කිතු විපත සැමරෙන පාස්කු නාට්‍ය | Page 2 | සිළුමිණ

කිතු විපත සැමරෙන පාස්කු නාට්‍ය

 ගොබ් ඉරිදායින් පටන් ගැනුණු කොරැස්ම කාලය හෙවත් චතාරික සමය කෙමෙන් ගෙවී යයි. කොරැස්ම (QUARESMA) යනු පෘතුගීසි වචනයකි. දින හතළිහක් පමණ වූ මේ කාලාන්තරයේ මෙරට කතෝලිකයෝ නොයෙක් භක්ති අභ්‍යාසයන්හි නිරත වෙති. එයින් පාස්කු නාට්‍ය රඟ දැක්වීමත් රාත්‍රියට පසම් ගී ගායනා කිරීමත් සුවිශේෂ වන්නේ ඒවා ආගමික ධාරණාවන්ගෙන් ඔබ්බට ගිය කලාත්මක භාවිතාවන්ද වන බැවිනි. පාස්කු නාට්‍ය රඟ දැක්වීමේත් පසම් ගී ගායනයේත් මූලික අභිප්‍රේතාර්ථය ක්‍රිස්තූන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සැමරීමයි.

‘පාස්කු’ යන වචනය පෘතුගීසි භාෂාවේ ‘පාස්සු’ යන වචනයෙන් භින්නව ආවකි. එහි අරුත ක්‍රිස්තූන්ගේ දුක් ප්‍රාප්තිය චිත්‍ර හෝ ප්‍රතිමා මාර්ගයෙන් නිරූපණය කර දැක්වීමයැයි එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිනම පවසයි. එහෙත් මර්සලීනු ජයකොඩි පියනම දක්වන්නේ ඊට ප්‍රතිපක්ෂ මතවාදයකි. එතුමාගේ පිළිගැනීමට අනුව ‘පාස්කු’ යන්න ‘පැස්කා’ නම් වූ ලතින් වචනයෙන් භින්නව ආවකි. නික්ම යෑම හෙවත් පිට වී යෑම යන අරුත එයින් නැ‍ඟේ.

පාස්කු නාට්‍ය රඟදැක්වෙන්නේ මහ සිකුරාදා දිනයේදීය.

ලංකාවට කතෝලිකාගම ගෙන ආ පෘතුගීසි යුගයේ පටන් මේ රටේ පාස්කු නාට්‍ය සන්දර්ශන පැවැත්වුණු බව එහි ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි.

මේ රටේ පාස්කු නාටක රඟදැක්වීම ඇරැඹුණේ 1541 දී පෘතුගීසි ධර්මදූතයන් මෙරටට පැමිණීමෙන් අනතුරුව බව මහාචාර්ය එම්.එච්. ගුණතිලක දක්වා සිටී. ඓතිහාසික මූලාශ්‍රය උපුටා ගන්නා එඩ්මන්ඩ් පීරිස් රාජගුරුප්‍රසාදිතුමා 1706 ද වන්නි පෙදෙසේ කතෝලික බැතිමතුන් ජුසේ වාස් පියතුමාගේ උපදෙස්ද ගෝවෙන් ඇඳුම්ද ලබාගනිමින් පාස්කු දර්ශන පැවැත්වූ බව සඳහන් කරයි.

‘සිංහල ගැමි නාටකය’ කෘතියට ‘රූකඩ නාට්‍ය හා ගැමි නාට්‍ය’ යන නමින් පරිච්ඡේදයක් එක් කරන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘පැරැණිම පාස්කු නාට්‍යය මන්නාරම් පළාතෙහි පේසාලෙයි නම් ගමේ අවුරුදු තුන්-හාරසීයකට පමණ ඉහතදී පටන් ගෙන මෑතක් වන තුරු රඟදැක්වූ නාට්‍යයයි කියති’ යි ලියා ඇත.

පාස්කු නාට්‍ය අපේ රටේ බොහෝ දෙනාගේ සැලකිල්ලට යොමු වී නැති නාට්‍ය සම්ප්‍රදායක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න 1996 දී කළුතර පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර ඇත.

මීගොමු දූව, බොරලැස්ස, පයාගල, පිටිපන පාස්කු නාට්‍ය සඳහා ප්‍රසිද්ධ කතෝලික ගම්-ප්‍රදේශයි. බොරලැස්සේ පැවැත්වූ ‘ශ්‍රීධර’ පාස්කු නාට්‍ය දර්ශනය එයින් සුවිශේෂ වන්නේ එය ජර්මනියේ ‘ඔබර්අමර්ගාඕ’ පාස්කු නාට්‍යයේ අනුකරණාත්මක දැවැන්ත නිෂ්පාදනයක් වූ බැවිනි. එය කේ. ලෝරන්ස් පෙරේරාගේ නිර්මාණයකි (ඔහු ජර්මනියට ගොස් ‘ඔබර්අමර්ගාඕ’ පාස්කු නාට්‍ය සන්දර්ශනය නැරඹූවෙකි). එහෙත් එහි පිටපත සී.පී.වී. විජේසේකරගේ බව සඳහන් වෙයි. බොරලැස්ස පාස්කු නාට්‍යය මුල්වරට රඟදක්වා ඇත්තේ 1923 දීය.

1940 දී පමණ ‘බොරලැස්ස’ පාස්කු නාට්‍යයට කාන්තාව සම්බන්ධ කරගැනීමත් එය මුදල් අය කර පෙන්වීමත් නිසා අර්බුදකාරි තත්ත්වයක් පැනනැගී ඇත. ඊට කාන්තාවන් සම්බන්ධ කරගැනීම හේතු කොට ගෙන එවක සිටි මෙරට රදගුරු පදවිය දැරූ ප්‍රංස ජාතික ජේ.එම්. මැසොං පියනම බොරලැස්ස පාස්කුව තහනම් කෙළේය. ඊට සමාසන්න කාලයකදීම කිසියම් පිරිසක් විසින් ‘බොරලැස්ස’ පාස්කු නාට්‍ය මඩුව ගිනිබත් කර දමනු ලැබීය. ඊට පසු අවුරුදු ගණනාවක්ම ‘බොරලැස්ස’ පාස්කු නාට්‍යය රඟදක්වනු නොලැබිණි. පසු කලෙක කැමිලස් කොළඹගේ, මෙරිල් ප්‍රනාන්දු වැනි නාට්‍යවේදීන් මේ පාස්කු නාට්‍යය වරින් වර නිෂ්පාදනය කිරීමට ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය. 1997 දී ලෝරන්ස් පෙරේරාගේ දියණියක වන කේ. ශීලා ලෝරන්ස් මහත්මිය ඉතාලියේදී මේ පාස්කු නාට්‍යය ඉදිරිපත් කළ බව පුවත්පත්වල සඳහන් විණි.

පිටිපන පාස්කු නාට්‍යයට ද සියවස් දෙකක පමණ ඉතිහාසයක් හිමිය. 1764 පමණ එය ආරම්භව ඇතැයි පැවසේ. පිටිපන පාස්කු නාට්‍යයේ භාරකාරත්වය දරන්නේ නයිදප්පුලා‍ගේ පරම්පරාවය. 1965 දී පමණ ඉහත පරම්පරාවටම අයත් එන්. සලමන් ප්‍රනාන්දු නාට්‍යවේදියා පිටිපන පාස්කු නාට්‍යයට නව මුහුණුවරක් දී ඇත.

එහෙත් වඩාත් ඉපැරැණි වූත් වඩාත් වඩාත් ප්‍රශස්ත වූත් පාස්කු නාට්‍ය රඟ දැක්වෙන්නේ මීගොමු දූවේදීය. ‘දූව පාස්කු නාට්‍ය අන් පාස්කු නාට්‍ය අතරින් ඉතා පැරැණි නාට්‍යය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇතැයි’ මහාචාර්ය සරච්චන්ද්‍ර කියා සිටියේය.

‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ නම් වූ රමණීය පද්‍ය කාව්‍යය පාස්කු නාට්‍ය සඳහාම රචනා වූ කෘතියක් ලෙස සැලැකේ. එහි කර්තෘත්වය ජාකොමේ ගොන්සාල්වේස් පියනමගේය. 1928 දී පමණ මෙය රචනා වී ඇත. මේ පිටපත දෙමළ බසින්ද විරචිතය. එය හැඳින්වෙන්නේ ‘වියාකූල පිරසංගම්’ යන නමිනි. ගොන්සාල්වේස් පියනම අතින් පසම් පොතක්ද රචනා වූයේය. ඒ ‘දේශනා නවයේ පසම් පොත’ යි. ඊට ඇතුළත් ‘කය දුෂ්කර ප්‍රාර්ථනාව’ නම් වූ පසම් දූව පාස්කු නාට්‍යය සඳහා ද යොදා ගැනේ.

දුක්ප්‍රාප්ති ප්‍රසංගයේ පළමු වැනි පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙලෙසිනි: ‘ස්වාමි දරුවෝ විඳපු ගාවිනාවලින් සත් සතියකට බෙදා ඒ ඒ දුක් රූප විලාසවල් දක්වන්නේය.’ මේ ප්‍රකාශයෙන් කරුණු දෙකක් අවධාරණය වෙයි. එනම්: ආරම්භක යුගයේ පාස්කු නාට්‍යය පුරා සත් දිනක් රඟ දක්වා ඇති බවයි. සතියේ එක් දිනක නිරූපණය කෙරුණේ එක් රංග අවස්ථාවක් පමණි. නිදසුන් වශයෙන්: ගොබ් ඉරු දින නිරූපණය වූයේ ක්‍රිස්තූන් වහන්සේ පිරිවර සේනා සමඟ ජෙරුසලම් නුවරට වැඩම කිරීමයි. දෙවැනි කරුණ වන්නේ: එහි එන ‘රූප විලාසවල්’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්නයි. එහි අරුත ‘රූකඩ’ යන්න බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මතයයි.

පාස්කු නාට්‍ය රඟදැක්වෙන්නේ රූකඩ හා සුරුවම් (ප්‍රතිමා) ඇසුරෙනි. මීගොමු දූවේ පාස්කු නාට්‍ය සඳහා (විශේෂයෙන් ක්‍රිස්තූන් වහන්සේ ඇණ ගැසීම සඳහා) යොදා ගැනෙන ප්‍රධාන සුරුවම දකුණු ඉන්දියාවේ කොචින් නුවර සිටි ජෝකීනු මේස්ත්‍ර නමැති වඩු කාර්මිකයාගේ නිර්මාණයකි. එය මෙරටට ගෙන එන ලද්දේ 1838 දී බව සඳහන් වේ. එකල මීගොමු දූවේ ධීවරයන් තම කර්මාන්තය සඳහා සුලුප්පු (බත්තල්) හා පැටිල් ඔරු යන යාත්‍රා මඟින් දකුණු ඉන්දියාවට ද ගොස් ඇත. එහිදී ඔවුන්ට සුරුවම් හා රූකඩ අනුසාරයෙන් පැවැත්වුණු පාස්කු නාට්‍ය දකින්නට ලැබුණේයැයි සිතිය හැකිය. එසේම ඒ ආභාසයෙන් පාස්කුව සදහා අලුත් සුරුවමක් නිර්මාණය කරගන්නට දූවේ ධීවරයන්ට අදහසක් පහළ වූයේයැයිද තවදුරටත් සිතිය හැකිය. මේ සුරුවම නිර්මාණය කිරීම සඳහා රුපියල් 300ක මුදලක් වැය වී ඇත.

1838 දී ඉහත සුරුවම මෙරටට ගෙන ආවත් එහි වර්ණ මුළුමනින්ම වියැළී නොතිබුණු හෙයින් එම වසරේදී පාස්කු නාට්‍යය සඳහා එය භාවිත කිරීමට ඉඩ ප්‍රස්තාව නොසැලසිණි.

පසුව ජෝකීනු මේස්ත්‍රගේ හොඳම ගෝලයා මෙරටට ගෙන්වා එහි වර්ණ නිසි පරිදි සකස් කරගෙන තිබේ. සුරුවම බහාලීම සඳහා විශේෂ මංජුසාවක්ද ජෝකිනු මේස්ත්‍ර අතින් නිර්මාණය වූයේය. ඊළඟ වසරේදී (1839) පාස්කු නාට්‍යය සඳහා මේ සුරුවම මුල් වතාවට භාවිත කර ගැනිණි. 1989 දී මේ සුරුවමේ 150 වැනි ජුබිලිය මහත් උත්කර්ෂවත් අයුරින් දූවේ ගම්වාසීන් විසින් සමරන ලදි. දූව පාස්කු නාට්‍යයේ මරිය තුමියගේ චරිතය සඳහා එදා මෙදාතුර පාවිච්චි වූයේ සුරුවමකි.

අතීතයේදී පාස්කු නාට්‍යය ඉදිරිපත් කෙරුණේ රූකඩ මඟිනි. සාමාන්‍යයෙන් අපේ රටේ රූකඩ වර්ග තුනක් දක්නා ලැබේ. ඒ (1) නූල් රූකඩ, (2) කෝටු රූකඩ හා (3) නූල් හා කෝටු රූකඩ යනාදි වශයෙනි. මෙයින් පාස්කු නාට්‍ය රූකඩ, නූල් රූකඩ ගණයට වැටේ. එහෙත් එහි කිසියම් විශේෂත්වයක් පවතී. ඒවායේ නූල් අදින්නේ අම්බලන්ගොඩ මෙන් ඉහළ සිට නොව පහළ සිටය. පාස්කු රූකඩවල කඳ කොටස පිදුරු පිරවූ ගෝණියකින් වැසී තිබේ. ඒ නිසාම ඇතැමුන් එම රූකඩ ‘පිදුරු ගෝලයෝ’ යන හාස්‍යමය යෙදුමෙන් හඳුන්වා ඇත.

1939 දී දූවේ පාස්කු නාට්‍යය නවීකරණයකට ලක් වූයේය. ඒ සඳහා මූලික වූයේ එවක දූවේ සින්ද්‍රාති දෙව් මැඳුරේ මීසම් පාලකව සිටි මර්සලීනු ජයකොඩි පියනමය. උන් වහන්සේ කළ නවීකරණය තෙවැදෑරුම්ය. එකක් නාට්‍ය සඳහා අලුත් පිටපතක් රචනා කිරීමය. දෙවැන්න රූකඩ වෙනුවට නළුවන් යොදා ගැනීමයි. නාට්‍ය පිටපත ලිවීමේදී තමාට ඩොරති සේස් ගේ ‘බෝන් ටු බි අං කිංග්’ නමැති කෘතිය අනුප්‍රාණයක් ලැබූ බව ජයකොඩි පියනම ප්‍රකාශ කර ඇත. තුන්වැන්න නාට්‍යය සඳහා අලුත් ගී කීපයක්ම රචනා කිරීමයි. ‘කුරුසේ නැඟ අත් විහිදා’, ‘හඳපානේ පිපි වැ‍ටකෙයි මල සේ’, ‘යහනක සේ මා’, ‘රුදුරු වීද මල් උයනේ’, ‘ඔබ සිරි මරණේ’ යන ගීත ඊට නිදසුන්ය.

ක්‍රිස්තූන් වහන්සේ හා මරිය තුමිය යන චරිත හැරුණු කොට අන් චරිත නළුවන් විසින් රඟ දක්වන ලදි. එහිදී කාන්තා චරිත සඳහාද යොදාගැනුණේ නළුවන්ය. කාන්තා චරිත රඟපෑමට නිළියන් යොදාගැනුණේ පසු කලෙකය. මැගිලින් ලිවේරා දූව පාස්කු නාට්‍යයේ රඟපෑ ප්‍රථම නිළිය වන්නීය.

1962 දී යළිත් දූව පාස්කුව නව මුහුණුවරක් ගත්තේය. එම මුහුණුවර ඇති කිරීමට පුරෝගාමි වූයේ වින්සන්ට් ලෙරිනස් පීරිස්, සලමන් ජෝ, ලෙනාඩ් පීරිස්, ෆ්රෑන්ක් ප්‍රනාන්දු, ශ්‍රී ව. ලූකස් හා ක්‍රිස්ටි ප්‍රනාන්දු යන තරුණ කණ්ඩායමයි. එම නවීකරණයේ ප්‍රධානම දේ වූයේ ක්‍රිස්තූන් වහන්සේගේ චරිතය නළුවකු විසින් රඟ දක්වනු ලැබීමයි. ක්‍රිස්ටි ප්‍රනාන්දු එහි ක්‍රිස්තු චරිතය රඟපෑ මුල්ම නළුවා ලෙස ඉතිහාසගත වන්නේය. ඔහු චිත්‍රසේනයන්ගෙන් නැටුම් උගත් එසේම ලෙස්ලි බොතේජු හා එක්ව ‘රසාංජලී’ නම් වූ කලා සංවිධානය පිහිටුවාගැනීමට මූලික වූවෙකි.

ඊට දස වසරකට පසු - එනම්: 1972 දී - දූව පාස්කු නාට්‍ය යළිත් නවීකරණයකට භාජනය වූයේය. එහිදී පෙරමුණ ගත්තේ ක්ලෙ‍මන්ට් ප්‍රනාන්දු ය. ඔහු අතින් අලුත් පිටපතක් රචනා විය. ක්ලෙමන්ට් පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෙකි. ඔහු 1972 දී පේරාදෙණි විශ්වවිද්‍යාල නාට්‍ය මණ්ඩලයේ සභාපති ධුරයද හෙබවීය. ‘කටු ඔටුන්න’ නමැති නාට්‍යයේ නිෂ්පාදකවරයා වූයේද ඔහු ය. ‘කටු ඔටුන්න’ ක්‍රිස්තු චරිතය නූතන වේදිකාවට ගෙන ආ අපූර්ව අවස්ථාවක් විය. දැනට පවතින දූව පාස්කු නාට්‍යයේ පිටපත 2001 දී බර්නාඩ් ශ්‍රී කාන්තගේ සංස්කරණයක් ලෙස මුද්‍රණයෙන් පළ වී ඇත. ඇතැම් ප්‍ර‍දේශවල පාස්කු නාට්‍ය රඟදැක්වීම සඳහා ස්ථාවර වේදිකා තනනු ලැබ තිබේ. පිටිපන පාස්කු නාට්‍ය වේදිකාව එවැන්නකි. එය පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැඟුණකි. දූව පාස්කු නාට්‍යයට යොදාගැනෙන්නේ පොල් අතුවලින් සවි කෙරෙන තාවකාලික මඩුවකි.

පාස්කු නාට්‍ය වේදිකාව ත්‍රිභාගය. ප්‍රධාන වේදිකාවට දෙපසින් ඇති අතුරු වේදිකා දෙක පිලාත්ගේ හා කයිපාස්ගේ විනිශ්චය ශාලා ලෙස යොදාගැනේ. පාස්කු නාට්‍ය වේදිකාව මෙසේ ත්‍රිභාග වීමෙන් එක්වර ජවනිකා දෙකක් හෝ තුනක් වේදිකාගත කරවීමෙහි හැකියාව ඉන් සැලසේ. උදාහරණ වශයෙන් අවසන් රාත්‍රී භෝජනය දක්වන අවස්ථාවේ එක් උප රංග මණ්ඩපයක ඉදිරිපත් කෙරෙන්නේ කයිපාස් පූජකයා ජුදාස් සමඟ ක්‍රිස්තූන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණ කරන අවස්ථාවකි. තවත් උදාහරණයක් ගත හොත් ක්‍රිස්තූන් වහන්සේ පිරිවර සේනා සමඟ ජෙරුසලමේ නුවරට වැඩම කරන විට එක් අතුරු වේදිකාවක දැක්වෙන්නේ ක්ලෝඩියා පිලාත් රජු හමු වන අවස්ථාවකි.

මෙරට පාස්කු නාට්‍ය ආරම්භ වූයේ නූර්ති යුගයට පෙර වුවත් පසුකාලීනව නූර්තියේ බලපෑම පාස්කු නාට්‍යයට ලැබුණු ආකාරය දක්නා ලැබේ. පාස්කු නාට්‍යයේ කාලමය හා දේශමය පසුබිම දක්වන්නේ චිත්‍රවස්ත්‍ර මාර්ගයෙනි. ක්‍රිස්තූන් වහන්සේ කුරුසියේ ඇණ ගසන අවස්ථාවේ උන් වහන්සේ දෙපසින් ඇණ ගසන සොරු දෙදෙනා නිරූපණය වන්නේද චිත්‍රවස්ත්‍ර මාර්ගයෙනි.

ජපන් සාම්ප්‍රදායික නාට්‍ය වේදිකාවේ එන ආකාරයේ හනමිචියක් ද (මල් මඟ) පාස්කු වේදිකාවේ දැක්ක හැකිය. ක්‍රිස්තු තුමා ගෙත්සෙමනි මල් උයනේ යාච්ඤා කරන ජවනිකාවට එය භාවිත වන්නේය.

මීළඟට පාස්කු නාට්‍යයේ රංග සන්දර්භය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එය පාස්කු නාට්‍යයටම ආවේණික වූ ස්වරූප දරයි. මෙය ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සුවය යනාදි වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. මෙහිදී සුවය යනුවෙන් අදහස් කරන්නේ පොතේ ගුරුගේ කථනයයි (පාස්කු නාට්‍යවල පොතේ ගුරා හැඳින්වෙන්නේ ‘දේශනාවාදියා’ යනුවෙනි). නාට්‍යය ආරම්භ වන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ එන කොටස් ටැබ්ලෝ ක්‍රමයට දැක්වීමෙනි. ඉනික්බිතිව දේශනාවාදියා සිය සහායක ගායක කණ්ඩායම සමඟ වේදිකාව මැදට විත් පූර්ණ විරිදුව ගායනා කරයි. එසේම ඔහු වරින් වර වේදිකාවට පැමිණ නාට්‍යමය අවස්ථා පූර්ව කථනය කරයි. ඒ අපතාලාත්මක වූ විරහාලාප ගායනයකිනි. එය නාඩගමෙන් ලද ආභාසය ප්‍රකට කරවන්නකි. වේදිකාව මත රංගගත නොකෙරෙන අවස්ථා දැක්වෙන්නේද දේශනවාදියා මාර්ගයෙනි. උදාහරණයක් වශයෙන් ජුදාස්ගේ මරණය නාට්‍යයේ නිරූපණය නොවේ. එය දැක්වෙන්නේ දේශනාවාදියාගේ කථනයෙනි. පිලාත්ගේ නඩු විභාගයෙන් පසු පාස්කු නාට්‍යය මුළුමනින්ම භක්ති අභ්‍යාසයක ස්වරූප ගනී. එතැන් සිට ක්‍රිස්තු චරිතයට භාවිත කෙරෙන්නේ සුරුවමකි (එය ඇණ ගැසීම සඳහා යොදාගැනෙන ප්‍රධාන සුරුවම නොවේ. වෙනත් සුරුවමකි). ක්‍රිස්තූන් වහන්සේ කුරුසිය කර තබාගෙන කල්වාරිය දක්වා යන ගමන නිරූපණය වන්නේ වේදිකාවේදී නොව ප්‍රේක්ෂකාගාරයේදී වීම විශේෂත්වයකි. වෙරෝනිකා ස්ත්‍රිය ක්‍රිස්තු තුමාගේ මුහුණ පිසීම, ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ විලාපය, සිරෙනියෝ සීමොන් දර පැළීම වැනි සංසිද්ධි නිරූපණය වන්නේද එහිදීය. ඒ අවස්ථාවට නළුනිළියන් හා ප්‍රේක්ෂකයන් එකම කොටසක් බවට පත් වන බැවින් එය නාට්‍යමය ජවනිකාවක් නොව, සැබෑ සිදුවීමක්ය යන හැඟීමක් ඇති කරවයි. එය ජීවමාන කරන්නේ් හැබෑ කිතු විපතකි.

පාස්කු නාට්‍ය සඳහා උපයුක්ත කරගැනෙන්නේත් කන්තාරු සංගීතයයි. ඊට ගීත හා පසම් ගීතද ඇතුළත්ය. එම ගායනාවල මූලාශ්‍රය යුරෝපීය ජනවන්දනා ගීතවල දිස් වන බව මහාචාර්ය එම්.එච්. ගුණතිලක සඳහන් කරයි. එසේම එහි කර්ණාටක සංගීතයේද ආභාසය දක්නා ලැබේ. විශේෂයෙන් ‘තේවාරම් ළතෝනිය’ වැනි ගායනයකදී එය වඩාත් දැක්ක හැකිය. පාස්කු නාට්‍යවල එන ගීත සාමූහික හා හුදෙකලා යනාදි වශයෙන් දෙකොටසකට බෙදේ. ‘ඔබ සිරි මරණේ’, ‘සාධුකාර ගීත ශ්‍රීය’, ‘බලනු බලනු සෙනඟිනි’ සාමූහික ගීත වන අතර, වෙරෝනිකා ස්ත්‍රිය විසින් ගයනු ලබන ‘හඳපානේ පිපි වැටකෙයි මල සේ’ නම් වූ ගීතය එහි එන එකම හුදෙකලා ගායනයයි. පාස්කු නාට්‍ය ගීත සංග්‍රහයක් ‘ගලීලයේ සිට’ නමින් 2000 දී එළිදක්වා ඇත. එය බර්නාඩ් ශ්‍රීකාන්තගේ සංස්කරණයකි. පාස්කු නාට්‍යයක සාමාන්‍යයෙන් 200කට අධික නළුනිළි සංඛ්‍යාවක් රඟපාති. කුඩා ළමයින් මෙන්ම මහල්ලෝද ඔවුන් අතර වන්නාහ. ඇතැම්විට එකම නළුවා චරිත දෙක-තුන රඟපානු දක්නා ලැබේ. වරෙක ක්‍රිස්තු තුමාගේ ගෝලයකු ලෙස රඟන නළුවා තවත් වරෙක පරිසිවරයෙකි.

දූව පාස්කු නාට්‍යයේ රඟපාන නළුනිළියන්ගේ රංග ප්‍රතිභාව ඉතා විශිෂ්ටය. ක්‍රිස්තූන් වහන්සේ (ක්‍රිස්ටි ප්‍රනාන්දු), ජුදාස් (නිමල් ‍කුරේරා), කයිපාස් (අසීසියස් ප්‍රනාන්දු), දේශනාවාදියා (සුනිල් අබිලීනු) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු නළුවෝය. දූවේ පාස්කු නාට්‍යයට ඇඳුම් නිර්මාණය කිරීමේදී ජර්මනියේ ‘ඔබර්අමර්ගාඕ’ නම් වූ සුප්‍රසිද්ධ පාස්කු නාට්‍යයේ මුද්‍රිත පිටපතේ ඇතුළත් ඡායාරූපවලින් කිසියම් අනුබලයක් ලබාගන්නා බවක් පෙනී යයි.

දැවැන්ත සන්දර්ශනශීලි ස්වභාවයක් ගැනීම පාස්කු නාට්‍යවල විශේෂ ලක්ෂණයකි. පාස්කු නාට්‍යයක් නැරඹීමට සාමාන්‍යයෙන් හතළිස් දහසක, පණස් දහසක පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි වන්නාහ.

පාස්කු නාට්‍යවලින් නූතන නාට්‍යකරුවා ලබන්නා වූ නිර්මාණාවේශයද ඉතා වැදගත්ය. මහාචාර්ය සුනිල් ආරියරත්න වරක් දැක්වූ ආකාරයට ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘මෝරා’ වැනි නාට්‍යයක පාස්කු නාට්‍යයේ ඇතැම් අංග යොදාගෙන ඇති ආකාරයක් දැක්ක හැකිය. 

 

Comments