සීතල බිමක උණුසුම් කඳුළු | Page 2 | සිළුමිණ

සීතල බිමක උණුසුම් කඳුළු

 “මාස ගාණක් පෙරුම්පුරල යන්තම් ගිය සතියෙ ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගියා” හතරැස් මේසෙ එක කොණක වාඩිවෙලා හිටපු හීන්දෑරි හාදය කතාව පටන්ගත්ත.

“ ගෙදර අයත් එක්ක ගමනක් යන්න ඔච්චර පෙරුම් පුරන්න ඕනැයැ , අතේ සල්ලි තියේ නම් ඕනැ වෙලාවක ගන්න බැරිද” කෙනෙක් හරස් ප්‍රශ්නයක් දැම්මම උත්තරේ ලැබුණෙ මෙහෙමයි.

“ මට නිවාඩු තියෙද්දි අපේ නෝනට නිවාඩු නැහැ . අපි දෙන්නටම නිවාඩු තියෙන කොට පුතාට නිවාඩු නැහැ., පුතාට නිවාඩු ලැබුනම දුවට විභාග, හතර දෙනාටම එක පාර නිවාඩු ගන්න සෑහෙන කාලයක් බලා ගෙන ඉන්න වුණා”

“ කොහොමද ට්‍රිප් එක” කියල මමයි ඇහුවෙ.

“ වරදක් නැහැ , ඒසී වාහනේ ගිහිල්ල , දවස් දෙකක් ඒසී කාමරේක ඉඳල, ආයිත් වාහනේ එසී දාගෙන ගෙදර ආව. ගෙදර ඉන්නවට වැඩිය වෙනසක් වුණේ වැඩිපුර ඒසී එකේ හිටපු එක විතරයි “ කියල ඒයාම හිනාවුණා.

මගේ දකුණු අත පැත්තෙ මිත්‍රයා මෙහෙම කතාවක් පටන් ගත්ත.

“ එක දවසක් මමත් ගෙදර අයත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ආපහු එද්දි රේල් ගේට්ටුව ඉස්සරහ කෝච්චියට වාහනේ නැවත්තුව. කෝච්චි පෙට්ටියක හිටපු පොඩි දරුවො දෙන්නෙක් ජනෙල් කවුළුවෙන් එළියට ඔළුව දාගෙන පාර දෙපැත්තෙ හිටපු හැමෝටම අත වන වන යද්දි මට අපේ පොඩි කාලේ මතක්වුණා “

“ අපේ තාත්ත ගුරුවරයෙක්, එයාට කෝච්චියෙ වොරන්ට් තුනක් තිබුණ අවුරුද්දකට. හැම ස්කෝලෙ නිවාඩුවකටම බැරිවුණත් අඩුම ගානේ අවුරුද්දකට එක වොරන්ට් එකක් පාවිච්චි කරල අපිව කොහේ හරි කෝචිචියෙ එක්ක ගියා. අතේ මිටේ ලොකු සල්ලියක් තියාගෙන නෙමෙයි තාත්ත ඒක කෙරුවෙ, බොහෝම අරපිරිමැස්මෙන් යන ගමනක්. ගමනට දවස් ගානකට විතර ඉස්සර ඉඳන් අම්ම ලෑස්ති වෙනවා. මග දිගට කන්න කෑම ජාති එහෙම ලෑස්ති කරගෙන ගමන පිටත් වෙනව. කෝච්චියෙ ජනේලෙන් එළියට ඔළුව දාගෙන පාරෙ යන අයට අතවන වන යන ගමන ඇත්තටම කොච්චර සුන්දරද?. දැන් වගේ ඒසී කාමර නෙමෙයි. කොහේ හරි විශ්‍රාම ශාලාවක තමයි නතර වෙන්නෙ. එක දිගට පැදුරු එළාගෙන නිදාගන්නව. ඒව ගැන මතක් කරපුවමත් හිතට ලොකු සතුටක් දැනෙනව “ කියපුවම හැමෝම ටික වෙලාවක් නිහඬ වුණා.

“ඇත්ත තමයි, සුපර් මාකට් එකකට ගිහිල්ල යකඩ කුඩෙ, හරි යකඩ කරත්තෙ හරි තල්ලු කරගෙන රාක්කයක් රාක්කයක් ගානේ ඇවිදල බඩු තෝරාල ගත්තට මට නම් තවමත් මතකය තියෙන්නෙ පුංචි සන්දියෙ අම්මගෙ අතේ එල්ලිල ඉරිද පොළට ගිහිල්ල සතියටම ඇතිවෙන්න ගෙදරට බඩු ගෙනාපු හැටි. ඉරිද පොළ කියන්නෙ හරියට ගමේ හැමෝම සතියකට පාරක් එකට හම්බවෙන තැනක් වගේ. බඩු මල්ල පුරෝගෙන අන්තිමට බොම්බයිමොටයි කාරයගෙන් සත පනහක බොම්බයිමොටයි ටිකකුත් අරගෙන ගෙදර එන්නෙ කොච්චර සන්තෝෂයෙන්ද අප්පා” කියල කියද්දි හැමෝටම ඒ රහ දැනුණ වගේ .

ට්‍රිප් කතාව වෙන පැත්තකට ඇදිල ගිහිල්ල වෙන වෙන කතා පටන්ගද්දි මට මතක්වුණේ පහුගිය ඇසළ පෝයට ගෙදර අයත් එක්ක ගිය ගමන.

ඇත්තටම කීවොත් නම් ඒක ට්‍රිප් එකක් නෙමෙයි.

හපුතලේ කන්ද නඟිද්දි යන්තම්මවත් පොළවට එළිය වැටිල තිබුණෙ නැහැ. දකුණු අත පැත්තේ බෑවුමෙන් ඈතට විහිදෙන සුන්දරත්වය විඳින්න වාහනේ අයින්කරල නැවත්තුව. පැය ගාණක් එක දිගට ආපු ගමන් මහන්සිය සංසිඳිල අලුත් ප්‍රබෝධයකින් හැමෝම වාහනෙන් බැහැල සුන්දර දසුන දිහා බලානගෙන හිටිය.

ඒත් මම විතරක් වාහනේ වීදුරුව පහතට දාල අහසෙ දිළිසුණ ඇසළ සඳ දිහා බලාගෙන හිටිය. කොච්චර ලස්සන වුණත් ඇසළ සඳ නම් මට අවලස්සනයි . ඒ මීට අවුරුදු දාහතරකට කලියෙන් දවසක තාත්තව අපෙන් වෙන් කරපු දවස හින්ද.

රන්වැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මඟ තනන
සමනල පව්ව විය දුක සැප සම දරන
පිය මහ රජුණි අප ගෙපලේ රජ කරන

සුනිල් එදිරිසිංහයන්ගේ සින්දුව ඇහෙන හැම වෙලාවකම තාත්තගෙ මතකය තවත් අලුත්වෙනවා.

පහුගිය ඇසළ පෝය දාහතරම වෙන්කරගත්තෙ තාත්තා වෙනුවෙන්. ඒ මම විතරක් නෙමෙයි එයාගෙම දියණියකට සමානව සැලැකුම් ලබපු මගෙ බිරිඳත්, සීයා ගැන සුන්දර මතකයක් තියෙන පොඩි වුන් තුන් දෙනාත්.

බණ්ඩාරවෙල ටවුමට එද්දි උදේ දහයට විතර ඇති, බණ්්ඩාරවෙල ටවුමෙ ඉඳන් වැලිමඩ පාරේ වමට හැරිල ටික දුරක් ගිහින් කඳු මුදුනක තියෙන පරණ ගෙයක් ඉස්සරහ වාහනේ නතර කෙරුවෙ අපිට මේ ගමනට මඟ පෙන්වපු මගේ ඥාති සහෝදරයත් සහෝදරියත් ගමන් කරපු වාහනේ නවත්තපු හින්දයි.

අපිව පිළිගන්න පෙර මඟට ආවේ අවුරුදු ගාණක් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක වැඩ කරපු නයිටින්ගේල් දියණියක්. එයා තමයි කඳුළු ගෙදර භාර කාරිය.

ටික වෙලාවක් ගතවෙද්දි කෝච්චි පෙට්ටියක් වගේ ඇවිදින් පුංචි මල් කැකුළු විස්සක් විතර ඇවිත් අපි ඉස්සරහ පෙළට වාඩිවුණා.

ඔක්කොම අවුරුදු පහට අඩු පුංචි පැටව්. සමහරු එක දිගට තොර තෝංචියක් නැතිව කියවන අය. තවත් සමහරු කා එක්කවත් කතා බහක් නැතිව පාඩුවෙ ඉන්න අය.

කොණ්ඩෙ දිගට වවපු දඟකාර කෙල්ලෙක් ඇවිත් මගෙ ඔඩොක්කුවට පැන්නෙ කාලයක් දන්න අඳුනනව වගේ, එයාලගෙ යාළුවො ගැන, ආසකරන කෑම ගැන ගොඩක් විස්තර කියන්න ගත්ත.

ඒත් ඒ කිසි කෙනෙක් එයාලගෙ අම්ම, තාත්ත ගැන කියන්න නම් දැන ගෙන හිටියෙ නැහැ.

අපි ගෙනාපු රස කැවිලි බෙදා දෙනකම් සාලෙ මැද්දෙ තියෙන ලොකු පුටු පේලියෙ එක දිගට වාඩි වෙලා එයාලගෙ පුංචි ප්ලාස්ටික් පිඟන් ඔඩොක්කුවෙ තියාගෙන බලාගෙන හිටිය. පුංචි බඩගෙඩි ටික පුරුව ගත්තට පස්සෙ . කවදාවත් දැකල නැති තරම් සෙල්ලම් බඩු ගොඩක් අත් වලට ලැබුණම පුංචි ලස්සන මුහුණු තවත් හැඩවුණා.

අපිත් පැයක් හමාරක් පුංචි දරුවො වගේ, එයාලත් එක්ක ඇතිවෙනකම්ම සෙල්ලම් කළාට පස්සෙ මේ පුංචි දරුපැටවුන් බලා ගන්න දැන් ඉන්න අම්මල අපිට අවසර දුන්නෙ ඒ නිවහනේ ඇතුළු කාමරවලට යන්න.

පුංචි, පුංචි ඇඳන්වල දවස් දහයේ ඉඳන් මාස දහය දොළහ වෙනකම් වයස ඇති තවත් පැටවු දහ පහළොස් දෙනකු එක පෙළට ඉන්නව දැක්කම ඇස්වල කඳුළු හංගගන්න අපිට ලොකු වෙහෙසක් දරන්න වුණා.

අවුරුදු පහට අඩු පැටව් තිස් පස් දෙනෙක් ඒ නිවහනේ ඉන්නව. එයාල ජීවිතේ කිසිම දවසක නොකළ වරදකටයි මෙහෙම හිරවෙලා ඉන්නෙ.

පාලිකාව කියපු විදිහට මේ දරුවෝ තිස්පස් දෙනාගෙ කතා වෙන වෙනම ගත්තොත් “අහස යට” ට තවත් කතන්දර තිස් පහක් වේවි.

ඒත්, මම ඒ දරුවො එතනට එන්න හේතුවුණ දේවල් මොනවත් ලියන්නෙ නැහැ. සමහර කතන්දර මේ අහස යට සිදුවුණාදැයි හිතන්නටවත් බැරි දේවල්. කවද හරි ඒ අහිංසකයින්ට යහපත් විදිහට සමාජ ගත වෙන්න වාසනාව ලැබේවි කියල ප්‍රාර්ථනා කරන හින්ද යට ගියාව ගැන නෙමෙයි උන්ගෙ අද දවස වෙනුවෙන් යමක් කරන්න උත්සාහයක් ගන්න හිතුණා.

රජයේ අනුග්‍රහයෙන් පාලනය වන බණ්ඩාරවෙල සුජාතා ළමා නිවාසයේ පාලිකාව කියන විදිහට පොඩි උන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දෙන්න ඒ අය සමත්.

ඒත් , ඒ සීතල බිමට ගැලපෙන පොඩි ඇඳුම්, සෙල්ලම් බඩු, රසකැවිලි, ඇඳ ඇතිරිලි, වගේම පැම්පර්ස් වගේ දේවල් ලැබෙනවා නම් හොඳයිලු.

ඒ පුංචි දරුවෙකුට අම්ම, තාත්ත වෙන්න කැමැති කෙනෙක් ඉන්නව නම් නීතියේ ඉඩකඩ හදාගන්න පුළුවන් කියලත් දැනගන්න ලැබුණ.

හැමදාම අපි විතරක් සතුටු වෙන්න ට්‍රිප් ගියාට තනිවෙච්චි පැටවු ගොඩාක් සතුටු කරන්න ලැබුණ ට්‍රිප් එක ගැන නම් අපේ තාත්තත් කොහේ හරි ඉඳන් සතුටුවෙන්න ඇති.

අහස යට කියවන සංවේදී සිත් ඇති අයට සීතල බන්ඩාරවෙල පැත්තෙ ට්‍රිප් එකක් යද්දි පොඩ්ඩක් “සුජාතා” එකට ගොඩවැදිල පොඩි උන්ට දෙයක් දීල යන්න පුළුවන් නම් ට්‍රිප් එක ජීවිත කාලයටම මතකයේ රැඳේවි.

නැත්නම් ඒ වෙනුවෙන්ම දිනයක් දාගන්න පුළුවන් නම් තවත් කොච්චර හොෙඳද? එහෙම කෙනෙකුට මේ දුරකතන අංකයත් වැදගත් වේවි 0572222289. 

Comments