ගන්ඨාර හඬක රැව්දෙන කුරුලු ගීතය | Page 2 | සිළුමිණ

ගන්ඨාර හඬක රැව්දෙන කුරුලු ගීතය

 විශ්වයම ඇහැරී ගී ගයන උදේ පාන්දරක, කුරුල්ලා මිනිස්සු හොයාගෙන පියාඹන්න පටන් ගත්තා. හිරු එළිය ඇවිත් පොළොවේ ජීවය අලුත් කරනවා. මීදුම තැවරුණු සීතල සුළං කඳු මුදුන් අතරින් තාලයට හමනවා. ඒ රිද්මයේ තාලයට ගස් වැල් හෙමි හෙමින් රංඟනයේ යෙදෙනවා. නොනවතින ගංගාවකට ළං ළංව ගං ඉවුර රහස් කියනවා. ඒ හැම දේම මැද්දෙන් අවුරුදු තිහකට පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මිනිස්සු වෙනස් වෙනස් පාරවල ඇවිදගෙන ආවා. හැම දෙනාම එකතු වෙලා එකම පාරක කරුණා කරන්න ලෑස්ති වෙනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා නඩේගුරා වෙලා බොහොම සන්තෝෂයෙන් මිනිස්සු එක්ක කරුණා කරන්න පටන් ගත්තා.

බෞද්ධ වන්දනාකරුවන්ට, ශ්‍රී පාදය වුණු, කතෝලික වන්දනාකරුවන්ට, ඇඩම්ස් පීක් (Adam’s peak) වුණු, ඉස්ලාම් වන්දනාකරුවන්ට ආදම් මලෙයි වුණු, ශිව වන්දනා කරුවන්ට, ශිවන් ඔලි පාදම් වුණු, ශ්‍රේෂ්ඨ පා සටහනක ආශිර්වාදය ලබන්න මිනිස්සු කරුණා කරනවා.

ඒ හැම නඩේකම හිටියේ වන්දනාවේ යන කෝඩුකාර මිනිස්සු. ඒ හැම මනුස්සයෙකුගේම හිතේ ශ්‍රද්ධාවත්, විශ්වාසයත්, අධිෂ්ඨානයත්, ලියලා වැඩෙන අපූර්වත්වය කුරුල්ලාටත් දනුණා. කුරුල්ලා පොළොවට ළං වෙලා මිනිස්සුත් එක්ක කරුණා කරන්න පටන් ගත්තා. ඒ අතර කුරුල්ලා කවි කියන්න පටන් ගත්තා.

උතුරින් ඇසේවා කවි සිළුමිණි ගී ගැයෙනූ
දකුණින් ඇසේවා තිරුක්කුරල් ගී ගැයෙනූ
හැමතින් පෙනේවා මිනිසත් බව වැඩෙනූ
හැමතින් ඇසේවා මංගල ගී ගැයෙනූ

(මණ්ඩාවල පඤ්ඤවංස හිමි: මම වෙම් ද නොවෙම් ද නොවෙමි: 82 පිටු)

කුරුල්ලා මිනිස්සුන්ට කිව්වා. ගමන පටන් ගෙන ඉවරයි. කට වරද්ද නොගෙන කරුණා කරන්න හැම මනුස්සයෙක්ම පරිස්සන් වෙන තරමට මිනිස්සුන්ගේ ජීවිත ආරාක්ෂා වෙනවා.

හැම යහපත් සිතුවිල්ලක්ම මිනිස්සුන් ඉදිරියටම ගෙනියනවා. මේ වන්දනාවේ කරුණා කරන හැමෝම මිනිස්සු විදිහට අයහපතට යහපත එක් කරන්න අධිෂ්ඨානය වැඩිය යුතු වෙනවා. මේ ගමනේ යෙදෙන හැම මනුස්සයකුටම අරමුණක් තියෙනවා කියලා කුරුල්ලා කිව්වා. ඒ හඬ අහගෙන මිනිස්සු නොනැවතී කරුණා කළා.

“ඉතා ශ්‍රේෂ්ඨ යුතුකම නම් , දුෂ්ටයාට මෛත්‍රී කිරීමය. යම් කිසිවෙක් නුඹට වතුර වීදුරුවක් දුන්නේ නම්, ඒ අයට යහමින් කෑම ස්වල්පයක් දෙන්න. යමෙක් ඔබට ශූභ ප්‍රාර්ථනා කරන්නේ නම්, නුඹ ඔහුගේ දෙපා නමඳින්න. යමෙක් නුඹට සතයක් දුන් විට නුඹ ඔහුට රන් කාසීයක් දෙන්න. යමෙක් ඔබේ ජීවිතය බේරා ගත්තේ නම්, නුඹ ඔහුට නුඹේ ජීවිතය පිදීමට ලැහැස්ති විය යුතුය. යමෙකු නුඹට උපකාරයක් කළොත්, නුඹ ඒ අයට එයට වඩා උපකාර කළ යුතුය. සෑම මිනිසෙක්ම එක හා සමාන බව, ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ සලකන බව මතක තබා ගන්න. එවැන්නෝ පමණක් සෑම විටම අයහපතට යහපත සිදු කරනු ඇත”.

-මහත්මා ගාන්ධි-

 

ළිහිණිහෙලේ දී හැමෝම පේළියට හිටගෙන සැරින් සැරේට ළිහිණි අක්කට ඇහෙන්න දුක කියන්න පටන් ගත්තා. ඒ හැම තැනකින්ම හුවමාරූ වෙන සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මැලේ, තෙළිඟු භාෂාවන්ගේ කට හඬවල් කුරුල්ලට ඇහුණා. මහ පොළොවෙ ඉතිරි වුණු අම්මලාත් තාත්තලත්, තමන්ගේ පුතා ගෙනත් දෙන්න කියලා කෑ ගැහුවා. සැමියන් අහිමිවුණු බිරින්දෑවරූ තමන්ගේ සැමියා ඉල්ලලා කෑ ගැහුවා. සහෝදරයන් නැතිවුණු සහෝදරියෝ හඬ හඬා ඔවුන් තවමත් ගෙදර ආවේ නැති බව ළිහිණි අක්කට කිව්වා. ඒ හැම කෙනෙක්ම අතීතයටත්, වර්තමානයටත් කතා කළා. ඒ කතාවල වේදනාවේ දෝංකාරය ගව් ගනණක් දුර ගිහින් ගල් පර්වතවල වැදිලා ආපහු එනවා.

අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් හිත්වල ගුළි කරන් හිටිය වේදනාවත්, වෛරයත් ඉවර වෙන තුරුම, ළිහිණි අක්කට දුක කියලා මිනිස්සු කෑ ගැහුවා . ඔවුන්ගේ හිත් සුවපත් වනතුරු එකිනෙකා වැළඳගෙන ඇති තරම් හඬා වැළපුණා මිනිස්සුන්ගේ හිත් ටික ටික නිදහස් වුණා. ඒ හැම දේම දරාගෙන ළිහිණි අක්කා ඔවුන්ට ඇහුන්කන් දුන්නා. එකම උත්තම වන්දනාවක් වෙනුවෙන් හිතේ ඉපදෙන විශ්වාසයේ දීප්තිය ඒ හැම කෙනෙකු ගේ හදවතේ නින්නාද දෙන රිද්මය කුරුල්ලට දැනුණා.

ඉන්පසු මිනිස්සු හැමෝම සීත ගඟුලට බැහැලා පේවෙන්ඩ පටන් ගත්තා. ඒ අතර සමහරු පාපොච්චාරණය කරමින් කළ වැරැදි කමා කරගන්නා හඬ කුරුල්ලට ඇහුණා. සීත ගඟුල මිනිස්සුන්ව පාරිශුද්ධත්වයට පත් කළා.

හැම මනුස්සයෙක් තුළම පැවති ක්‍රෝධය, වෛරය, පළිගැනීම, අවිශ්වාසය වතුරේ දිය කරලා හැරලා මිනිස්සුන්ව අලුත් කළා.

සිතත්, ගතත්, පේවෙන තුරුම සීතල වතුරේ බැහැලා මිනිස්සු නෑවා. ඔවුන් තුළ පැවති ජාති වාදය, ආගම් වාදය, කුල වාදය නැමති අයහපත, සීතගඟුලේ සේදී සේදී ගලා ගෙන ගියා. කුරුල්ලත් ඉක්මනින් සීතල වතුරට බැහැලා නාගෙන ගොඩට ඇවිත් අත්තටු පිහදාගන්න පටන් ගත්තා. ඒත් එක්කම මිනිස්සුත් ගං ඉවුරට ඇවිත් ආයෙත් කරුණා කරන්න ලෑස්ති වුණා. එතකොටම කරුණා කරලා බහින නඩයක් කවි කියන්න පටන් ගත්තා.

කොයි හංවඩුව ඇති වුව ආගමේ තියා.
කෙයි පණිවුඩය තිබිණි ද බයිබලේ ලියා.
ආදරයයි ආගම යනු සිතේ තියා.
මල් ගෙන පුදමු ඒ ආගම ලොවේ සොයා.

-මර්සලීන් ජයකොඩි පියතුමා-

 

ඉක්මනින්ම නඩේ ගුරා වෙච්ච කුරුල්ලා, නැඟලා බහින නඩේට බොහොම කරුණාවෙන් මෙන්න මෙහෙම කිව්වා.

ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්.
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්.
ඉන් එන පණිවුඩය නුවණට දැනීයන්.
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්.

-මර්සලීන් ජයකොඩි පියතුමා-

 

එහෙම කියාගෙන ඉඳිකටු පානට ළං වෙන තුරුම එක දිගමට කරුණා කළා. හැම මනුස්සයෙක්ම තම තමන්ගේ නූල් බෝල අරගෙන ලෙහන්න පටන් ගත්තා.

සමහර ගැට ගැසුණු නූල්වල ගැට ලෙහා ගන්න එකිනෙකා උදව් වෙනවා කුරුල්ලා දැක්කා. ලිහා ගත්ත නූල් කැරලි ඉඳි කටුපානේ ගෙත්තම් කරන්න පටන් ගත්තා. හැම ‍කෙනාගෙම බලාපොරොත්තුත්, විශ්වාසයනුත් සුදුපාට නූල්මත දිගෑරිලා දස දහස් ගණනින් විසිරිලා තියෙනවා කුරුල්ලා බලා හිටියේ ආසාවෙන්.

ඒ සුදුපාට නූල් මත වික්‍රමසිංහලාගේත්, කරුණාවතීලාගෙත්, කංකානම්ලාගේත්, යෝගරත්නලාගේත්, මුත්තුසාමිලාගේත්, මොහොමඩ්ලාගේත්, අන්සාරිලාගේත් පාට පාට බලාපොරොත්තුවල ආලෝකය කුරුල්ලට දැනුණා.

මහ ගිරිදඹත් නැඟලා නඩේ හැමෝම මළුවට ළංවුණා.

හැම මනුස්සයෙක්ම තමන්ගේ විශ්වාසය මුදුන්පත් කරගෙන හිතේ හැටියට ශ්‍රේෂ්ඨ පා සටහන වන්දනා කර ආශිර්වාදය ලබාගත්තා.

මහා පොළොවෙ හැම පැත්තකින්ම වන්දනාවට එකතුවුණු හැම මනුස්සයෙකුගේම හිතේ තිබෙන සන්තෝෂයෙන් විශ්වයම ආලෝකවත් වෙන්න පටන් ගත්තා. කුරුල්ලා දැක්කා.

අනෙකාගේ හදවත ගැහෙන හඬත්, තමන්ගේ හදවත ගැහෙන හඬත්, කෙතරම් නම් සමාන දැයි මිනිසුන් කල්පනා කරන්න පටන් ගත්තා.

අනෙකා යනු වෙන කිසිවෙකු නොව ඒ තමන්ම බව මිනිස්සුන්ට වැටහෙන්න පටන් ගත්තා. අනෙකා ද තමන් සේම හැඟෙන, දැනෙන මනුෂ්‍යයකුම බව මිනිස්සු හඳුනා ගත්තා. අලුත්ම සිතුවිලි පිරිච්ච දයාව කරුණාව වෑහෙන මානව ප්‍රේමයක් හැම හිතකින්ම ඇහෙන්න පටන් ගත්තා. ඒ හඬ ගීතයක් වෙලා, ගන්ඨාර ගහන වතාවක් පාසා කුරුල්ලට ඇහුණා. ලෝකේ හැම දවසක්ම ඒ ගී හඬ ඇහෙන දවසක් කරන්න කුරුල්ලට ඕනී වුණා.

කුරුල්ලා මිනිස්සු අතරින් ගිහින් ශ්‍රේෂ්ඨ පා සටහන වන්දනා කර ආශිර්වාදය ලබා ගත්තා. ඉන් පස්සේ මහ පොළොවෙ ජීවත් වෙන හැම මනුස්සයෙකුගේම යහපතත්, සතුටත් වෙනුවෙන් ආශිර්වාදයක් බවට පත්වෙන්න පටන් ගත්තා.

කුරුල්ලා දොළොස් මහේ පහනේ නොකඩවා දැල්වෙන ආලෝකය බටව පත් වෙලා හැම මිනිසකුමට හැම දවසකම ආශිර්වාදය ලබා දෙන්න පටන් ගත්තා.

ඉර සේවය කරන හැම උදේ පාන්දරකම ඉර එළිය පොළොවට වැටිලා පොළොව ආලෝකයෙන් පුරවන විට, ඒ හැම යහපත් දෙයක් තුළම කැරුල්ලා ජීවත් වෙන්න පටන් ගත්තා. වන්දනාකරුවන් ගන්ඨාර ගහන හැම වතාවකම මිනිස් ලෝකයට මිනිසුන් වෙනුවෙන් ගයන කුරුලු ගීතයේ කටහඬ ඇහෙන්න පටන් ගත්තා.

“ආදරණීය මිනිසුනේ මහ පොළොව මත ජීවත් වෙන සෑම මනුස්සයෙකුම මනුස්සයෙකු විදිහට දකින්න. ඔවුනට ගරු කරන්න. සැබෑවටම මිනිසාට ප්‍රේම කරන්න. ගහ කොළ සතා සිවුපාවුන් ආරක්ෂා කරන්න. සෑම විටම සැබෑ මිනිසුන් සේ සත්‍යයත්, යුක්තියත් වෙනුවෙන් පෙනී ඉඳින්න. සිය හෘදය සාක්ෂිය කවර තත්ත්වයක් යටතේවත් පාවා නොදෙන්න. එය යි, මේ විශ්වයේ මිනිසාගේ පැවැත්ම”.

ඩිනූෂා නදීකමාලී 

Comments