විද්‍යාචක්‍රවර්ති සහ දොස්තයෙව්ස්කි | Page 2 | සිළුමිණ

විද්‍යාචක්‍රවර්ති සහ දොස්තයෙව්ස්කි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙව් මහතා මුණගැසුණු අවස්ථාව.

දොස්තයෙව්ස්කිගේ නවකතාවල හරය විප්ලවය හෝ සමාජවාදය නොවේ. එයට වඩා ඉහළින්ම පවත්නා අපේ සාම්ප්‍රදායික ආගම් වෙතින් ලබන්නා වු අාධ්‍යාත්මික ශික්ෂණය හා විනයයි. මෙය  උපමාවකින් කියන්නේ නම් අපේ විද්‍යාචක්‍රවර්තී විසින් රචනා කරන ලද බුත්සරණේ සෑම වගන්තියකම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය වැඩ සිටින්නා සේ ම දොස්තයෙව්ස්කි විසින් රචනා කරන ලද සෑම වාක්‍යකම යේසුස් වහන්සේ නොඑසේ නම් දෙවියන් වහන්සේ නොඑසේ නම් රුසියානු ඕතො­‍ඩොක්ස් කිතු දහම වැඩ සිටියි.

රුසියානු නවකතා

රුසියාව මා හඳුනන්නේ සාහිත්‍යය හරහාය. සිංහල සාහිත්‍යය ළඟට මා වැඩියෙන්ම කියවා ඇත්තේ රුසියන් සාහිත්‍යය යැයි කිව හැකිය. රුසියානු ලේඛකයන් අතින් මා වැඩියෙන්ම වශී වූයේ දොස්තයෙව්ස්කිට යැයි කිව හැකිය. දොස්තයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම, කරමසෝ සහෝදරයෝ, නිවටයා, යක්ෂයෝ ඇතුළු ප්‍රධාන නවකතා සියල්ල ම පාහේ මා කියවා ඇත. ඒ අතරම ජීවිතයේ අවසාන කාලයේ දී දොස්තයෙව්ස්කි විසින් කර්තෘතත්වය දරන ලද පුවත්පතට ඔහු විසින් ලියන ලද ලිපි එකතුවක් කාණ්ඩ දෙකක් වශයෙන් පොත් වශයෙන් පළකර තිබේ. එම ලිපි මාලාවෙන් සැලකිය යුතු කොටසක් අන්තර්ජාලය තුළින් කියවූවෙමි.

ශික්ෂණය හා විලාසිතා

දොස්තයෙව්ස්කිගේ නවකතාවල හරය විප්ලවය හෝ සමාජවාදය නොවේ. එයට වඩා ඉහළින්ම පවත්නා අපේ සාම්ප්‍රදායික ආගම් වෙතින් ලබන්නා වු අාධ්‍යාත්මික ශික්ෂණය හා විනයයි. මෙය උපමාවකින් කියන්නේ නම් අපේ විද්‍යාචක්‍රවර්තී විසින් රචනා කරන ලද බුත්සරණේ සෑම වගන්තියකම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය වැඩ සිටින්නා සේ ම දොස්තයෙව්ස්කි විසින් රචනා කරන ලද සෑම වාක්‍යකම යේසුස් වහන්සේ නොඑසේ නම් දෙවියන් වහන්සේ නොඑසේ නම් රුසියානු ඕතොඩොක්ස් කිතු දහම වැඩ සිටියි.

දොස්තයෙව්ස්කි අලූත් මතවාදවලින් ශික්ෂණය ලද මිනිසෙක් නොවේ. එලෙස අලූත් මතවාදවලින් ශික්ෂණයක් ලැබිය හැකි ද යන්න ද මම නොදනිමි. අලූත් මතවාද බොහෝවිට ජනතාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඔවුන් අභ්‍යන්තරයෙන් ශික්ෂණය කිරීමට වඩා ඔවුන්ට බාහිරව විලාසිතාවක් වශයෙන් එක්වීමෙනි. දොස්තයෙව්ස්කිගේ නවකතාවන්හි සිටින්නේ අවුරුදු සියවස් ගණනාවක රුසියානු සංස්කෘතියෙන් ශික්ෂණය ලද රුසියානුවාය.

යුරෝපයේ අපේ නෑයා

මේ රුසියානුවා මට ඉතා සමීපය. මේ සංස්කෘතික ශික්ෂණය තුළ මට ආගන්තුකයකු දකින්නට නොලැබේ. අප පවට බයය. අපේ අම්මලා තාත්තලා ද කිරිඅම්මලා අත්තලාද පවට බය වූහ. දොස්තයෙව්ස්කිගේ නවකතාවල එන චරිත ද එසේ වෙති. අපට ද ඇත්තේ පහසුවෙන් කම්පනය වන හදවත්ය. අනුකම්පාවෙන් උතුරා යන හදවත්ය.

දොස්තයෙව්ස්කිගේ නවකතාවල එන චරිත ද එසේය. හොඳ නොඑසේ නම් යහපත් ක්‍රියා විනා මේ ලොවින් අපට අයත් කරගත නොහැකි වෙනත් දෙයක් නැති බව අපේ සිතුවිල්ලයි. දොස්තයෙව්ස්කිගේ චින්තනය ද එයයි. මේ නිසාම දොස්තයෙව්ස්කිගේ නවකතා තුළ මට ලංකාවම හමු වේ. රුසියාව හා අප අතර පවතින නෑකම එය යැයි සිතමි.

රුසියාව හා යුරෝපය

යුරෝපීය සෙසු ජාතීන් හා රුසියාව අතර වෙනසක් වෙයි. එංගලන්තය, ප්‍රංසය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය ඇතුළු බොහෝ යුරෝපීය රටවල් සමුදුරු තරණය කර අධිරාජ්‍ය ගොඩනැංවීමට උත්සුක වූහ. අධිරාජ්‍යය ගොඩනැංවීම ඔවුන්ගේ සිහිනයක් විය. එහෙත් රුසියාවට එවන් අධිරාජ්‍යයක් ගොඩනැංවීමට අවශ්‍ය වූයේ නැත. කෙසේවුවත් රුසියාවට තර්ජනයක් නොවන ආකාරයෙන් අවට රටවල් සම්බන්ධයෙන් ආධිපත්‍යයක් පවත්වාගැනීමට නම් රුසියාව උත්සුක විය. එහෙත් යටත් විජිතකාමයක් රුසියානුවාට කවදාවත් තිබුණේ නැත. රටවල් යටත් කරගැනීම අනෙකුත් බොහෝ රටවල මෙන් රුසියානු ජනතාවගේ පරමාදර්ශයක් වූයේ නැත. ඔවුන් සටන් කළේ අනෙකුත් රටවල් යටත් කරගැනීමට වඩා තමන්ගේ රටේ පාඩුවේ සිටීමේ අයිතිය වෙනුවෙනි. ඒ උදෙසා නම් රුසියානුවාත් දිවි නොතකා සටන් කළේය.

යටත් විජිත මානසිකත්වය?

මෙහි අනෙක් තේරුම නම් තමන් විසින් පාලනය කළ යුතු අනෙක් ජාතීන් සිටින බව රුසියානුවා විශ්වාස නොකිරීමයි. එහෙත් ඉංග්‍රීසි ජාතිකයා තමන් විසින් ලෝකය පාලනය කළ යුතු බව විශ්වාස කළේය. තමන් විසින් ලෝකයට ශිෂ්ටත්වය ඉගැන්විය යුතු බව විශ්වාස කළේය. එහෙත් රුසියානුවා තමන්ගේ සංස්කෘතියට මෙන්ම අනෙකුත් සංස්කෘතීන්ට ද ආදරය කළේය. තමා තුළ මෙන්ම අනෙකුත් පුරාණ ජාතීන් තුළ පවතින ශිෂ්ටත්වය දුටුවේය. ගරු කළේය. තමාට තමාව පාලනය විය හැක්කා සේ ම එම ජාතීන්ට ද එම ජාතීන් මඟින්ම පාලනය විය හැකි බව රුසියානුවා දැන සිටියේය. විශ්වාස කළේය.

රුසියාව හා ලංකාව අතර බැඳීමක් ඇතිවන ප්‍රධාන කරුණ එයයි. අප දෙරටම අඛණ්ඩව දීර්ඝ කාලයක් පැවත එන ශිෂ්ටාචාරයන්ගෙන් පෝෂණය ලබන ලෝකයේ පුරාණ ශිෂ්ට ජාතීන් වෙමු.

මාක්ස්වාදයේ ඓතිහාසික කාර්යභාරය

කෙසේ හෝ යුරෝපය සෑම විටම රුසියාව යටත් කරගැනීමට උත්සාහ කළේය. එහෙත් ඒ උත්සාහයන් අසාර්ථක විය. එහි දී රුසියාවේ අයෝමය ශක්තිය වූයේ ග්‍රීක ඕතොඩොක්ස් ධර්මය විසින් රුසියානුවාට ලබා දී තිබුණු එකමුතුකමයි.

එංගලන්තය, ජර්මනිය ආදී රටවල් විසින් මාක්ස්වාදය පෝෂණය කළේ එමගින් එංගලන්තයේ සමාජ සාධාරණත්වය උදාකිරීමටත් වඩා එමගින් රුසියාවට පහර දීම උදෙසාය.

ඕතොඩොක්ස් දහම විසින් රුසියාවට ලබා දී තිබුණු එක්සත්කම බිඳීමට මාක්ස්වාදය උපයෝගී කරගැනීමට අධිරාජ්‍යවාදී යුරෝපා රටවල් කල්පනා කළේය. එය යම් තරමකට සාර්ථක විය. එහෙත් කෙටි කාලීන වශයෙන් පමණි. පුටින් නම් සැබෑ රුසියානුවා අද රුසියාවේ නායකත්වය හොබවයි.

එතුමා වැඩියෙන්ම ආඩම්බර වන්නේ තමන් රුසියානුවකු වීම ගැනය. ඔහු ඔහුගේ දේශයේ ආගමික සංස්කෘතික උරුමය ගැන ආඩම්බර වන්නෙකුටත් වඩා එයින් අාධ්‍යාත්මික ශාන්තිය, සැනසුම හා ශක්තිය ලබන්නෙකි. එතුමන් ලංකාවට ද ශක්තියක් වන්නේ ඒ නිසාය.

රුසියාව හා ලංකාව අතර ඇත්තේ කිසිදා බිඳිය නොහැකි නෑකමක් යැයි සිතමි. එයට හේතුව මෙය ශික්ෂණයකින් යුත් ජනතාවන් දෙකක් අතර පවතින නෑකමක් වීමයි. උසස් අධ්‍යාත්මයන්ගෙන් යුත් ජාතීන් දෙකක් අතර පවතින නැකමක් වීමයි. මේ අධ්‍යාත්මික ශක්තිය ඔවුන් තුළ ද අප තුළ ද රැඳී පවතින තුරු අපි සදා නෑයෝ වෙමු.

උදයසිරි වික්‍රමරත්න

Comments