රුසියානු හදවත් බද්ධය | Page 2 | සිළුමිණ

රුසියානු හදවත් බද්ධය

තොල්ස්තෝයි සහ දොස්තොයෙවුස්කි

රුසියානු නවකතාවක් කියවද්දී අපට හැඟුණේ, දැනුණේ මේ අප කියවන්නේ ලංකාවේ ගමක, නගරයක කතාවකි යි කියා ය. එහිදී අපට තරමක් දුරට බලපෑම් කළේ පුද්ගල නාම, ග්‍රාම නාම මතක තබාගැනීමේ අභියෝගයයි. එහෙත් කතාවේ රසය හා හරය අභියෝගයේ ප්‍රමාණය ලඝුකොට, ශූන්‍ය කර හැරියේ ය. අපේ මවුවරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන්, පෙම්වතුන්, පෙම්වතියන් ජීවත්වන්නේ රුසියාවේ දැයි විමතියක් එකල අප තුළ දැනවූයේ තොල්ස්තෝයිගේ, ස්තොයෙවුස්කිගේ, ගෝර්කිගේ, ගොගොල්ගේ නවකතා ය; ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ය.

ඥාතියකු හෝ හිතමිතුරකු නොවන, ඉතා අඩුතරමින් ස්වදේශිකයකු හෝ නොවන මිනිසකු කෙරෙහි එතරම් ළෙන්ගතු හැඟීමක්, බන්ධුත්වයක් කිසියම් මිනිස් සිතක හටගැනෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය හමුවේ මම අවුල්සහගත ව සිටියෙමි. ඇහැට ඇඟිල්ලෙන් ඇන්න ද කඳුළු සලන පොදු ගැහැනියගෙන් මඳක් වෙනස් යැයි මා ගැන සිතා සිටිය ද සැබැවින් ම ඒ අවස්ථාවේදී මගේ දෑස් කඳුළින් බර ව පැවතුණේ ය. ඒ දුර්ලභ, ආගන්තුක කඳුළ මතුවී තිබුණේ මා කියවමින් සිටි පොතෙහි වූ සැබෑ ඛේදනීය සිද්ධිදාමය පාදකව ය. මා තුළ අප්‍ර්‍රමාණ වේදනාවක් ගොජදමමින් තිබුණේ වසර සියයකට පෙර සත්සමුදුරින් ඔබ ජීවත් වූ මනුෂ්‍යයකු අරබයා ය. ඔහු නමින් ලියෝ තොල්ස්තෝයි ය. මගේ අතෙහි රැඳී තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රා තොල්ස්තෝයි (තොල්ස්තෝයි දියණිය) විසින් ලියනු ලැබූ The Tragedy of Tolstoy (තොල්ස්තෝයි ශෝකාන්තය) කෘතියයි.

මේ මහා ලේඛකයා දෑසින් නුදුටු මා තුළ ඔහුගේ ජීවන තොරතුරු කියවීමෙන් එතරම් ම කම්පනයක් ඇති වූයේ කෙසේ දැයි අනතුරුව මම සිතා බැලූවෙමි. මා කියවා ඇත්තේ ඔහුගේ නවකතා, කෙටිකතා හා වෙනත් ලේඛන ය. මා තුළ බන්ධුත්වයේ යෝධ ස්මාරකයක් ඉදිකර තිබුණේ ඒවා ය. ඒ සියල්ල අයත්වන්නේ රුසියානු සාහිත්‍යයේ මාහැඟි නිර්මාණ අස්වැන්නට ය.

ඕනෑ ම නවකතාකරුවකුට, කෙටිකතාකරුවකුට, කවියකුට මේ හාස්කම කළ හැකි දැයි අනතුරුව මම සිතා බැලූවෙමි. මගේ ඒ නිරීක්ෂණයේ අවසාන විනිශ්චය වූයේ සහෘදය පාඨකයකු තුළ සදාතනික අමරණීයත්වය හිමිකර ගන්නේ සූක්ෂ්මාදර්ශී ලේඛකයා ම වන බව ය. ඊට පාදක වන්නේ ඔහුගේ ආධ්‍යාත්මික ජයග්‍රහණයන් ම දැයි මම යළිත් සිතා බැලූවෙමි.

මේ අදහසට වෙනස් අදහස්, උදහස් හා මතවාද ද තිබිය හැකි ය. එහෙත් සියලූ මතවාද කපා කොටා, මිරිකා ගත්විට ශේෂ වන සාරයෙහි ද පොදු සමානත්වයක් ද පැවතිය හැකි ය.

තොල්ස්තෝයි යනු තමා සමාජවාදියකැයි සිතූ, එසේ ක්‍රියා කළ පුද්ගලයෙක් නොවේ. එහෙත් තොල්ස්තෝයිගේ විශ්වාස හා සමාජවාදය අතරේ ගැඹුරු සදාචාර බන්ධුත්වයක් පැවතිණ. ධනවාදී කඳවුරෙන් ගැලවෙන මග ඔහු දැන සිටියේ නැත. එවැන්නක් දැන සිටින බව පෙන්වුයේ ද නැත. එහෙත් ඔහු මහත් වූ ජවයකින් යුතු ව විද්‍යාත්මක සමාජවාදයට පමණක් විසඳිය හැකි ප්‍රශ්නය නිවැරදි ලෙස වේදිකා ගත කළේය. තොල්ස්තෝයිගේ ඉගැන්වීමෙහි වූ සෑම දෙය ම පාහේ නිරායාසයෙන් සමාජවාදය තුළට ගලා ගියේ ගඟක් මහ සමුදුරට ගලායන ආකාරයට ය.

කෙසේ වුව ද තොල්ස්තෝයි පිළිබඳ විවාදාත්මක වූත් ගැටලූ සහගත වූත් මත කරළියට නැගුණේ ඔහුගේ ජීවිතයේ අවසන් කාලපරිච්ඡේදයට අයත් වූ නිර්මාණ විෂයයෙහි ය. මේ මහා ලේඛකයාට ආගමික ගැටලූ මතු වූයේ ‘ඇනා කැරනිනා’ නවකතාව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ය.

බෞතීස්මය, පාන් හා වයින්, යාච්ඥාව වැනි පූජාවිධි, යාතුකර්ම බැහැර කළ ද ෙප්‍ර්මය, ෙප්‍ර්මයේ උල්පත හා දෙවියන් වහන්සේ අතර වන කිසියම් සහසබඳතාවක් කෙරෙහි තොල්ස්තෝයි තුළ යම් විශ්වාසයක් පැවති බව ඔහුගේ පොත් කියවූවෝ දනිති. මේ විශ්වාසය හඳුනාගැනීමට ගත් උත්සාහයේදී පාඨක අප දුටුවේ, අපට හමු වූයේ තේජෝබලපරාක‍්‍රමයෙන් යුතුව ආයුධ අත දරා සිටින මහා දෙව්රුවක් නම් නොවේ. ඉන් අපට සංඥා සැපයුණේ, ‘දෙවියන් වහන්සේ යනු හෘදය සාක්ෂියේ හඬ ය’ යන්නයි. ධර්මය, සමාජවාදයට ප්‍රතිපක්ෂ නැතැයි අපට සිතුණේ ද ඒ අනුවයි.

රුසියානු විප්ලවය සිදු වූයේ (1917 දී) තොල්ස්තෝයිගේ මරණයෙන් සත්වසක් ඉකුත් වූ තැන ය. තොල්ස්තෝයිගේ සියලූ ලේඛන, නිර්මාණ පළ කිරීමට ඉන් අනතුරුව උත්සුක වූයේ ක්‍රෙම්ලින් රාජ්‍ය පාලන කටයුතුවලින් හෙම්බත් වූ සෑම අවස්ථාවකදීම ‘යුද්ධය හා සාමය’ කියවීම පුරුද්දක් කරගෙන සිටි (රුසියාවේ නායක) ලෙනින් ය.

ලෙනින්, තොල්ස්තෝයි දුටුවේ රුසියානු විප්ලවයේ කැඩපත ලෙස ය. එහෙත් තොල්ස්තෝයි විප්ලවයට ආවැඩූවකු නොවූ අතර ඇතැමුන් ඔහු හැඳින්වූයේ විප්ලවය මගහැර සිටියකු සේ ය. එහෙත් තමන්ගේ සැබෑ සතුරන් කවුරුන් ද යන්න මැනවින් හඳුනාගැනීම සඳහා රුසියානු කම්කරු පන්තියට ඉඟි සැපයුවේ තොල්ස්තෝයිගේ සාහිත්‍ය කෘතීන් වන බව ය, වැඩිදෙනකුගේ අදහස වන්නේ.

තොල්ස්තෝයිගේ ශ්‍රේෂ්ඨත්වය අප භක්තියෙන් සිහිකරන්නේ මේ මහා ලේඛකයා සියලූ දුසිරිතින් තොරවූවෙකි ය යන විශ්වාසය මත පිහිටා නොවේ. ‘පාපය’ ලෙස සමාජ සම්මතයේ පවතින සියලූ ක්‍රියාකාරකම්වල තමා යෙදුණේ යයි කෑ ගසා කියන්නට තරම් ශක්තියක්, ධෛර්යයක් ඔහු සතු වූ නිසා ය. කිසියම් නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ ලේඛකයාගේ අවංකභාවය මත යැයි වරක් පැවසුවේ ද තොල්ස්තෝයි ය. සිංහල ලේඛකයාට, පාඨකයාට එය ධම්මපද ගාථාවක් වැනි ය. ඒ, එවැනි ප්‍රකාශයක් කළ හැක්කේ සත්‍යවාදියකුට ම වන නිසා ය. මහත්මා ගාන්ධි හා තොල්ස්තෝයි අතර වූ සහසබඳතාවේ පාලම වූයේ ද මේ සත්‍යවාදීත්වය ම බව නිසැක ය.

අවිහිංසාවේ ආනිශංස ගැන වැඩිවශයෙන් ම තකන්නේ ආසියාතිකයන් ය. නපුරට ප්‍රතික්‍රිියා නොදක්වන තොල්ස්තෝයිගේ තාපසවාදය, අවිහිංසාවාදය මහත්මා ගාන්ධි කෙරෙහි ද මහත්මා ගාන්ධි අනුදත් පරම අවිහිංසාව තොල්ස්තෝයි කෙරෙහි ද බලපෑම් කළ අයුරු අප කියවා ඇත්තේ බුදුදහමේ ඇතැම් අවධාරණන් ද මතකයට නගමිනි.

සමාජ සංශෝධකයකු ලෙස ක්‍රියා කළ තොල්ස්තෝයි ජීවිතයේ කිසියම් කාලවකවානුවකදී තවුසකු මෙන් සියල්ල හැර දැමූවෙකි යි අපි දැන සිටිමු. පාසලේදී, දහම්පාසලේදී ඉගෙනගත් අභිනිෂ්ක්‍රමණය පිළිබඳ පාඩම ඉතා හොඳින් ධාරණය කරගෙන සිටි අපට තොල්ස්තෝයිගේ හිස්වීම වඩාත් තදින් දැනුණේ සිදුහත් කුමරාගේ අබිනික්මන අපගේ මතකයේ පැළපදියම් ව තිබූ නිසා විය හැකි ය.

ලෝකය විශ්ව ගම්මානයකි යි අපට හැඟී-දැනී තිබුණේ නූතන විශ්ව ගම්මාන සංකල්පයේ කලලය ගර්භාශ ගතවන්නට ද පෙර ය. ඒ විදෙස් සාහිත්‍ය කෘති, නිර්මාණ කෘති සමඟ එක්තරා ආකාරයක කරකාර බන්ධනයක යෙදෙන්නට නවයොවුන් වියේදී ම අපට අවකාශයක් සැලසී තිබූ නිසා ය.

මේ සරණ බන්ධනය සඳහා කපුකම් කළෝ කළුබෝවිල සිරිල් සී. පෙරේරා, දැදිගම රුද්‍රිගු, කේ.ජී. කරුණාතිලක ආදීහු ය.

ඔවුනගේ පරිවර්තන කෘති කියවූ අපට දැනුණේ ‘අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ මුළුලෝකෙම අපේ ්නෑදෑයෝ’ යැයි කියා ය. එතැනදී අපගේ ළඟම ඥාතියා, ලේ නෑයා වූයේ රුසියානු සාහිත්‍යයයි. මේ රටේ නිර්මාණකරුවන්ගේ බොහෝ සාහිත්‍ය නිර්මාණ සඳහා වැඩි ම බලපෑමක් කර ඇත්තේ ද රුසියානු සාහිත්‍යය ම බව නොවළහා පැවසිය යුතුයි.

1917 සමාජවාදී විප්ලවය දක්වා රුසියානු සාහිත්‍යය ලෙස ද ඉන් අනතුරුව රුසියානු සමූහාණ්ඩුවට අයත් වෙනත් සාහිත්‍යයන් ද සමඟ සෝවියට් සාහිත්‍යය නමින් ද හැඳින්වුණ මේ මහාර්ඝ සාහිත්‍යය මේ රටේ පාඨකයා අවශෝෂණය කරගන්නේ මහත් අභිරුචියකින් යුතුව ය. නූතන රුසියානු සාහිත්‍යයේ පියා හැටියට සැලකෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (1799-1837) ය.

පසුකලෙක නිකුලායි ගෝගොල් (1809-1852) ගොන්චරොෆ්, තුර්ගෙනෙෆ් වැනි ලේඛකයන්ට මෙන් ම තොල්ස්තෝයිට හා දොස්තොයෙවුස්කිට ද (ඔවුන්ගේ නිර්මාණවලට) පුෂ්කින්ගේ යෝධ සෙවණැල්ල වැටී ඇති බව පෙනෙයි.

රුසියානු සාහිත්‍යය හා අප අතර පවතින බන්ධුත්වය වර්ධනය වූයේ සාහිත්‍යයේ විවිධ ඉසව් ඔස්සේ ය. නවකතාව කෙටිකතාව හැරුණුවිට රුසියානු නාට්‍යය ද මේ රටේ ප්‍රසිද්ධියට පත් වූයේ ගෝගෝල්ගේ ‘විවාහය’ නම් වූ නාට්‍යය ‘කපුවා කපෝති’ නමින් (ලංකා විශ්වවිද්‍යාලය වෙනුවෙන්) 1945 දී නිෂ්පාදනය වීම නිසා ය. ගෝගොල්ගේ විශිෂ්ටතම කෘතිය වන ඩෙඩ්සෝල්ස් (1842) ‘මළමිනිස්සු’ වශයෙන් අප කියවූයේ චාලිචැප්ලින්ගේ චිත්‍ර්‍රපටයක් නරඹන විට මතු ව නැගෙන උපහාස සිනාවටත්, ගැඹුරු ශෝකයටත් ආසන්න මනෝභාවයකිනි.

වහලූන් වැඩි පිරිසකගේ හිමිකරුවකු වීම ප්‍රභූත්වයේ ලක්ෂණයක් ලෙස සැලකුණු එකල ඉන් වෙළෙඳ වාසියක් ලබාගැනීමට සිතූ චිචිකොෆ් නම් වූ එක් සටකපට පුද්ගලයෙක් ළඟදී මියගිය වහලූන්ගේ හිමිකරුවන් සොයමින් රට වටා ගමනේ යෙදෙයි.

වහලූන්ගේ මියගිය ආත්ම (නම්) මිලට ගෙන ඒවා (ඔවුන්) බැංකුවකට උකස්කොට ලබාගන්නා මුදලින් ධනවතකු වීම ය, ඔහුගේ ඉලක්කය වන්නේ. එකල වහල් හිමියන් වහලූන් වෙනුවෙන් රජයට බද්දක් ද ගෙවිය යුතුව තිබූ අතර වහලූන් ජීවතුන් අතර සිටියත් නැතත් වහල් ලේඛනයෙන් ඒ නම් ඉවත් කෙරෙන තුරු ම මේ බද්ද ගෙවිය යුතු වූවේ ය.

‘මළමිනිස්සු’ කියවද්දී චිචිකොෆ්ගේ සංචාරය හදපාරන කඳුළක් හා ඉළ ඇදෙන සිනාවක් අප තුළ ජනිත කළේ මේ සිදුවීම්දාමය ඔස්සේ ය.

චෙකොෆ්ගේ කෙටිකතාවෙන් ආභාසය ලැබූ සිංහල කෙටිකතාකරුවන් බහුතරයක පූර්වාදර්ශය වූ අනෙක් ප්‍රමුඛපෙළේ කෙටිකතාව වන්නේ ගොගොල්ගේ ‘හිමකබාය’ යි.

ඉවාන් ගොන්චරොෆ් (1812-1891) ලියා ඇත්තේ නවකතා තුනක් පමණක් වන මුත් ඔහුගේ ‘ඔබ්ලමෝෆ්’ නවකතාව කියවන සිංහල පාඨකයකුට හැඟෙන්නේ අතීත ඥාතියකු හමු වූවාක් සේ ය. ඒ සිංහල නවකතාවේ විශිෂ්ටතම නිර්මාණය ලෙස බොහෝ දෙනා විසින් අද දවසේදී ද පිළිගනු ලබන ‘විරාගය’ නවකතාවේ අරවින්ද සහ ‘ඔබ්ලමොෆ්’ නවකතාවේ ඔබ්ලමෝෆ් චරිතය අතර වන බන්ධුත්වය නිසා ය. මෙතැනදී මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන්ගේ ‘විරාගය’ නවකතාව ඔබ්ලමොෆ් නවකතාවේ අනුකරණයකි යි යමකු සිතන්නේ නම් එය බරපතළ පටලවා ගැනීමකි. එහෙත් විරාගය ලිවීම සඳහා වික්‍රමසිංහ සූරින්ට උත්තේජනයක් සැපයුණේ ඔබ්ලොමොෆ් නවකතාව කියවීමෙන් විය හැකි යැයි අපට උපකල්පනය කළ හැකි ය.

විශිෂ්ට නිර්මාණයක් බොහෝ විට උපදින්නේ ඊට ද වැඩි විශිෂ්ට නිර්මාණයක යෝධ සෙවණැල්ල සෙවණේ ය.

‘ධාරා’ නවකතාවේ වන්දනාගේ චරිතය නිර්මාණය කිරීමේදී මහස්වතා දේවිගේ නවකතාවක වූ මාතෘ චරිතයක් මා තුළට කිසියම් බලපෑමක් සිදු කළේ යැයි දැන් මට සිතෙයි. මේ නිර්මාණ උත්තේජනය අනුකරණයක් බවට ලඝු කළ යුතු නැත.

ජීවිතය හා ලෝකය පිළිබඳ උපේක්ෂා සහගත ව නෙත් හෙළන, ඇතැම්විට නිශ්ක්‍රිිය යැයි කිව හැකි චරිතවලින් යුතු නවකතා සිංහල සාහිත්‍යයට එක්වන්නට වූයේ විරාගයෙන් අනතුරුව බව අපට මතක ය. ඒ වර්ගයේ සිංහල නවකතාවල පුරෝගාමියා වූයේ විරාගයයි. එහෙත් පුරෝගාමී වූ තරමින් ඉන් අනතුරුව බිහිවූ නවකතා (සිරි ගුණසිංහයන්ගේ ‘සෙවණැල්ල’) විරාගයේ අනුකරණයකි යි කිසිවකුට කිව හැකි නැත.

‘පොත්’ යනු මිනිසා විසින් මිනිසා වෙනුවෙන් ම ලියන ලද තෙස්තමේන්තුවකි යි අපට කීවේ මැක්සියම් ගෝර්කි ය.

සැබැවින් ම එකල සිංහල පාඨකයාගේ ජීවිතයට තෙස්තමේන්තුවක් බඳු වූයේ මුළුමහත් රුසියානු සාහිත්‍යයම ය. මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාව කියවූ විප්ලවවාදී තරුණයන්ට සිහි වූයේ තමතමන්ගේ මවුවරුන් ය.

1905 දී රුසියානු විප්ලවවාදීන් අකර්මණ්‍ය කළ අසාර්ථක විප්ලවීය ප්‍රයත්නයෙන් අනතුරුව එකී ජනතාව යළි නැගිටුවමින් 1917 විප්ලවයට පන්නරයක් ලබා දුන් නවකතා දෙකක් ගෝර්කි විසින් රචනා කරනු ලැබ තිබේ. ‘අම්මා’ හැරුණුවිට ඒ අනෙක් නවකතාව වන්නේ The life of a useless man (මෙය ‘කමකට නැති එකකුගේ ජීවිතය’ නමින් සිංහලට නගනු ලැබ ඇත්තේ චූලානන්ද සමරනායක විසින් ය.)

රුසියානු නවකතාවක් කියවද්දී අපට හැඟුණේ, දැනුණේ මේ අප කියවන්නේ ලංකාවේ ගමක, නගරයක කතාවකි යි කියා ය. එහිදී අපට තරමක් දුරට බලපෑම් කළේ පුද්ගල නාම, ග්‍රාම නාම මතක තබාගැනීමේ අභියෝගයයි.

එහෙත් කතාවේ රසය හා හරය අභියෝගයේ ප්‍රමාණය ලඝුකොට, ශූන්‍ය කර හැරියේ ය. අපේ මවුවරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන්, පෙම්වතුන්, පෙම්වතියන් ජීවත්වන්නේ රුසියාවේ දැයි විමතියක් එකල අප තුළ දැනවූයේ තොල්ස්තෝයිගේ, දොස්තොයෙවුස්කිගේ, ගෝර්කිගේ, ගොගොල්ගේ නවකතා ය. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ය. එහිදී උනුන් පරයා නොයන කඳු දෙකක් ලෙස වැඩිදෙනකු දුටුවේ තොල්ස්තෝයි හා දොස්තොයෙවුස්කි ය.

දොස්තොයෙවුස්කිගේ නවකතාවල (විශේෂයෙන් ‘අපරාධය හා දඬුවම’ වැනි) නියම හරය විග්‍රහ කිරීමට තරම් අප මනෝවිශේලේෂණයෙහි ප්‍රාප්ත වී නැත. මේ මහා නවකතාකරුවාගේ නවකතාවල චරිත කියවිය හැක්කේ දෑසින් නොවේ. ඒ සඳහා සූක්ෂ්මාත්මතාවක් තිබිය යුතුම ය.

කෙසේ වුව ද සිංහල පාඨකයාගේ වින්දනයට මුල් ම හා වැඩිම බලපෑම කළේ රුසියානු සාහිත්‍යය බව නිර්ලෝභීව පැවසිය යුතු ය. අපේ මුල් ම ඥාතීන් වාසය කළේ රුසියාවේ ය. තවත් අපගේ ලේ ඥාතීන් බොහෝදෙනෙක් ප්‍රංසයේ, එංගලන්තයේ, ඉතාලියේ, ඇමෙරිකාවේ, ලතින් අමෙරිකානු රටවල මෙන් ම නයිජීරියාවේ ද වෙසෙන බව අප දැනගත්තේ ඊට පසුව ය.

කැත්ලීන් ජයවර්ධන 

Comments