අහස යට... | Page 2 | සිළුමිණ

අහස යට...

 වෙනද කොහාටත් කලිියෙන් ගමට එන මිත්‍රයා මෙදා පාර සිංහල අවුරුද්දට ගමට ආවේ හිස තෙල් ගාන නැකතත් පහුවෙලා. වත්ත පල්ලෙහා ජම්බු ගහයට සිමෙන්ති බංකු දෙකේ මූණට මූණ බලාගෙන වාඩිවෙලා එයාගේ ප්‍රමාදයට වග උත්තර කියන්න පටන් ගනිද්දී යන්තම් කළුවර රබර් ගස් අස්සෙන් මතුවෙන්න පටන් ගත්ත විතරයි.

‘මම දැන් උගන්වන ස්කෝලෙ ළමයි එක් දහස් පන්සියයක් විතර ඉන්නව, අවුරුද්දට කියල හත් අට දෙනා කාණ්ඩ හැදිල අපේ ගෙදර ආව. අපි දෙන්න පොඩි උන්ට සංග්‍රහ කරල ගමේ එන්න ලෑස්ති වෙද්දි නොදැනිම අවුරුදු පහුවුණා’ කියල දකුණු කකුල නවල සිමෙන්ති බංකුව උඩින් තියල හරි බැරි ගැහිල කතාව පටන් ගත්ත.

රටේ තොටේ තොරතුරු ,දේශපාලනය, මීතොටමුල්ලෙ කුණු කන්ද වගේ මාතෘකා කතාකෙරුවත් අර මැක්කගේ කතාව වගේ මිත්‍රයා පටන් ගන්නෙම එයාගෙ ස්කෝලෙ විස්තර කියන්නමයි.

තමන් රස්සාව කරන තැන ගැන අසතුටෙන්ම කතා කරන මිනිස්සු ඉන්න රටක, ඉඳල හිටලවත් රස්සාව ගැන සතුටින් කතා කරන කෙනෙකු ලැබීමත් සතුටක් කියලා හිතලා එයාගෙ කතාවට මුල් තැන දුන්න.

කොළඹ දිස්ත්‍රික්කයට අයිති කැලණි ගං ඉවුරෙ තියෙන මේ ඉස්කෝලෙ ඉන්න ලමයින්ගෙ සමහර තාත්තලට උප්පැන්න සහතිකේ තියෙන නමින් නෙමෙයි අඳුන්වන්නෙ. පහුගිය දවස්වල මහපාරේ මරාගත්තු පාතාලෙ ලේබල් අලවපු කල්ලි කිහිපයකම දරුවො එයාගෙ පන්තිවල ඉන්නවලු,

හිතුවක්කාර කොල්ලෙකුට දීපූ දඬුවමක් ගැන අහන්න ආපු චණ්ඩි තාත්ත කෙනෙත් ගැනත් එයා කීව. අපේ ගුරුතුමා ඒ තාත්තගෙන් ඇහුවෙ එකම ප්‍රශ්නයයිලු.

‘ඔයාගෙ පුතත් ලොකු වුණාම ඔයා වගේ වෙනවට කැමතිනම්, දඬුවම් නොකර ඉන්නම් කියපුවම ඒ තාත්ත ටිකක් වෙලා නිහඬව ඉදල ‘සර් මොන දඬුවම දීල හරි මගෙ කොල්ලව හදල දෙන්න ‘ කීවලු.

ජීවිතේට මත් ද්‍රව්‍ය පාවිච්චි නොකරපු කොල්ලෙක් අහුවුණාලු, ඉස්කෝලෙ අනික් ළමයින්ට මේ දවස්වල ඉස්කෝලවල ජනප්‍රිය මත්ද්‍රව්‍ය­‍ වර්ගයක් විකුණල. එයා ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙන්නෙ සිහින ජංගම දුරකථනය මිලට ගන්නලු.

ඒක මිශ්‍ර ඉස්කෝලයක් හින්ද ළමයින්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන ඇහුවම දුන්න උත්තරේ වෙනස් එකක් වුණා.

‘දරුවන්ගෙ හිත්වල ඇතිවන ආදරය සීමා මායිම් දාන එක දඬුවම් කරන එක නෙමෙයි උත්තරේ , විශේෂයෙන්ම මේ ස්කෝලෙ ගොඩාක් ළමයින්ගෙ ජීවිත වලට එබුනම මහා ශෝකාන්ත, ජිවිතේට ආදරය, කරුණාව දැනිල නැහැ. එහෙම ළමයි ඉස්කෝලෙදි තවත් කෙනෙකුගෙ ආදරය ලබන්න උත්සාහ කරනව. ඒ හින්ද මම ළමයින්ට ආදරයයි, රාගයයි අතර වෙනස පහදල දෙනව.

ඇත්තටම මම උදේට ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එනකං බලාගෙන ඉන්න දරුවො ගොඩාක් ඉන්නව. කිසි කෙනෙකුට කියාගන්න බැරි වේදනාවන් මට කියල හිත නිදහස් කරගන්න. සමහර ගැහැනු ළමයින්ට ගෙවල් ඇතු­‍ෙළන්ම ඇතිවන අතවර මේ සමාජෙ කතාකරන්නවත් බැරි තරම් කියල එයා දිගු හුස්මක් ගත්ත.

ප්‍රොප්ලර් ගස් පේළිය මැද්දෙන් ඉස්කොලෙට ගිය ගුරුගීතයේ අල්තීනාවත්, කෝච්චි පෙට්ටි ඉස්කෝලෙ නැත්නම් හරි පුදුම ස්කෝලෙ ටොට්ටෝ චං වත් මගෙ මතකයට ආවත් සිමෙන්ති මේසෙ උඩට වැටුණු ජම්බු මලක් ඇඟිලි තුඩුවලට අරගෙන ඈතට විසිකරන ගමන් මගෙ මිත්‍රයා අලුත් කතාවක් පටන් ගත්තලු.

අපි කසාද බැඳල දැන් අවුරුදු දොළහක් වෙනව ලබන මාසෙට. අපි දෙන්න දරුවෙක් වෙනුවෙන් නොගත් උත්සාහයක් නැහැ, නොගිය තැනක් නැහැ. හැබැයි විද්‍යාත්මක දේවල් පස්සෙ විතරයි. අපි දෙන්න හම්බකරපු සල්ලි වියදම් කෙරුවෙ ඒ වෙනුවෙන්, ඒත් උත්තරය බින්දුවයි.

ඒ ගැන අපි දෙන්නට ම මහා කම්පාවක් තියෙනව. එයා ඒක කොහොම දරාගන්නවද කියල හිතාගන්න බැහැ. එයාගෙ අල්මාරිය පිරෙන්න තියෙන්නෙ පොඩි අයගෙ බඩු මුට්ටු. ඒක දැක්කම මටත් දරා ගන්න බැහැ. ඒත් මට දැන් දරුවො ගොඩක් ඉන්නව. ඒ ස්කෝලෙම ඉන්නෙ ඔක්කොම මගෙ දරුවො...! මිත්‍රය එහෙම කියද්දි මගේ ඇස් කොනින් ගලා ගෙන ආපු සීතල කදුළු බින්දුවක් අත උඩට වැටුණා.

හරියටම ඊට පහුවෙනිද මාව හොයාගෙන ආපු තවත් මිතුරෙකු හින්දයි අහස යට වෙන දේවල් හරිම පුදුමයි කියල හිතෙන්නෙ.

වෙනදට හරියට වම් පැත්තෙන් ඉර ඇන්ද වගේ කොණ්ඩෙ පීරපු, පිළිවෙළට ඉර තියල මැදපු කමිස කලිසම් ඇඳපු ඒ මිත්‍රයා, එදා අවුල් වුණ කොණ්ඩෙයි අපිළිවෙළ ඇඳුමත් එක්ක සිමෙන්ති බංකුව උඩ විසිරිලා තිබුණ දම් පාට ජම්බුමල් අතින් පිහදලා වාඩිවෙලා එයගෙ කතාව කීයන්න ගත්ත.

‘ අපි හරි ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්නෙ, කියල බිම බලාගත්ත.

‘ කොල්ල මේ පාර සාමාන්‍යපෙළ’

‘ඉතින්’

‘කෙල්ලගෙ යුනිවසිටි පටන්ගත්ත විතරයි’.

‘ඉතින්’

‘ආයිත්, අරයට බබෙක්...’

දම් පාට ජම්බු මලක් ඇඟිලි තුඩුවලට අරගෙන මමත් ඈතට විසි කෙරුව ඊයේ මෙතනදිම හම්බවුණ මිත්‍රයා කරපු විදිහට...!

චන්දන ගුනසිංහ

 

Comments