වීරයෙක් නම් ගමට යන්න | Page 2 | සිළුමිණ

වීරයෙක් නම් ගමට යන්න

 වීරයා යනු ඇත්ත ප්‍රශ්නවලට අත ගසන්නට තරම් නිර්භීත වන තැනැත්තාය. එලෙසම එහි අනෙක් පැත්ත එනම් බොරු ප්‍රශ්්නවලට අත ගසන්නෝ නිවටයන් යැයි ද කිව හැකිය. ඒ අනුව ලංකාවේ සමාජ ජාලා වෙබ් අඩවි නිවටයන්ගෙන් පිරී ඇතැයි කිව හැකිය. එහෙත් එසේ කී පමණින්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

රට ජාතිය සංස්කෘතිය රැකගැනීම ගැන අද තරම් කතාවෙන යුගයක් නැත. සමාජ වෙබ් ජාලවල දේශප්‍රේමීන් බොහෝ වෙති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් විදේශවල වාසය කිරීම ද තවත් කතාවකි. එහෙත් මේ රටේ සංස්කෘතිය හා ජාතිය මේ තාක් කල් රැකුණේ ගම මුල් කරගනිමිනි. එහෙත් ගම නාය යමින් පවතියි. ඒ ගැන කතා කරන අයෙකු හෝ කි‍්‍රයාකරන්නට ඉදිරිපත් වන අයෙකු ද නැත. එයට හේතුව එය ඇත්ත ප්‍රශ්නයක් වීමය. ඇත්ත ප්‍රශ්න ලේසියෙන් විසඳන්නට නොහැකිය. ඒ නිසා එයට අතගසන්නන් නැත. ඒ වෙනුවෙට බොරු ප්‍රශ්නවලට මැදිහත් වී වීරයන් වෙන්නට තැත් දරණ නිවටයෝ බොහෝ වෙති.

ගම කසිප්පුකාරයින්ගේත් කුඩුකාරයන්ගේත් රජ දහනක්ව තිබේ. ඉස්සර ගමේ සලකුණ වූයේ සාමූහිකත්වයයි. එහෙත් අද ගමේ මිනිස්සු නගරවල මිනිස්සුන්ටත් වඩා එකිනෙකාගෙන් හුදකලා වී තිබේ. කඹුරුපිටියේ පියකු දරුවන් සමඟ ම දිවිනසාගන්නා තුරු ගමක් ම බලා සිටියේය. කෙසේවුවද රටක් ම බලා සිටියේය යන්න වඩාත් නිවැරැදි විය හැකිය.

මන්ත්‍රීවරුන්ගේ නූගත්කම ගැන සමාජ ජාලවල සංවාදයක් පවතියි. එහෙත් මෙයට හේතුව අනෙකක් නොව ගම නායගොස් තිබීමය. ගමට නියෝජිතයන් තෝරාගැනීමේ දී වැඩිබලය කසිප්පු කාරයන් සතු වී තිබීමය. අනෙක් අතට පත්වෙන මන්ත්‍රීවරුන්ට ද සිදුව ඇත්තේ නාය ගොස් ඇති ගමක් සමඟ කටයුතු කිරීමටය. ගමේ සිදුවන බොහෝ මඟුල් ගෙවල් උත්සව අවසන් වන්නේ පිහි ඇනුම්වලිනි. එවන් ජනතාවක් සමඟ යම් තරමක් හෝ සමීපව කටයුතු කරන්නේ දේශපාලන නියෝජිතයන්ය. එය ද අවශ්‍ය නම් එම ජනතාවගේ යහපත සඳහා නොවේ යැයි කිව හැකිය.

එදා පාසල්වල ගුරුවරු ළමයි හැදූහ. ඒ නිසා අකුරක් නූගත් එකා පවා ඉස්කෝලෙන් එළියට ආවේ හැදුණු එකෙකු ලෙසිනි. බේබදු තාත්තාලාගේ දරුවන් පවා සිගරට්ටුවක් පවා කටේ නොතබන්නන් බවට පත්වූයේ ගුරුවරුන් නිසාය. ඒ පරාර්ථකාමී ගුරු චර්යාව අද නැත. විභාග පාස් කිරීම පමණක් සිදුවේ. එහි දී ද වැඩි බර ටියුෂන්වලටය. මා මේ කියන්නේ අනෙකක් නොව ගමට සමාජයට සිදුව තිබුණු සමාජමය මැදිහත් වීම් දිනෙන් දින නායගොස් ඇති ආකාරයයි. ගම හුදකලාවූ ආකාරයයි. අද ගම අපරාධ ආකරයක් වී ඇත්තේ ඒ නිසාය.

එදා ගමේ හාමුදුරුවෝ ගමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළෝය. එහෙත් හාමුදුරුවන් පක්ෂ දේශපාලනයටත් ව්‍යාජ දේශප්‍රේමයටත් යටවීම නිසා එදා සැබවින්ම මහා සංඝරත්නයෙන් ඉටුවුණු දේශපේ‍්‍රමී හා පරාර්ථකාමී කාර්යභාරය අද සීමා වී තිබේ. අනෙක් අතට හාමුදරුවරුන්ට පමණක් රට ගොඩ ගත නොහැකිය. උන්වහන්සේලාගේ ආධාරයට කවුරුවත් නැත. පිටරට සිටින දේශ­ෙප්‍ර්මියෝ සමාජ ජාලාවලින් උන්වහන්සේලාටත් අනුශාසනා කරති. තමන්ට පහසු දේ කරති.

පහසු දෙයින් වෙන්වීමට උත්සාහ නොදරන තුරු රට සම්බන්ධයෙන් ජයගත යුතු දුෂ්කර අභියෝග ජයගැනීම සිදු නොවේ. අද ගමට ඇති එකම පිහිට අරාබිය පමණක් යැයි කීම අතිශයෝක්තියක් වුව ද සම්පූර්ණ බොරුවක් නොවේ. ගම රැකී ඇත්තේ ගෘහසේවිකාවන් වශයෙන් විදේශගත මව්වරුන් එවන මුදලෙනි. ගමේ පිරිමි කරන්නේ වතුවල ගස් ටිකත් වත්තේ පස් ටිකත් විකිණීමය. මේවා මා කියන්නේ තරමක අතිශයෝක්තියෙන් වුවත් සත්‍යයෙන් එතරම් ඈත නොවේ.

නගරය ටීවී ඉන්ටර්නෙට් ක්‍රිකට් ඔස්සේ අන්තර්ජාතික හා නූතනවාදී සිහින දකින අතර ගම අපට අහිමි වෙමින් පවතියි. ඒ අතර නගරය ගම ද අතහැර වනාන්තර මැද පික්නික් යමින් ස්වභාව සෞන්දර්යෙන් වශීකෘත වෙමින් සිටිති. සුන්දරත්වය යනු කඳුහෙල් පමණක් නොවේ.

මනුෂ්‍යත්වයේ සුන්දරත්වය වියැකී යන කල කවර හෝ සුන්දරත්වයකින් කවර පලක් ද? අනෙක් අතට මනුෂ්‍යත්වය හා සංස්කෘතිය නොරැකෙන කල මේ ස්වභාව ධර්මයේ මනරම් ස්ථාන ද කොතරම් කලක් පවතී දැයි කිව නොහැකිය.. මා කියන්නේ මීමුරේ යෑමෙන් ගම නොරකෙන බවයි.

එහෙත් වීර නාගරිකයා හා සමාජ ජාල වීරයන් කරන්නේ මීමුරේ ගොස් ඡායාරූප ගෙන ෆේස්බුක් දැමීමය. ඉන්පසුව මන්ත්‍රීවරුන්ගේ නූගත්කම විවේචනය කිරීමය. එයිට එහා ගත යුතු පියවර අමාරු නිසා එයින් එහා දෙයක් කරන්නේ නැත. ඔවුන්ගේ වීරත්වය එසේය. එය වීරත්වය නොවේ. එයට හිමි නියම නමත් මම මුලින් කී නිසා යළිත් මෙහි නොකියමි. එහෙත් රටේ ඇත්ත ප්‍රශ්නවලට යම් තරමකින් හෝ හරි මැදිහත්වීමක් කිරීමට නොහැකි නම් බොරු ප්‍රශ්්නවලට මැදිහත් වී හා බොරු ප්‍රශ්න ඇතිකිරීමෙන් හෝ වීරයන් වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට බණ දේශනාකිරීමෙන් වළකින ලෙස හෝ ඉල්ලා සිටිමි. අපට ඇත්තේ බණ දේශනාවලින් පමණක් බේරාගත නොහැකි රටකි.

ව්‍යාජ වීරයන් විසින් සිදු කරනු ලබන්නේ ඇත්ත වීරත්වය මතුවීම වැළැක්වීමය. ඔවුන්ගේ අරමුණ ද එයයි.

ඇත්තටම වීරත්වය අවදානම් සහගතය. අවදානමක් බාරගැනීමෙන් තොරව වීරයෙකු වීමට නොහැකිය. එහෙත් අපට සිටින්නේ වීර වීරයෝය. එනම් අවදානමක් නොගෙන වීරයන් වන අයයි. ලංකාව හදන්න බෑ කියමින් පිටරටකට යන වීරයන්ය. ගොස් එහි සිට රට හදන හැටි කියන වීරයෝය. එය වීරත්වය යැයි සිතන තුරු අපේ රටට ගොඩ ඒමක් නැත.

දුෂ්කර හා අවදානම් පියවරට අත ගැසිය යුතුය. ඒ සඳහා අවශ්‍ය මූලික ම දෙය රට ගැන අවංක හැඟීමකි. එය තමා ළඟ නැත්නම් පොලිස් නිලධාරීන්ට ගල් ගැසීමෙන් හෝ පිකට් කිරීමෙන් හෝ ප්‍රෙස් කොන්ෆරන්ස් පැවැත්වීමෙන් හෝ ෆේස්බුක් ට්විටරේ පෝස්ට් දැමීමෙන් හෝ ප්‍රශ්න විසඳෙන්නේ නැත.

උදයසිරී වික්‍රමරත්න‍ 

Comments