ආලෝකවත් මිනිසුන් ඕනෑ කර තිබේ | Page 2 | සිළුමිණ

ආලෝකවත් මිනිසුන් ඕනෑ කර තිබේ

 මහ පොළොව වර්ණවත් වෙන්නේ සැබෑ මිනිසුන්ගේ හදවත්හිි උපදින ආලෝකයෙන් බව කුරුල්ලට ‍ දැනෙන්න පටන් ගත්තා. ඉර කොච්චර පෑයුවත්, පොළොව මත අඳුර පැතිරෙන්න පටන් අරන් තියෙනවා කුරුල්ලා දැක්කා.

බිළින්දාගේ සිට වයසක මහල්ලා දක්වා යන ගමනේ දී මිනිස්සුන් විවිධ අවධීන් පසු කරමින් සැරිසරනවා. ඔවුන් විවිධ භූමීකා ඔස්සේ සිය ජීවිතය මෙහෙයවනවා. ඒ සෑම විටම සමාජ සම්මත, නීති රීතී, චාරිත්‍ර වාරිත්‍ර, අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් සමඟ බැඳුණු ජීවිතයක් ගත කරනවා. ඔවුන් සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, යන විවිධ හැඩ තලයන්ගේ රිද්මයෙන් යුතු පෞද්ගලික සහ පොදු ජීවන රටාවකට පුරුදු වෙනවා.

ඒ රිද්මයන්ගේ බලපෑම මත සෑම මනුස්සයකුටම ආවේණීක හුරුපුරුදු ඇති වෙනවා. ඒ හුරුපුරුදුවල ස්වභාවය මත මිනිස්සුන්ගේ භූමිකාවන් තුළ විවිධත්වයන් ගොඩනැඟෙනවා.

කුරුල්ලා දැක්කා තමන්ගේ භූමිකාව හඳුනගන්න බැරිව මිනිස්සු අතරමං වෙලා ඇවිදිනවා. ඒ හැම මනුස්සයෙක්ම බැඳීම් අතරේ හිරවෙලා. කෙනෙක් ආගම නිසා, තවත් කෙනෙක් ජාතිය නිසා, තව තැනක දේශපාලන මතවාද නිසා, තවත් තැනක කුලය නිසා, වෘත්තිය නිසා, බලය නිසා , නිලය නිසා මිනිස්සු බැඳීම් අතරේ හිරවෙලා. ඒ නිසාම ඔවුන්ට අනෙකාගේ ආලෝකය සමඟ එකතු වෙන්න බැරි වෙලා. අනෙකාගේ හදවතේ ආලෝකයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න උස්සාහ දරමින් ඉන්නවා.

කුරුල්ලා බලා හිටියා ඒ හැම කෙනෙක්ම සිය භූමීකාවෙන් ඉටුවිය යුතු යුතුකම් කොටසත්, වගකිම් කොටසත්, පැහැර හරිමින් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනවා. සිය භූමිකාව නිවැරැදිව හඳුනා නොගත් බොහෝ මිනිසුන් අනෙකාගේ භූමිකාවත් සමඟ සිය භූමිකාව පටලවා ගෙන කෑගහනවා කුරුල්ලා දැක්කා. ඒ අතර දේශපාලකයන්, ආගමික නායකයන්, කලාකරුවන්, මාධ්‍යකරුවන් ඉදිරියෙන්ම හිටියා. ඒත් මේ ‍මොහොතේ ඔවුන් අතරින් වෛද්‍ය ශිෂ්‍යයෝ සහා වෛද්‍යවරු කැපිලා පේන්න පටන් ගත්තා.

මේ වන විටත් මේ පොළොවේ ගංවතුරට අහුවෙච්ච, නායට යට වෙච්ච, ඩෙංගු රෝගය වැළදිච්ච මිනිස්සුගේ ඛේදය ලියලනවා.

ඒ වෙනුවෙන් මේ බිමේ වෛද්‍යවරු සැබෑවටම වැඩ කළ යුතුව තියෙන මොහොතක වැඩ වර්ජනය කරනවා. වෛද්‍ය වරයාගේ භූමිකාව තුළින් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර හරිමින් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා. සැබෑ මානව ප්‍රේමය වෙනුවෙන් කරුණාවත්, මෛත්‍රියත් වෙනදටත් වඩා දිය යුතුව තිබුණු මොහොතවල වෛද්‍යවරු රෝගීන් සුවපත් කිරීම අත්හැරලා දානවා. තවත් තැනක වෛද්‍යවරු වෙන්න බලා ඉන්න ශිෂ්‍යයෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වටලලා විනාශ කරන්න පටන් ගන්නවා.

අධ්‍යාපනයේ සැබෑ අර්ථය කුමක් ද? සැබෑ අධ්‍යාපනයේ අරමුණු සියලු මිනිසුන්ගේ යහපත සමඟ බැදී පවතී. ‘නිවැරදි අධ්‍යාපනය යනු ජීවිතය පිළිබඳ ඉගෙනීම, ඒ තුළින් හික්මුණු මිනිසෙකු බිහි කරයි. විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යාට ශික්ෂණයක් මත සංවේදී පෞරුෂයක් වැදගත් වනුයේ ඔවුන්, මිනිසුන් සුවපත් කිරීම සඳහා අධ්‍යාපනය ලබන්නන් බැවිනි. අසරණ වුණු, දුක් පීඩාවට ලක්වුණු, පිහිට අවශ්‍යවුණු මිනිසුන් වෙත වෛද්‍යවරයා ඇදහිය යුතු ආලෝකමත් මිනිසෙකු ලෙසින් ගමන් කළ යුතු ය. එහෙත් මේ බිමේ සිදුවෙමින් පවතින දේ අදහාගත නොහැකිව කුරුල්ලා බලා හිටියා. කුරුල්ලට ඇහෙන්න පටන් ගත්තා විශ්වයේ පාවෙලා ආ කටහඬක්.

“ශිෂ්ටාචාරය වූ කලී අධ්‍යාපනය සහා විනාශය යන අන්ත දෙක අතර සිදුකෙරෙන ගමනකී.”

-එච්.ජී ‍ෙව්ල්ස්-

ශිෂ්ටත්වයේ අශිෂ්ටත්වය සටහන් වෙමින් විනාශය කරා මිනිස්සු ගමන් කරන්න පටන් අරන් තියෙනවා කුරුල්ලා දැක්කා. මේ වන තුරුත් ගෝත්‍රික මානසිකත්වයෙන් අත්මිදීමට නොහැකි වුණු සමාජයක ශිෂ්‍යන්ගේ වහල් මානසිකත්වයේ වේදනාව කුරුල්ලට දැනෙන්න පටන් ගත්තා. දුක් උහුලන අහිංසක මිනිස්සුන්ගෙන් රජය එකතුකර ගන්නා බදු මුදල් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යොදවනවා. ශිෂ්‍යයන් වෛද්‍යවරු බවට පත්වන්නේ මිනිස්සුන්ගේ සෝ සුසුම්, වේදනා ඒ සියල්ල මතින්. ඒ හැම දෙයක්ම ශිෂ්‍යයන්ට අමතක වෙලා තියෙනවා කුරුල්ලා දැක්කා. ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්වම අමතක වෙලා තිබුණා. ‘ශිෂ්‍යයන් නඟන හඬ සෑබැවටම ඔවුන්ගේම හඬද?’ යන්න කුරුල්ලා කල්පනා කරන්න ගත්තා.

මහ පෙළොවක ජීවයේ උල්පත බවට පත් වන්නේ තරුණ පිරිසයි. ඒ අතරිනුත් විශ්විද්‍යායාල ශිෂ්‍යයන්, සෑම විටම විශ්වීය ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි ජවයක්, ශක්තියක් ඇති, නව ආකල්පවලින්, සිතුවිලිවලින් ලොව වෙනස්ම ආකාරයෙන් දැකිය හැකි සක්‍රීය මිනිසුන් කොටසක් වේ. පවතින දේශපාලන ක්‍රමයේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් ශිෂ්‍යයන්ගේ අවංකබවත්, සංවේදීබවත්, ජවසම්පන්නබවත්, හෘදය සාක්ෂියත් පාවිච්චි කරනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා වේගයෙන් පියාඹා ගෙන පොළොවට ආවා විතරයි, මහා සද්දයක් ඇහෙන්න පටන් ගත්තා.

වෛද්‍ය ශිෂ්‍යයෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවෙන්න උස්සාහ කරනවා. ඒ උස්සාහය දිගින් දිගටම ඇවිලිලා ඇවිලිලා ගිහින් මහ පොළොව ගිනි ගන්නවා කුරුල්ලා දැක්කා. ඒ මැද්දේ ශිෂ්‍යයෝ කෑගහනවා.

“දියවු දියවු අපට දියවු..!

කපා කපා කෑලී කපා ‍

අප වලකනු සිතනු එපා

ආචාරධර්මත්, සාරධර්මත් දියුණු මට්ටමෙන් පැවතිය යුතු වෛද්‍ය ශිෂ්‍යයාගේ භූමීකාව මත නොදියුණු නොහික්මුණු හැසිරීම් ඉපදෙන්න පටන් අරන්, හමුදාවයි, පොලීසියයි, එක්ක සිය ආවේගයන් හුවමාරු කරගන්නවා. ඒ වෙලාවේ හැම මනුෂ්‍යයකුගේම හැසිරීම් කුරුලු හදවතකට උනත් දරාගන්න අමාරුයි. කුරුල්ලාගේ හදවත වෙනදට වඩා වැඩි වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

කුරුල්ලට මතක් වුණා. ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල්ගේ හඬ “මිනිසා උපතින්ම දේශපාලන සත්වයෙකි.” මිනිස්සුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු දේශපාලනයක් පවතී. ඒ තමයි සිය භූමීකාවලට අදාළ දේශපාලනය. විශ්වවිද්‍යාල ශිෂ්‍යායාගේ දේශපාලනය විය යුත්තේ ‘ශිෂ්‍ය භූමීකා නිවැරැදිව හැසිරවීමයි’ ඔහු සෑම විටම දියුණු වන ලොවත් සමඟ විශ්වයට විවෘත වුණු මනසක් ඇති විශ්ව දැනුම සොයා යන, පර්යේෂණ සිදු කරමින් අලුත් දේ නිෂ්පාදනය කරන්නකු විය යුතුය. අධ්‍යාපනයේ දේශපාලනය මඟින් හික්මුණු ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ සුවඳ ශිෂ්‍යා තුළ පැවතිය යුතුය.

එම සත්‍ය හඳුනානොගත් බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ප්‍රචණ්ඩකාරීව සහ අන්තවාදීව සිය භූමිකාවන් හසුරවනවා කුරුල්ලා ඔවුන් දිහා බලාගෙන කල්පනා කළා. කුරුල්ලට හුළඟේ පාවෙලා ආපු කට හඬක් ඇහුණා.

“ඔබේ සිතුවිලි ගැන සැලකිලිමත් වෙන්න. ඒවා වචන බවට පත්වේ

ඔබේ වචන ගැන සැලකිලිමත් වන්න. ඒවා ක්‍රියාවන් බවට පත්වේ.

ඔබේ ක්‍රියාවන් ගැන සැලකිලිමත් වන්න. ඒවා පුරුදු බවට පත්වේ.

ඔබේ පුරුදු ගැන සැලකිලිමත් වන්න. ඒවා ඔබේ චරිතය හැඩගස්වයි.

ඔබේ චරිතය ගැන සැලකිලිමත් වන්න.එය ඔබේ දෛවය හැඩගස්සනු ඇත”.

-දලයි ලාමා-

කුරුල්ලාගේ හිත කකියන්න පටන් ගත්තා.බොහෝ කාලයකට ඉහත මේ බිමේ ගලා ගිය ලේ ගංගාව දිගේ කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා.

ඒ හඬ දෝංකාරයක් තරමට ඇහෙනතුරුම කුරුල්ලා එක දිගට වසර ගණනාවක් පියාඹලා පියාඹලා අතීතයට ගියා. කුරුල්ලාට හම්බ වුණා. තරුණ ශිෂ්‍යයෝ, කෙනෙක්ගේ නළලේ පරාල ඇණ ගහාලා . ඒ මලකඩ කාපු ඇණ යටින් තවමත් ලේ ගලනවා කුරුල්ලා දැක්කා. තව ටිකක් ඉස්සරහට යනකොට කුරුල්ලා දැක්කා තවත් කෙනෙක්ගේ නියපොතු ගලවලා සිකරට් කොටවලින් පුලිස්සපු තුවාල ඇඟ පුරාම, ඒ තුවාලවලින් තාමත් දුම් දානවා. තවත් කෙනෙක්ගේ ඇඟිලි කපලා දාලා. ඒ කපපු ඇඟිලි කොටවල වැඟිරෙන රතු පාට ලේවලින් ඔහු බිත්ති‍යේ ලියනවා. “මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා”...! කුරුල්ලා බොහොම ආදරයෙන් බලා හිටියා. කුරුල්ලා ඒ බිත්ති දිහා බලාගෙන හූල්ලා වැටුණා.

බිත්තිවලට උඩින් පාට පාට ගෑවුණු දේශපාලනයේ ඉරිණු කඩතුරාවක් තවමත් එල්ලිලා තියෙනවා කුරුල්ලා වේදනාවෙන් බලා හිටියා.

ආලෝකයත් අන්ධකාරයත් නිවිනිවී පත්තුවෙන්න පටන්ගත්තා. ඒ එළියෙන් කුරුල්ලගේ ඇස් නිලංකාර වුණා. ඒ හැම කෙනෙක්ගේම හෘද සාක්ෂියේ අඳෝනාව කුරුල්ලට ඇහුණා. ඔවුනගේ සිහින බලාපොරොත්තු ඒ හැමදේම දරාගෙන තවමත් මේ බිමට ඉර පායනවා. ආයේ කවදාවත් මහා පොළොවට මේ තරම් රිදීමක් ඔන්නෑ. ඒ වැරදි ඔනීවටත් වඩා වැඩියෙන් පොළෙව මත මිහිදන් වෙලා ඒ හැම දේකින්ම මිනිස්සු හෙම්බත්වෙලා තියෙනවා කුරුල්ලා දාක්කා.

කුරුල්ලට මැවිලා පේන්න පටන් ගත්තා. බුදුන් දවස මිනිස්සු විනාශ කරමින් ඇඟිලි කපා මාලයක් ගෙලවටා දමාගෙන ගුරු දක්ෂිණාව සම්පුර්ණ කරන්න දුවමින් ඉන්න අංගුලිමාලව. ගුරු භක්තිය වෙනුවෙන් අවංක වුණු ශිෂ්‍ය ඝාතකයෙකු බවට පරිවර්තනය වෙනවා.

එදා වගේම මේ දැනුත් ශිෂ්‍යභාවය මර්දනය වෙමින්, පාවිච්චිවෙමින් අහිංසක ලා අංගුලිමාල ලා බවට පරිවර්තනය වෙමින් කාලය ගෙවිලා යනවා. කුරුල්ලාට කල්පනා වුණා, එදා අංගුලිමාලට සත්‍ය පැහැදිලි කරලා අවබෝධය ලබා දෙන්න බුදුන් වහන්සේ වැඩ සිටියා. එහෙත් අද අංගුලිමාලලාගේ ලෝකයට අවබෝධය ලබාදෙන්න, සත්‍ය පැහැදිලි කරන්නේ කවුරු ද? එය කළ හැක්කේ නිවැරදි අධ්‍යාපනය මඟින් ශිෂ්‍ය භූමිකාවන්හි පවතින දේශපාලනය නිවැරැදිව මෙහයවීමෙන් ප්‍රඥාවන්ත මානව දයාවෙන් යුතු මිනිසකු මහ පොළොව මතට ගෙන ඒමෙන් පමණී. එය සැබෑ ශිෂ්‍යාගේ වගකීමයි.

මේ මොහොත, සැබෑ මිනිසුන් වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයන් සහා වෛද්‍යවරුගේ හදවතේ ආලෝකය මහා පොළොවට අව්‍යෛම වෙලාවයි...! ‍

ඩිලූෂා නදීකමාලී 

Comments