රජ මාවත බන්ධ­නා­ගාර මාව­තට හරවා ගත් හිටපු ජනා­ධි­පති ලූලා ඩ සිල්වා | Page 2 | සිළුමිණ

රජ මාවත බන්ධ­නා­ගාර මාව­තට හරවා ගත් හිටපු ජනා­ධි­පති ලූලා ඩ සිල්වා

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ඩ සිල්වා ගැන නොදන්නා අය විරලය. වාමාංශික අදහස් ඇතිව බලයට පත් හෙතෙම පසුව දක්ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කළේය. දුප්පත්කමේ සිටි බ්‍රසීලය ආර්ථික අතින් ශක්තිමත් රටක් කරන්නට සමත්විය. බරක් ඔබාමා වතාවක් ලූලා ගැන සඳහන් කළේ මිහිමත ජනප්‍රියම නායකයා වශයෙනි. කාසිය අනෙක් පැත්ත හැරෙන්නට එපමණ කාලයක් ගත නොවේ. සිය ධුර කාලය අවසන්ව 2011 ජනවාරි මාසයේ දී ගෙදර යන නමුත් එරට අපරාධ විමර්ෂණ අංශය එල්ල කරන චෝදනා ඔප්පුවීමෙන් පසු ඉකුත් ජූලි 12 වැනි දා ඔහුට අවුරුදු නමයකුත් මාස එකහමාරක සිරදඬුවමක් නියම විය.

හිටපු ජනාධිපතිවරයා දූෂිතයෙකු බව බ්‍රසීල අධිකරණය තීරණය කර තිබේ. කළු සල්ලි ජාවාරමට ද වරදකරු යැයි තීරණය කර ඇත. බලයේ ඉන්නා කාලයේ දී පෙට්‍රොනාස් තෙල් සමාගමේ ඉඩමක් දේපොල සංවර්ධනය වෙනුවෙන් වෙන් කර දෙන අතරතුර එහි ඉදිවෙන මහල් නිවාසයකින් කොටසක් තමන්ට පවරා ගත් බව ඔහුට එල්ල වූ චෝදනාවයි. බිරිඳට ලෙට්සිකා ඇතුළු හය දෙනකු ද චෝදනා වලට ලක් වූ නමුත් ඇය පසුගිය පෙබරවාරියේ දී අවසන් හුස්ම හෙළුවාය. තීන්දුව දුන් දවස ඉතා උද්වේගකර දිනයක් වූ අතර එයට පක්ෂව රියෝ ද ජෙනෝරේ නගරයේ වීදි වල ගමන් කරමින් තිබු වාහන වල නළා නාද කරමින් සතුටු වූ බව දැක ගත හැකි විය. එහෙත් කම්කරු පක්ෂ නායකයා කියා සිටියේ තමන් නිර්දෝෂී බවය. හැත්තෑ එක් හැවිරිදි හෙතෙම 2018 ජනාධිපතිවරණයට නැවතත් තරග කරන අභිලාශයක පසුවිය. අසාධාරණ නඩු පවරා තම ගමන අවහිර කළ නොහැකි බව ලූලා සිය ආධාර කරුවන් හමුවේ කියා සිටී. එරට දේශපාලන විචාරකයන් කියා සිටියේ මෙම තීන්දුව ඔහුගේ දේශපාලන ජීවිතයේ මහා බාධකයක් වනු ඇති බවය.

ලූලා ඉසුරුමත් පවුලක දරුවෙකු නොවේ. බ්‍රසීලයේ දිළිඳු පවුලක උපන් අයෙකි. දුප්පත් දරුවෙකි. දොළොස් හැවිරිදි වියේ දී ඉගෙන ගැනීම පැත්තකට දමා රස්සාවක් සොයා ගන්නට සිදුවිය. ඔහු එරට ජනනායකයෙකු වෙතැයි අනූ ගණන්වල දී කිසිවෙකු සිතන්නට නැත. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව සුළු රුකියා කීපයක් කළ හෙතෙම අන්තිමට ලෝහ කම්හලක කම්කරුවෙකු ලෙස සේවයට බැඳුණි. වෘත්තීය සමිතිය වෙනුවෙන් කැපවී වැඩ කළ මේ තරුණයා කාගෙත් හිත් දිනා ගත් බව සඳහන් කළ යුතුය. කම්කරු සමිතියේ නොයෙක් තනතුරු හෙබවීය. ධනේශ්වර පාලකයන්ට විරුද්ධව වැඩ වර්ජන මෙහෙයවා අසාධාරණය වෙනුවෙන් උද්ඝෝෂණ කරන විට පෙරමුණ ගත්තේ ලූලාය. හෙතෙම වැඩි වැටුප් වෙනුවෙන් පාරට බැස කෑගැසුවේය. පාලකයෝ වාමාංශික තරුණ නායක ලූලා හිර ගෙට නියම කරන ලද අතර වැඩ වර්ජනයෙහි නිරත වූ කම්කරුවෝ ලූලා ව නිදහස් කරන ලෙස ඉල්ලමින් දිගින් දිගටම ආණ්ඩුවට බල කළේය. පාලකයෝ අසරණ වූහ. ලූලා නිදහස් වුනේ ඉල්ලීම් දිනාගත් වීරයෙක් හැටියටය. එම සිද්ධිය වාර්තා වූයේ 1970 වසරේ දීය. එයින් අට අවුරුද්දක් ගෙවෙන විට ලූලා කොතරම් ශක්තිමත් සටන් නායකයෙකු වී ද යත් එරට කම්හල් සියල්ලේම එකමුතු වෘත්තිය සමිති නායකයා බවට පත්ව සිටියේය. අවසාන ප්‍රතිපලය වූයේ කම්කරු පක්ෂය නමින් අලූතින් දේශපාලන පක්ෂයක් බ්‍රසීලයේ බිහිවීමයි

බ්‍රසීලයේ එවකට හමුදා පාලනයක් තිබිණ. හමුදාව සහ පක්ෂ දේශපාලන ක්‍රමය අතර බලය හුවමාරු වෙමින් තිබුණ අතර මේවායෙන් රටට යහපතක් වූයේ නැත. හමුදා පාලනයෙන් රටට කිසිම සෙතක් නොවූ බව පැහැදිලිව පෙණනි. වෙනසක් අවශ්‍ය බව අලූත් කම්කරු පක්ෂය බ්‍රසීල ජනතාවට පෙන්වා දුන් පළමු කාරණාවයි. විප්ලවකාරී අදහස් ජනතාවගේ හිතට වදින ලෙස පළ කරන ලද කම්කරු පක්ෂය එවකට පැවති හමුදා පාලනයට විරුද්ධව විශාල අරගලයක් ගෙන ගියේය. ජන්දයක් පැවැත්විණි. ලූලා ඡන්දය ඉල්ලූ නමුත් අසාර්ථක විය. එයින් වසර හතරකට පසු පැවැති ඡන්දයෙන් කොන්ග්‍රස් පක්ෂ අපේක්ෂකයෙකු සේ ආසනයක් දිනා පාර්ලිමේන්තුවට ආ ලූලා තම කම්කරු පක්ෂය පෙරටුකරගෙන අලූත් ව්‍යවස්ථාවක් රටට හදුන්වාදෙන්නට පෙරමුණ ගත්තේය. නමුත් අවසාන මොහොතේ දී ව්‍යවස්ථා ලියැවිල්ල පැත්තකට විසි වූ අතර නැවතත් මැතිවරණයක් පැවැත්වූ බව බ්‍රසීල ඉතිහාසය පෙන්වා දෙයි. වාමාංශික අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් ලූලා දෙවැනි වු අතර සුළු පක්ෂ එකතුකරගෙන ප්‍රතිවාදී නායකයා බලයට පත් විය. නමුත් ධනවත් ව්යාවපාරියන්ගේ පැත්තට නැඹුරු වූ ඔහුට විරුද්ධව අයථා මුදල් චෝදනා එල්ල වූ අතර ධුරයෙන් ඉල්ලා අස්විය. අතුරු මැතිවරණයකින් බලයට එන අදහස ප්‍රතික්ෂේප කළ ලූලා ඒ වෙනුවට කැමැති අයෙකුට රට පාලනය කරන්නට ඉඩ දී කම්කරු පක්ෂය රටපුරා සංවිධානය කළේය. අවස්ථා කිහිපයකට පසු 2003 දී ලූලා තමන්ගේ වාරය උදා කරගත්තේය. ජනතාව අතරින් බිහිවුණ වෘත්තීය සමිති නායකයා, තද වාමාංශික නැඹුරුවක් ඇති සාමාන්‍ය පවුලක දරුවෙක්, කම්කරුවෙක් වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළේය.

කම්කරු පක්ෂයෙන් බලයට පැමිණි ලූලා ප්‍රතිපත්ති ගැන සැලකිල්ලක් දැක්වුවේ නැත. ඔහු කීවේ ප්‍රායෝගික විසඳුම් දෙන අලූත් මාවතක් තුන්වන ලෝකයට අවශ්‍ය බවය. ජනාධිපති ධුරාපේක්ෂකයා හැටියට ව්‍යාපාරිකයන් හා කම්හල් හිමියන් නොසෑහෙන්න විවේචනය කළ අතර ජනතාව ඉදිරියේ කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාවට ගෙවන්න ඇති ණය නොගෙවන බවයි. ණය ගෙවාගත නොහැකිව පීඩනයට පත්වෙලා හිටි රටක වැසියන්ට මේ අදහස විශ්මයක් විය. මේ ප්‍රකාශය බැංකු හා මූල්‍ය අංශයේ තිගැස්මක් ඇති කළත් මහජනතාව තුළ ඇති කළේ පිබිදීමකි. ජන්දය ජයගත් පසු ලූලා වැඩකළේ ලෝක ආර්ථිකයට අනුවය. වමෙන් ආපු අලූත් ජනාධිපති දකුණට හැරෙන අන්දම මහජනතාව බලාගෙන සිටියේය. ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් අතර කම්කරු නීති, විශ්‍රාම, අධිකරණ හා ව්‍යාපාර අංශයන්හි සෑහෙන වෙනස්කම් කළේය. දුප්පත්කම නැතිකරන්න අලූත් සැලසුම් සකස්කරන ලද අතර මිලියන සංඛ්‍යාත පිරිසකට එයින් සෙත අත්පත් වූ බව සඳහන්ය. බටහිර රටවල් නිතර සහභාගී වූ ලෝක ආර්ථික සංසදයට ගිය ලූලා එහි දී ආයෝජකයන්ට යෝජනා කළේ එරටට ඇවිත් මගී ප්‍රවාහන සේවය සල්ලි වලට අරගෙන පවත්වාගෙන යන ලෙසයි. කම්කරු පක්ෂයේ ප්‍රධානීන් මේ අදහස් වලට විරෝධය පළ කළත් කැබිනට් මණ්ඩලය වැඩකළේ ලූලා ගේ අදහස්වලට අනුව.

2011 අවුරුද්දේ දී ලූලා ඩ සිල්වා සිය වාර දෙකක පාලන කාලය අවසන්කර පිටත්ව ගියේ මම අසාර්ථක වුණා නම් එය වැඩකරන පැලැන්තියේ අසාර්ථකත්වයට හේතුවක් බව සඳහන් කරමින්. ලූලා ගෙන් පසුව බ්‍රසීලයේ ජනාධිපතිනිය වශයෙන් පත්වන්නේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය හෙබවූ රූසෙෆ් මහත්මියයි. දේශපාලනයෙන් ඉවත්ව යම් කාලයක් සිටි අතර උගුරේ පිළිකා රෝගයකින් පීඩා විඳි ලූලා එයින් සුවපත් වූ අතර ඔහු ගැන මෑතක දී නැවත අවධානය යොමු වූයේ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය අඩුවීම සමගය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ පක්ෂ නායකයන් චෝදනා කළේ ලූලා පමණක් නොව රූසෙෆ් ද දරුණු දුෂිතයන් බවය. හැබෑවටම රට පාලනය කරන්නේ ලූලා බවට චෝදනා කරන ලද අතර ලූලා සහ රූසෙෆ් ගේ මංකොල්ලකාර පාලනයට එරෙහිව අධිකරණය තීන්දු ගත යුතු බවට ජනමතයක් ඇවිලවිණි. කම්කරු පක්ෂයේ දීර්ඝ පාලන කාලය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය බලය තමන්ගේ පැත්තට ගත් අතර දූෂිත හිටපු පාලකයන් විරුද්ධ නෛතික අරගලයේ පළමු පියවර වූයේ ලූලා ඩ සිල්වාට නඩු පැවරීමය.

එවකට බලයේ සිටිය දී එරට පෙට්රෝබාස් තෙල් සමාගමේ සැපයුම්කරුවෙකු ජනාධිපතිවරයාට අයත් නිවාස වල අලූත්වැඩියා කර අයුතු වාසි අත්පත් කරගත් බවට සාක්ෂි දුන් අතර ලූලා ඩ සිල්වා කියන්නේ මෙම දේපොල තමන්ගේ එකක් නොවන අතර තමන් නිවැරදි බවය. එහෙත් වර්තමානයේ ලෝකය පුරා ඇවිලෙන පාලකයන්ට එරෙහි දුෂණ රැල්ල බසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ නමට ද කළු පැල්ලමක් එකතු කර තිබේ.

ජනාධිපති වශයෙන් ක්‍රියා කරන කාලය තුළ දී ද ලූලා ද සිල්වා මහතාට නොසෑහෙන්න අභියෝග එල්ල විය. විශේෂයෙන් ඔහුගේ කම්කරු පක්ෂයෙන් පවා ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති ගැන කැළඹීමක් තිබිණි. ආයෝජකයන්, ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය දිනාගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය. පාලනය කළ කාලය තුළ හැම බලවේගයකම විශ්වාසය දිනාගත් හෙතෙම දැන් හිරගෙදරට කොටුවන බව පැහැදිලිය. 2020 ජනාධිපතිවරණයෙන් නැවතත් කම්කරු පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නට මාන බලාගෙන සිටි ලූලා මෙම තීන්දුව සමග බරපතල අභියෝගයකට මුහුණ දී සිටී. 

 

Comments