බුදු දහම සිංහලයට ගෙනා විද්‍යා චක්‍රවර්ති | Page 2 | සිළුමිණ

බුදු දහම සිංහලයට ගෙනා විද්‍යා චක්‍රවර්ති

 විද්‍යා චක්‍රවර්ති යැයි කිවහොත් අද හැදෙන ඇතැම් දරුවන්ට මේ සාමාන්‍ය පෙළට විද්‍යාව උගන්වන පෞද්ගලික පන්ති ගුරුවරයකු යැයි සිතෙන්නට ඉඩ ඇත. ‘මම ඉගැන්වීමට ම උපන්නෙමි, නූතන යුගයේ දිසාපාමොක්, ලංකාවේ අයින්ස්ටයින්’ ආදී පාඨ ස්වකීය නමට ඈඳා ගත් පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ පෝස්ටර් බොහෝ දකින්නට ලැබෙන මේ කාලයේ සාමාන්‍ය පෙළින් විද්‍යාවට ඒ සමාර්ථ්‍යයක් ලබා දෙන බවට පොරොන්දු වෙන‘විද්‍යා චක්‍රවර්තිලා’ දකින්නට ලැබුණොත් එය පුදුමයක් නොවේ.

අද තත්ත්වය එසේ විය හැකි වුවත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා කවුද යැයි මගෙන් ඇසුවහොත් මට දෙන්නට ඇති පිළිතුරු විද්‍යා චක්‍රවර්ති යන්නයි. සාහිත්‍ය චක්‍රවර්ති වූත් ධර්ම චක්‍රවර්ති වූත් ‘බුත්සරණ’රචනා කළ විද්‍යා චක්‍රවර්ති යන්නයි. ලොව බොහෝ ශ්‍රේෂ්ඨ ලේඛකයෝ සිටිති. එහෙත් සිංහල පාඨකයෙකුට ලොව ශ්‍රේෂ්ඨතම ලේඛකයා විද්‍යා චක්‍රවර්ති වීමට ඉඩ තිබේ.

සැබවින් ම පාළියෙන් සංස්කෘතයෙන් බොහෝ ශ්‍රේෂ්ඨ බෞද්ධ සාහිත්‍ය කෘති රචනා වී තිබේ. එසේම බෞද්ධ සාහිත්‍යය ඉංග්‍රීසි හා වෙනත් අන්තර්ජාතික භාෂාවන්ට ද නැ‍ඟී තිබේ. එහෙත් බුදුගුණ සිංහලට නගන්නට විද්‍යා චක්‍රවර්ති තරම් සමතකු මට සිතාගත නොහැක.

විද්‍යා චක්‍රවර්ති බුත්සරණේ දී වෙස්සන්තර ජාතකය රචනා කරන්නේ වෙස්සන්තර රජ්ජුරුවන් ශෝකයෙන් පීඩිතව එහෙත් පාරමිතා මුදුන්පත් කළ යුතු බැවින් දරුවන් දන්දෙන ආකාරය ඇසින් දුටු අයකු සේ ය. සැබවින්ම බුදු දහම ජන හදවත් තුළ ජීවමාන කිරීමට අපේ රට තුළ දී විද්‍යා චක්‍රවර්ති තරම් මෙහෙයක් කළ රචකයකු මට සිතා ගැනීමට නොහැක.

කිඹුලෙකු වැනි රැළි ගැසුණු පිටකින් යුතු, වක් වූ කොන්දක් සමඟ ඉදිරියට නෙරා ගිය බඩ ගෙඩියකින් ද යුත්, කැඩුණු දත් සමඟ හිතේ රෞද්‍ර හා අකාරුණික බව සිහිකරන මුහුණකින් යුත් ජූජක බමුණා තමන් දන් ලබා ගත් වෙස්සන්තර රජුගේ දරුවන් දෙදෙනාවත් රැගෙන යන අතර කුඩා හෙලකින් පහලට බසිද් දී මුණින් තලා ඇද වැටෙයි. යකෙකු සමඟ යන්නා සේ බියෙන් බමුණා සමඟ යමින් සිටි දරු දෙදෙනා ඒ මොහොතේ ඔහු වෙතින් ගැලවී යළි පියරජ තුමා වෙත දිව යයි.

එහෙත් දැන් දරුවන්ගේ අයිතිය ඇත්තේ පිය රජුට නොව ජූජක බමුණාටය. දන් දී අවසානය. ‘ඔප්පුව’ ජූජකයා අතේය. ඒ නිසා ඔහු දැන් පෙරටත් වඩා ඉතා දරුණුය. වැටුණු තැනින් නැ‍ඟී සිට ළමයින් අල්ලා ගන්නට එන ජූජකයා හා එතැන් සිට සිදු වන දේ විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණ කෘතියේ දී වෙස්සන්තර ජාතකය රචනා කරමින් විස්තර කරන්නේ මෙසේය.

‘‘.....ලේ පිසිමින් පිටි තොල් කමින්, වැලක් දතින් කඩා හිපලක් හැරගෙන, යමයකු සේ අවුත් වැද ගියේ, දරුවෝ ඌ දැක බියපත් ව වෙවුලන්නට වන්හ.

මෙසේ සිටි දරුවන් හසුකරන කලැ ජාලිය කුමාරයන් ගත දී නැගණියෝ හසු නොවෙති, නැගණියන් හසුවුව, ජාලිය කුමාරයෝ හසු නොවෙති, හසුකොට ගත නොහී රැහැණිව බෝධිසත්වයන් බල බලා හින්ද දී දෙබිහින්නන් හසුකොට ගෙණැ, වැලකින් බඳින්නේ කුමාරයන් දකුණත හා එ ළඳ කුමරිය වමත හා දෑත එක්කොට බැඳ ගෙණැ හිපලින් මර මරා කර අල්වා දමමින් යමපල්ලෙකු සේ ගෙන යන්නට වන. නැගනියන් පිටැ හිපල ගැසුව බෑනෝ තමන් ලවා ගනිති.’

අද වුවත් අපේ ගැමියන් කරන්නේ වැලක් වැනි යමක් කපා ගැනීමට පිහියක් නැති කළ එය දතින් කඩා ගැනීමය, ඉපලක් යනු කෝටුවකට වඩා විශාල අත්තකි.

එවැන්නක් භාවිත කරන්නේ දරුවන්ටත් වඩා හරකුන්ට තැළීමටය. මේවා ගමේ පුරුදු අත්දැකීම්ය. ඒ නිසා ජූජකයා කරන දේ අපේ රටේ වැසියාට හිතේ මවා ගැනීමට පහසුය. ඒ අතර දරුවන් දෙදෙනකුට දඬුවම් දීමට වෑයම් කරන මවකට ගෙදර දී සිදුවන දෙයට මෙහි දී ජූජකයාට ද මුහුණ දීමට සිදු වෙයි. එක් දරුවකු හසුවන කල අනෙකා පැනයයි. එහෙත් අවසානයේ කෙසේ හෝ අල්ලාගෙන වෙස්සන්තර රජ්ජුරුවන් බල බලා සිටිය දී ම දරුවන්ට ඉපලින් ගසමින් රැගෙන යති.

වෙස්සන්තර රජ්ජුරුවන්ට කළ හැකි දෙයක් නැත. සියලූ දුක් ලයෙහිම දරා ගනිමින් දාන පාරමිතාව පිරිය යුතු බැවිනි. මෙහි දී ඇත්තටම ජූජකයා ඉපලින් තළන්නේ දරුවන්ටත් වඩා වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හිතටය. එතුමන්ගේ දානාධ්‍යාශයටය. පියාණන්ට මෙහි දී කළ හැකි දෙයක් නැති බව වැඩිමහල් පුතු වන ජාලිය කුමරු දනියි. සිඟිති දියණියට පහර වදිනු පියාණන්ට සේ ම සොහොයුරු ජාලිය කුමරුන්ට ද ඉසිලිය නොහැක.

එහෙයින් කළ හැකි එකම දේ ජාලිය කුමරු සිදු කරයි. නැගණියට ජූජකයා ඉපල් පහර දෙනවිට තමන්ගේ පිට ඇල්ලීමය.

දරුවන් දෙදෙනා මෙසේ රැගෙන යන විට විද්‍යා චක්‍රවර්තීන්ට ඒ යන මග දෙපස ඇති පින්නෙන් පෙඟී ගිය ගස් පෙනෙන්නේ දරුවන් විඳින දුක දැකක කඳුළු පුරවා ගෙන සිටින්නා සේය. සැබවින්ම මේ මොහොතේ දී දිව ගොස් ජූජක බමුණා බැඳ දමා දරුවන් බේරා ගෙන එන්නට වෙස්සන්තර රජතුමාට සිතුණු බව ද විද්‍යා චක්‍රවර්ති පවසයි. එසේ නොසිතෙන පියා කවුද? දරුවන් දන් දීම දුෂ්කර වන්නේ ද පාරමිතාවක් වන්නේ ද ඒ නිසාමය. පල වැල නෙළන්නට ගොස් ආපසු පැමිණ දරුවන් දන් දී ඇති බව වටහාගන්නා මන්ද්‍රි දේවිය ‘බෝසතාණන් පාපිට බළලෙකු ගත් කිකිළියක සෙයින් වෙවුලා හඬා සීසන් නැති ව හොත්තාහ.’

මන්ද්‍රි දේවිය එසේ සිහිසන්ව ඇද වැටුණු පසුව වෙස්සන්තර රජු සිතන හා ක්‍රියා කරන ආකාරය ද ඉන් පසුව විද්‍යා චක්‍රවර්තීහු විස්තර කරති. මේ වනාන්තරයේ මන්ද්‍රි දේවියට වෙනත් නෑ කෙනකු නැත. සිටින්නේ තමා පමණි.

එනම් මහා ශෝකයෙන් මුසපත්ව සිහිසුන් වූ දේවිය සනසවන්නට කිසිදු කෙනකු හෝ නැත. එහි දී වෙස්සන්තර රජ්ජුරුවන් ක්‍රියා කරන ආකාරය විද්‍යා චක්‍රවර්තීන් විස්තර කරන්නේ මෙසේය. ‘සත්මසක් රැකි බ්‍රහ්මචර්යයෙහි ඇලූම් නොකොට මන්ද්‍රිදේවීන් හොවාගෙන නෙළුම් පියුමක් වැනි අත්ලෙන් ළය අත ගගා මුහුණ දිය ඉස අතින් ‍ෙළහි දිය ගහා පිටැ පිසැපියා...’ තපස් රැකීමේ දී ස්ත්‍රී ස්පර්ශය අකැපය. එහෙත් වෙස්සන්තර රජුට එය මෙහි දී තව දුරටත් රැකිය නොහැකිය. ඒ නිසා ම ඇය ‘ඔර හොවා’ සුවපත් කිරීමට සිදුවේ. වෙස්සන්තර රජු අපේ රටේ ජනතාවගේ හදවතට ඉතා සමීපතම චරිතයක් බවට පත් කිරීමට විද්‍යා චක්‍රවර්තීන්ගේ රචනා විලාසය ඉවහල්වේ.

බුද්ධ ධර්මය අපේ රටේ ජනතාවගේ හදවත් තුළ පැළපදියම් කිරීමට විද්‍යා චක්‍රවර්ති වැනි බෞද්ධ ලේඛකයන්ගේ මෙහෙවර මහෝපකාරී විය.

බුදු දහම අන්තර්ජාතික වශයෙන් පැතිරීමේ දී එම එක් එක් දේශයන් හි ජනතාව අතරට රැගෙන යන්නට නම්, එම දේශයන්හි විද්‍යා චක්‍රවර්තිලා විසින් බෞද්ධ සාහිත්‍යය එම භාෂාවන්ට නැ‍ඟීම ද සිදු විය යුතුය.

 

උදයසිරි වික්‍රමරත්න

Comments