අහස යට ... | Page 2 | සිළුමිණ

අහස යට ...

 සුදුපාට දීසිය උඩ තිබුණ අන්තිම කජු ඇට දෙක තුනෙන් එකක් ඇගිලි තුඩුවලින් අරගෙන කටට විසිකරන ගමන් මම ඇහුව “යමු නේද” කියල.

වටපිට බලල පුටුවෙ කෙළින් වාඩි වෙලා “ තව පොඩ්ඩක් ඉඳල යමුද” ඇහුව.

වෙනද හැමෝටම කලියෙන් යන්න හදිස්සි කරන, අඩුවෙන් කතාකරන, වැඩියෙන් හිනාවෙන මිතුරගෙ උවමනාවටයි මේ ගමන ආවෙ. වෙනදට තුන් හතර දෙනෙකුගෙ කල්ලියක් හැදිල ආවත් අද නම් අපි දෙන්න විතරයි .

ගිනිකූරකින් ඇඳපු ඉරක් වගේ රැවුලක් තියෙන වේටර් ළමයා මේසෙට හේත්තුවෙලා “ මහත්තෙලට තව මුකුත්” කියල අහද්දි මිත්‍රයා ඒ ප්‍රශ්නය මට යොමු කෙරුව.

මම “හොඳටම ඇති’ කියද්දි අපිට මුකුත් එපා හැබැයි, අපි දැන්ම යන්නෙ නැහැ වගේ අදහසක් මිත්‍රය පළ කෙරුව.

ඔළුව පිටිපස්සට අත්දෙක දල, ඇස් දෙක වහගෙන පුටුවෙ ඇලවුණා.

එකපාරටම එයාගෙ තද කරගෙන හිටපු ඇස් දෙක දෙපැත්තෙන් කදුළු වැල් දෙකක් ගලාගෙන ආව.

‘ඇයි, මේ” මම හෙමින් මිමිණුව.

“මගෙ අම්මගෙ අවසන් කටයුතු කෙරුව ඊයෙ”. කියල ආයිත් ඇස් දෙක තද කරගත්ත.

“මම හිතාගෙන හිටියෙ අම්ම නැතිවෙලා ගොඩාක් කල් ඇති කියල , උඹ කවදාවත් අපිට අම්ම ගැන කියල තිබුනෙ නැහැනෙ. ඉතින් ඇයි අපිට මරණය ගැන කීව්වෙ නැත්තෙ”. මම විස්මයෙන් ඇහුව.

“උඹලට කියන්නෙ කොහොමද, මම දන්නෙත් අද උදේ”

“ඒක මහ දිග කතාවක්” එහෙම කියල, විනාඩි කිහිපයක් විතර මේසෙට අත් දෙක තියල ඔළුව නමාගෙන මගෙන් කදුළු හංගගෙන හිටියත්, ඉකි ගසන හඬ නම් හංගගන්න බැරිවුණා.

අත්දෙක බැඳගෙන, සීරුවට කැරකෙන සිවිලිං පංකාව දිහා මම බලාගෙන හිටියෙ ආයිත් එයාටම කතාව පටන්ගන්න ඉඩදීල.

ඒ අතරතුරේ, ගිනිකූරු රැවුල තියෙන කොල්ල තුන් හතර පාරක් මේසෙ ළඟට ඇවිත් හැරිල ගියා, කොයි වෙලාවෙද අපි යන්නෙ කියල අහන්න වගේ.

“එතකොට මම ස්කෝලෙ හයේ පන්තියෙ, හොස්ටල් එකේ නතරවෙලා හිටියෙ. මාසෙකට දවසක් සිකුරාදට අප්පච්චි ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා. එදා සිකුරාද දවසක් නෙමෙයි . අප්පච්චි ඇවිත් හොස්ටල් එක භාර සර් එක්ක මොනවද කතාකරල, ඊට පස්සෙ මාවත් එක්ක ගෙදර එන්න පිටත්වුණා. වෙනද වගේ මග දිගට මම අහපු ප්‍රශ්නවලට එයා උත්තර දුන්නෙ නැහැ. කණ්ණාඩිය යටින් ගලන කදුළු බින්දු පිහිදාන ගමන් හයියෙන් හුස්ම ගන්න සද්දෙ මට ඇහුන”.

“ගේට්ටුව අරින්න දුවගෙන එන අම්ම වෙනුවට එදා එතනට ආවෙ ලොකු නැන්ද. කාර් එකෙන් බහිද්දි මගෙ අතින් අල්ලගෙන ගෙට එක්ක ගියෙ ආච්චි. ගෙදර ඇතු‍ෙළ කාමරයෙන් කාමරේට ඇවිදල අම්මව හෙව්වත් අන්තිමට ආච්චි අහක බලාගෙන “අම්ම ගෙදර නැහැ” කිව්වා.”

“මගෙ ජීවිතේ දිගම රැය ගෙවුණෙ එදා. වෙනදට ගෙදර ඇවිත් අම්මගෙ තුරුලට වෙලා උණුහුමට නිදියගත්තු මට ලොකු නැන්දගෙ ලඟ දැනු‍ෙණ කටු අකුලක ඉන්නව වගේ හැඟීමක්.”

“අපේ ගෙදරට පන්සල ළඟින් තියෙන පාර මම මග ඇරල යන්නෙ ඇයි කියල උඹ දන්නවද,” කියල ප්‍රශ්නාර්ථයක් තිබ්බ.

මම නිහඬ වුනාම, එයා ආයිත් පටන් ගත්ත,

“ඊට දවස් දෙකකට විතර පස්සෙ දවසක ආච්චියි, ලොකු නැන්දයි මාවත් එක්කගෙන ඇවිත් පන්සලේ තියෙන දේවාලෙ ඉස්සරහදි මගෙ අතට පොල්ගෙඩියක් දීල “ගහපන් ඕක ගලේ, අර ගෑනි සුන්නද්දූලි වෙලායන්න” කියලා ආච්චි කීව. ආච්චිගෙ ඉල්ලීම මම ඉෂ්ට කෙරුව, ඒත් ඒ සිද්ධිය අදටත් මගේ හිතේ හොල්මන් කරනව පන්සලට හැරෙන හන්දිය පහු කරන හැම වෙලාවකදිම”

“ගේ ඇතු‍ෙළ හැම වෙලාවෙම මට ඇහුණෙ නැන්දයි , ආච්චියි අම්මට කරන දෙස් දෙවොල්, ඊටත් වඩා අප්පච්චිගෙ නිහඬ බව මට තවත් වේදනාවක් වුණා.

ආයිත් හොස්ටල් එකට ආවත් පාඩම් කරන්න හිත දුන්නෙ නැහැ. පොත් පිටු අතරේ මතුවු‍ෙණ් අම්මගෙ මුහුණ. පන්තියෙ ඉස්සරහ පේළියෙ හිටපු මම නොදැනිම අන්තිම පේලියට තල්ලු වුණා. “

“මගේ ජීවිතේ අයාලේ ගියා. මගෙ වේදනාවන් අඳුනගත්ත මාලතී මට බිරිදක් විතරක් නෙමේ අම්ම කෙනෙකුත් වුණා . එයා නොහිටින්න මම අද මානසික රෝහලක” කියලා ආයිත් ඇස් දෙක වහගෙන අත්ලෙන් කදුළු බින්දු පිහ දැම්ම.

දැඩි නිහැඬියාවකින් පස්සෙ මම ඇහුවෙ “ ඊට පස්සෙ අම්මව හම්බවුණාද” කියල.

“හම්බවුනා ඊට විසි අවුරුද්දකට පස්සෙ”.

“මාලතී එයත් එක්ක සම්බන්ධයක් හදාගෙන තිබුණ. ඇත්තටම මට ඇය ගැන වෛරයක් ගොඩ නැගිල තිබුන. ගොඩාක් දවස්වලට අනික් ළමයි සෙල්ලම් කරද්දි මම හොස්ටල් එකේ ගේට්ටුව ලඟ බලාගෙන හිටිය කොයි මොහොතක හරි මාව බලන්න ඒවි කියල. පාරේ ගිය ගෑණු කෙනෙකුට අම්මෙ කියල කෑගහල, එයා අම්ම නෙමෙයි කියල දැනුණම මහ හයියෙන් අඬපු දවසකුත් තිබුන. අන්තිමට ආයිත් කවදාවත් මාව බලන්න එයා එන එකක් නැහැයි කියල හිතුනම මම එයාට වෛර කරන්න ගත්ත”

“මාලතීට ඕනැ වුනත් අපි දෙන්නව මුණ ගස්සන්න , මගෙ හිතේ කැකෑරෙන වෛරය ගැන මාලතීට තේරුණ හින්ද එයා ඒ උත්සාහය අත ඇරිය.”

“අප්පච්චි නැතිවුණාට පස්සෙ මාලතී ආයිත් යෝජනාව ගේනාව. කොයිතරම් වෛර කෙරුවත් මොහොතකට හරි ඇයව දකින්න ආසාව මගේ හිතෙත් කොනක හැංගිලා තිබුණා.”

“ඒ හමුව වුණේ මෙහෙමයි. එයා ඉන්න තැනකට යන්න මම කැමතිවු‍ෙණ් නැහැ. දිනය, තැන ඔක්කොම දැනගෙන හිටියෙ මාලතී”

“හෝටලය ඉස්සරහ තිබුණ රූස්ස මාර ගහ හින්ද දළදා මාළිගාවෙ පැත්තක් විතරයි පෙනු‍ෙණ. වැව් දියත් , මහපාරේ රේස් දුවන වාහන පේළියත්, කඩි ගුලකින් එළියට එනව වගේ පේන මිනිස්සුත් දිහා ජනේලයෙන් බලාගෙන හිටිය. මාලතී ඇඳේ ඇලවෙලා පුතාට කිරි දෙනව. සෙරෙප්පු සද්දයක් එක්ක දොරට තට්ටු කරනව ඇහුණ. කිරි, කිරි සද්දෙත් එක්ක කාමරේ දොර ඇරුන”.

“එතකොටත්, මම ජනේලෙන් එළිය බලාගෙන. නන්නාඳුන ගැහැනියක් පිටුපස්සෙන් ඇවිත් මාව තුරුළු කර ගත්ත, මහ ඉකි බිදුමක හඩත් ඇහුන . මම හැරිල බැලුවා,

මගෙ අම්මට තිබු‍ෙණ ලස්සන දිග කොණ්ඩයක්, එයා ළඟ තිබුන සුවද තවමත් මට දැනෙනව, මාව තුරුලු කරගත්තු ගැහැණිය කොණ්ඩය කොටට කපල, මට දැනු‍ෙණ සැර විලවුන් සුවදක්. පුළුවන් තරම් ඉක්මනට ඒ ගැහැනියගෙ උණුහුමෙන් මිදෙන්න මට ඕනැ වුණා.”

“ ටික වෙලාවකිත් ආයිත් කාමරයේ දොර වැහෙන සද්දෙ ඇහුනා . හෝටලයෙන් එළියට බැහැපු ගැහැණියක් වැව් බැම්ම දිගේ ගිහින් පාරේ මිනිස්සු ගොඩට එකතුවෙලා නොපෙනී යනව මට යාන්තමට ජනේලෙන් පෙනුණ “.

“ඊට පස්සෙ මට එයාව දකින්න ඕනැවු‍ෙණ් නැත්තෙ මගෙ අම්මයි එයාවයි මට ගළපගන්න බැරි හින්ද.”

“මාලතීට අද ආරංචිවෙලා තියෙන්නෙ එයා මැරිල කියල. මම ඇහුවෙ නැහැ, කොහෙදිද. මොනව වෙලාද කියල”

“ ඇයි , ඒ “ කියල විතරයි මම ඇහුවෙ.

“ මම ආදරය කරපු , මගෙ හිතේ ඇඳිල ඉන්න අම්මව කවදාවත් මගෙ හිතෙන් මරන්න බැහැ” කියල ආයිත් මේසෙ ඔළුව ගහ ගත්ත.

“ දැන් හොදටම රෑ වෙලා , අපි ගෙදර යමු , සමහර විට මාලතී උඹව හොයනවත් ඇති කියල මම කියද්දි එයා පුටුවෙන් නැගිටල මේ ටික කිව්ව.

“උඹ මේ කතාව ලියනවනම් අන්තිමට මෙහෙම ලියපන් “ මිනිහෙකුට ගෑනියෙක් වත්, ගෑනියෙකුට මිනිහෙකුත් නෙමෙයි වටින්නෙ. දරුවෙකුට අම්ම කෙනෙකුයි, තාත්ත කෙනෙකුයි. ගෙවල් ඇතු‍ෙළ මොන ප්‍රශ්න ආවත් දරුවො ගැන හිතල එකට ජීවත්වෙන එකේ වටිනාකම ලියපන්”

ඉස්සර දවසක කවුදෝ කියපු කතාවකුත් මගෙ මතකයට ආව. “ ලොව ඇති මිහිරිම දේ මව් කිරියි. එහෙත් ඉඳහිට මව්කිරි හිර වීමෙන්ද දරුවන් මියයයි”

චන්දන ගුණසිංහ

Comments