ලව් ඇන්ඩ් ගෝඩ් | Page 2 | සිළුමිණ

ලව් ඇන්ඩ් ගෝඩ්

කලවංචිකුඩි හාමිනේ එක්දහස් නවසිය හැටේ දශකයේ අගභාගයේදී මුලින්ම කොළඹට පැමිණියේ පටු දිග කොට්ට උරයක් බඳු හතරැස් ගවුමකින් ඇගේ දෙවුරේ සිට ඇස්වටය දක්වා වූ සිරුර මුළුමණින්ම වසාගත්වනමය. අඩි පහමාරක් උස කළු උක් ගහක් බඳු ඇගේ දිගටි සිරුරේ කෝටු අතපය වඩාත් කැපී පෙනෙන්නට සැලැස්සූ දිගු ගෙල හැමවිටම පාහේ කපු තුවායකින් වැසී තිබිණ. ඩැනිස්ටර් ආතර් ඩී අල්මේදා මිනින්දෝරුතැනගේ රියදුරු ලෙස කටයුතු කළ ජෝන් අයියා; කලවංචිකුඩි හාමිනේ මුල්වරට දුටු දා සිටම ඈ කෙරෙහි ඇති කැර ගත්තේ නොමනාපයකි. ' ඕං ඉඳලා ඉඳලා .. මිනින්දෝරු උන්නාන්සේත් කර ගැහුවනෙ බොලේ ............ ( අපහාසාත්මක යෙදුමක් ) ට..' යැයි ඔහු දිනක් තම හාම්පුතාගේ මුහුණටම කීවේය. ඒ ඇසූ ඩැනිස්ටර් මිනින්දෝරු තැන තම 'හර්කියුලීස් ' දුම්කොළ පයිප්පය දත් අතර තදින් විකාගෙන බොල් බොල් හඬින් කිසිදු කලබලයක් නැතිව ඊට උත්තර දුන්නේ ජෝන් අයියා දෙස එක එල්ලේ දෑස් විහිදුවමිනි. ' ... මේ අයිසේ ජෝන් තමුං මා එක්කලා දැං අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ රට වටේ දුවනවා .. ඉතිං තමුන් දන්නව මට ඔය ඉස්තිරියාවක් කොයි කවදක්කත් වුවමනාවක් වුණේ නෑ කියලා .. නමුත් අයිසේ අපේ බියට්‍රිස් අක්කට නෑනා කෙනෙක් ඕනෙමයි කියනවනේ ... මට එතනත් හරි ප්‍රශ්න.. ඉතිං ඔය කැන්දගෙන ආවේ මගේ නෝනා නෙවෙයි අයිසේ අපේ අක්කගේ නෑනා .. හරි.. තමුසේ මින් මනතේ ඔය කුණුහබ්බ කතා තවත් කියනව හෙම නෙවෙයි !' යි ඔහු තරවටු කරන ස්වරයෙන් කීවේය.

ජෝන් අයියා කලවංචිකුඩි හාමිනේ කෙරෙහි නොපහන් සිතකින් පසුවූවාක් මෙන්ම කලවංචිකුඩි හාමිනේ ද හැකි සෑම විටෙම ඔහු වෙත තම නොරිස්සුම පළ කළාය . ඉන් නොනැවතුණ ඇය ඩැනිස්ටර් අමතා අවස්ථාවක් ලද සැණින් ජෝන් අයියාගේ නුගුණ මවා පාමින් ඔහුගේ ක්‍රියාකලාපය නිර්දය ලෙස විවේචනය කරමින් කතා කළේ තම සැමියා සහ රියදුරා අතර පැවති තද බැඳීම කොතෙක් දැයි ඉවෙන් මෙන් වටහා ගත් ලෙසිනි.

අවුරුද්දක් හමාරක් ගතවෙද්දී කලවංචිකුඩි හාමිනේ එහෙම පිටින්ම වෙනස් ස්වරූපයකට පරිවර්තනය වූයේ ඇගේ අක්මුල් පිළිබඳ හෝඩූවාවක්වත් ඉතිරි නොකරමිනි. ඇගේ නම කර්ලයින් විනිප්‍රීඩා ලෙස වෙනස් වූ අතර දිගු කෙස්වැටිය දෙකන් පෙති මායිමට කෙටි වූවා සේම ඇගේ ගවුම පවා දණහිසට වියතක් උඩ දක්වා කොට වී තිබිණ. ඈ දැන් කොළඹ රටේ නියම ලංසි නෝනා කෙනෙක් ලෙස පෙනී ගියා පමණක් නොව අවුරුදු විස්සකින් පමණ වයසින් ද අඩු වී ගිය සැටියක් පෙන්නුම් කළාය. ඒත් ජෝන් අයියාගේ සිත නම් තවමත් නොවෙනස් ලෙස ඈ කෙරෙහි අවඥාවක්ම ප්‍රකට කෙළේය. දිනක් ඉඩම් කට්ටියක් මැණීමට කුරුණෑගලට ගොස් ආපසු එමින් සිටියදී ඩැනිස්ටර් මිනින්දෝරුතැන පයිප්පය උරමින් බොල් බොල් හඬින් ජෝන් අයියාට මෙසේ කීවේය. ' අයිසේ ජෝන් මේ අපේ අක්කටයි කර්ලයින්ටයි මොකක්දෝ ගමනක් යන්න තියෙනවයි කියනවනේ. මේං මේ කොහේදෝ දුර ගමක වෙදෙක් මුණ ගැහෙන්න යන්න ඕනෑලු ... ඔන්නොහේ අපි දෙන්නත් ගිහිං එමු ... ලබන සිකුරාදා ... ' යි ඔහු කියමින් සිටියදී ජෝන් අයියා කතාවට බාධා කරමින් මෙසේ කීවේය. ' අපොයි සර් ..මට නං බෑ .. සර්ත් එක්ක අපායට වුණත් මං එනවා .. ඒත් ඔය කට්ටිය එක්ක නං ඔච්චර දුර ගමනක් හිතේ එකලාසයකින් මට වාහනේ එලවන්න බෑ .. ' යි ඔහු ගත් කටටම කියා පෑවේ කර්ලයින් කෙරෙහි තමා තුළ ඇති නොමනාපය නොසඟවමිනි. තම දත් අතර දුම්කොළ පයිප්පය තදින් විකාගත් ඩැනිස්ටර් එක එල්ලේ ජෝන් අයියා දෙස දෙනෙත් විහිදුවේය. ' තමුසෙට යකා ගහලද මිනිහෝ .. තමුන්ට මොකෝ ඒ ඉස්තිරියාව එක්ක ඔයිතරම් අරියාදුවක් !.. හරි තමුසෙට බැරි නං මං එලවන්නංකො වාහනේ ..' යි ඔහු දත්මීටිකමින් කීවේය. එතැන් සිට ඔවුන් දෙදෙනා අතර එකම වචනයක් වත් හුවමාරු නොවීය.

නියමිත දින සිකුරාදා පාන්දරින් ම වෙද මහතා මුණ ගැසීමට යෑමට සූදානම් වෙමින් සිටින අතරතුර ඩැනිස්ටර් තුළ ජීවිතයේ මුල්වරට මහා පාළුවක් වැනි හිස් හැඟීමක් රජ කරන්නට විය. ජෝන් අයියා නැතිව වාහනය නම් කෙසේ හෝ පදවාගත හැකිවනු ඇත. එහෙත් ඔහු නැතිව තමා මෙතුවක් කාලයකට දුර ගමනක් ගොස් නැත. ගෙවී ගිය වසර විස්සකට වැඩි කාලයේදී ඩැනිස්ටර් තම ජීවිතයේ වැඩිම කාලයක් ගතකොට තිබෙන්නේ තද කළු පර්ජෝ රථය තුළය. එය තමාගේ නිවහන වූවා සේම ජෝන් අයියා ද එහි කොටසක් විය. ජෝන් අයියා නැතිව ඔහුගේ ජීවිතය තනි වූයේ නම් ඒ රෑ නින්දේදී පමණි. ජෝන් අයියා නැතිව තේ කෝප්පයක්වත් සාදා ගත නොහැකි ඇබ්බැහියක් ඔහු තුළ විය. කනස්සලු සිතින් යුතුව පයිප්පය විකමින් ගෙවුයන හරහා ගමන් කරමින් සිටියදී ගරාජය අසල ජායාවක් මෙන් දුටු දෙයින් තිගැස්සුණු ඔහු මුවගින් ගිලිහී වැටෙන්නට ගිය පයිප්පය වහා දත් අතර විකා ගත්තේය. ජෝන් අයියා සුපුරුදු ලෙසම පැමිණ වාහනය සෝදමින් සිටී.

ඩික්මන් පාරේ සිට කැලණි පාලම දක්වා පැමිණ එතැනින් වමට හැරුණු කළු පර්ජෝ රථය මීගමු පාර දිගේ ගමන් කොට හලාවත නගරය පසු කරත්දී පවා ඩැනිස්ටර් සහ ජෝන් අතර වචනයක් තබා බැල්මක්වත් හුවමාරු නොවූ අතර පසුපස අසුනේ වුන් බියට්‍රිස් සහ කර්ලයින් ද දිගටම බොරු නින්දකට වැටී තුෂ්නිම්භූතව සිටියහ. පුත්තලම තබ්බෝව වැව හරහා වනගහණය තුළින් විහිදුණු පටු දුෂ්කර මාර්ගය ඔස්සේ සීරූ මාරුවට රථය පදවන ජෝන් දෙස හොරැහින් බැලූ ඩැනිස්ටර් තවදුරටත් කල්පනාවට වැටිණ. ' ජෝන් නාවා නම් මෙවැනි අති දුෂ්කර මාර්ගයක තමාට නම් රථය පැදවීම කිසිසේත් කළ නොහැකි දෙයක් බැව්' ඔහුට පසක් විය. වන ගහණය තුළට බලහත්කාරයෙන් ඇතුළු වූවාක් බඳු වූ බෝ වෘක්ෂයක් ද ඊට සමාන්තරව කටු මැටියෙන් සහ ඉළුක් වහලයෙන් යුත් කඩ මණ්ඩියකින් ද යුතු වූ T හංදියේ රථය නතර කරන්නැයි ඩැනිස්ටර් විසින් අතින් සන් කරනු ලැබීය. කඩ පිළට ගිය ඩැනිස්ටර් ; වෙද මහතා සිටින ඉසව්ව පිළිබඳව මග විස්තර අසා දැනගෙන රථයෙන් බැස එන ලෙස ජෝන්ට අතින් සංඥා කෙළේය. ' මේක මහ පිස්සු ගමනක් ... මෙතැන ඉඳලා හැතැප්ම දෙකක් විතර පයින් යන්න ඕනෑලු .. මේ කඩේ කොල්ලට පුළුවන්ලු පාර පෙන්නන්න අපිත් එක්ක එන්න .. එහෙනං ජෝන් කාර් එකේම ඉන්න .. අපි ගිහිං එන්නං ' යි ඩැනිස්ටර් කී අතර ඒ අසා සිටි ජෝන් කිසිවක් නොකියා ඉවත බලා ගත්තේය.

ඔවුන් සියලු දෙනා රථයෙන් බැස කැළය මැදින් වූ අඩිපාර ඔස්සේ ගමන් කොට නොපෙනී යන තෙක් බලා වුන් ජෝන් කඩපිළට වැදුණේය. ඒ සමඟ ම සිහින් කුඩු පොද වැස්සක් හමා ගියේය. අහස දෙස බැලූ ඔහුට එක්වරම පෙනී ගියේ ගණ කළු යෝධ වලාකුළු එක් පසෙකට වේගයෙන් කැටි ගැසෙමින් තිබියදී අනෙක් පසින් තද හිරු රැස් දිලිසෙන ආකාරයයි. ඇස් නිලංකාර වන ආලෝකයෙන් බේරීමට දෙනෙත් වසා ගනිත්දී ඉලුක් වහල මුදුනේ සිට අහසට දෙනෙත් ඔරවා ගත් කෝටුවක් බඳු කටුසු රුවක ජායා මාත්‍රයක් ඔහු දුටුවේය. ' කොහෙට හරි සැරට වහිනවා ..' යි කියමින් හෙතෙම කඩ පිළට පා තැබූ අතර ඒ ඇසුණු මහලු කඩහිමියා ' වැස්ස දකුණු අතට ගියොත් නම් කාරියක් නෑ .. හැබැයි ඊසාන පැත්තෙන් වැහිපොද රූටෑවොත් විසුමක් නෑ ... මේ සේරම මහ මුහුද වගේ යට වෙනවා. ' යි කීවේය.

මේ 'වෙද මහත්තයා ' යැයි කියන පුද්ගලයා පුර පෝයදාට පවා බලි බිලි යකුන් පෙරේතයන්ට සහ සර්පයන්ට පවා පුදපූජා පවත්වන බොරු මන්තර ජපකරන පිස්සු පූසාරියෙක් බවත් ඔහුට නැකත් සාස්තරය උගන්වන්නේ හිමාලයේ සිට ඍද්ධියෙන් වඩින දෙවියකු බවත් කියන කියුම් අසා ගැමියන් පවා සිනාසෙන සැටි රසකරමින් ජෝන්ට කී කඩහිමියා ; ' අපරාදේ මේ හොඳ පෝසත් නෝනලා මහත්තුරු මග දුර ගෙවා ගෙන ඇවිත් රැවටිලා යනවනේ ' යි තවදුරටත් කීවේය. එහෙත් දැන් ජෝන්ගේ සිතේ නලියන්නේ ඒ කිසිවක් නොව වර්ෂාව කොයි පැත්තෙන් කඩා වැටේද යන සැකයම පමණි. ' ඉන්තීරූවෙන්ම මෙවැනි මෝඩ ගමනක් සඳහා ඩැනිස්ටර් මහත්තයාව පොළඹවන්නට ඇත්තේ කලවංචිකුඩි හාමිනේ ම තමා .. ' යැයි සිතූ ජෝන් වාවාගත නොහැකි කෝපයෙන් වෙවුලමින් අඩි පාර ඔස්සේ තනිවම ගමන් ඇරඹුවේය.

ඔහු එහි යන විට ඩැනිස්ටර් මිනින්දෝරුතැන උඩුකය නග්නව දඬු මැස්සක් මත පත බෑවී සිටියේ අඩ සිහියෙනි. දඬු මැස්ස යට වූ දුම් කබලකින් දුඹුරු පැහැති දුම්රොටු නැගෙමින් තිබුණේ හාත්පස දුර්ගන්ධය පතුරුවමිනි. ඒ අසල තුන්කුදු ගැසුණු පූසාරියා බිම දිගාවී මන්ත්‍ර කියවයි. ඒ අතර කලවංචිකුඩි හාමිනේ දුම්කබලට විටින් විට තෙල් වර්ගයක් වත් කරයි. බියට්‍රීස් නෝනා පේන තෙක් මානයක නොසිටී. යුහුසුළුව එදෙසට ගිය ජෝන් ; ඩැනිස්ටර් මහතාගේ මුහුණ බැලුවේය. මුවින් වචන පිට නොවූ මුත් ජෝන් දුටු සැණින් ඩැනිස්ටර්ගේ මලානික දෙනෙත් බැබලිණ. ඒ දෙනෙතින් කී දෙය ජෝන්ට වහා වැටහිණ. ' ඉක්මනට මාව මෙතනිං අරගෙන පලයං ' යි ඔහු නොකියා කීවේය. ජෝන් විසින් වහාම ඩැනිස්ටර් මහතාව දෑතට ඔසවා ගන්නා විට කොහෙන්දෝ ත්‍රීශූලයක් අතට ගත් පූසාරියා ඔහු වෙත කඩා පැන්නේය.

මේ සිද්ධියට මුහුණ දුන් ඩැනිස්ටර් ආතර් ඩි අල්මේදා මිනින්දෝරු තැන පසු කලෙක තම මිතුරකු වූ පුවත්පත් කතුවරයකුට කතාවේ ඉතිරිය මෙසේ කීවේය.

' ... මං එදා මරණ තුනකින් බේරුණ බව දැන ගත්තේ පස්සේ .. කාලෙකයි. අර පූසාරියා මට තෙල් වගයක් මතුරලා බොන්න දුන්නා. ඉන් පස්සේ මොකක් වුණාද කියලා මට මතක නෑ. බියට්‍රිස් අක්කාත් ඒ තෙල් බිව්වා දවස් තුනකට පස්සේ එයා ලේ වමනේ ගිහින්ම මැරුණා. මං ගොඩ ආවේ මාසයක් හොස්පිට්ල් එකේ ඉඳලයි. එදා රෑ මහ වර්ෂාවට තබ්බෝව ජලාසේ පිටාර ගලලා මුළු පළාතම මහමුහුද වගේ යට වුණා කියලා දැන ගත්තෙත් සිහිය ආවට පස්සෙයි. අපිවත් උස්සගෙන ජෝන් ඒ වෙලාවෙම එහෙන් පැන ගත්තේ නැත්තං අපි හැමෝම කැලේ ඇතුලේ ගිලිලා මැරෙන්න තිබුණා. මගේ අක්කටයි මං කසාද බැඳපු ගෑනිටයි වුවමනා වුණා දරුවෙක් හදා ගන්න. ඉතිං මගේ ඇගේ තිබ්බයි කියන මොකක්දෝ ශාපයක් දුරු කරන්න තමයිලු ඔය වැඩේ කරල තියෙන්නේ .. ' යි ඔහු කියමින් සිටියදී ඔහුගේ මිතුරු පුවත්පත් කතුවරයා අතුරු කතාවකට මුල පිරුවේය. ' ඉතිං එදා ඉඳං මිස්ටර් ඩැනිස්ටර්ට ලව් එකයි ගෑනුයි දෙවියොයි ඔක්කෝම එපා වුණා .. නේද ? '

' නෑ අන්න එදා ඉඳං තමා මං රියල් ලව් ඇන්ඩ් රියල් ගෝඩ් කියන්නේ කවුද කියල තේරුම් ගත්තේ .. දෙවියන්ට අනාගතේ මොකක්ද කියලා කලින්ම පේනවලු නේ .. ඒ වගේම මිනිස්සුන්ව කරදරවලින් ආරක්ෂා කරනවලුනේ .. එහෙම ඉවක් මිනිහෙකුට එන්නේ ආදරේ නිසාමයි. අන්න එතන තමා දෙවියොත් ඉන්නේ .. ලව් ඇන්ඩ් ගෝඩ් කියන්නේ දෙකක් නෙවෙයි එකක්. අන්න ඒ දෙවියා කවුද කියලා මං එදා හොයා ගත්තා. '

' ආහ් මරු කතාවක් නේ .. කොහෙද ඔය දෙවියෝ ඉන්නේ .. ?' යි මිතුරා ඩැනිස්ටර්ගෙන් කුහුලින් යුතුව ඇසීය.

' ඒ දෙවියා ඉන්නේ මගේ කාර් එකේ !'

' මොකක් කාර් එකේ .. කිව්වා .. ' යි මුහුණ විමතියෙන් බරිකරගත් කතුවරයා ප්‍රශ්න කෙළේය.

' ඔව් අයිසේ මේ මගේ ඩ්‍රයිවර් ..ජෝන් ඒ තමා මගේ ලව් ඇන්ඩ් ගෝඩ් !' 

 

Comments