('විශ්ව සාහිත්‍යයේ ඇති බුදුදහමේ අභාසය' යන මැයෙන් මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළ විණි)
සරොසෙක් හා නෙවාඩා (රුසියානු හා අමෙරිකානු) අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඒකාබද්ධව ‘එක්ස්’ ග්‍රහයා මත සිදු කළ කිසියම් මෙහෙයුමක් අතරතුර අජටාකාශගතව සිටි ගගනගාමීන් දෙදෙනා පෘථිවිය කරා එවන පණිවිඩ හදිසියේම වාගේ මුළුමනින්ම ඇනහිටියි. විශ්වයේ කිසියම් ඉසවුවක ස්ථානගත වී සිටින ඔවුන් සෙල්ලම් බඩුවක් මෙන් දිස් වන පෘථිවිය නරඹමින් සිටියදී ඔවුන්ගේ භාවලෝකය පුළුල් වී, ප්‍රසාරණය වී කූටප‍්‍රාප්තියට පත් වෙද්දී පෘථිවියට සඳහටම සමු දීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ ලියලා වැඩෙයි. තරගකාරීව යුද වැද සිටින තෘෂ්ණාභරිත පෘථිවිවාසීන් ඉතා අනතුරුදායක සංකීර්ණ තත්ත්වයනට මුහුණ දෙමින්, ළිප ගිනි මෙළවෙන තෙක් දියසැළියේ දිය කෙළින කකුළුවන් මෙන් මරණය විකුණාගෙන කමින් මහා පරිමාණ කොල්ලකරුවන් වී ඇති ආකාරය මේ අභ්‍යවකාශගාමීන්ට පසක් වන්නේ උඩුගුවනේදීය. ඉනික්බිතිව ඔවුන් පෘථිවියට එවන අවසන් සංදේශය කියවන පාඨකයාට සිතෙන්නේ ‘යථාභූත ඥානය ලබාගැනීම සඳහා එක් ප්‍රවේශ මාර්ගයක් වන්නේ අභ්‍යවකාශගත වීමද?’ කියාය. මේ ඒ පණිවිඩයේ කොටසකි.
පෘථිවිය මතදී දේශපාලන අරගලයෙන් ගැලවී සිටීම අපහසුය. නැත. කොහෙත්ම නොහැකි තරම්ය. එහෙත් බොහෝ කාලයක් - බොහෝ දින සති ගණනක් පෘථිවි ගෝලය යනු හුදෙක් කාරයක රෝදයකට වඩා විශාල වූ වස්තුවක් සේ නොපෙනෙන අභ්‍යවකාශයේ සිටීමෙන් අපට පෘථිවියේ තත්ත්වය පිළිබඳ අසරණ ලජ්ජාවක් හා වේදනාවක් මුසු හැඟුමකින් තොරව කල්පනා කළ නොහැකි වූවේය: එසේම මිනිසා වෛරයට, බලාපොරොත්තු විරහිත භාවයට හා පරමාණු බෝම්බය නිපදවීම කරා වන පෙලඹවීමට යොමු කළ වත්මන් බලශක්ති අර්බුදය යනු සැබැවින්ම සියලු රාජ්‍යයන් හට - ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට එකඟ වන්නේ නම් - විසඳිය හැකි බරපතළ තාක්ෂණික ගැටලුවක් පමණක්මය යන කරුණ අපට කෙසේ වත් කල්පනා නොකර සිටිය නොහැකි වූවේය.
(සියවසක් පවත්නා දවස, පරිවර්තනය: චූලානන්ද සමරනායක, 76-77 පිටු)
දියුණුයැයි කියන මිනිසාගේ ම්ලේච්ඡ ක්‍රෑරත්වය පිළිබිඹු කරන කැඩපතක් බවට ඉන් අනතුරුව පත් වන්නේ The Place of the Skull (දංගෙඩිය - පරිවර්තනය චූලානන්ද සමරනායක) යන කෘතියයි. නිලධාරිවාදයේ හස්තය මිනිසාට මෙන් ම සතාසීපාවාටද සිදු කළ ගිණිය නොහැකි, මිනිය නොහැකි මහා විනාසය හේතුවෙන් කම්පාවට පත් වූ ලේඛකයාගේ හද ගැස්මේ රාවය ‘දංගෙඩිය’ කෘතිය පුරා රාව-ප‍්‍රතිරාව නංවන්නේ පාඨක හදවත් කම්පාවට පත් කරමිනුයි.
එක්තරා අභිමානයක් ප‍්‍රකට කරමින් මහවනයේ දිවි ගෙවූ අක්බාරා නම් වූ වෘකධේනුව මේ නවකතාවේ සුවිශේෂ චරිතයකි. ටාශ්-චයිනාර් නම් වූ ඇගේ සහකරුවාත්, ඔවුන්ගේ කුඩා පැටවුනුත් දෙපා සතුන්ගේ මනදොළ පිනවීම සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන ආකාරය අයිත්මාතොව් විස්තර කරන්නේ හද කම්පා කරවන ආකාරයෙනි.
අයිත්මාතොව් වෘකපවුල පිළිබඳ ලියන දුක්මුසු කතාව දෑසට කඳුළු නංවනසුලුය. අක්බාරා නම් වූ වෘකධේනුව සිව්වරක් පැටවුන් ප්‍රසූත කළද උන් ජීවත් කරවීමට ඇය වරම් නොලබන්නේ කුරිරු මිනිස් තෘෂ්ණාව නිසාමය. සිව්වන වරට උපන් පැටවුන් පවා අහිමි වී ගිය කල දරු දුකින් වියරු වී ගම්වදින ඇය අවසානයේ පෙලඹෙන්නේ මිනිස් දරුවකු රැගෙන යෑමටය.
සෝවියට් සමාජයේ අවසන් භාගය පිළිබඳ සිත් කලඹවනසුලු සිතුවමක් චිත්‍රණණය කරන ‘දංගෙඩිය’ නවකතාව ඔස්සේ චිංගීස් අයිත්මාතොව්, දෙපා සතාගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් සත්ත්ව සම්පත දයා විරහිතව ඝාතනය කිරීමේ ප්‍රවණතාව දැඩි ලෙස අභියෝගයට ලක් කරයි.
සියලු ජීවීන්, සියලු සිදුවීම් හා සියල්ල තුළ වන ඒකත්වය සහ අන්තර් සබඳතා පිළිබඳ සාවධාන වීම පෙරදිග ලෝක දෘෂ්ටියේ එක් සුවිශේෂ ලක්ෂණයක් ලෙස සැලකෙයි. මේ ස්වභාවය මැනවින් - සාහිත්යිකව අවධාරණය කර ඇති සාහිත්‍යකරුවෝ මෙන්ම විද්‍යාඥයෝද වෙති. ක්වන්ටම් න්‍යායේ පිතෘ වශයෙන් සැලකෙන නීල් බෝර් නම් ඩෙන්මාක් ජාතිකයාද එවැන්නෙකි. ඔහු ඒ ගැන මෙවැනි සඳහනක් කරයි:
'පැවැත්ම නම් වන මහා නාටකයේ නළුවන් සහ නරඹන්නන් වශයෙන් අපගේ තත්ත්වය සාමකාමී කරගන්නට වෑයම් කරද්දී බුදුන් වහන්සේ සහ ලා ඕත්සේ වැනි චින්තකයන් විසින් හඳුනාගනු ලැබූ ඥාන මීමංසාත්මක ගැටලු ආකාරයේ ගැටලු කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුත්තේය.'
(උපුටාගැනීම: මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ 'ප්‍රතිචීනාවලෝකන' කෘතියෙනි)
ලොව සුපතළ දාර්ශනිකයන්, චින්තකයන් බුදුදහමේ අරටුව කරා ළං වූ අවස්ථා කිහිපයක් 'ප්‍රතිචීනාවලෝකන' (පැරිසියේ සිට ලියූ ලියුම්) නම් වූ කෘතියෙන් මණ්ඩාවල පඤ්ඤාවංස හිමියෝ මැනවින් විස්තර කරති. කාල් මාක්ස් පසුකලෙක සිය දියණි ලෝරා මාක්ස් වෙත යොමු කළ ලිපියක ඡේදයක්ද එහි සංගෘහීත ව තිබේ.
'දුවේ, මේ දිනවල මම මගේ කාලයෙන් වැඩි කොටසක් සක්මන් කරමින් සහ පිරිසුදු වාතය ආශ්වාස කරමින් ගත කරමි. අඩුවෙන් ලියන මම වැඩි කියවීමක්ද නොකරමි. සාමාන්‍යයෙන් බුදුදහමේ ඉහළම ආශීර්වාදය ලෙස සැලකෙන පැවැත්මකින් විනිර්මුක්ත වූ භාවමය මානසික තත්ත්වය වැන්නක් ආස්වාදනය කරමි.'
(ප්‍රතිචීනාවලෝකන, මණ්ඩාවල පඤ්ඤාවංස හිමි, 65 පිටුව)
විවිධ ආගම් නියෝජනය කරමින් මේ භාවමය මානසික ස්වභාවය ආස්වාදනය කළ පුද්ගලයෝ බොහෝය. ඇල්බර්ටෝ මොරාවියා නම් ඉතාලි ජාතික මහා ලේඛකයා ජීවිතයේ සැඳෑ සමයේ බුදුදහම කෙරෙහි යොමු වූ බව ප්‍රකට කෙරෙන අවධාරණයක් ප්‍රංසයේ පළ වූ සාහිත්‍ය සඟරාවක සටහන් වී ඇත්තේ මෙසේය:
'මගේ ජීවිතය කෙරෙහි වැඩිම බලපෑමක් කළේ බුදුදහමයි. මා එම දහම කරා ඇදී යන්නේ එය එකම දාර්ශනික ආගම වන නිසාත්, එය මට අභව්‍ය දේවල් විශ්වාස කිරීමට බල නොකරන නිසාත්ය.'
මේ සියලු අවධාරණයන්ගෙන් සනාථ වන පොදු සත්‍යයක්ද තිබේ. ඒ, බුදුන් වහන්සේ ‘දුක්ඛ’ යනුවෙන් හැඳින් වූ ස්වභාවය කවර මාදිලියේ බුද්ධිමතකුට වුව ඉඳුරා වටහාගත හැකි වන්නේ (සාක්ෂාත් වන්නේ) ජීවිත අත්දැකීම් ද සමඟ වන බව ය. ‘දුක්ඛ’ යන්න බුදුන් වහන්සේ අවධාරණය කරන්නේ මිනිසාගේ අතෘප්තිමත් ස්වභාවය පිළිබිඹු කිරීමටය. සියල්ල අනිත්‍ය බව ඇසට පෙනෙතත්, ජීවිත කාලය මුළුල්ලේ සියදහස් වාරයක් මේ තත්ත්වය හඳුනාගැනීමට ලැබුණත් තමාගේම ශරීරයේ පරාභවය සිදු වන තුරුම එය ඒකාන්ත වශයෙන් සාක්ෂාත් කරගැනීමේ හැකියාව පුද්ගල බුද්ධිය විසින් සම්පාදනය කරනු නොලබයි. මේ බව හඳුනාගන්නේ බුද්ධිමතා නොව ප්‍රඥාවන්තයාය.
බුදුසමය ජීව-අජීව පරිසරය කෙරෙහි දක්වන කරුණාබර ආකල්පය මේ මහා නිර්මාණකරුවන් තුළට කාන්දු වූයේ, ඔවුන් විසින් එය උත්කර්ෂයට නඟනු ලැබුවේ කවර පදනමක් යටතේද යන්න බැලූබැල්මට නම් තරමක් ගැටලු සහගතය. එහෙත් බුදුදහම යනු සොබාදහමේ නිර්වචනයයි; පැවැත්මේ අර්ථකථනයයි. බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව, එකක්මයැයි සිතීමට තුඩු දෙන සාධක බහුලව සොයා-සපයාගත හැකි වන්නේ සූක්ෂ්මාත්මතාවෙන් යුතු වූවකුටයි. උදාහරණයක් වශයෙන්: පිපෙන මල පර වෙන්නේයැයි කී විට එය බුදුදහමේ අනිත්‍ය ධර්මයට අනුකූල ප්‍රකාශයක් ලෙස බෞද්ධයාට හැඟෙයි. එහෙත් බුදුවරුන් ලොව පහළ වූවත් නැතත් පිපෙන මල් පර වෙයි. එය සොබාදහමේ ගතිකයයි.
මිනිසා හැරුණු විට පරිසරයෙහි පවත්නා මූලික සාධක තුන වන්නේ සත්ත්ව ලෝකය, ශාක ලෝකය හා ජල ලෝකයයි. මේ සාධක දෙස අවදි මනසකින් නෙත් යොමු කරන මිනිසාට තමා හුදෙකලා ජීවියකු නොවන බව පැහැදිලිව පෙනී යයි.
දැන් විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණකරුවන් (බෞද්ධයන් නොවී) බුදුදහමේ හරය සිය නිර්මාණ කෙරෙන් ප්‍රකට කිරීමේ රහස පිළිබඳ කුඩා හෝඩුවාවක්, ඉඟියක් අපට හමු වේ. හුදෙකලා සත්ත්වයකු නොවන මිනිසා මහා පරිමාණ පරිසරයේ ක්‍ෂුද්‍ර වූ ඒකකයක් පමණක්ම වන බවය, බුදුදහමින් අනාවරණය වන්නේ. සූක්ෂ්මාත්මතාවෙන් යුතු නිර්මාණකරුවකුට මෙය හඳුනාගැනීම සඳහා බුදුදහම හැදෑරීමට සිදු විය හැකිද නොවේ.
මිනිසා පෘථිවි වාසයට පැමිණියේ තිරිසන් සත්ත්වයන්ට පසුවය. දයාවෙන් අනුකම්පාවෙන් යුතුව සතුන්ට සැලකීමේ යුතුකමක්, වගකීමක් මිනිසා සතු වන්නේ ඒ නිසාය. තිරිසන් සත්තු මනුසතුන්ගේ මුතුන්මිත්තෝය. ජගත් ලේඛකයන් - විශේෂයෙන් චිංගීස් අයිත්මාතොව් වැනි - මහා නිර්මාණකරුවන් දයානුකම්පාවෙන් හා සමානාත්මතාවෙන් යුතුව සත්ත්ව ජීවිත දෙස නෙත් යොමු කළේ ඔවුන් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ නිසා නොවේ; සමානාත්මතාවයේ පුළුල් අරුත ඉසියුම් ලෙස හඳුනාගෙන සිටි නිසාය.
මේ රටේ දේශපාලනඥයන් අතරේ මෙන්ම සමාජ ක‍්‍රියාකාරීන් අතරේද ‘සමානාත්මතාව’ යන වචනය තරම් පට්ට ගැසුණු වෙනත් වචනයක් නැති තරම්ය. එහෙත් මේ සියල්ලන්ම පාහේ සමානාත්මතාව ඉල්ලා සිටින්නේ තමාගේ වර්ගයා (මනුෂ්‍ය වර්ගයා) කෙරෙහිය. තමාට මෙන්ම හැඟිම් දැනීම් ඇති බොහෝ දුරට තමාගේ වැනිම වූ ඉන්ද්‍රිය පද්ධතියකට හිමිකම් කියන තිරිසන් සත්ත්වයන් විෂයයෙහි බලපැවැත්වෙන ක්‍රෑර ම්ලේච්ඡ වධබන්ධන පිළිබඳ වගේ-වගක් මේ සමානාත්මතාවාදීන්ට නැත. එහෙත් ඔවුහුද බෞද්ධයෝය. විස්මය නම් ඒය!
කැත්ලීන් ජයවර්ධන