
(එච්.ආර්. ජෝතිපාල ජෝතිමත් ගායකයාණන්ගේ තිස් වෙනි අනුස්මරණය නිමිත්තෙනි.)
2 ශ්‍රී 8682 අංකය දරන බොග්වාර්ඩ් වර්ගයේ මෝටර් රථය මරදානේ එල්ෆින්ස්ටන් රඟහල අසල වංගුවෙන් ආමර් වීදිය දෙසට හැරවූයේ රිය පදවා ගෙන ආ එහි හිමිකරු එච්.ආර්. ජෝතිපාලය. හැරවූ ගමන් ම ඔහු දුටුවේ වම් පස බුහාරි හෝටලය අසල පිරිසක් රැස්වී කලබැගෑනියක් කරන අයුරුයි. ඒ අතරින් එක්තරා ජනප්‍රිය ගායිකාවකගේ රුවද ඔහුට පෙනුණි. දෙවරක් නොසිතා ම ජෝති වාහනය එතැන නවතා ඉන් බැස පිරිස අතරට ආවේය.
කලබල කරමින් සිටියේ තරුණ පිරිසකි. ජෝති දුටු ඔවුහු “ආ. ජෝති අයියා...” කියමින් පසෙකට වූහ.
“මල්ලිලා මොකක්ද ප්‍රශ්නේ?..” ජෝති ඇසුවේ ගායිකාව දෙස ද බලමිනි. ඇය නිහඬව නිරුත්තරව සිටියාය.
“බලන්න ජෝති අයියා. මෙයාගෙ වාහනේ ඇවිත් නවත්තල තිබුණු අපේ වාහනේ පිටිපස්ස පැත්තෙ හැප්පුවා. වරද මෙයාගෙයි. ඒ උනාට වරද පිළිගන්නෙ නැතුව අනම්මනං කතා කරනවා. ඒකයි ප්‍රශ්නෙ...” තරුණයෙක් කීය. ජෝති ඔවුන්ගේ වාහනය පරීක්ෂා කර බැලීය.
“මල්ලිලාගෙ වාහනේට එහෙම ඩැමේජ් එකක් වෙලා නෑනෙ. අනික ඔයාල දන්නවනෙ මේ අපේ ගායිකාව කව්ද කියල. ඒ නිසා මෙයාට යන්න දෙන්න...” ජෝති සිනාසෙමින් කීය.
“මෙයා කව්ද කියල නං දන්නවා ජෝති අයියා. ඒ උනාට තමන්ගෙ වැරැද්ද පිළිගන්නෙ නැතුව කතා කරන එකටයි අපට කේන්ති යන්නෙ..” තවත් තරුණයෙක් කියද්දී සෙස්සෝ ද ඔහු අනුමත කළහ.
“හරි හරි. දැන් ඒකෙන් වැඩක් නෑ. මමනෙ මල්ලිලට කියන්නෙ. මම කියන දේ අහල මෙයාට යන්න දීල ඔයාලගෙ ගමන යන්න.” ජෝති එසේ කියද්දී තරුණ පිරිසට ඊට සවන් නොදී සිටීමට නොහැකි වූ සේය. “ජෝති අයිය කියන නිසා අපි යනවා. ඒ උනත් මීට පස්සෙවත් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න කියල මෙයාට කියන්න...” යනුවෙන් පවසා ඔවුන් එතැනින් පිටව ගියේ ජෝතිට අවනත වෙමිනි. සිදු වන දේ ගැන මෙතෙක් වේලා බලා සිටි ගායිකාව වෙත ගිය ජෝති “පරෙස්සමට එළවන්න ඕනැනෙ නංගී, දැන් ඉතින් හරිනේ. නංගී යන්න...” කියා පැවසීය. ඇය ජෝතිට තුති පුදා වාහනය පණ ගන්වා ගෙන පිටත්ව ගියාය.
දකුණේ ධනවත් පවුලක කලාකාමී තරුණ පුතෙකු වූ හේමන්ත වර්ණකුලසූරිය ‘සමනලයෝ’ නමින් සංගීතමය චිත්‍රපටයක් නිපදවන්නට සැරසුණේ හැටේ දශකයේ අග භාගයේදීය. සුගතපාල ද සිල්වා තිර රචනය ලියූ එහි සංගීත අධ්‍යක්ෂණය කළේ විජේසිරිවර්ධන පොළොන්නෝවිටය. ප්‍රධාන ගායකයා ලෙස තෝරා ගැනුණේ එවකට ජනප්‍රියත්වයේ ඉහළින් ම සිටි ජෝතිය. යුග ගායනය සඳහා ගායිකාවකට ඇරයුම් කරන ලදී. ඇගේ පියාත්, ජෝතිගේ පියාත් වෘත්තියෙන් ටේලර්වරුන් වූ අතර ඒ නිසාම ඔවුන් අතර සුහද බවක් අතීතයේ ද තිබුණි. මුල් යුගයේ පැදුරු බජව් ආදියේ හින්දි ගී ගයන්නට එම ගායිකාව රැගෙන ගියේ ද මොහිදීන් බෙග් මාස්ටර් හා ජෝති විසිනි. ඇගේ ආර්ථික දුෂ්කරතාවලට යම් සහනයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ විය. පසුව ගුවන්විදුලියේ ළමා පිටිය හරහා පැමිණ සිනමා ගායනයටත් පිවිස ඇය පෙරට ගියාය. එහෙත් හේමන්ත වර්ණකුලසූරිය - සුගතපාල ද සිල්වා ඇතුළු පිරිස ‘සමනලයෝ’ චිත්‍රපටයේ ජෝති සමඟ යුග ගී ගයන්නට ඇරයුම් කළ විට එම ගායිකාව කළේ එක් වරම එය ප්‍රතික්ෂේප කිරීමය. එය කිසිවකු බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් තමන්ගේ බාලවියේ සිට තිබූ සබැඳියාවත්, මුල් යුගයේ ජෝති දුන් සහායත් ඇය අකෘතඥ ලෙස අමතක කළ බැවින් යුග ගායනයට සුජාතා අත්තනායක යොදවා ගීත පටිගත කරන ලදී, නමුත් ‘සමනලයෝ’ නිෂ්පාදනය අතරමග නැවතුණේය. ‘පුදන කොටම කාපි යකා’ කිව්වාක් මෙන් අර ගායිකාව ‘බෑ බෑ’ කීමේ අවාසනාව නිසාදෝ චිත්‍රපටය සම්පූර්ණ කර ගන්නට වරම් නොලැබුණි. හේමන්ත වර්ණකුලසූරිය ජෝතිගේ තුන්වන නැගණිය අයිරාංගනී විවාහ කරගෙන තම ප්‍රියතම ගායකයාගේ මස්සිනා බවට පත් විය.
සිදුවීම් දෙක දැන් ගලපා ගන්න. මේ ගායිකාව කව්ද? ‘සමනලයෝ’ චිත්‍රපටයේ ජෝති සමඟ යුග ගී ගැයීම ප්‍රතික්ෂේප කළ ගායිකාව හා ඉන් වසර ගණනාවකට පසුව මරදානේදී අර වාහන අනතුර සිදු කර අසීරුතාවයට පත්ව සිටියදී ජෝති විසින් ගලවා ගනු ලැබූ ගායිකාව යනු දෙදෙනෙකු නොවේ. එකම කෙනෙකි.
දැන් සිතා බලන්න. බාලවියේ සිට පවුල් පසුබිමේ තිබූ ළෙන්ගතු බැඳීම් මෙන් ම සංගීත ගමනට දුන් සහාය ද අමතක කර පසුකාලීනව තමන් සමඟ යුග ගී ගැයීම ප්‍රතික්ෂේප කළ ගායිකාව මරදාන හන්දියේ අසීරුතාවයට පත්ව සිටියදී අහක බලාගෙන නොගොස් ඇය බේරා ගන්නට තරම් පිවිතුරු අවෛරී හදවතක් තිබූ පුදුම ගායකයා ජෝති මිස අන් කව්රුන්ද? වෛරී චේතනාවෙන් වේගයෙන් තම රිය පදවාගෙන එතැනින් දුරස් වන්නට හෝ තමාව අදහන තරුණ පිරිසට කියා ඇයව තවත් අමාරුවේ දමන්නට හෝ ඕනෑ තරම් අවස්ථාව තිබියදී ඔහු එවැන්නක් නිකමට හෝ නොසිතීය. ඒ ‘මා දන්නා හදවත රත්තරන් ජෝති’ ය.
දෙමටගොඩ කැටවලමුල්ලේ ඉපදී සිංහල - දෙමළ - මුස්ලිම් වැනි විවිධ ජනකොටස් ඇසුරේ හැදී ඔවුන් අතර සිටි ඇතැමුන්ගේ ද ආශීර්වාදාත්මක සහායෙන් ගී ලොව ගමන් අරඹා යා හැකි උච්චස්ථානයට ම ගිය ‘සියලු ජාතීන්ගේ ගායකයා’ ලෙස ජෝති හැඳින්විය හැකිය. ඉංග්‍රීසි මෙන් ම දෙමළ ද චතුර ලෙස කතා කළ ඔහු එකල උතුරේ ප්‍රසංගවලදී දෙමළ බසින් රසික ජනතාව ඇමතුවේ ඔල්වරසන් මැද්දේය. ‘අඩි එන්නඩී රාකම්මා’ වැනි දෙමළ ගීයක් අනුව චිත්‍රපටයකට ගැයූ ‘මම ගන්නෙමී කරකාර’ වැනි ගීයක් ජෝති එම ප්‍රසංගවල ගැයුවේ මුල් දෙමළ ගීයේ පේලි කීපයක් ද මුලින් ගයමිනි. උතුරේ දෙමළ ජනතාව එදා තමන් අතරට දකුණෙන් ආ ජෝති තමන් උදෙසා තම බසින් අමතද්දී - ගයද්දී ඔහුව පිළිගත් ආකාරය ගැන කවර කතාද? අසූතුනේ කළු ජූලියේදී ජෝති මාලිගාවත්තේ සිය මහල් නිවසේ සිටියදී එහි දිව ආවේ එකල හින්දි ගී ගයමින් ජනප්‍රියව සිටි ‘සුරේෂ් රාජසිංහම්’ නමැති දෙමළ ගායකයාය. ඔහු පසුපසින් පොලු මුගුරු ගෙන එළවා ආවේ ඊනියා සිංහල ජාතිආලකාරයන් පිරිසකි. තමා මරන්නට නොදෙන ලෙස විලාප දුන් සුරේශ්ව නිවස තුළ නැවැත්වූ ජෝති සැණෙකින් සිංහයෙකු සේ මැරයන් හමුවේ පෙනී සිටියේය. “එකෙක් හරි ඔය පඩිපෙළේ එක පඩියක්වත් උඩට නැග්ගොත් ජෝතිපාල කියන්නේ කව්ද කියල මම පෙන්නනවා...” යනුවෙන් සද්දන්ත ජෝති ගිගිරුවේය. කර කියා ගත හැක්කක් නොවූ මැරයෝ පසුබා පළා ගියෝය. ගෝත්‍රික ම්ලේච්ඡයන් පිරිසක් විසින් බිලි ගන්නට සැරසුණු අහිංසක මනුෂ්‍ය ජීවිතයක් උදාර ලෙස එසේ බේරා ගත්තේ ‘මා දන්නා හදවත රත්තරන් ජෝති’ය.
කැලණි සරසවි සිසුවියක් ජෝතිට කොතෙක් ආදරය කළාද කියතොත් ඇයට අවශ්‍ය වූයේ ඔහු සමඟ විවාහ වී ඔහු සදහට ම තමා සතු කර ගන්නටය. නිරතුරුවම ඇය ඒ අරමුණෙන් මාලිගාවත්තේ ජෝතිගේ නිවසට ආවාය. තමාට එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව ජෝති කොතෙක් කීවත් ඇගේ පැමිණීම නතර වූයේ නැත. දිනක් ජෝතිගේ මෑණියන් ද එහි සිටි අවස්ථාවක ඇය ආවාය.
“ආ. නංගී. අද ආපු එක හොඳයි. අම්මත් ඉන්නවනෙ...” කියා සිසුවියට කී ජෝති “අම්මේ. මේ ළමය ගැන තමයි මම අර කිව්වේ. ඔන්න අද අම්මවත් අවවාද කරන්නකො...” කියා මවට පැවසීය. ඔහු ඇගේ කතාව කලින් මවට කියා තිබුණි. ජෝතිගේ මව හැකි තරම් ඇයට අවවාද කළේ සිදු නොවන දෙයක් ගැන නොසිතන ලෙසය. අවසානයේ ජෝති මැදිහත් විය.
“දැන් නංගිගෙ වයස කීයද?...”
“21 යි..” ජෝතිට පිළිතුරු ලැබුණි.
“... විසි එකයි. මට වයස කීයද? පනස් එකට කිට්ටුයි. දැන් මාව බැඳගෙන නංගිට මොකක්ද ඇති යහපත? මම ඉක්මනින් මැරිල යාවි. අනික මට වෙන කෙනෙක් බඳින්න පුලුවන්ද.? මම බැඳල දරුවො ඉන්න තාත්ත කෙනෙක්නෙ...”
ජෝති එසේ කියද්දී සිසුවිය හැඬුවාය. ඔහු නැවත කතා කළේ ‘විසඳුමක්ද’ සමඟය.
“... නංගී. මුලින් හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉහළ තැනකට යන්න. එහෙම ගිහින් මගේ සිංදුවලට කැමති හොඳ ගැලපෙන කෙනෙක්ව බැඳල මගේ සිංදු අහගෙන සන්තෝසෙන් ඉන්න. මැරිල ගිය මාව මතක් කරන්න..”
ජෝතිගේ විසඳුම එසේ තැන්පත් ස්වරයකින් කියවෙද්දී අතිශය සංවේදී වූ සිසුවියගේ හැඬීම වේගවත් විය. එදා හඬමින් ම මාලිගාවත්තේ B/10/1/1 ජෝතිගේ නිවසින් පිට වී ගිය ඇය යළි කිසිදා එහි ආවේ නැත. තවත් ස්වල්ප කලකින් ම ජෝති මිය ගියේය. මේ වන විට ඇය ජෝති දුන් විසඳුම පිළිගෙන ඒ අනුව ක්‍රියා කර සාර්ථක ජීවිතයක් ගෙවනවාද විය හැකිය. ඕනෑ නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ලබාගන්නට කිසිදු බාධාවක් නැතිව තිබියදී ජෝති එසේ නොකළේය. හොඳින් උගෙන අනාගතය සරු කර ගන්නා ලෙස අවවාද දී ඇගේ හිත හදන්නට වෙහෙසුණා මිස, තම සතුට පතා ඒ ජීවිතය විනාශ නොකළේ ‘මා දන්නා හදවත රත්තරන් ජෝති’ ය.
එච්.ආර්. යන අකුරු දෙකෙන් කියවෙන්නේ ‘හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ්’ වුවත් ජෝතිගේ මහා මානව ගුණ සමුදාය සැලකු විට එම අකුරු දෙසට ගැලපෙන්නේ ‘හදවත රත්තරන්’ යන දෙපදය බව 1987 ජූලි 9 වෙනිදා බොරැල්ල කනත්තේ පැවති ජෝතිගේ දැවැන්ත අවමඟුල් උලෙළ අමතමින් මුලින් ම පැවසුවේ ජනකාන්ත ගායක නිහාල් නෙල්සන්ය. නිහාල්ගේ එම සර්ව සාධාරණ හැඳින්වීම කොතෙක් දුරදිග ගියේද කියතොත් ‘හදවත රත්තරන්’ නමින් කැසට්පට නම් කෙරුණි. ප්‍රසංග නම් කෙරුණි. කවි / ගීත ලියවුණි. අවසානයේ පොත් ද පළ වුණි. සියලු රසික ප්‍රජාවන්ගේ උපරිම ආදරය දිනා ගනිමින් ජීවත්ව සිටියදී වසර තිස්පහක් ද, වියෝවෙන් පසුව වසර තිහක් ද අඛණ්ඩව ගී ලොවේ නොනැසෙන, ජනප්‍රියත්වයෙන් යුතුව ජෝති ‘රැඳී සිටීමේ’ රහස ජෝති පූර්ව ජනමෙයන් රැගෙන ආ අප්‍රමාණ ගායන හැකියාව හා අසමාන මධුර හඬ සේම මානව හිතවාදයෙන් සපිරුණු ඔහුගේ ‘රත්තරන් හදවත’ ද බව තිස් වෙනි අනුස්මරණයේදී ජෝතිමත්ව ලියා තබන්නට මා කැමතිය.
ආනන්ද පද්මසිරි