මී මනක් වූ මීමන! | Page 2 | සිළුමිණ

මී මනක් වූ මීමන!

(මීමන ප්‍රේමතිලක අනුස්මරණය ජූලි 12 වැනිදාට යෙදේ.)

මීමනක් තිබූ මීමන කිසි දවසක දවල් මිගෙල් රෑ දනියෙල් නම් වූයේ නැත. ඒ ඔහුගේ අවංකකමේ හැටියි. මේ පත්තරකාර කවියා බොහෝ විට අසල පිහිටි මීමන නමැති නිල්වන් ඇළෙන් නා සැනහී පසුව තමා වැඩ කළ පත්තර මහ ගෙදරට සම්ප්‍රාප්තව සිළුමිණ ප්‍රධාන කර්තෘ පුටුවේ වාඩිවූ වාර අනන්ත වේ. මුළු තම්බපණ්ණියම මීමන ප්‍රේමතිලක රසාදු කවියකු හැටියට අඩයාළම් තැබීය. මීමන ස්වකීය චරිතය තමා විසින්ම පසුගිය සඳකදී මෙසේ හඳුන්වා දී තිබෙනු රහසක් ද?; නැත. එනම් “රෑ මනමාලකම් ගැන හොඳ නම දරන - මීමන ප්‍රේමතිලක මගෙ නම ගම හොරණ.” මේ වූ කලී ඔහුගේ සුවිශේෂී නිර්ව්‍යාජත්වය බව නොදන්නා කෙනෙක් නොවේ.

ඉංගිරිසි කවීන්ද්‍රයකු වූ විලියම් වර්ඩ්ස්වර්ත් හට සපුරා සමපාත කළ හැකි මීමන ප්‍රේමතිලකයන් වෙතින් මී අඹ ගණනක් තරම් රසවත් පද්‍ය පන්ති චතුමදුර තරම් සහෘදයන් අතරේ සමාජගත වී තිබේ. ඒ අතරින් “නිල් දියේ නළඟන” මේ සොබාදම් කිවිඳුගේ මනෝහාරී පබැඳුමකැයි සඳහන් කළ මනාය. පුවත්පත් සංස්කාරවරයකු සන්තක අදීනත්වය හෙවත් කෙළින්කම ස්ථිරසාර ලෙස සනාථ කරවමින් රාජකාරි කිරීම ඔහු වර්තමානයේ පවා ගරු බුහුමනින් සිහිපත් කිරීමට තුඩු දෙන්නකැයි සිතේ. මේ වූකලී කොන්ද කෙළින් තබාගෙන උන් පත්තරකාරයකුගේ ගති සොබාව නොවේදැයි සපුරා පිළිවිසිනු වටී. එස්මන්ඩ් වික්‍රමසිංහ දවසක් මෙවැන්න නිසැකව පළ කරන්නැයි ඔහු වෙත ඕඩරය ගසා යැවීය. කර්තෘ වන මෙය, මට කැමති නම් විතරයි පළ කරන්නේ’ යි මේ අදීන කර්තෘවරයාගේ ප්‍රතිපත්තිය වූ නිසා තත් කළමනාකාර අධ්‍යක්ෂකයෝ මඳ සිනාවකින් මුව සරසාගෙන නිහඬ වූවෝය යි කියැවේ.

දැඩි අඳුර යන්තමකට එළිය කරගත් හෙයින් මෙන් ම තදබල ආලෝකය මඳ පමණකට හෝ වේවා අඩුලුහුඬු කර ගත් නිසා උක්ත නිදහස්කාමී මිනිසාගේ දිවි ඔරුව නිතරම පැදවුණේ සැඩ සුළං අඩු මුහුදක බව සඳහන් කළ යුතුව පවතී. මීමනගේ දිවි හරය වූයේ එයයි. ඔහු තරම් නිදහසට රුචි කළ කවියෙක් මේ මිහිපිට තවත් නැතැයි පවසන්නේ යන්තම්වත් අතිශයෝක්තියක නොගෑවෙන ලෙසයයි පවැසීම මම කැමැත්තෙමි. “My Love is Universal” යයි මේ මිහිපිට මල්සරා කිසියම් දවසක කීවේය. “මගේ ප්‍රේමය, ජීවිතය හා කලාව” මීමනගේ ස්වයං චරිතාපදානයකි. තෝමස් ග්‍රේ ගේ “Elergy Country Churchyard” ඈ කාව්‍යයෙන් ගම්‍යමාන වන අදහස් කරුණාරත්න ප්‍රේමතිලකයන්ට සමපාත වූ බැව් ප්‍රකට කරුණක් වනු නියතය.

‍‍ග්‍රේ සේ හේ ද ඊනියා දබරකාමී සමාජය පිළිකුල් කෙළේය. සොබාදහමේ කිවිඳාණන් වූ පර්සි බිෂී ෂෙලී සමඟ කීට්ස්, බයිරන්, හා වර්ඩ්ස්වර්ත් යන ශ්‍රේෂ්ඨ පද්‍ය රචකයන් සමකාලීන වූවා සේ අප මහා කිවිවරුන් වූ පී. බී. කුඩලිගම, කේයස් වැනි මුතුහර සමඟ මීමන මුතුකැටය ද සමපාත වූ බැව් ප්‍රකට කරුණකි. උක්ත ලේඛකයා හට අනන්‍යතාවය වූයේ සරල මෙන්ම සුගම බස් වහරයි. කොතෙකුත් නම් වැඩ තිබුණ ද තම ප්‍රියාදර පතිනිය වූ ඇඩ්ලින් හතමුණේ ප්‍රමුඛ දාරක - දාරිකාවන් පිළිබඳ කුටුම්බ ආදරය මොනවට තහවුරු කරන ලද මේ තුරු සෙවණක හීල් හුළ‍ඟේ විවේකීව සිටීම ද ප්‍රිය කළේය. බොහෝ සේ. කා හට වුවද මේ මිනිසා වෙතින් අබමල් රොනක තරම් වත් කරදරයක් සිදු නොවිණි සිහිනෙන් පමණවත්. මේ, මේ මිනිසාගේ හැටිය.

වෙසෙසින් ඉංගිරිසි සාහිත්‍යය ගැන අප කවියා හට තිබුණේ පෘථුල දැනුමකි. “පිපාස මල් බලා ගෙනෙම් සමුද්දරෙන් වැසි” යනුවෙන් ෂෙලීගේ CLOUD නම් වූ පැදිපෙළ ඔහු වෙතින් රසබරව සිංහලට පෙරැළුණි. දිනක් රසිකයකු යමක් ලියන්නැයි මීමනට සෙනෙහසින් සමරු පොතක් දික්කළ කල්හි මෙහෙම ලියා දුන්නේය ඔහු. “කනවා!; බොනවා; නිදාගන්නවා!; මිනිසුන් අමාරුවේ දමනවා!” මේ තමා මිනිහාගේ හැටි!”

ඇම්. අසෝක ද සිල්වා 

Comments