ඊළඟ දේශ­පා­ලන පෙරළිය තීන්දු­ කරන්නේ දරිද්‍රතාව | Page 2 | සිළුමිණ

ඊළඟ දේශ­පා­ලන පෙරළිය තීන්දු­ කරන්නේ දරිද්‍රතාව

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ “සුභාරතී“ වැඩසටහන ඇසුරින් මෙම වි‍ශේෂාංගය සැකසේ. සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා විසින් 2017-07-21 වෙනිදා මෙහෙයවන ලද වැඩසටහනේ දී සමාජ හා ආර්ථික භූමිකාව පිළිබඳව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා සමඟ කළ සාකච්ඡාවේ දී ගුවනේ විසිර ගිය අදහස් මෙලෙස සම්පිණ්ඩනය කෙරේ.

ජනවාරි 08 වැනිදා මේ රටේ සිදු වූ දේ පිළිබඳව ආපස්සට හැරි කල්පනා කර බැලුවොත් එය වසර පහක පමණ කාලයක පරිණාමීය ලක්ෂයක් ලෙස හැඳින්විය හැකිය. 2010 ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ ඇරඹි දේශපාලන යුගය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම්, දේශපාලන, ආර්ථික හා සමාජීය අභියෝග එකින් එක හැකිලිණි. එසේම 18වන සංශෝධනය ප්‍රජාතන්තවාදය මුළුමනින්ම හකුලා දැමීය. මෙසේ ඇති වූ අභියෝගවලට පිළිතුරුදීමක් ලෙස ජනවාරි 08 දේශපාලන පෙරලිය අපට හඳුන්වා දිය හැකිය. එහෙත් බොහෝ දෙනා මේ ලැබූ ජයග්‍රහණය දේශපාලන බලය ලබාගැනීමකට ඌණනය කරමින් තිබේ. එය අප විසින් සිදු කරනු ලබන විශාල වැරැද්දකි. එය ඊට වඩා පුළුල් අර්ථයකින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මානව අභිමානය ආදී දේගැන විශ්වාසය තැබූ මිනිසුන් එකතු වී එතෙක් පැවති රජයෙන් එල්ල වූ පීඩනය නොතකා ඉදිරියට ගෙනා කථිකාව විසින් උත්පන්න කළ තත්ත්වයකි. කෙනෙකුට මෙය විප්ලවයකි, තවත් අයකුට දේශපාලන බලමාරුවකි. ඇතමෙකුට එය අඩු තීව්‍රතාවයෙන් යුතු විප්ලවයකි. මේ ආදී වශයෙන් ඒ පිළිබඳව නොයෙක් උදවිය විවිධාකාරයෙන් විග්‍රහ කළ ද 2010 සිට 2015 වන තෙක් මේ රටේ දේශපාලන පොරපිටිය පිළිබඳව සවිඥානිකව නොසිටි කිසිවකුට ජනවාරි 08 වැනිදා පිළිබඳව වටිනාමක් හො නිවැරදි තක්ෙස්රුවක් නොමැතිය. එහෙත් සමස්තයක් ලෙස සලකා බැලීමේදී මූලික අඩිතාලම පමණක් දමාගෙන තිබුණු දැකිය හැකි අතර මෙය ආපසු හැරවිය නොහැකි ලෙස ශක්තිමත් කළ යුතුව තිබේ.

විශාල බලයක් සහිත, අයථා ලෙස උපයාගත් විශාල මුදල් කන්දරාවක් හා විශාල මැරබලයක් සහිත ආණ්ඩුවක් පෙරලා දැම්මේ මේ රටේ දේශපාලන පක්ෂ නොව මහජනතාවය. උදාහරණයකින් කිව හොත් එ.ජා.ප 95% තිබුණි නම්, ඉතිරි 05% නොමැතිව සිටියේය. ඒ 05% සිවිල් දේශපාලන ක්‍රියා කාරිකයින් නම් ඒ අයට ඉතිරි 95% නැතිව සිටියේය. ඒ අර්ථයෙන් ගත් කල මේ දෙපිරිසම සමානය. ඒක් අයෙක් නැතිව අනෙකාට පමණක් බලය ලබා ගැනීම කළ නොහැකිය. එනිසා 95% ක් ගෙනැවිත් පසුගිය රජය පෙරලා දැමුවේ අපි යැයි කීමට කිසිවකුටත් පුලුවන් කමත් නැත. 95% ක් තිබුණ ද ඉතිරි 05% නොතිබෙන්නට සදාකාලිකවම විපක්ෂයේ සිටීමට එ.ජා.ප ට සිදු වනු නියතය. එනිසා අප තේරුම් ගතයුත්තේ 05% නොතිබෙන්නට 95% ට අගයක් නොමැති බවය. අද වන විට මෙම ක්‍රියාවලිය ආපසු හැරවිය නොහැකි සන්දර්භයකට පැමිණ ඇත්තේ ද පෙර සඳහන් කළ 95% නිසා නොව 05% නිසාය. බොහෝ දෙනා තෙරුම් නොගන්නේ මෙයයි.

නව මාධ්‍ය ක්‍රියාකාරිත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස බලාත්මක වී පවතින නිසා අප නොසිතන බොහෝ දේ වෙමින් තිබේ. උදාහරණයකට ඇමතිවරයකුට සිය ධූරය අහෝසි විය. මහා බැංකු අධිපතිට කොතරම් දේශපාලන බලයේ සහයෝගය තිබුණ ද සිය ධූරය අහිමි විය. බොහෝම මෑතදී බී.ඕ.අයි සභාපතිට ඉල්ලා අස්වීමට ද සිදු විය. මේවා මීට ප්‍රථම දේශපාලන සන්දර්භය තුළ අප නොදුටු කාරණාය. මෙතෙක් පැවති සන්දර්භය යටතේ බලය පැවතුනි නම් හොඳින් හෝ නරකින් එම ධූරවල රැඳී සිටීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව බලන කල වත්මන් දේශපාලන සන්දර්භය ඉතා හොඳ ප්‍රවේශයකට පැමිණ තිබේ. එය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම වඩා යහපත්ය. මොන මොන අඩු පාඩුකම් යටතේ වුවත් ශක්තිමත් සිවිල් අවකාශයකට අප පැමිණෙමින් තිබේ. මේ සිවිල් අවකාශය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය හසුරවනු ලබමින් තිබෙන අතර එය ඉතාම සාධනීය තත්ත්වයකි. එතෙක් නොතිබුණු ප්‍රජාතන්ත්‍රීය සංවාදමය අවකාශයක් නිර්මාණය වී පැවතියද ඇතැම් විචාරකයින් ගොඩනඟන තර්කයක් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමේ වුවමනාවක් මිසක ඉන් එහාට රජයක් පවත්වාගෙන යාමට දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ දේශපාලන එකඟතාවයක් නොවුණු බවය.

ඒ තුළ සත්‍ය මෙන්ම අසත්‍ය යන දෙකම අන්තර් ගතව පවතී. උදාහරණයකට මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මූලික කරගෙන බිහිවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය හා නිදහසේ වේදිකාව වැනි එකිනෙකට වෙනස් දේශපාලන දෘෂ්ටීන් සහිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් ගණනාවක් මෙම ක්‍රියාවලිය සඳහා යොමු වී සිටියේය. එසේ වුවද පසුව මේ සියලු දෙනා එක පිළකට පැමිණියේය. සෝභිත ස්වාමීන්වහන්සේගේ පාර්ශ්ව පැත්තෙන් එතෙක් පැවති දේශපාලන සංස්කෘතියෙන් බැහැරව “දේශපාලන සංක්‍රමණීය අවධිය“ පිළිබඳ අදහස් දැක්වීමක් නීතීඥ එල්මෝ පෙරේරා මහතා සිදු කළ අතර එමගින් මාස 06ක කාලයක් තුළ මාසයක් පාසා දේ සිදු විය යුතු විවිධ ‘සන්ධිස්ථානයන්‘(Milestone) පිළිබඳව ඒ මහතා විසින් යෝජනා කර තිබුණි. අවාසනාවකට එ.ජා.ප විසින් එම යෝජනාව ප්‍රත්ක්ෂේප කර ඒ වෙනුවට දින සීයයේ වැඩසටහන ඉදිරියට ගෙන ආවේය.

බල දේශපාලනයට සියල්ල යටත් වන අතර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යාය පත්‍රය අවශ්‍ය වන්නේ බල පිරිමිඩයේ ඉහළින්ම සිටින අතලොස්සකට පමණකි. මීට පරිබාහිරව සමස්ත සමාජය ලෝකය දෙස බලන්නේ ඒ ආකාරයේ පුළුල් සන්දර්භයකින් නොව නිවාස, ආහාරපාන, රැකීරක්ෂා ආදී මූලික අවශ්‍යතාව සලකාය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමානාත්මතාව, මානවහිමිකම්, ව්‍යවස්ථා සංශෝධනය ආදී දේ පිළිබඳ අදහසක් ඇත්තේ ඉහත සඳහන් කළ ආකාරයේ පිරිමිඩයේ උඩ සිටින ඉතාම සුළු පිරිසකට පමණි.

ඒ අනුව අපට පළමුවන දවස් 300ය 600ය ඇතුළත ඉතා සැලැසුම් සහගතව කටයුතු කළ යුතුව තිබුණු අතර, ඒ කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම ඉලක්ක විය යුතුව තිබුණි. එසේ නොවුණහොත් එය සිහිනයක් වන බව 1948 සිට අප ලැබූ අත්දැකීම් විසින් අපට කියා දී තිබුණද එය එසේම විය. එසේ වූවා නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අවම වශයෙන් ඡන්ද ක්‍රමය හෝ බලය බෙදීම පිළිබඳව හෝ යෝජනා සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතුව තිබුණි. ආරම්භක ශක්තියෙන් එයට අවශ්‍ය පසුබිම ඕනෑවටත් වාඩා හොඳින් නිර්මාණය වී තිබුණද අපට ඒ සඳහා සැලැසුමක් නොතිබුණේය. එසේම ආර්ථිකය පිළිබඳවද සංකල්පමය අදහසක් විනා මහපොළොවට දැනෙන ආකාරයේ ආර්ථික සැළසුම් අපසතුව නොතිබුණි. එය මේ වන විට සනාථ වී තිබේ. ඉන් අපට ගම්‍ය වන්නේ මේ බල පෙරළියේ ඇත්ත අවශ්‍යතාව පැවතියේ දේශපාලන සමාජයට නොව සිවිල් ජන සමාජයට බවය. අනෙක් පාර්ශවයන්ට මෙය හුදෙක් බල පෙරළියක් පමණකි.

ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකින් යුතුව එකට වැඩ කිරීමේ සන්දර්භයක් (ජාතික විධායක සභාව) දින සියය ඇතුළත ක්‍රියාත්මකව පැවතියද ඉන් අනතුරුව ඒ තත්ත්වය අහෝසි විය. අප විසින් අත්හදා බලනු ලබන අලුත් ක්‍රමය එනම්, සම්මුති බද්ධ ප්‍රජාතන්ත්‍රවාදය (Consensual Democracy), හා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) එකතුවකි. 1948න් පසුව බල දේශපාලනයේ ගමන් කළ රටකට මෙය අලුත් අත්දැකීමකි. නමුත් එය මතවාදීව තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව අපොහෝසත් වී ඇත. එනිසා මේ ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් ලෙස දැකීමට ජනතාව පෙළඹී සිටිති. ස්විස්ටර්ලන්තයේ ද ඇත්තේ ජනාධිපති කවුන්සිලයකි. එහි මහජන නියෝජිතයින් හොඳින් කල්පනා කර බලා සෙමින් තීන්දු තීරණවලට එළඹේ. එසේ නොමැතිව රාජපක්ෂ ආණ්ඩුව මෙන් පොල්ලක් අතට අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට කටයුතු කළ නොහැකිය. කිසියම් කටයුත්තක් සිදු කිරීමේදී සම්මුතියක් සඳහා එකඟතාවයන් ගණනාවක් සමඟ කටයුතු කළ යුතුවේ. එලෙස එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේදී ඒවා ක්‍රියාක්මක වන්නේ සෙමිනි. එනිසා රාජපක්ෂ ක්‍රමයට හුරුවූ ජනතාවට මෙය පෙනෙන්නේ දුර්වල ආණ්ඩුවක් ලෙසය. එනිසා මේ තත්ත්වය විශාල මතවාදීමය අරගලයකින් තහවුරු කළ යුතුව තිබේ.

දෙවන කාරණය වන්නේ ජනතාවගේ ව්‍යාකූලත්වයයි. ප්‍රංශයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් තේරී පත් වීමේදී බලය බෙදාගැනීමේ ගිවිසුමකට අත්සන් තබන අතර, ඒ අනුව යම් යම් විෂයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයා බවත් අනෙකුත් දේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ අගමැතිවරයා බවත් රාජ්‍ය පාලනය පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇති කර තිබේ. මෙරටද වත්මන් තත්ත්වය එය වුවත්, ජනතාවට පැහැදිලි වන ආකාරයේ නිශ්චිත බල බෙදීමක් පෙනෙන්නට නැත. මේ හේතුව නිසා ජනාධිපතිවරයා කරන දේ අගමැති කරනවද, අගමැති කරන දේ ජනාධිපතිවරයා කරනව ද යනාදී වශයෙන් මතවාදීමය ව්‍යාකූල තාවයකට ජන සමාජය පත්ව තිබේ. මේ තත්ත්වයේදී පරාජිත පාර්ශ්වවලට ද කිසියම් අවකාශයක් විවර කරදී තිබේ. එනිසා මෙම ව්‍යාකූලව පවතින සමාජයට විවිධ ප්‍රතිපත්ති ගෙනැවිත් නැවත ඒවා සංශෝධනයට ලක්කිරීමට පියවර ගැනීම ඔවුන් අර්ථ දක්වන්නේ ආණ්ඩුවේ අර්බුදයක් ලෙසය. උදාහරණයකට “වැට් ගේනව, නැවත ආපස්සට අදිනව, සංශෝධනය කරනවා“ මේ දෙස බලා සිටින ජනතාව තවත් ව්‍යාකූලත්වයට පත් වේ. එහෙත් ප්‍රංශයේ මෙවැනි තත්ත්වයක් උත්පන්න වී නොමැත. ප්‍රංශයේ නිශ්චිත බල බෙදීමේ ගිවිසුමක් ආරම්භයේදීම අත්සන් කර ක්‍රියාත්මක කරන අතර එනිසා ඒ පිළිබඳ අවබෝධයක් ජනතාවට ලැබේ. එනිසා එම සමාජය මෙලෙස ව්‍යාකූල නොවේ. අපේ රටේ එවැනි ගිවිසුමක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතිනවා වන්නට පුලුවන. නමුත් එය මූලික වශයෙන් අත්සන් කළ යුතුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවය. මන්ද අවසානයේ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව පවරා තිබෙන බලතල නිසාය. මේ නිසා ඒ පිළිබඳ දැනුවත් භාවයක් අප ජන සමාජයට නොමැති අතර, ඔවුන් ක්‍රමක්‍රමයෙන් ව්‍යාකූලත්වයට ඇද වැටෙමින් තිබේ. මෙය කල්පවත්නා ආණ්ඩුවකට හෝ නැවත බලය ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන පක්ෂයකට හෝ එතරම් සුභදායක තත්ත්වයක් නොවේ.

 

තුන්වන කාරණය වන්නේ, මහින්ද රාජපක්ෂ ගොඩනැගූ දේශපාලනය මතවාදීව පරාජය නොකිරීමය. කිසියම් ආණ්ඩුවක් බලයට පත්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමන් විසින් යෝජනා කරන ධර්මතා, වටිනාකම්, ව්‍යවස්ථාමය වෙනස්කම් (Constitutional vision) රැගෙනය. එසේ නම් අප එය අන් අයට වඩා ප්‍රායෝගිකව සාර්ථක ලෙස ඉටු කරන බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු වේ. එහෙත් එවැන්නක් මෙතෙක් සිදු වී නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ පැවති අශිෂ්ට දේශපාලනය විසින් පෙරලා ආණ්ඩුව ප්‍රශ්න කිරීමට තරම් ශක්තිමත් වී ඇති තත්ත්වයකි. චරිත හේරත් මහතා වරක් සඳහන් කර සිටියේ “රාජපක්ෂ ආණ්ඩුව බුද්ධිමත් ආණ්ඩුවක් බවත්, වත්මන් ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක් බවත්“ ය. එහෙත් මගේ මතය වන්නේ පසුගිය ආණ්ඩුව දුෂ්ට කපටි ආණ්ඩුවක් වන බවයි. ඒ නිසා දුෂ්ට කපටිකම් නැති වුණාම සමහර අයට පේන්නේ ඒ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක් ලෙසය. ගහන අයට නොගහන විට, උද්ඝෝෂකයින් රාත්‍රියට පැමිණ ඔසවාගෙන යන්නේ නැති කොට, “අපි කළේ මෙහෙමයි මුන්ට ඒකවත් හරියට කරන්න තේරෙන්නේ නැද්ද “යනාදී වශයෙන් සිතමින් එසේ ආණ්ඩුව මෝඩ යැයි සිතීම සාධාරණය. නමුත් එය දේශපාලන දර්ශනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා ශීලාචාරභාවය පිළිබඳ ගැටලුවකි.

අපි කිසි ලෙසකින්වත් රාජපක්ෂ මහතාගේ දේශපාලනයට වෛර නොකරන අතර, ඔවුන් මරණයට පත්වීමට හෝ ගුටි කෑමට හෝ කකුල් අතපය අහිමි වීමකට ලක් විය යුතු යැයි කිසිලෙසකින්වත් නොසිතමු. අප ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන්නන් ලෙස විසම්මුතිය අගයන අතර, අප සිතන්නේ එතුමා කැමති දේශපාලන මතයක් දැරීමට එතුමාට අයිතියක් ඇති බවය. විසම්මුතිය යනු “ඔබට මට විරුද්ධ වීමට අයිතියක් ඇත. ඒ අයිතිය මම දිවිහිමියෙන් රකිමි“ යන්නය. එනමුත් ඔවුන්ගේ පාලන කාලය තුළ විරුද්ධ මතයකට ඉඩක් නොතිබුණි. එවැනි ලෝකයක ජීවත්ව සිටි අයට මේ ආණ්ඩුව මෝඩ ලෙස පෙනීයාම එතරම් ගැටළුවක් ද නොවේ.

අනෙක් අතට රාජපක්ෂ දේශපාලනයේ බුද්ධිය වෙනුවට ක්‍රියාත්මකව පැවති කපටිකමය. බුද්ධිය සාපේක්ෂ වන අතර එය ඥානවිමර්ශනක් ද සත්තාවාදී ද යන්න විමසා බැලිය යුතු කාරණයකි. එවැනි බුද්ධිමය ප්‍රබෝධයක් ඔවුන් සතුව නොතිබුණි. එය බුද්ධිවාදය ලෙස පවසන්නේ නම් එ‍හි පැවැති බුද්ධිවාදය කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් ජනිත කරයි. එය හුදු අලංකාරිකයකි. අප මෝඩයි කියා පවසන්නේ අප ඔවුන් මෙන් දුෂ්ට නොවන නිසාය. අපි බුද්ධිවාදී නැතැයි පවසන්නේ අප ඔවුන් මෙන් කපටි නොවන නිසාය. සත්‍ය නම් මේ ආණ්ඩුව ඇනගෙන ඇත්තේ මහත්වරුන්ගේ දේශපාලනය කිරීමට යාම නිසාය.

“යකාගේ හැටියට විමානේ“ යනුවෙන් මෙරට ජනගතව පවතින කියමනට අනුව බලන කල අප ජන සමාජය දියුණු නොවූවකි. මම මෙහිදි දියුණුයි යනුවෙන් වරනගන්නේ ෆ්‍රොයිඩියානු අර්ථයකිනි. සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව මානවයා තුළ මූලික ආශයන් (ලිංකත්වය-Sex,බලය-Power) සහ ප්‍රචණ්ඩත්වය -Violence) පවති. අපි සංස්කෘතික නැති නම් ශිෂ්ට මිනිසා ලෙස අර්ථ දක්වන්නේ මේ ආශයන් යටපත් කළ තැනැත්තාය. ඒ අනුව පැන නගින ගැටළුව වන්නේ අප සංස්කෘතිකද යන්නය. අපි අතීතයේ පැවති මහා සංස්කෘතියක් ගැන කතා කළද බලය පිළිබඳ කාරනාවේදී අපේ ප්‍රවිෂ්ටය කුමක්ද? හිංසනය පිළිබඳ කාරණාවේදී අපේ ප්‍රවිෂ්ටය කුමක්ද? අනෙක් පැත්තෙන් මුහුණ පොතේ ඇති වන දේශපාලන සංවාද දිහා බලන විට අපට තේරුම් යන්නේ කුමක්ද. ෆ්‍රොයිඩියානු අර්ථයෙන් නම් අප සිටින්නේ ප්‍රාග් ඓකිහාසික යුගයකය. එනම් මැඩ ගත යතු ආශයන් ක්‍රියාවේ යොදවන ජන සමාජයක් ලෙස අප සමාජය තේරුම් ගැනීමට හැකිය. ඒ තුළ අනන්‍යවූ සංස්කෘතික වපසරියක රාජපක්ෂ අධිනිශ්චයවීම අහඹුවක් නොවන බව සාමාන්‍ය සත්‍යකි. එනිසා අප ගොඩ නැගීමට උත්සාහ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඒ හා බැඳුණු ව්‍යවස්ථාමය වෙනසක් හෝ ප්‍රායෝගික නොවන්නකි. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ ඒ ආශයන් අමන්ත්‍රණය කළ හැකි මිල්ටරි පන්නයේ ඒකාධිපති ආණ්ඩුවකි. ඒ නිසා “මුන්ට ඕව හරියන්නේ නැහැ. දෙකේ දෙකේ පොල්ලක් අරන් කිව්වොත් තමයි හරියන්නේ“ කියා කෙනකුට කිව හැකිය. එය සත්‍ය වන නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නන් ලෙස අපි කිසිවිටෙකත් එය අනුමත නොකරමු. එනිසා කුමන තත්ත්වයක් පැවතියද මේ ආරම්භ කළ ගමන ඉදිරියට යා යුතුය. නමුත් අප පැහැදිලිව තේරුම් ගත යුතු සත්‍ය වන්නේ මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පිරිස ඉතාම සුළුතරයක් වන බවය.

විශාල සිවිල් දේශපාලන අවකාශයක් නිර්මාණය වූ බව අපි මුලදි සඳහන් කළෙමු. ලොව පුරා විසි එක්වන සියවසේ දේශපාලන ස්වභාවය මෙය වේ. ප්‍රංශයේ ජනාධිපතිවරයා තේරීපත්වන්නේ මෙවැනි සිවිල් දේශපාලන අවකාශයකින් පසුවය. ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට අයත් පුද්ගලයකු නොවේ. මෙරට ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය මත ගොඩනැගෙන දේශපාලන අභිලාශයන් (දේශපාලනික ප්‍රාර්ථනාවන්) බිඳවැටිම පිළිබඳ වෛරයක් ජනතාව තුළ ඇත. මේ අභිලාශයන් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ආණ්ඩුවකට අපහසුය. මේ අභිලාශයන් සමාජ යථාර්ථයක් වුවද එය ඉටු කිරීම සුළුපටු කාර්යයක් නොවේ. සරල උදාහරණයකින් පවසන්නේ නම් හොරු ඇල්ලුවේ නැද්ද? කියා කෙනෙක් අසන විට පෙරකී අභිලාශය සහිත පුද්ගලයා තුළ ඇත්තේ එක් අරමුණකි. ඒ “හොරා අල්ලපන්“ යන්නය. නමුත් හොරා ඇල්ලීමට යන විට; නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති ගැටළු, පොලිසියේ ඇති ගැටලු, ඩීල් තියෙනව නම් ඒවයේ ගැටලු. ආදී වශයෙන් සියලු ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දිය යුතු වේ. එහෙත් සාමාන්‍ය මනුෂ්‍යයා තුළ ඇති වන්නේ “මම බලාපොරොත්තු වුණේ යුක්තිය, මං ඒ වෙනුවෙන් උඹලට ඡන්දය දුන්නා. දැන් ඒක ඉෂ්ට කරපං“ යනුවෙනි. ඒ නිසා ආණ්ඩුව කෙරෙහි කිසියම් තරහක් සමාජය තුළ පැවතීම ස්වාභාවිකය.

මේ වන විට වසර දෙකහමාරක් ගත වී අවසන්ය. දැන් නව තරංග ආයාමකින් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතුව තිබේ. එවිට නැවතත් වියෝවී සිටින ජනකොටස් ආකර්ෂණය කර ගත හැකිය. මෙහි දී අපට මුහුණ දීමට සිදු ව ඇති මූලික අභියෝග පිළිබඳව අවධානය යොමු කළයුතු වේ. 2009 වන විට අධිනිශ්චය වී පැවතියේ යුද්ධය හා සාමය පිළිබඳ න්‍යාය පත්‍රයකි, ජනවාරි 08 වන විට පැවතියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යාය පත්‍රයකි, නමුත් අද අධිනිෂ්චය වී ඇත්තේ ආර්ථික න්‍යාය පත්‍රයයි. එනිසා මේ මොහොතේ සියලු සම්පත් යෙදවිය යුත්තේ මුහුණ දී සිටින ආර්ථික ගැටලුවෙන් ජනතාව මුදවා ගැනීම සඳහාය. අප මේ තාක් පැමිණි ආර්ථික ගමන්මග හේතුවෙන් අපේ සමාජය පවතින්නේ ඉතාම කණගාටු දායක තත්ත්වයකය. එය භෞතික වශයෙන් අපට නොපෙනේ. උදාහරණයකට ලංකාවේ පවතින නිරපේක්ෂ දුප්පත්කම සංඛ්‍යා ලේඛනවලට අනුව ඇත්තේ 07% කි. එහෙත් සාපේක්ෂ දුක්පත්කම සියයට පනහකට වැඩිය. එනිසා අපගේ අවදානය යොමු කළ යුත්තේ නිරපේක්ෂ දුක්පත්කම ගැන නොව සාපේක්ෂ දුක්පත්කම පිළිබඳවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මනුෂ්‍යයකුට සිහිනැතිව ඉඳීමට කිලෝ කැලරි 2200ක් අවශ්‍යය වේ. එනම් සිහිමුර්ජා නොවී පැවතීම සඳහා අවශ්‍ය අවම ඒක පුද්ගල කැලරි ප්‍රමාණය මෙය වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කිලෝ කැලරි 2200ක් ලබාගැනීම සඳහා පරිභෝජනය කළ යුතු භාණ්ඩ හා අනෙකුත් පහසුකම් සලසකා බැලීමේදී සිව්දෙනකුගෙන් යුතු පවුලකට දිනකට රුපියල් 1000ක් අවශ්‍ය වේ. ඉන් 50% ආහාරවලට හා අනෙකු දෑ සඳහා 50% වැය වේ. ඒ අනුව අවශ්‍ය මාසික ආදායම රුපියල් 30,000 කි. ලංකාවේ තිස්දාහක් උපයන්නේ රජයේ සේවකයින් පමණය. එසේ නම් රුපියල් 15000 ගන්න පවුල් කොපමණ සංඛ්‍යාවක් මේ රටේ පවතීද? ඒ අනුව අවම කැලරි ප්‍රමාණයෙන් භාගයක්වත් ඔවුහු පරිභෝජනය නොකරතිි. සාපේක්ෂ දුක්පත්කම යනුවෙන් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. එනිසා අප විශාල වශයෙන් අවධානය යොමු කළ යුත්තේ මේ පරිධියේ ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය ආර්ථිකමය වශයෙන් ගොඩනැගීම සඳහාය. එසේ නොමැතිව අප ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කොතරම් කතා කළ ද ඉන් ඵලක් නම් නොවනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගැටගැසී පවතින්නේ තෝරා ගැනීමේ නිදහස මතය. ආර්ථික වශයෙන් තර්කානුකූල ජීවිතයක් නොගෙවන ජනතාවකට නිවැරදි වරණයකට යොමුවිය නොහැකිය. අද අප සමාජයේ දකින්නේ එම තත්ත්වයයි. ජනමත විචාරණයකට යා යුතු යැයි සිවිල් සංවිධාන පවා හඬනගා පැවසුවද යථාර්ථය මෙය වේ. ඒ අනුව ජනතාව තීන්දු තීරණ ගන්නේ ව්‍යවස්ථාව හොඳද නරකද කියන කාරණාව මත නොව ආණ්ඩුව තමන්ට මොනවද ලබා දී ඇත්තේ යන පදනමේ සිටය. එනම් අවසානය තීරණය වන්නේ ආර්ථික වශයෙන් තමන් කෙතරම් සමෘද්ධිමත්ද යන්න මතය. එවැනි පසුබිමක වරණය (තෝරාගැනීම) හේතුවාදීව ප්‍රකාශ වන්නේ යැයි නිගමනය කළ හැක්කේ කෙසේද. ඒ නිසා සාපේක්ෂ දරිද්‍රතාවය ඉවත් කිරීමට අප වහා ක්‍රියා කළ යුතු ය. 

Comments