තලතෙල් කෝච්චිය | Page 2 | සිළුමිණ

තලතෙල් කෝච්චිය

 මීට වසර 30කට පමණ පෙර මම පිටකොටුවේ ඕල්කොට් මාවත ඔස්සේ ගමන් කරමින් සිටියෙමි. වරායට හැරෙන තැන මල්වත්ත පාරේ ඉටිරෙදි කඩයක පැරැණි පොත් තබා විකුණන වයෝවෘද්ධ පදික වෙළෙන්දෙක් විය. ඔහුගේ පොත්ගොඩ අවුස්සන විට මිල රුපියල් 3.50ක් ලෙස සඳහන් කර තිබූ 'පුරාතන පර්සියාව' නම් පොතක් දැක එය මිල දී ගතිමි. බසයට නැඟගත් විගසම එය කියවන්නට පටන් ගතිමි.

ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයට පෙර පැවැති අතීත ලෝකය පිළිබඳ විස්මය උපදවන තොරතුරු රැසක් එහි විය. ඊළාම්වාදීන් පිළිබඳව මට මුල්ම වරට කියවන්නට ලැබුණේ එම කෘතියෙනි. ඒ ඊළාම්වාදීන් සහ දෙමළ ඊළාම්වාදීන් අතර කිසිම සම්බන්ධයක් නැත. ඩේරියස් රජ සමයේ පැවැති පුරාතන අරාබිය සහ අනෙකුත් රාජධානි පිළිබඳ කදිම විස්තර එහි අඩංගු විය. මෙයින් රස වැටුණු මම ඉන් අනතුරුව ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැගත් පොත් සොය සොයා කියැවීමට ඇබ්බැහි වීමි. මෙරට මන්නාරම පිළිබඳ ඉතිහාසය වසර 30,000කට එහා ඇදෙන බැව් දැනගන්නට ලැබුණේද මේ ඇබ්බැහියේ ප්‍රතිඵලයක් වශයෙනි.

'මන්මථ' හෙවත් 'මනු' යන නමින් රජකු මන්නාරම රාජධානිය කොටගනිමින් මේ දිවයින පාලනය කළ බවත් ඒ රජු ජ්‍යොතිශ්ශාස්ත්‍රය පිළිබඳ හසළ දැනුමකින් යුතු වූ බවත් මොවුන් පුරාණ සූර්ය වංශිකයන්ගෙන් පැවැත එන බවත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු කියැවීමෙන් දැනගන්නට ලැබිණි. සූර්ය වන්දනාවට මුල්තැන දුන් ඔවුහු තමන් සූර්ය දිව්‍ය පරම්පරාවට නෑකම් කියන බවත් විශ්වාස කළෝය. අද අප සමරන සිංහල අලුත් අවුරුද්ද ඇරැඹෙන්නේ මන්නාරම් රාජධානියෙනි. ඔවුන් ජ්‍යොතිෂ පදනම ලෙස ගත්තේ නැකත් 27කි. අස්විදෙන් පටන්ගෙන රේවතියෙන් එය අවසන් වේ.

සෑම වසරකම අප්‍රේල් 14 දා සූර්යා මේ නැකත් චක්‍රයේ සම්පූර්ණ වටයක් ගමන් කොට රේවති නැකතේ සිට අස්විද නැකතට පැමිණේ. එය අලුත් ආරම්භයක් ලෙස පැරැණියෝ සැලකූහ. අස්විද නැකතේ ආරම්භය හෙවත් අංශක 0 ඇත්තේ හරියටම මන්නාරමට ඉහළ අභ්‍යවකාශයේ ය. සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ දැනට සොයාගෙන ඇති පැරණිතම සාක්ෂිය එයයි. එවැනි අප්‍රේල් 14 දාක මට මන්නාරමේ රැඳී සිටීමට ලැබුණේද අහම්බෙනි. මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා වූ දුම්රිය මාර්ගය තැනීම ආරම්භ කෙළේ වර්ෂ 1905දීය. දුම්රිය ස්ථාන 10කින් සමන්විතව එහි කටයුතු අවසන් වූයේ 1914 පෙබරවාරි 24 දාය. 1929 වන විට මේ ගමන් මාර්ගය ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා දිගු වූ අතර, එය මිශ්‍ර ප්‍රතිඵල අත්කර දුන් අලුත් පරිච්ඡේදයක ආරම්භයද විය. කොළොම්තොටින් දුම්රියට නඟින මගියෙක් තලේමන්නාරම් තොට දක්වා ගමන් කොට එතැන් සිට බෝට්ටුවක නැගී ඉන්දියාවේ රාමේශ්වරමට ගොඩ බසී. එකල මේ දුම්රිය සම්බන්ධයෙන් පටබැඳී තිබුණු කතන්දර ඉතා රසවත්ය. එම කතා හාස්‍යය, උපහාසය මෙන්ම වාර්ගික සහ දේශපාලන කෝන්තර මත නිර්මාණය වූ ඒවාය.

'තලතෙල් කෝච්චිය' යනුවෙන් තලේමන්නාරම් දුම්රිය වටා ගොඩනැඟී තිබුණු උපසංස්කෘතිය වෙනම අධ්‍යයනය කළ යුතු මනරම් ඉතිහාසයකි. මගේ සීයා නොයෙක් වර මේ දුම්රියේ නැඟී ඉන්දියාවේ සංචාරය කෙළේය. ඔහු කී කතා අසා මගේ පියාද කිහිප විටක් තලේමන්නාරම් තොට ඔස්සේ ඉන්දියාවට ගියේය. ඔවුන් දෙදෙනාම ලැබූ අත්දැකීම් රසවත් කතන්දර ලෙස අසා දැනගැනීමට තරම් මම වාසනාවන්තයෙක් වීමි. එහෙත් මටත් මගේ පරම්පරාවේ බොහෝ දෙනකුටත් ඒවා තවමත් හුදු කතන්දරම පමණි.

***

1990 වන විට මේ ගමන් මාර්ගය මුළුමනින්ම වැසී ගියේය. කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා එකම දුම්රියක් වත් ගමන් නොකළා පමණක් නොව, සිල්පර කොට සහ රේල්පීලී පවා අතුරුදන් විය. මගේ සීයාද, පියාද කාලයාගේ ඇවෑමෙන් මිය ගියෝය. ඔවුන් කී කතා පමණක් ඉතිරි වී තිබිණ. ඒ අතීත මතක සොහොන් ගැබෙන් යළි අවදි කරන්නාක් බඳු දුම්රිය නළා හඬක් තලේමන්නාරම් තොට නික්ම ගුවන සිසාරා පැතිර ගියේය. 2015 මාර්තු 14 දා කොළොම්තොට සහ තලේමන්නාරම් තොට යා කරමින් වසර 25කට පමණ පසු පළමු වරට දුම්රියක් ධාවනය කෙරිණි.

***

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන ශීඝ්‍රගාමීය. එතැන් සිට ගමන හෙමින්ය. සුපුරුදු ඒකාකාරී දර්ශන පෙළ යළි යළි නරඹමින් බලාපොරොත්තු දල්වාගෙන ඉවසිලිමත් වන්නට ඔබට සිදු වේ. දුම්රිය කවුළුවෙන් එපිට නෙත් පැහැරගන්නා යමක් නොතිබේ නම් ඔබේ සිත් පැහැරගත් පොතේ පිටු අතර සැරිසැරීමට මේ ඔබට දෙවියන් විසින් තිළිණ කළ අමතර කාලයක් ලෙස නොගත යුතුද? විනාඩි 20ක් පමණ රේල් පීලි මත ගල්ගැසී තිබුණු දුම්රිය යළිත් ගමන ආරම්භ කළාය. එතැන් සිට අනුරාධපුරයට එන තෙක් හැලහොල්මනක් නොවනු ඇතැයි මා සිතුවා විතරමය. හතර වටින්ම රතිඤ්ඤා පුපුරන්නට ගත්තේය. සිංහල අලුත් අවුරුදු නැකැත උදා වෙලාය. ඒ සමඟම දුම්රියද නැවත හඬක් නොනඟා නතර විය.

අංක 04 දරන ධාවන මාර්ගයේ මැදවච්චිය හන්දිය දක්වා පැමිණි දුම්රිය එතැන් සිට අංක 05 දරන ධාවන මාර්ගය ඔස්සේ හුදෙකලා ගමන අරඹන්නීය. කොළඹ සිට මැදවච්චියට දුර කී.මී. 228කි. තලේමන්නාරම් දුම්රිය ගමනේ හොඳම ටික ඇරඹෙන්නේ මෙතැන් සිටය. නෙරියකුලම්, චෙඩ්ඩිකුලම්, මඩු පාර, මුරුන්කන්, මාතොටම්, තිරුක්කේතීශ්වරම්, මන්නාරම, තොඩ්ඩවේලි, පේසාලේ, තලේමන්නාරම සහ තලේමන්නාරම්තොට යන මේ දුම්රියපොළ එකොළහ පසු කරන විට කොළඹ කොටුවේ සිට තලේමන්නාරම්තොට දක්වා කිලෝමීටර් 334.80ක් ඔබ ගමන් කොට අවසන්ය. ගමනාන්තය මෙතැනය. මේ වනාහි සුපිරි දුම්රිය මාර්ගයකි. පැයට කි.මී.120ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි ලෙස එය සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුත්ම සහ නවීන දුම්රිය ස්ථාන 11 දක්නට ලැබෙන්නේද නෙරියකුලම් සහ තලේමන්නාරම්තොට අතරතුරය.

එපමණක් නොව, දුම්රියට පුදුමාකාර ලෙස ආදරය කරන මිනිසුන් දක්නට ලැබෙන්නේද මෙහිදීය. මැදවච්චිය හන්දියෙන් හැරී නෙරියකුලම් වෙත ගමන් අරඹන විටම ඔබ පිවිසෙන්නේ නොයිඳුල් මනරම් සුවිසල් තැනිතලා පාරාදීසයකටය. කඳු රූස්ස ගස් හෝ භූ විෂමතා බාධක හෝ නැති හෙයින් ඔබේ නෙත්මානයට එහි අන්තය දක්වාම හසු කර ගත හැකිය. ක්ෂිතිජයේ ගෑවෙන්නාක් බඳු දෘෂ්ටි මායාවක් මවමින් හාත්පස පැතිර ගිය රන්වන් කෙත්බිම්ය. ඒ මැදින් ජය හඬ නඟමින් දුම්රිය උදාරම් ගමනක යෙදෙන්නීය. ඉන් පසු ඔබේ නෙත් සිත් පැහැරගන්නේ දිය කඳුරු සහ ඒ මත පොපියන රතුම රතු ඕලු නෙලුම් මීවන ශාක කඩොලාන සමඟ ගැවැසෙන ජලජ ජීවී ලෝකයකි. තවත් මඳ දුරක් යන විට සුවිසල් වැව් පොකුණු සහ පිටාර ගලා යන ජලදහරා නෙත ගැටෙයි. මා මේ ගමන යෑමට දින කිහිපයකට පෙර මේ පාරාදීසයට වැස්ස වලාහක දෙවියන්ගේ බැල්ම නොමඳව ලැබී තිබිණ. ඒ කෙතරම්ද යත්: ඇතැම් නිවාස සහ පාසල් ගොඩනැගිලි ජලයෙන් යට වී තිබෙනු පෙනිණි. කරදියත් මිරිදියත් අතර මැද ඒ දෙකෙහිම අනුහසින් නිර්මාණය වූ මන්නාරම ඈත අතීතයේ පටන් රැකගත් විරුදාවලියකි. එනම්: මෙරට සහල් නැළිය මන්නාරමය. සශ්‍රීකත්වයේ පමණ පිළිබඳව නාඩි බැලුවේ මන්නාරමේ සිටය. මන්නාරම සරු නම් රටම බතින් සරු විය.

***

නෙරියකුලමේ සිට දුම්රිය ගමන් කරමින් තිබියදී පොකුරු ගැසුණු ගම්වැසියන් බලවත් උනන්දුවකින් දුම්රිය දෙස බලා සිටිනු දක්නට ලැබීම සුලබ දසුනකි. කෝච්චිය අලියා සහ ගුවන්යානය යන තුන කොතෙක් දුටුවත් මිනිසාගේ කුහුල සංසිඳෙන්නේ නැතැයි කියමනක් වේ. එහෙත් මේ ප්‍රදේශවාසීන් තලේමන්නාරම් දුම්රිය දෙස බලා සිටින්නේ ඉහවහා ගිය ප්‍රීතියකින් කුල්මත්වය.

දුම්රිය හඬ ඇසී නිවෙසින් පිටතට දුවවිත් රේල්පාර අයිනට වී ඔවුහු දිගටම අත වනති. දුම්රියේ මගීන් පෙරළා ප්‍රතිචාර පළ කළද නොකළද ඔවුන්ට කම් නැත. ඔවුන්ට වුවමනා වී තිබෙන්නේ තම සතුට සහ කුතූහලය සංසිඳුවාගැනීම පිණිස අඩුම තරමින් දුම්රිය නොපෙනී යන තුරු අත වැනීමය.

එයින් සෑහීමට පත් නොවන ඇතැමෙක් දුම්රියට නඟිති; ඒ කොන සිට මේ කොනට ඇවිදිති. මෙසේ ගමන් කරන ඔවුහු තලේමන්නාරම්තොට දක්වාම යති; එහිදී දුම්රියෙන් බැස, ඒ වටා ඇවිදිති; එංජිම, නියාමක මැදිරිය, රෝද යනාදිය දෙස විපරම් කරති. රාත්‍රී 10 වන තුරු මෙසේ කල් ගත කරන ඔවුහු ආපසු කොළඹ කොටුව බලා යන දුම්රියේ නැඟී ආසන්න දුම්රිය ස්ථානයෙන් බැස තම නිවෙස් බලා යති. මෙය පුරුද්දක් වශයෙන් සිදු කෙරෙන බව දැනගන්නට ලැබිණි. ආපසු කොළඹ බලා යෑමට සූදානම්ව තිබූ රාත්‍රී දුම්රියේ ඒ වන විට සිටියේ මා පමණි. යතුරුපැදි සහ ත්‍රීවීලර්වල නැඟුණු කාන්තා පිරිමි සමූහයා දුම්රියට නැඟගත්තෝය. ඔවුහු දැන් දුම්රිය ඇතුළේ සෑම මැදිරියකම පාහේ සැරිසරති. තමන් අවසන් වරට දුම්රියක් දැක්කේ 1987දී බවත් ඉන් පසු සැබැවින්ම දුම්රියකට නැංගේ මේ දැන් බවත් ඔවුන් අතර සිටි මුස්ලිම් තරුණයෙක් මා සමඟ කීය. මේ අවට ගම්වාසීන් කිසියම් විනෝදාත්මක අවස්ථාවක් ලෙස තලේමන්නාරම් දුම්රිය නැරඹීමට පැමිණ කාණ්ඩ ගැසී නැවත තම නිවෙස් බලා පියමං කිරීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඔවුහු මේ දුම්රියට අසීමිතව ආදරය කරති.

***

‍‍කෙසේ හෝ රාත්‍රී 7.30 වන විට අපි ගමනාන්තයට ළඟා වීමු. සියලු මගීන් දුම්රියෙන් බැස ගියද දුම්රිය වේදිකාව ජනාකීර්ණය. දුම්රිය නැරැඹීමට පැමිණි ගම්වාසීහුද රාත්‍රී 10.00ට කොළඹ බලා ධාවනය කරන දුම්රියේ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මගීහු ද ඒ අතර වූහ. කෑමට යමක් සොයා ගැනීම සඳහා අවට බැලීමී.

ආපනශාලා හෝ වෙළෙඳසල් කිසිවක් අවට නොතිබිණ. දුම්රියපළේ කෙළවරක දුමක් නඟිනු පෙනේ. තරුණ මහත්වරු දෙදෙනෙක් විදුලි උඳුනක් අසල ඇන තබාගෙන සිටිති. ළඟපාත හෝටලයක් තිබෙනවාදැයි මම ඔවුන්ගෙන් විමසීමි. ආපනශාලාවක් තබා සිල්ලර කඩයක්වත් මේ අහල පහළක විවෘතව නැතැයි ඔවුහු කීහ. එසේ කීවා පමණක් නොව, ඔවුහු රෑ කෑමට පිළියෙල කළ ආහාරයෙන් කොටසක් පිළිගන්නැයිද මට බලවත් ලෙස පෙරැත්ත කළෝය. මම එය දැඩිව සහ කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි.

ඔවුහු දෙදෙන තලේමන්නාරම් දුම්රිය ස්ථානයේ මැදිරි පරීක්ෂක චන්න සහ ඔහුගේ සහායක සංඛ ය. අවසානයේ කේක් කැබැල්ලක් සමඟ ලොකු කහට කෝප්පයක් පානය කොට එකිනෙකාට සුබ පතාගෙන අපි සමුගතිමු.

තලේමන්නාරමේ සිට තලේමන්නාරම්තොට දක්වා දුම්රිය ගමන් කිරීමට නියමිතව තිබූ හෙයින් මම ඊට නැග ගතිමි. එහි සිට රාත්‍රි 10.00ට කොළඹ බලා ගමන් කරන්නේ මේ දුම්රියයි. අවසානයේ රාත්‍රී අහසේ මනස්කාන්ත තරු රටා බලමින් මම හුදෙකලා දුම්රිය මැදිරියේ රාත්‍රිය නිදිවරාගෙන කොළඹ පැමිණියෙමි. දිවා කාලයේ හාත්පස නැරැඹීමට මෙන්ම රාත්‍රී කාලයේ අහස නැරැඹීමටද මන්නාරම කදිමය. දහවලටත් වඩා රාත්‍රියට මන්නාරම් අහස ලස්සනය.

 

Comments