
මෑත යුගයේ ශ්‍රී ලංකාවේ පහළ වූ, මානව හිතවාදී ජාති හිතෛෂි ජන නායකයකු වූ ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිඳුන් විසින් ලෝකයට ලබා දෙන ලද මහඟු දායාද වෙයි. එනම් වෙසක් පෝ දිනය අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නිවාඩු දිනයක් වශයෙන් පත්කිරීමට හැකි දිනයක් වග එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් පිළිගැනීම හා ඒ බව ලෝකයාට හඳුන්වා දීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙවර වෙසක් පෝ දිනය ශ්‍රී ලංකවේ මූලිකත්වයෙන් ලෝකයේ විවිධ රටවල් ද සහභාගි කරගනිමින් සැමරීමට නියමිතය.
බුදුන් වදාළ දහම ලෝකයාට හඳුන්වා දීමේ මහඟු පින්කමට, මෙසේ මූලිකත්වය දුන් ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා සත්‍ය වශයෙන් ම බෝධි සත්ත්ව ගුණෝපේත කෙනෙකි. ඒ සඳහා උරුම වූ එතුමාගේ සහජ හැකියාව, සසර දිවි පෙවෙත් තුළ වැඩී ආ එකක් විය හැකිය.
එතුමා 1994 දී, විදේශ කටයුතු අමාත්‍ය ලෙස තෝරාගන්නා අවස්ථාවේදී, විදේශ අමාත්‍ය තනතුර බබළවන බවට අනාවැකි පළ කළේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය දැරූ ආචාර්ය නෙවිල් කනකරත්න මහත්මායි. එය එලෙසම සිදු විණි. එම ධුරයෙහි වැඩ භාර ගත් වහා ම, කදීර්ගාම් මහතා කළ මුල්ම කාර්ය වූයේ අසල්වැසි ඉන්දියාවට රාජකාරිමය සංචාරයකට පැමිණීමයි. දේශපාලන පරිවර්තන කාලයක් වූ එම වසරේ මේ සංචාරය සංවිධානය කිරීම පැවැරුණේ, වැඩ බැලීමේ කාර්යයේ නිරත වූ නියෝජ්‍ය මහ කොමසාරිස් සහ කාර්ය මණ්ඩලයටය. ඉතා ඕනෑකමින් එම කර්තව්‍යය කිරීමට අපි උත්සුක වීමු. එතුමා සමඟ ගනුදෙනු කරගත් ලියුම්වලින් අපට වැටහුණේ, රාජකාරි සංචාරයත් සමඟ බුදුන් වහන්සේ වැඩ වසන ලද, උතුරු ඉන්දියාවේ (දඹදිව) සංචාරයක් අවශ්‍ය බවය. එය වඩාත් ඉහළින් කළ යුතු වූ බැවින් එවකට බුද්ධගයා, සාරානාත්, ශ්‍රාවස්ති වැනි පූජනීය ස්ථානවල වැඩ විසූ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ආධාරයෙන් එම ගමන සංවිධානය කෙරිණි.
එම සංචාරයේදී කළ කතාබහ හා ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගත් කරුණු සම්පිණ්ඩනය කළ අපට වැටහුණේ, එතුමා සතු වූ බුද්ධ ධර්මය පිළිබඳව දැනුම් සම්භාරයයි. යම් අරමුණක් ඔස්සේ එතුමාගේ චිත්ත ධාරාවන් ක්‍රියාත්මක වන බව අපි අනුමාන කළෙමු. එහි දී එතුමා ස්වාමින් වහන්සේලාගේ සැප දුක් විමසා ප්‍රකාශ කළ වැදගත්ම දෙය නම්, ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි උසස්ම දායාදය බුදුරදුන් වදාළ දහම බවයි. ඒ සඳහා ඇප කැප වී සිටි උන්වහන්සේලාගේ අභිවෘද්ධිය සඳහා රජයෙන් ද ආධාර වීම කළ යුතු බව පැවැසිණි.
මේ හමුවීමෙන් පසුව විවිධ රාජකාරි කටයුතුවලදී බෞද්ධාගම පිළිබඳ නිලධාරීන්ගේ කැපවීමත් ධර්මය වෙනත් රටවල ව්‍යාප්ත කරවීමටත්, කටයුතු කළ යුතු බව එතුමන්ගෙන් අවධාරණය කෙරිණි. බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හමුවීමට ද එතුමා කටයුතු කළේ එහි රාජකාරි සංචාරයක් තුළදීය. 1994-1998 වකවානුවේදී රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට සහභාගි වූ එතුමා, එම රටේ පැවැති යම් ආගමික වාතාවරණයන් පිළිබඳව ද නායකත්වය දැනුවත් කළේය. අප අසල්වැසි රාජ්‍යයන්හි සම්බන්ධතා වර්ධනයට ආගම හා සංස්කෘතිය මූලික කරගත යුතු බවට ලැබුණු උපදෙස් ද තම ආධ්‍යාත්මික හැදියාව තුළින් ආ බව අපට පසක් විණි.
බටහිර රටවල් සමඟ සබඳතාවලදී ඒ රටවල පවතින ‘දහම් පිපාසය’ සංසිඳවීම ගැන අවධාරණය කළ එතුමා, මේ පණිවිඩය එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වාම ගෙන ගියේය.
අප ජර්මනියේ, තානාපති කාර්යාලය බොන් සිට බර්ලින්වලට ගෙන ගොස් අපගේම ස්ථානයක් වූ “නික්ලස් ස්ට්‍රාස” යෙහි කුඩා බුදු ගෙයක් ඉදි කළෙමු. එහි පැමිණි සංචාරයක දී එය දුටු කදීර්ගාමර් මැතිතුමා ඉතාම සතුටට පත් වීය. බටහිර ලෝකයේ මිනිස් අගයයන් ගිලිහී යෑමට හේතුව ආගමික පසුබිම උසස් කොට නොසැලකීම යැයි එතුමා විශ්වාස කළේය. ‘හේතුඵලවාදය මත පදනම් වූ බෞද්ධ ධර්මයට එබැවින් ඔවුන්ගේ ළබැඳියාවක් ඇති බවද, එබැවින් ශ්‍රී ලංකාවෙන් බටහිරට දිය හැකි මහඟු මැ දායාදය බෞද්ධ ධර්මය බවත් එතුමා එහිදී අපට පැවැසීය.
“ක්‍රිස්තියානි නොවන සමාජයක බයිබලයේ ඇති සමාජ අවශ්‍යතාව” යන මැයෙන් එතුමා 1992 දී, සෙලෙස්ටීන් ප්‍රනාන්දු අනුස්මරණ දේශනය කළේය. එහි දී පුණ්ණෝවාද සූත්‍රය පිළිබඳව සඳහන් කරමින් මෛත්‍රීය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එහිදී පුණ්ණා තෙරුන්, සුනාපරන්ත ජනපදයට භාවනානුයෝගීව සිටීමට යෑම අරබයා, එහි ජනයාගේ චණ්ඩ ස්වභාවය බුදුන් වහන්සේ දේශනා කළ සේක.
උන්වහන්සේ පුණ්ණ තෙරුන්ගෙන් ඇසුවේ ජීවිත හානියක් කළහොත් කුමක් කරන්නේදැයි යනුවෙනි. එවිට පුණ්ණ තෙරුන් පැවසුවේ “ස්වාමීනි, එහි මිනිසුන් ගැන මම සතුටු වෙමි. ඇතැම් ශ්‍රාවකයෝ මරණයට පත්වීමට කැමැත්තෙන් ආයුධ තනන්නවුන් සොයා යති. එවැන්නක් නැතිවම මට පහසුවෙන් මරණයට පත්විය හැකි හෙයිනි.”
බුදුන් වහන්සේ එවිට, “පුණ්ණ ඉතාම යහපති. ඔබට සංවරයෙන් හා ඉන්ද්‍රිය දමනයෙන් යුතුව සුනාපරත්නයෙහි වාසය කිරීමට හැකිය. එහි යෑමට සුදුසු කාලයයි.” පැවසු සේක.
මේ සූත්‍රය එවන් ආගමික සභාවකදී පැවැසූ කදීර්ගාමර් මැතිතුමා තමාට අනාගතයේදී සිදුවන ජීවිත හානියක් පිළිබඳව, පෙරනිමිති දැක්කේදැයි අපට සිතේ.
යාපනයේ, පුලෝලි බටහිර ප්‍රදේශයේ ජීවත්වූ පැරැණි හින්දු පවුලකට අයත් අතීතයක් එතුමාට තිබිණි. 10 වැනි සියවසේදී ක්‍රිස්තියානි දහමට අවතීර්ණ වූ ඒ පවුලේ අය ප්‍රදේශයට විශාල සේවාවක් කළහ. උතුරේ සිට දකුණු සිරිලක පදිංචියට ආ ඔවුහු ශ්‍රී ලංකා වෘත්තිය ක්ෂේත්‍රයේ විශේෂ නිලතල දැරූහ.
සිවිල් සේවාවේ, ආරක්ෂක සේවාවල හා අධිකරණ ක්ෂේත්‍රයේ නිරත වූ එවන් පවුලක 1932 අප්‍රේල් 12 වැනි දින කොළඹ දී උපත ලැබූ කදීර්ගාමර් මැතිතුමා නිසි වියේදී නීතිය හැදෑරීමට කොළඹ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු විය. පේරාදෙණියට විශ්වවිද්‍යාලය ව්‍යාප්ත වන විට එහි ගිය පළමු ශිෂ්‍ය සමූහය අතර කදීර්ගාමර් ද විය. සර් අයිවර් ජෙනිංග්ස් උපකුලපති තුමා යටතේ උගත්, ඔහු නීති විද්‍යාලයට ඇතුළු වී අද්වකාත් කෙනෙකු වශයෙන් පුහුණු වීමට ඔක්ස්ෆර්ඩ් සරසවියේ, බැලියොල් විද්‍යාලයට ඇතුළුව අධි උපාධි සුදුසුකම් ලැබීය.
නීති ක්ෂේත්‍රය, එක්සත් ජාතීන්ගේ ආයතනවල සේවාව (WIPO) අන්තර්ජාතික රටවල ආයතනවල ආදියෙන් පන්නරය ලැබූ කදීර්ගාමර් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1994 දීය. ඊට පෙර කාලයේදී දර්ශනය පිළිබඳ විශේෂ අධ්‍යයනයන් කළ එතුමා ශ්‍රී ලංකාවට නායකත්වය දීම සඳහා දිවි පරදුවට තැබුවේය. බුද්ධ ධර්මයට කළ මාහැඟි සේවාව මෑත යුගයේ විසූ කිසිම දේශපාලකයකුගෙන් සිදු නොවිණි.
බුදු දහමට කළ සේවාව - මීට පෙර සඳහන් කළ පවුලේ පසුබිම, අධ්‍යාපනය, දාර්ශනික පසුබිම හා තමා වඩාගත් අාධ්‍යාත්මික වර්ධනය මෙම දහම් සේවාවට පදනම් වීය.
වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කිරීම - මෙහි පළමු පියවර 1998 දී (නොවැම්බර්) ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නායකත්වය දුන් අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයයි. එයට පදනම වූයේ ද අමාත්‍ය කදීර්ගාමර්ගේ අධ්‍යාත්මික බලවේගයත්, ලොවට, සාමය හා මානව අයිතිවාසිකම් ලබාදීමට බෞද්ධ ධර්මය තුළ වූ ශක්තියත් යන දෙකෙහි සංකලනයකි.
බෞද්ධ නායකයින් 185 දෙනෙකුන් සහභාගි වූ මෙම සම්මේලනය මුළු දෙවුණේ ශ්‍රී ලංකාවේ පනස්වැනි සංවත්සරය සැමරීමටයි. එම සම්මේලනයේ අවසැන යෝජනා දහහතක් (17) ඉදිරිපත් වීය. එයින් වැදගත් යෝජනාවක් වූයේ බුදුන් වහන්සේ සමරන “වෙසක් දිනය” - ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරවීමයි.
මෙම යෝජනාව හිස් මුදුනින් පිළිගත්, කදීර්ගාමර් තුමා 1999 සැප්තැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය.
“සභාපති තුමනි, තුන්වැනි සහස්‍ර සංවත්සරය (මිලේනියමය) අබියස සිටින අපට මානව ඉතිහාසය විවෘත වෙද්දී මානව සංහතියේ යථා තත්ත්වය අවබෝධ කරවීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හා දේශනාවන් කාලෝචිත භාවය, ස්මරණය කරගැනීම, අතිශයින්ම වැදගත් වේ. වසර දෙදහස් පන්සීයකටත් පෙර උන්වහන්සේ මානව සංහතියේ උන්නතිය සඳහා කළ කැපවීම හා කළ සේවාවට අප ගරු කළ යුතුය.”
“තවදුරටත් සභාපති තුමනි, උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස ලෝක ප්‍රජාවට ඔබින සේ ලෝක බෞද්ධයින්ට ඉතාමත් වැදගත් පූජනීය දිනයක් වන, “වෛශාඛ්‍ය දිනය” එක්සත් ජාතීන්ගේ විශේෂ දිනයක් සේ සලකා එදින නිවාඩු දිනයක් බවට පත්කිරීම කාලෝචිතය. මේ අරබයා විශේෂ යෝජනාවක් රටවල් ගණනාවකම අනුමැතියෙන් මෙම සභා වාරය (සැසි වාරය) තුළ දී ඉදිරිපත් කිරීමට යෝජිතය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මෙම සැසිවාරයට මෙම යෝජනාව අවධානය කරවීමට ශ්‍රි ලංකාවේ ද සහයෝගය පූර්ණ වශයෙන්ම ලැබෙන බව ප්‍රකාශ කරමි”
මෙම ඓතිහාසික වදන් මාලාව පළමු වරට “අන්තර්ජාතික නිවාඩු දිනයක් වශයෙන් ‘වෛශාඛ දිනය’ පත් කිරීමේ යෝජනාව”ට හැඳින්වීමක හා ශක්තියක් වීය.
මෙම පළමු පියවරට අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා ගැනීම දෙවැනි පියවර විය. ඒ මොහොතේ සිට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත තුමා ඇතුළු කාර්යය මණ්ඩලයත්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීහු ද එම සහාය ලබා ගැනීමට උත්සුක වූහ.
එහි දී අමතක නොකළ යුතු කරුණක් වූයේ, නිවාඩු දිනයක් බවට වෙනත් ආගමික දිනයක් ද යෝජනා වී තිබුණු බවය. උදාහරණ වශයෙන් මහ සිකුරාදා දිනයත්, හජ්ජි උත්සවය ආරම්භක දිනයත්, නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට යෝජනා වී තිබුණ ද පාලක ප්‍රශ්න විශේෂයෙන් මූල්‍ය ප්‍රශ්න හරස් වූ බව අපගේ නිලධාරීන්ට තේරුම් ගියේය. එබැවින් විශේෂයෙන්ම දින නවයකට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ නිවාඩු ඇති කිරීමට, මූල්‍ය පිළිබඳ කමිටුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බව අප නිලධාරීන්ට වැටහිණි. එබැවින් තෙවැනි පියවර යෝජනාවේ “නිවාඩු දීම” වෙනුවට “පිළිගැනීම” යන වචන යෙදීම වඩා හොඳ පිළිගත හැකි පදනමක් ඇති කරන බව ඔව්හු ප්‍රකාශ කළහ. මෙහිදී ලක්ෂ්මන් කදීර්ගාමර් තුමා ඒ ඒ රටවල නායකයින් සමඟ සාකච්ඡා කර, අවශ්‍ය අන්දමින් යෝජනාවේ වචන යෙදීම සංශෝධනය කිරීමට එකඟ වීය. එයම එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් වීය. යෝජනාව සකස් වූ වාංමාලාව අනුව බෞද්ධ නොවූ රටවල්වලින් ද සහයෝගය ගලා ආවේය. උදාහරණ වශයෙන්, අයිස්ලන්තය, අයර්ලන්තය, ස්ලෝවෙකියාව, ස්පාඤ්ඥය, ඇමෙරිකා එක්සත් ජනපදය, තුර්කිය සහ රුසියාව ද මේ අතර විය.
මෙවැනි යෝජනාවක් සඳහා රටවල් වැඩි ප්‍රමාණයක් සහාය යෝජකයින් වීමත් ඔවුන්ගේ සහාය පිළිබඳව අනුමත ලිපියක් සභාපතිතුමාට යොමු කළ යුතු වීම සිරිතකි. ඒ අනුව රටවල් 34ක් ශ්‍රී ලංකා මූලික යෝජනාව සඳහා සහාය යෝජකයින් බවට ඉදිරිපත් විණ.
එම රටවල් අතර, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, කොරියන් ජනරජය, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා යුක්රේනය මුල් තැනක් ගත්තේය.
යෝජනාව, සැකෙවින් පහත සඳහන් අයුරු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කරන ලද 54/15 දරන යෝජනාව, වෛශාඛ දිනය අන්තර්ජාතිකව පිළිගැනීම (54 වැනි සැසි වාරයේදී සම්මත වූ 15 වැනි යෝජනාව) (සරල අනුවාදය)
“ලෝකයේ පැරැණිතම ආගමක් වශයෙන් වසර සහස්‍ර දෙක හමාරකට (අවුරුදු දෙදහස් පන්සීයකට වඩා) වඩා වැඩි කලක් බුද්ධ ධර්මය මානව සංහතියේ අධ්‍යාත්මික වර්ධනයට කර ඇති හා කරමින් තිබෙන සේවාව අගය කර ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ කාර්යාල විසින් මෙය අවධාරණය කරන බව වෙසක් දිනය අන්තර්ජාතික පිළිගැනීම මඟින් සිදුවන අතර, එයින් බෞද්ධ ධර්මයට අන්තර්ජාතිකව සැමරීම කළ යුතු බව සනාථ කෙරේ.”
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය හා අනෙකුත් කාර්යාලවල ද, විශේෂ මූල්‍ය ප්‍රතිපාදන නොමැතිව, වෙසක් දිනය සැමරීම කළ හැකිය.”
මෙම යෝජනාව 1999 දෙසැම්බර් 15 වැනි දින, එම සැසි වාරයේදීම සම්මත විණි. ඒ අනුව 2000 සහස්‍රයේදී මැයි 18 වැනි දින වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මුල්ම වරට අනුස්මරණය කෙරිණි.
මෙම අනූපම සේවාව බෞද්ධ දර්ශනය වෙත සිදු කළ ඒ ප්‍රඥයා 2005 අගෝස්තු 12 වැනි දින, මවුබිමට සමු දුන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයකිනි. එතුමා තුළ එම අවසානය පිළිබඳව පෙරනිමිති පහළව තිබුණේදැයි, එතුමාගේ දාර්ශනික ප්‍රකාශ අධ්‍යයනයකදී අනුමාන කළ හැකිය.
මෙම දාර්ශනිකයාට ශ්‍රී ලංකාවට තවදුරටත් සේවාවක් කිරීම ඇරියුම් කර රටේ පිළිගත හැකි, (අගමැති වැනි) තනතුරක් පිරිනැමුවේ නම් අප කොතරම් කළගුණ සලකන ජාතියක්දැයි ස්ඵුට වීමට තිබිණි.
සතරතිලක බණ්ඩා අටුගොඩ
(විශ්‍රාමික විදේශ සේවා තානාපති)