
බොහෝ විට පොත්වල දැක්වෙන ජීවිතය අපේ ඇත්ත ජීවිතයට වඩා ලස්සනය. චිත්‍රපටවල දැක්වෙන ජීවිතය අපේ ඇත්ත ජීවිතයට වඩා ලස්සනය. එහෙත් පොතක හෝ කුමන හෝ චිත්‍රපටයක දැක්විය නොහැකි තරමට අපේ ජීවිතය ලස්සන වන අවස්ථාවක් ඇත. පොතක ලියා දැක්වීමට හෝ චිත්‍රපටයක හෝ රඟපා දැක්වීමට හෝ චිත්‍රයක ඇඳ දැක්වීමට හෝ සින්දුවක ගයා දැක්වීමට හෝ නොහැකි තරමට අපේ ජීවිතය ලස්සන වන අවස්ථාවක් ඇත. අපට ජීවිතය හමුවන්නේ එවිට යැයි කිව හැකිය. ජීවිතයේ තේරුම හිමිවන්නේ එවිට යැයි කිව හැකිය. මා මේ කියන්නේ අපේ අලූත් අවුරුද්ද ගැනය. මා කියවා ඇති කිසිම පොතක නැති ලස්සනක් අර්ථයක් වින්දනයක් හා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අමුත්තක් අලූත් බවක් අපේ අලූත් අවුරුද්දේ තිබේ.
මම පුංචි කාලයේ සිටම පොත් කියවීමට ඇබ්බැහි වී සිටියෙමි. මෙරට පොත් ද පිටරට පොත්වල පරිවර්තන ද බොහෝ සේ කියෙව්වෙමි. ගෙදර ද පොත් බොහෝ සේ තිබුණේය.
එයට අමතරව මා මහජන පුස්තකාලයක සාමාජිකත්වය ලබන විට මා සිටියේ තුන්වන ශ්‍රේණියේය. කෙසේ වුව පුංචි කාලයේ අප සිටියේ ගමේ නොව නගරයේ පාසලක ගුරු නිවාසයකය. එහෙත් පසුව අපි තාත්තාගේ ගමේ පදිංචියට ගියෙමු. මට අලූත් අවුරුද්ද එලෙසින්ම අත්දකින්නට ලැබුණේ අප ගමේ පදිංචියට ගිය විට එළඹුණු පළමු අලූත් අවුරුද්දේය. එවිට මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. මට වැටහුණේ ගමේ අලූත් අවුරුද්ද තරම් සුන්දර, විසිතුරු නැවුම් හා සංවේදී අත්දැකීමක් මා එතෙක් කියවා ඇති කිසිම පොතක දී හමු වී නොතිබුණු බවය. අදටත් එය එසේමය.
එනම් එදා සිට අද දක්වා ඇති පොත් ගත්තත් අලූත් අවුරුද්දේ දී අප විඳින සතුට හා හැඟීමට සමාන කළ හැකි හැඟීමක් සතුටක් ප්‍රබෝධයක් ඒ කිසිවක ඇතැයි මට නොසිතේ.
අලූත් අවුරුද්දේ ලොකුම දේ එය ගෙදර උත්සවයක් නොව ගමේ උත්සවයක් වීමය. එකලට ගමේ හැම ගෙදරක්ම හැම අයකුටම අපේ ගෙදර වෙයි. ගෙදරින් කනවාට වඩා අවුරුදු කාලයේ දී කන්නේ වෙනත් ගෙවල්වලිනි.
තමන්ගේ ගෙදර දී ද කරන්නේ තමන් කනවාට වඩා අන්‍යයන්ට කන්නට දීමය. අවුරුදු කාලයේ දී තමා නැතිව යයි.
සියලූ දෙනා උත්සවයට නතු වෙති. හැම තැනම හමුවන්නේ තමන් මෙන් ම ප්‍රීතිමත් මිනිස්සුය. තමා මෙන් ම අලූත් වූ හා ප්‍රබෝධවත් වූ මිනිස්සුය. කැවිලි ඇඳුම් ඇතිලි වට්ටි පෙට්ටි මුට්ටි පමණක් නොව සිනාව ද අලූත්ය. කතාව ද අලූත්ය. නැවුම්ය. හිරු එළිය සේමය. හැම තැනම පීපී වැනෙන මල් පොකුරු සේමය.
අලූත් කැවුම් සමඟ අලූත් සිතිවිලි ද හැදේ. පිපෙන කොකිසයක් සමඟ අලූත් සිතුම් ද පිපේ. කොකිසයේ සිනාව මුහුණටත් ඒ. ඒ නිසාම කැවුම් කොකිස් ආදිය කඩෙන් ගන්නවාට වඩා ගෙදරදීම සෑදිය යුතුය.
අවුරුදු කාලයේ දී සිනාසිය යුතු ආකාරය ඉගැන්වීමට මෙනි තෙල් තාච්චියේ කොකිසය දිගෑරී පෙති විදහා සිනා පා දිලෙන්නේ. කැවුමේ රසය කැවුම් බැදෙන විටම හිතටත් කාන්දුවී හමාරය.
රතිඤ්ඤා හඬට පෙරම මෝල් ගස් වංගෙඩියේ ඩිං ඩිං ගා වදින හඬ හැම ගෙදරකින්ම ඇසේ. අඩුම ගානේ අවුරුද්දටත් ගෙදර වංගෙඩියකින් පිටි කෙටිය යුතුය. එහි ඇත්තේ ව්‍යායාමයක් නොවේ සංගීතයක් යැයි කිව හැකිය.
වංගෙඩිය අමුතු සංගීත භාණ්ඩයකි. වෙනත් කිසිම සංගීත භාණ්ඩයක් වැයීමේ දී ඒ සමඟ කිසිවක් නිෂ්පාදනය වීම සිදු නොවේ. එහෙත් වංගෙඩිය වැයීමේදී ඒ සමඟ සහල් පිටි බවට පත් වේ. ග්‍රයින්ඩර් ඇති මේ කාලයේ පිටි කෙටීමට වංගෙඩි අනවශ්‍ය වුවත් අඩුම ගානේ සංගීත භාණ්ඩයක් වශයෙන් හෝ වංගෙඩියක් මෝල් ගහක් ගෙදර තිබිය යුතු අතර අවුරුදු කාලයට එය වැයිය යුතුය.
අනිත් අතට ගෙවල්වල අද අලූතින් ඇති ප්‍රතිමා හැඩතල මෝස්තර ආදී බොහෝ දේවලට ද වඩා වංගෙඩිය නෙතට ද වදින අලංකාර දසුනකි. පන්කොළ හැඳි ආන සහ වංගෙඩිය ආදියෙන් කුස්සිය කලාගාරයක් බවට ද පත් කරනු ලැබේ.
අලූත් අවුරුද්ද මිනිසුන් ගහකොළ සමඟ පමණක් නොව ඉර හඳ හා ග්‍රහ තාරකා සමඟ ද සමරනු ලබන්නකි. සූර්ය මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මෙන් ම කෝකිල නාදය ද එහි දී එක සමානවම වැදගත්ය.
කොවුලා ස්වකීය නාදයෙන් අවුරුදු සමරද්දී එරබදු ගස අවුරුදු සමරන්නේ පිපුණු මල් කිනිතිවලිනි. ඒ නිසා විශ්වයටම පොදු වූ අලූත් අවුරුද්ද ලංකාවටත් පොදුය. එය සිංහල හෝ වෙනත් ජනතාවකට සීමා නොවන ජාතික උත්සවයකි.
රටම අලූත් හැඟීමෙන් අලූත් වන මොහොතකි. කොවුලා කොවුල් ගීය ගයන්නේ සිංහල හෝ දෙමළ භාෂාවෙන් නොවේ. ඒ ජාතීන්ගේ පමණක් නොව ඕනෑම ජාතිකයකුට තේරුම් ගත හැකි භාෂාවකිනි. අවුරුදු ඇවිත් ඇති බව එරබදු ගස කියන්නේ ඕනෑම ජාතිකයකුට තේරුම් ගත හැකි භාෂාවකිනි. අවුරුද්දට ඇත්තේ සිංහල හෝ දෙමළ භාෂාවක් නොව කාටත් තේරෙන පොදු භාෂාවකි. මේ නිසා එය අපේ රටේ ජාතික උත්සවයක් වශයෙන් හැඳින්වීමට හැම අතින්ම සුදුසුකම් ලබයි. කැවුම් කෑමෙන් පමණක් නොව ඔංචිල්ලා පැදීමෙන් ද ඕනෑම ජාතිකයකුට සතුටක් ලැබිය හැකිය.
කොකිස් රස ඕනෑම දිවකට වැටහේ. දකුණේ අවුරුදු මේසයේ උතුරේ දී රස කැවිලි වර්ග ද දැකිය හැකිය. මෙහි තේරුම අන් කිසිවක් නොවේ සුන්දරත්වය හා අලූත් බව තුළ සියලූ දෙනාටම හා සියල්ලට ඉඩ තිබෙන බවයි.
අවුරුද්දට පත්තු කරන රතිඤ්ඤාවලට නම් මගේ වැඩි කැමැත්තක් නැත. එයට එක් හේතුවක් වන්නේ ඉන් කුරුල්ලන් හා වෙනත් සත්ත්වයන් අසීමිතව බියපත් වීමය. බල්ලන් අවුරුදු එන විටම හැංගෙන්නේ රතිඤ්ඤා නිසාය. කෙසේවුවත් සන්තෝසය නම් දේශපාලනඥයන් වෙනුවෙන් හැඬවෙන රතිඤ්ඤාවලට වඩා අවුරුදු කුමාරයා පිළිගැනීමට හැඬවෙන රතිඤ්ඤා ප්‍රමාණයෙන් අධික වීමය.
අපි අවුරුද්දට පමණක් නොව අවුරුද්දේ වෙනත් බොහෝ දිනවල ද කිරිබත් කමු. එහෙත් වෙනදා කන කිරිබත් මෙන් නොව අවුරුද්දට කන කිරිබතෙහි අමුතු රසක් ඇත. වෙනදා විදිහටම ඉව්වත් වෙනම රසක් ඇත. එයට හේතුව අවුරුද්දේ කිරිබතට ලූණු ඇඹුල්වලට අමතරව සතුට හා සමාදානය ද මුසු වී තිබීම විය හැකිය.
උදයසිරි වික්‍රමරත්න