
මම බොරැල්ල ලිඩෝ සිනමාහලට ගියේ ‘බන්ධනය’ බලන්නට හිතාගෙන ගියෙමි. එහෙත් හතේ දර්ශනයට පෙන්වමින් තිබුණේ ‘නිම්නයක හුදකලාව’ය. මම ‘නිම්නයක හුදකලාව’ බලන්නට සිතාගෙන සිටියෙමි. එහෙත් ඒ එදා නොවේ. මට ‘බන්ධනය’ මෙසේ මඟ හැරුණේ දෙවෙනි වතාවටය. එයට පෙර සතියේ ද ‘බන්ධනය’ බලන්නට සිතාගෙන මාලබේ ස්කයිලයිට් සිනමාහලට ගිය විට එහි පෙන්වමින් තිබුණේ ‘අලි කතාවය’. හැත්තෑව දශකයෙන් පසුව සිනමාව වැටීගිය පසුව අද වන විට සිනමාව මේ මට්ටමින් හෝ පවත්වාගැනීම උදෙසා තනිව සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ සිනමාකරුවකු ලෙස උදයකාන්ත වර්ණසූරිය ගැන මා පිළිබඳ ඇත්තේ ගෞරවයකි. ඔහුගේ යකඩ පිහාටු, හිරිපොද වැස්ස, බහුබූතයෝ, රන් කෙවිට වැනි චිත්‍රපට මා නරඹා තිබුණි. කෙසේ හෝ එදා උදයකාන්ත නිසා ‘බන්ධනය’ බලන්නට ගිය මට බූඩි කීර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව’ බලන්නට සිදුවිය.
‘නිම්නයක හුදකලාව’ චිත්‍රපටයේ මුලින් කතාව නොතේරුණත් ඒ රූපරාමුවල පවතින ලස්සන නිසා ප්‍රේක්ෂකයා චිත්‍රපටයට බඳවා තබාගැනීමට හැකි විය.
අපට සාමාන්‍යයෙන් නොපෙනෙන රූප ස්වකීය කැමරාව හා ආලෝකරණය ඔස්සේ පෙන්වමින් ප්‍රේක්ෂක ඇස හා මනස තිරයට අලවා තබාගැනීමට බූඩි සමත්වේ. එසේම කතාවක ගලයාමක් නැතත් වෙනත් ආකාරයකින් පේ‍්‍රක්ෂකයාගේ කුතුහලය රඳාපවත්වා ගැනීමට ද සිනමාකරුවා සමත් වේ. එනම් රූපරාමු පෙළගැස්ම ඔස්සේ කුතුහලයක් ගොඩනගා ගැනීමට සිනමාකරුවා සමත් වේ.
එසේම සිනමාපටය තුළ තාක්ෂණික හරඹ දැකිය නොහැකි බවක් සිතේ. ඒ වෙනුවට තාක්ෂණය හික්මවාගත් නොඑසේ නම් තාක්ෂණය තමන්ගේ සිතැඟි පරිදි හසුරුවා ගැනීමට හැකි සිනමාකරුවෙකු අපට හමුවන බව දැනේ. එනම් තාක්ෂණය, තාක්ෂණය යැයි නොපෙනෙන ලෙසින් සිනමාරූපීව යොදාගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. මෙහි අදහස සිනමාකරුවා තාක්ෂණය නොදන්නා බව නොවේ. තාක්ෂණය ඒ බව ප්‍රේක්ෂකයාට නොදැනෙන ලෙසින් පරිහරණය කිරීමට තරම් සිනමාවේ පරිණත බව අධ්‍යක්ෂවරයා සතු බවය. ඒ නිසා අප දකින්නේ තාක්ෂණය නොවේ. යම් තේමාවක් ඔස්සේ ගලායන රූපරාමු, සංගීතය හා රංගනයන්ය. එහි පසුබිමේ සැඟවී පවතින්නේ සිනමා තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයා සතු පරිචයයි.
මේ චිත්‍රපටයේ කතාව ද එහි අධ්‍යක්ෂවරයාගේමය. ඒ නිසාම කතාව හා චිත්‍රපටය ද එකක්ම බවට පත් ව ඇත. එනම් කතාවක් හා චිත්‍රපටයක් වෙන වෙනම නොපෙනේ. කතාවත් චිත්‍රපටය වේ. චිත්‍රපටය කතාව වේ.
මෙහි අමාරුම තැන ද එයමය. එනම් කතාවක් යැයි කීව ද අධ්‍යක්ෂවරයා සතුව එවන් කතාවක් නොවීමය. කතාවක් ඇතත් එය ඔහුටම එනම් කතාවේ රචකයාටම (චිත්‍රපටයේ අධ්‍යක්ෂ) වුව ද අනාවරණය කරගැනීමට අපහසු තරම් අසීරු වීමය.
එනම් අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය කර ඇත්තේ පේ‍්‍රක්ෂකයා වෙනුවෙන් පමණක් නොවේ. තමාත් වෙනුවෙනි. තමාටත් එතරම් පැහැදිලි නැති කතාවක් තමාටම අනාවරණය කරගැනීම සඳහා එය චිත්‍රපටයක් බවට පත්කිරීමට උත්සාහ දරා ඇත්තාක් මෙනි. එනම් තමන්ටම පැහැදිලි නැති සිතිවිල්ලක් රූප රාමුවක් බවට පත්කර පැහැදිලි බවට පත්කරගැනීමට ගන්නා උත්සාහයකි.
තමන්ට පැහැදිලි නැති සිතිවිල්ලක් ආලෝකය, අඳුර, මුහුණේ ඉරියව් හා වෙනත් චලනයන් බවට පත්කොට ලිහා ගැනීමට උත්සාහ දැරීමකි. ඒ අනුව අධ්‍යක්ෂවරයා සිනමා තිරය මත සිට සිතයි. මේ චිත්‍රපටය, අප, අපේ සිතටම එබී බැලීමක් වන්නේ ඒ නිසාය.
එහෙත් මෙවන් තේරුමක් කියා සෞම්‍ය ලියනගේට අධිතාත්වික රංගනයක් බාරදීමට අධ්‍යක්ෂවරයා සිතා නැත. සෞම්‍යගේ රඟපෑම වෙනත් චිත්‍රපටයක වෙනත් නළුවෙකුගේ රඟපෑමෙන් සුවිශේෂී නොවේ. ඔහු අද්භූත රංගනයක නියැෙළන්නේ නැත.
එහෙත් චිත්‍රපටයේ විචිත්‍රතාව නොඑසේනම් ප්‍රතිවිරෝධතාව මතුකරගැනීමට අවශ්‍ය රංගනය ද එයම වේ. අවශ්‍ය නම් සාමාන්‍ය රංගනයක් ඔස්සේ අසාමාන්‍ය කතාවක් මතු වේ යැයි කිව හැකිය. තාත්වික රංගනයක් ඔස්සේ අතාත්වික කතාවක් මතු කිරීමකි.
යථාර්ථවාදී රංගනයක් ඔස්සේ ‘යථාර්ථයට’ අසු නොවන සත්‍යය හඹා යෑමකි. අසාමාන්‍ය රංගනයට නොයා සාමාන්‍ය රංගනයකින් අසාමාන්‍ය නිරූපණයක් නොඑසේනම් අසාමාන්‍ය රංගනයක් කිරීමට තමන් සතු හැකියාව සෞම්‍ය ලියනගේ මෙහි දී මැනවින් පෙන්වා ඇතැයි ද කිව හැකිය. අද්භූත නොවී අද්භූත චරිතයක් නිරූපණය කරයි යනුවෙන් තවත් විදිහකින් කිව හැකිය.
කෙසේවුවත් ‘නිම්නයක හුදකලාව’ අද්භූත චිත්‍රපටයක් නොවේ. නොඑසේ නම් අද්භූත චිත්‍රපටයකටත් වඩා අද්භූත චිත්‍රපටයකි. ලොව වඩාත්ම අද්භූත වස්තුව හොල්මන්, අවතාර, හෝ ක්වන්ටම් විද්‍යාව නොවේ, අපේ සිතය. ඒ ඉතා අද්භූත වස්තුවට අතගැසීමට සිනමාකරුවා සමත් ව ඇත. ‘නිම්නයක හුදකලාව’ ඉතා වින්දනාත්මක වන්නේ ඒ නිසාය.
චිත්‍රපටයේ ඇත්තේ නොගැළෙපෙන සංගීතයකි. මා අදහස් කරන්නේ සාමානයෙන් අප නොඅසන, අපට නොඇසෙන සංගීතයක් බවයි. චිත්‍රපටයෙන් ද අප අපව නොදන්නා ඉසව්වකට රැගෙන යන බැවින් ඒ සංගීතයෙන් හා ගීතවලින් අපේක්ෂිත කාර්යය ඉටු වේ. එනම් සංගීතයෙන් ‘එලොව පොල්’ පෙන්වීමට සංගීත අධ්‍යක්ෂවරයා සමත් ව තිබේ යැයි කිව හැකිය.
කෙසේ හෝ මේ චිත්‍රපටයේ එන්නේ අපේ දේශපාලනය පිළිබඳ කතාවක් නොවේ. ගංවතුර පිළිබඳ කතාවකුත් නොවේ. ජාතිභේදවාදය පිළිබඳ කතාවකුත් නොවේ. මත්කුඩු හෝ මැර දේශපාලනය හෝ පාතාලය හෝ යුද්ධය හෝ පිළිබඳ කතාවකුත් නොවේ. කුණු කඳු ගැන ද නොවේ.
පශ්චාත් නූතනවාදය හෝ පශ්චාත් මාක්ස්වාදය හෝ වෙනත් වාදයක් ගැන හෝ ද නොවේ. එනම් මේ චිත්‍රපටය වර්තමානයට කිසි සේත් අදාළ නොවේ යැයි යමෙකු විසින් කියන්නට ඉඩ තිබේ. ඇත්තටම චිත්‍රපටයේ නම යොදා ඇත්තේ ද ඒ සඳහාය. එනම් ‘නිම්නයක හුදකලාව’ යන්නයි.
අප දේශපාලනය, ජරාව කෑම, කුඩු විකිණීම, ජනතාව නොමඟ යවන මාධ්‍ය කලාව, එන්ජීඕ, ව්‍යාජ දේශප්‍රේමීන් හා තවත් බොහෝ දේ ගැන කතා කරමු. එහෙත් මේ සියල්ල කරන මිනිසා මේ මාතෘකා තුළ දී අපට හමු නොවේ. ඒ මිනිසා හමුවන්නට නම් අප නිම්නයක හුදකලා විය යුතුය. බූඩි කීර්තිසේන අප ‘නිම්නයක හුදකලාව’ වෙත රැගෙන යන්නේ ඒ නිසාය.
එම චිත්‍රපටය වර්තමානයට අදාළ වන්නේ ද බොහෝ දේශපාලනික යැයි කියන චිත්‍රපටවලටත් වඩා දේශපාලනික වන්නේ ද ඒ නිසාය. මැරයන් හා මැර දේශපාලනය දැක්කත් අපි මිනිසා හා මිනිසුන්ව නොදකිමු. අතුරුදන් වූ මිනිසා රිදී තිරය හරහා අප හමුවට පැමිණවීමට ‘නිම්නයක හුදකලාව’ හරහා බූඩි කීර්තිසේන සමත් වේ.
කතාවක් නැතැයි පෙනුණ ද නිම්නයක හුදකලාවේ කතාවක් ඇත. එය ‘අතුරුදන් වූ මිනිසාගේ’ කතාව යැයි කීමට කැමැත්තෙමි.
උදයසිරි වික්‍රමරත්න