතු අගැයීම නොලැබුණේ මේ පෙළැන්තිවාදී මානසිකත්වය නිසාය. මේ නිසා ම මේ නාට්‍යකරුවන් තුළ ද තමන් කරන නිර්මාණය පිළිබඳ විශ්වාසය හීන වේ. ඒවායේ රඟපාන නළුනිළියන්ට පවා තමන් රඟපාන්නේ ඇත්තටම හොඳ නාට්‍යයක ද යන සැකය මතු වේ. ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාව මතුවීමට ඒ හැඟීම බාධකයක් වේ. එනම් මේ හැඟීම හේතුකොටගෙන ඔවුන්ගේ රංගන හැකියාව උපරිම ආකාරයෙන් මතු වීමට බාධාවකි. එය නාට්‍යයේ රසය හීනවීමට බලපායි.

අංආවෝ නාට්‍ය තුළ සාධනීය ලක්ෂණ ඇත. යම් යම් දුර්වලකම් ද ඇත. එහෙත් මේ සාධනීය ලක්ෂණ වර්ධනය කරගනිමින් උසස් නාට්‍ය සම්ප්‍රදායක් කරා ළඟාවීමට අත දෙන බාහිර වටපිටාවක් සුනිල් ශී‍්‍ර වැනි නාට්‍යකරුවන් වෙනුවෙන් නිර්මාණය වී නැත. ‘අංආවෝ’ නාට්‍ය නැරඹීමෙන් පසුව මා තුළ එවන් කම්පනයක් ද ඇති විය. ජනතාව එක් කළ යුතු කලාව ජනතාව භේදභින්න කරවීමට යෙදවීම කලාව නොවේ. එහෙත් අපේ සමහරු කලාව වශයෙන් සිතන්නේ එයයි. එය අපේ රටේ කලාවේ අභිවෘද්ධියට පවතින ප්‍රබල බාධකයකි. 

 

Comments