සුළු ජන ප්‍රශ්නයට දේශීය විසඳුමක් වෙනුවෙන් චීන අත්දැකීම් | Page 2 | සිළුමිණ

සුළු ජන ප්‍රශ්නයට දේශීය විසඳුමක් වෙනුවෙන් චීන අත්දැකීම්

 ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් රටට බලපෑ ගැටලුුවක් වූ ත්‍රස්තවාදය අවසන් කරන්නට සමත් වන්නේ මෙයින් වසර අටකට පමණ කාලයකට කලින්ය. එය අතිශය දුෂ්කර ක්‍රියාමාර්ග තුළින් ලබා ගත් ජයග්‍රහණයකි. මෑත කාලය තුළ ත්‍රස්තවාදය පරාජයට පසු සාමකාමී යුගයක් ඇති කිරීම උදෙසා පරිවර්තනය වන වකවානුවකි. දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඒ වෙනුවෙන් පෙලඹවීම් තිබේ. සැබෑ සාමය සහ ප්‍රතිසංස්කරණය ඉක්මනින් හෝ අන්තර්ජාතික ඇනවීමකින් ස්ථාපිත කළ නොහැකිය. විසදුම සෙවිය යුත්තේ සියලූම දෙනා තෘප්තියට පත්වන ආකාරයටය. සුළු ජන කොටස්වල ගෞරවය සහ සමානාත්මතාව යන කරුණු සැලකිල්ලට ගනිමින්ය.

සාමය හා නිරායුධකරණය සඳහා වු චීන ජනතා සංවිධානය විසින් කරන ලද ඇරයුමක් අනුව පාත් ෆයින්ඩර් පදනම ට චීනයේ අධ්‍යයන සංචාරයක් කිරිමේ අවස්ථාව සැලසිණි. එය ආසියානු කලාපයේ රටවල් හයක නියෝජිතයන් විසි දෙනෙකුට සති දෙකක සංචාරයක් වූ අතර එහි අරමුණ වූයේ එක සැපයුමක් එක මාවතක් One Belt One Road යන අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් විද්වත් කතිකාවක් පැවැත්වීමයි. පාත්ෆයින්ඩර් පදනම, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය නියෝජිතයන් සහභාගී කරවීය. මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, කාම්බෝජය සහ මියන්මාර් යන රටවල් ද එයට එකතු විය. බෙයිජිං නගරයේ දී ඇරඹුණ සමුළුව පසුව ප්‍රායෝගික අත්දැකීම් සඳහා එරට දකුණු ප්‍රදේශයේ සංචාරයක් ද සංවිධානය කළේය. ෂෙන්ෂෙන් ප්‍රදේශයේ ෂන්ගෂා සුළු ජාතික ප්‍රජාව ජීවත්වන ගම්මානයට කරන ලද සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර පැවැතිය යුතු සහයෝගීතාව ගැන අත්දැකීමක් ලැබිණි.

මෙම සංචාරය තුළ දී චීන රජයේ නිලධාරීන් විශ්වවිද්‍යාල බුද්ධිමතුන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් වැඩ කිරීමට හා සාකච්ඡා කිරීමට ලැබුණ අවස්ථාව වැදගත්ය. චීනයේ ජාතිකත්වය හා ආර්ථික අත්දැකීම් සහ දකුණු ආසියාතික රටවල් හා චීනය අතර ඇති සහයෝගිතාව සසඳන්නට හැකිවිය. සාමය හා සංවර්ධන මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. ප්‍රාදේශීය ජනවාර්ගික කොටස්වලට ස්වාධීනත්වය උදෙසා එරට විසින් දියත් කර ඇති ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නට විවෘත අවස්ථාවක් හිමි විය.

වේගයෙන් සංවර්ධනය වන චීනය දෙස මතු පිටින් බලන විට එය ජන වර්ග ගණනාවක් රකට ජීවත්වන රටක් බව පෙනෙන්නේ නැත. එනමුත් චීන මධ්‍යම ආණ්ඩුව එරට තුළ වෙසෙන ජනවාර්ගික කණ්ඩායම් පනස් හයක් සොයා ගෙන දැනට ඒවා නිල වශයෙන් පිළිගෙන තිබේ.

චීන ජනතාවගෙන් බහුතරයක් වන 91.56 %ක ප්‍රතිශතයක් ඇත්තේ ”හාන්” ජාතිකයින්ය. අනෙක් ජනවාර්ගික කණ්ඩායම් 55 කට හිමි වනුයේ 8.41 %ක ප්‍රතිශතයකි. මෑතක දී කරනු ලබන සංගණන දත්ත අනුව සුළුතර කණ්ඩායම් ජනගහනය මිලියන 113 දක්වා ඉහළ ගොස් ඇත. මියා පිරිස ගුවැන්ෂෝහි වෙසෙති. දකුණ හා වයඹ ප්‍රදේශවල ද විසිරී තිබේ.

චීනයේ සුළුතර කණ්ඩායම්වලට අයත් වන මූලික ලක්‍ෂණ කිහිපයක් ඇත. කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් වු ජනගහනයක් දැකිය හැකි වීම, එයින් ප්‍රධානය. සුළු ජාතික කණ්ඩායම් ප්‍රධාන වශයෙන් බටහිර චීනයේ කේන්ද්‍ර වී ඇති අතර අනෙක් අය චීනයේ අනෙකුත් ප්‍රාන්තවල විසිරී ඇත. පෙනෙන අන්දමට සුළු ජනවාර්ගික කණ්ඩායම්වලින් 70%ක් ම ජීවත්වන්නේ චීනයේ බටහිර ප්‍රදේශයේය. එයින් වැඩි දෙනෙක් දේශ සීමා ආශ්‍රිතව ජීවත් වෙති. මොන්ගෝලියා, ක්ෂින්ජියෑන්ග්, නියෑන්ගිෂියා, ටිබෙට්. යුනාන් ගයිෂූ සහ ක්වින්හායි යනා දී වශයෙන් ජාතීන් ගණනාවකි. පසුගිය දශකය තුළ සිදු වු ආර්ථික සංවර්ධනය සමඟ සුළුතර ජන කොටස්වලින් බොහෝ දෙනෙක් නැගෙනහිර සිට වෙරළාසන්න ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත. මෙම සුළුතර ජන කණ්ඩායම් සංස්කෘතික හා ආගමික වශයෙන් භාෂා 80කට වඩා වැඩි ප්‍රමාණයක් එදිනෙදා සන්නිවේදන කටයුතුවල දී භාවිත කරයි. සුළුතර කණ්ඩායම්වලින් දහයක් පමණ ඉස්ලාම් ධර්මයත්, හයක් පමණ බුද්ධ ධර්මයත්, පහක් හර්යානා ධර්මයත් අදහන බව දැක්වේ.

චීනයේ මධ්‍යම ආණ්ඩුව ප්‍රධාන වශයෙන් ඇතැමි ජනවාර්ගික ප්‍රතිපත්ති සුළුජන කණ්ඩායම්වලට පිලිගැනීමක් ඇතිවන සේ සකස් කර ඇත. ප්‍රධාන වශයෙන් සමානතාව, සහයෝගිතාව සහ සංවර්ධනයයි. එකී ඉලක්ක සපුරා ගැනීම සඳහා මධ්‍යම ආණ්ඩුව තම නායකත්වය යටතේ ජීවත් වන සුළුජන කණ්ඩායම් සඳහා ස්වකිය අවශ්‍යතා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ සිමිත හැකියාව ඇති ප්‍රාදේශීය ආයතන පද්ධතියක් ක්‍රියාවට නංවා ඇත. එනමුත් සියලූම ස්වාධීන පාලන ඒකක ප්‍රදේශ ආණ්ඩුව යටතේ පවතින අතර රටේ එක්සත් බව ආරක්‍ෂා කරන බවට සහතික විය යුතුය. ඒ අතරම රටේ ව්‍යවස්ථාව හා නීතිය තදින් අනුගමනය කර ක්‍රියාත්මක කරන බවට ද සහතික විය යුතුය. මෙම ක්‍රමය ශුද්ධ වශයෙන් ජනවාර්ගික හෝ ප්‍රාදේශිය අධිකාරියක් නොවන අතර මෙම දෙකෙහිම සංකලනයකි.

තීන්දු ගැනීමේ සීමිත හැකියාව ඇති ප්‍රාදේශීය ආයතන 155ක් තිබෙන අතර එයින් ප්‍රාදේශීය මට්ටමින් 5ක්ද, ප්‍රාන්ත මට්ටමින් හා නගර මට්ටමින් 30ක්ද, ජාතික මට්ටමින් 100 ක්ද ඇත.

මෙම තීන්දු ගැනීමේ සිමිත හැකියාව ඇති ප්‍රාදේශීය ආයතන ක්‍රමය ක්‍රියාවෙහි යෙදවෙන බවට සහතික වීම සඳහා ප්‍රාදේශීය ජනවාර්ගික ස්වාධීන ක්‍රමය හඳුන්වා දී තිබේ. ජනතා කණ්ඩායම්වල සිරිත් විරිත් පදනම් කොට ගත් නීති රීති සම්පාදනය කිරීම සඳහා ස්වාධීනත්වය එම ප්‍රදේශයේ මහජන සංවිධානවලට බලය ඇත. අවස්ථානුකූලව රටේ සාමාන්‍ය නීතිය වෙනස් කිරීමටද හැකියාව තිබේ. චීනයේ මූලික විවාහ නීතියට අනුව නීත්‍යානුකූලව විවාහ වීම සඳහා පිරිමියා අවුරුදු 22ක සම්පූර්ණ කළ යුතු අතර කාන්තාව අවුරුදු 20 සම්පූර්ණ කළ යුතුය. එහෙත් සමහර ප්‍රාදේශීය සුළුතර ජනතාව අතර මෙම නීතිය පිරිමියා අවුරුදු 20ක් හා කාන්තාව අවුරුදු 18ක් සම්පූර්ණ කළ යුතු ලෙස වෙනස් කර ගෙන ඇත. ඊට අමතරව අවශ්‍යතාව පරිදි එරට එක් දරු ප්‍රතිපත්තියද නිදහස් කොට තිබේ. දැනටත් කොමියුනිස්ට් පක්ෂ තීරණය අනුව එක් දරු ප්‍රතිපත්තිය ලිහිල් කර ඇති අතර සුළු ජනතාවට එය ගැන අයිතිය ලැබුණේ එයට කලින් බව සඳහන් කළ යුතුය. මහ ජාතිය වශයෙන් සුළු ජාතිකයන් ජනගහනයෙන් වැඩි තර්ජනයක් යැයි චීන පාලනය සලකන්නේ නැත. සුළු ජාතික බල ප්‍රදේශවල, ස්වාධීනව ආර්ථික කටයුතු හැසිරවීම, කළමනාකරණය සහ අනන්‍ය සංවර්ධන යෝජනාවලට අවස්ථාව තිබේ.

චීනයේ තීන්දු ගැනීමේ සීමිත හැකියාව ඇති ප්‍රාදේශීය ආයතන මූලික වශයෙන් පදනම් වී ඇත්තේ, චීන ජනවාර්ගික කණ්ඩායම්වල ගැටලු සහ චීනයේ යථාර්තය හා ජනවාර්ගික කණ්ඩායම්වල බහුතර කැමැත්ත මතය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම් සලකා බලන විට ඔවුන්ගේ ගැටලු මීට වඩා වෙනස් බව පැහැදිලිය. ඒ සඳහා ලාංකිකයන් තමන්ට ගැළපෙන ක්‍රමයක් සොයා ගත යුතුය. මේ සඳහා චීන අත්දැකීම් ද උපයෝගී කරගත හැකිය. එරට රජය විසින් ආර්ථික සංවර්ධන කටයුතු හා ආධාර සුළු ජන කණ්ඩායම් සිටින ප්‍රදේශවලට ලබා දී ඇත.

1994 දී නව මූල්‍ය ප්‍රතිසංස්කරණ හදුන්වා දීමත් සමඟ බදු පැවරුම් ක්‍රමයත් හදුන්වා දී ඇත. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත අතර ඇති වියදම් පවරාදීම කෙරේ ත්‍රිවිධ හමුදා හා පොලීසිය, රාජ්‍ය තන්ත්‍රය හා විදේශ කටයුතු, මහා පරිමාණ ඉදිකිරීම්, විද්‍යා හා තාක්‍ෂණ කටයුතු නවීකරණය සඳහා අරමුදල්, භූවිද්‍යා කටයුතු ගවේෂණය, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සහය, දේශිය සහ විදේශිය ණය, ජාතික අධිකරණ පද්ධතිය යනාදිය මධ්‍යම ආණ්ඩුවේ වගකීම යටතේ පවතී. සමහර ක්ෂේත්‍ර එනම් සංස්කෘතික, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි බෙදා හරින ලද වගකීම් තිබේ. ඇතැම් ප්‍රාන්ත ප්‍රාදේශීය පරිපාලනය, පළාත්බඳ අධිකරණ, කෘෂිකාර්මික සංවර්ධනය, සහ සහනාධාර ලබාදීමේ වියදම් ද දරණු ලැබේ.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කර ඇත. එයින් පසු සුළුජන කොටස් කෙරෙහි පුළුල් ආකල්පයකින් හැසිරෙන්නට ශක්තියක් ඇති බව අනාවරණය කළ යුතුය. ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් දක්වන ඌන ආකල්පය ජාත්‍යන්තරය දකින්නේ දුර්වලතාවක් වශයෙනි. එහෙයින් නොබෝදා අවසන් වූ මානව හිමිකම් සමුළුව පවා ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ යෝජනා කරන සංහිදියා යන්ත්‍රණය නැවත නැවතත් යෝජනා කරයි. සුළුජන වාර්ගික කොටස් සමඟ තිරසාර සාමකාමී, සුහදශීලී මගකට පිවිසිය හැකි දේශපාලන තීරණයන් ගැනීමට රටට සහ දේශපාලන නායකත්වයට ඇති වුවමනාව ප්‍රදර්ශනය කිරීමට කාලය පැමිණ තිබේ. දේශපාලන කෝණයකින් තොරව නිදහස් ආකල්ප ඇතිව මෙම අවකාශය දෙස බලන්නට මෙරට පුරවැසියන්ට හා පක්ෂ දේශපාලනයට යුතුකමක් හා වගකීමක් ඇත. දැනට දෙමළ ජාතික සන්ධානය හා දෙමල ඩයස්පෝරාව ස්වකීය අහිමි අවස්ථා ගැන මතය අවුළවමින් තිබේ. එය සාධාරණ එකක් නොවන බව දකුණේ මතය බව පැහැදිලිව පෙනේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ වරම ඇති දෙමළ පිරිස තවත් අවස්ථා ඉල්ලන්නේ මන්දැයි දකුණට ප්‍රශ්නයක් තිබේ. නමුත් උතුරේ දෙමල ජනතාව පමණක් නොව දකණේ සිංහල ජනතාව ද අවබෝධ කරගෙන නැති පැත්තක් තිබේ. එනම් උතුර හා දකුණ යව පාර්ශ්ව දෙකටම යුක්තිය හා සාධාරණත්වය අහිමි බවයි. එය පක්ෂ දේශපාලනය මගින් ආවරණය කරගෙන තිබේ. එය නිරාකරනය කර ගත යුතු ගැටලූවකි.

උතුර හා දකුණ යන දෙපාර්ශ්වය ම අන්තවාදය වෙත තල්ලූවීම භයානකය. එය කරන්නේ පැවැත්ම අපේක්ෂා කරන දේශපාලනඥයන්ය. විසඳුමක් සඳහා සාකච්ඡා පටන් ගන්නේ කොතැනින්දැයි වැදගත් නැත. වැදගත් වන්නේ ජනතාව ඒ වෙනුවෙන් කොතැනින් හෝ පටන් ගැනීමයි. යුද්ධය උදෙසා විනා සමාජයේ පොදු කාරණාවලට එකතු නොවීම අභාග්‍යයකි. සමාජය සාධාරණ සේ පාලනය කිරීම හා බලය විමධ්‍යගත කර ඒවා පාලනය කරන ආකාරය ගැන තීන්දු ගැනීම පළමුවෙන් කළ හැකිය. චීනය එය කර තිබේ. රටේ දේශපාලනනායකයන් මෙම බලය බෙදා හරින සුළු ජනතාව තෘප්තිමත් කරන ගැටලූව උදෙසා විසඳුමක් ගැන අවධානය යොමු කිරීමේ දී පටන්ගන්නට උත්සාහ කරන්නේ අමාරුම තැනින්ය.

පොලිස් බලතල, ඉඩම් බලතල හෝ ස්වාධීන පාලනය වැනි කරුණුය. පොදු ජනතාවට දැනෙන, හැඟෙන දේවලින් පටන් ගැනීම අවශ්‍යතාවයයි. චීනයේ දී නිවාස සංකීර්ණ ඉදිකර තිබේ. අධ්‍යාපනයට පහසුකම් ඇතිකර ඇත. සහනාධාර ක්‍රම තිබේ. ඉතාම බලවත් අවිය සේ අපට පෙනෙන ජනගහනය පාලනය ගැන චීනය කතාරන්නේ නැත. ජනගහනය ප්‍රශ්නයක් වී ඇති රටක සුළු ජනතාවට එක දරුවෙක් සංකල්පය නැති කිරීමෙන්ම මහ ජාතිය කර තිබෙන පරිත්‍යාගයක තරම තේරුම් ගත හැකිය. රට තුළින් විශාල සංවාදයකින් අනතුරුව තීරණ ගතහොත් අන්තර්ජාතික මැදිහත්වීම් අනවශ්‍යය. විදේශ බලවේගවලට රට තුළ කරන්නට දෙයක් නැත. රටට අවශ්‍ය සාමාන්‍ය ජනතාව සමානව, යුක්ති සහගතව බලාගන්නේ කෙසේද? යන්නයි. එය උතුරට හෝ දකුණට වෙනසක් නොවිය යුතුය.

පාත් ෆයින්ඩර් පදනමට ලැබුණ ඇරියුමක් අනුව මහජන චීන සමූහාණ්ඩුවේ සංචාරයක අත්දැකීම් ඇසුරෙන් සකස් කළේ
ගාමිණී සරත් ගොඩකන්ද

 

Comments