සෙංකඩගල ඇසළ පෙරහරේ පරමාර්ථ | Page 2 | සිළුමිණ

සෙංකඩගල ඇසළ පෙරහරේ පරමාර්ථ

 ඇසළ මාසයේ කෙරෙන ඇසළ පෙරහැර අතර ඉහළ ම ස්ථානය ලැබෙනුයේ මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ දළදා පෙරහැරටයි. කිත්සිරිමෙවන් රජු කල හේමමාලිය හා දන්ත කුමරු ලංකාවට වැඩම වූ බුදුහිමිගේ වම් යටි දළදා හිමි සෙංකඩගල දළදා මැඳුරේ පුද ලබයි. මධ්‍ය යුගයේ සිට සිංහල රජවරු රජකම තහවුරු කර ගැනීමට දළදාහිමි හා පාත්‍රා ධාතුව තම රජමැඳුර අසළ ව තබා වන්දනාමාන කළහ. සීතාවක දෙල්ගමු විහාරයේ සිට සෙංකඩගලට දළදාහිමි වැඩමවා ඇත. ඒ සෙංකඩගල මුලින් ම අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජු කලය. (ක්‍රි:ව: 1592 - 1604) රොබට් නොක්ස්ගේ විස්තරය අනුව උඩරට මුල් කල තිබී ඇත්තේ ඇසළ දේව පෙරහැරකි. එය දළදා පෙරහැරක් ලෙස සකස් කාට නාථ - විෂ්ණු - කතරගම - පත්තිනි - යන සතර දේවාල ඉන්පසු පිළිවෙලින් පෙරහැරේ යාම කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල ආරම්භ විය. සෙංකඩගලල ඇසළ පෙරහැර ආරම්භ වූයේ කෙසේදැයි අදහස් කීපයකි.

ඉන්දියාවේ සිට ලංකාවට ආ මුල් ආර්යයන් කෘෂිකර්මය ජීවනෝපාය කර ගත් ගොවි පිරිසකි. වර්ෂාව - සූර්ය රශ්මිය - සශ්‍රීකත්වය - මුල් කර ගෙන දඹදිව පැවැති දුරාචාර අංග සහිත නැකැත් කෙලිය - මුල් කල ලංකාවේ තිබුණු බව මහාවංශයේ පණ්ඩුකාභය රජු (ක්‍රි:පු: 377 - 307) පිළිබඳ විස්තරයෙන් පෙනෙයි. ගොවිතැනේ සශ්‍රීකත්වය පරමාර්ථයෙන් ඉටු කළ නැකැත් කෙළියේ දුරාචාරිත ලක්ෂණ බුදුදහම ලංකාවට ආ පසුව යටපත්ව ඒ වාර්ෂික සශ්‍රීකත්ව උලෙළක් විය. පළමු ගජබා රජු සොළී රට සමඟ සටන් වැද සොළී රජු පරදවා සිරකරුවන් ගෙන ඒමට පසු මේ උලෙළ එම යුද්ධ ජයග්‍රහණය සිහි කළ වාර්ෂික උලෙළක් විය.

දළදාහිමි ලංකාවට වැඩම වූ පසු දළදාහිමිගේ ගෞරවය පිණිස පෙරහැර පැවැත්වීම ආරම්භ විය. අනුරාධපුර මුල් කල ම පැවැති දළදා පෙරහැර පිළිබඳ විස්තරයක් ක්‍රි:ව: 412 ලංකාවට ආ චීන ජාතික පාහියන් හිමි ප්‍රකාශ කරයි. ඉන්පසු රාජධානි අගනුවරවල් වෙනස්වීම නිසා දළදා පෙරහැර පැවැත්වූ අගනුවරවල් වෙනස් විය. සෙංකඩගල අගනුවර වූයේ ක්‍රි:ව: 1592 පළමු විමලධර්මසූරිය රජු සෙංකඩගල අගනුවර පිහිටු වූ පසුයි.

ඇසළ පෙරහැරේ පරමාර්ථ කවරේදැයි දැන් කෙටියෙන් බලමු. පාරම්පරික පිළිගැනීම් අනුව ඇසළ උදාවන විට ඉන්දියාවේ එදා වර්ණ ඍතුව උදා විය. නියඟයට පසු වර්ෂාවෙන් මැරී ගිය තණකොළ - ගස්වැල් පණ ලබා ලියලයි. කුඩා තණකොළ ගසට පවා ජීවයක් ඇති බව විශ්වාස කළ පැරැණි දඹදිව බ්‍රාහ්මණ පරපුර දලුදා ලියලන තණකොළ පෑගීම පාපයක් ලෙස සැලකූහ. ඒ නිසා ලියලන තණකොළ නොපාගා වැහි තුන් මාසයේ එක තැනක වාසයකරන ලෙස බුදුහිමි භික්ෂූන්ට උපදෙස් දුන්නේය. ඇසළ සමඟ ඇරැඹෙන වස් කාලය ඇරැඹුණේ එසේ ඉන්දියාවේ තිබූ චාරිත්‍රය නිසාය.

එහෙත් පොසොන් පසු වී ඇසළ උදාවන විට ලංකාවේ කාලගුණය උෂ්ණය. වියළිය. වර්ෂාව අඩුය. කෘෂිකර්මාන්තයෙන් යැපුණු ආදි ලාංකික සිංහල ජනයා මෙම ඇසළ කාලයේ පවතින වියළි කාලයේ පවතින වර්ෂාව අපේක්ෂා කළහ. ඉරහඳ - වැහි වලාකුළු - විදුලිය - මේසය - එදා දේවත්වයෙන් පිදුවේ ඒවා ගොවිතැනට අවශ්‍ය වන සාධක බැවිනි. සීගිරි රූප - විදුලිය හා මේසය බව පරණවිතාන මහතා කියයි. කළුවන් ළඳුන් මේඝයයි. රන්වන් ළඳුන් විදුලියයි. ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස ඇත. ඒ අග්නි (ගින්දර - සූර්ය ශක්තිය) හා පර්ජන්‍ය (විදුලි) වෙයි. මේ අනුව ගොවිතැනට අවශ්‍ය සාධක දේවත්වයෙන් පිදීම එදා සිට සිදු විය. වියළි කාලවල වර්ෂාව පතා අනුරාධපුර තිසාවැවෙන් ජලය පෙරහරින් ගෙන ගොස් ජය ශ්‍රී මහා බෝධියට වත්කර වර්ෂාව පැතීම එදා පැවැති බව “ශාස්ත්‍රීය ලිපි හා කතා” ග්‍රන්ථයේදී චාර්ල්ස් ගොඩකුඹුරේ පෙන්වා දෙයි.

ඇසළ මස පවත්වන ඇසළ උත්සව හා පෙරහැරවල පොදු මූලික පරමාර්ථය ගොවිතැනට අවශ්‍ය වර්ෂාව ලබා ගැනීම හා සශ්‍රීකත්වයයි. හැම ඇසළ උලෙළ් ම ආරම්භ වන්නේ කප් හිටුවීමෙනි. කප් සිටුවීමේ දී කරනුයේ කොස් වැනි කිරි සහිත ගහක් කපා ඒ කැබලි කර දේවාල බිමේ සිටුවීමයි. කිරි සහිත ගස මංගල ලකුණකි. පෙරහැරේ සියලු ලක්ෂණ වර්ෂාව සංකේතවත් කරයි. හේවිසි - බෙර නාදය - අහස ගෙරවීම බඳුය. පෙරහැරේ යන ඇත්ත වැහි වලාකුළු බඳුය. නැටුම් ගැයුම් වාදන ඝෝෂාකාරීය. පන්දම් එළි විදුලි කෙටීම වැනිය. හැම ඇසළ පෙරහැරකම මේ පොදු ලක්ෂණ ගොවිතැනට අවශ්‍ය වර්ෂාව ලබා ගැනීම - හිරු එළිය - සශ්‍රීකත්වය පරමාර්ථ කොට ගෙන ඇත.

පෙරහැර නිම වන්නේ දිය කැපීමෙනි. එය අසුරයන් පැරැදවීම මූර්තිමත් කරන බව අදහස් කරයි. ගියවර දියකපා පුරවා ගත් වතුර සෙම්බුව දිය කපන ස්ථානයට හලා කඩුවෙන් දිය දෙබෑ කොට අලුත් ජල සෙම්බුවක් පුරවාගෙන පෙරහැරෙන් ආපසු එයි. ඒ ජල සෙම්බුව අඩු නොවී පැවතීම නිසා සශ්‍රීකත්වය ගොවිතැන් සරුවීම හිතකර බව උදාවන බැව් විශ්වාසයයි. දිය කැපීමෙන් අදහස් කරන්නේ වර්ෂාව ලබා ගැනීමට තිබූ පැරැණි හින්දු කතාවල එන බාධක සිඳ බිඳ නියමිත කාලයට වර්ෂාව ලබා ගැනීම ‍සංකේතවත් කිරීම බව චාර්ල්ස් ගොඩකුඹුරේ ඉහත දැක්වූ ග්‍රන්ථයේ දී පෙන්වා දෙයි.

දියකපන විට මුලින් දේවාලයේ සිටු වූ කප කැබලි කර දියට දමයි. පැරැණි ජල සෙම්බුව ගඟට ගලයි. ඉවතලු කොටස් ලබා ගැනීමට මහවැලි ග‍ඟේ ගැටඹේ තොටුපළේ දී මිනිස්සු පොරකති. කපේ කොටස් ගොඩ හා මඩ ඉඩම්වලට දැමීමෙන් කෘමි රෝග නැතු ව ගොවිතැන් සශ්‍රීක වන බව ඔවුන්ගේ පිළිගැනීමයි.

දිය කැපූ විගස දිය කැපූ ස්ථානයේ ගිලී නෑමෙන් ලෙඩ රෝග දුරු වී නිරෝගී සුවය ලැබෙන බව විශ්වාසයයි. ඒ නිසා ගැටඹේ තොටුපළේ දිය කැපීම සඳහා එහි දහස් ගණක් රැස් වෙති.

දළඳා පෙරහැරෙන් ලෙඩ රෝග දරුවීම-අපල දුරුවීම- ශක්තිය උපදවන බව පිළිගැනෙයි. විශේෂයෙන් මුල් දුඹුල් පෙරහැර කුඩා දරුවන්ගේ සියලු දොස් දුරුවී රැකරණය සැලැසෙන බව විශ්වාසයි.

දේව පෙරහැරින් ග්‍රහ දෝෂ අපල දුරු වී ග්‍රහ දෝෂ ලැබෙන බව විශ්වාසයි.

පෙරහැර නිම වූ පසු මහනුවර විෂ්ණු දේවාලයේ පැවැත්වෙන හද්දා වලි යකුන් නැටීම පෙරහැර පැවැත්වීමේ දී සිදු වූ අත් වැරැදි දුරලීම- දෙවියන්ට පින් පැමිණීම- දේව ආශිර්වාදය ලබා ගැනීම පරමාර්ථ වෙයි.

එස්.කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Comments