
කුරුල්ලන් දර්ශනය කතා කරන්නේ නැත. විද්‍යාව කතා කරන්නේ ද නැත. කලාව කතා කරන්නේ ද නැත. එසේ වුවත් අපි කුරුල්ලන්ගේ හඬ අසා සිටිමු.
කුරුල්ලන් අපට ඕනෑ දෙය කතා කරන්නේ ද නැත. එහෙත් අපි එය අසා සිටිමු. සමහර අය කුරුල්ලන්ගෙන් තමන්ට ඕනෑ දෙය අසාගැනීමට උත්සාහ කරති. කුරුල්ලන් කූඩුවල දමා ඇතිකරන්නේ ඔවුන්ය. එහිදී කුරුල්ලෝ අප කියන වචනයක් දෙකක් කතා කරන්නට ඉගෙන ගනිති. එවිට අපට සිතෙන්නේ කුරුල්ලන් කියන සියලූ ගීතවලට වඩා ඒ කතා මිහිරි බවකි. එහෙත් එසේ අපට ඇසෙන්නේ කුරුල්ලන්ගේ හඬ නොවේ අපේ හඬය. අපේ කතාවය. කුරුල්ලන්ගේ හඬ අසන්නට නම් අප ඔවුන් කූඩු නොකළ යුතුය.
කුරුල්ලන්ගන් අපේ හඬ අසන්නට ඇති බලාපොරොත්තුව හොඳ එකක් නොවේ. අප අසන ප්‍රශ්නවලට කුරුල්ලන්ගෙන් උත්තර ලබාගැනීමට සිතීම හොඳ දෙයක් නොවේ. කුරුල්ලන්ගෙන් අප ආසා දෙය අසන්නට ආසා කිරීම හොඳ දෙයක් නොවේ.
හොඳම දෙය කුරුල්ලන්ට ඕනෑ දෙයක් කීමට ඉඩ දී අප බලා සිටීමය. කුරුල්ලා කුරුල්ලෙකු වන්නේ ඌ ඌට ඕනෑ දෙය කියන තුරුය. ඌට ඕනෑ ඕනැම දෙයක් ඕනෑම විදිහකට ඕනෑම තැනක සිට කියන විටය.
අපේ තැනක සිට අපට ඕනෑ දෙය කියවාගැනීමට උත්සාහ කරන විට එතැන කුරුල්ලෙක් නැත. එතැන සිටින්නේ අපය. අනෙක් සියලූ දෙය අප බවට පත්කරගැනීමට අප තුළ ඉතා මෝඩ ආසාවක් ඇත. සෞන්දර්යය විනාශ කරන්නේ එය විසිනි.
කුරුල්ලා නටන්නේ අපට ඕනෑ නැටුම නොවේ. අපට ඕනෑ නැටුම කුරුල්ලාගෙන් නටවා ගැනීමට සිතන්නේ කුරුල්ලෙකුට තරම්වත් මොලයක් නැති අයය. එහෙත් අවාසනාවකට එවැනි අය බොහෝ සිටිති.
අනෙක් අතට මුලින් ද කිවූ පරිදි කුරුල්ලෝ ශාස්ත්‍රීය දේ කතා කිරීමට නොදනිති. එහෙත් අපේ උත්සාහය ශාස්ත්‍රීය දේ කතා කිරීමට බැරි නම් අවම වශයෙන් අප කියන බත් කනවා වැනි දෙයක් හෝ කුරුල්ලන් ලවා කියවා ගැනීමයි. මෙය ආදරය නොවේ. නොඑසේනම් ආදරය පිළිබඳ වැරදි වටහා ගැනීමකි. ආදරය වනාහී කුරුල්ලන්ට කුරුල්ලන් ලෙස ම ඉන්නට ඉඩ හැරීමයි. කුරුල්ලන්ට අපේ ගීත ගයන්නට ඉගැන්වීම නොව කුරුල්ලන්ට උන්ට කැමති ගීතයක් ගයන්නට ඉඩ හැරීමය.
එහෙත් මෙහි අනෙක් පැත්ත නම් ප්‍රයෝජනවත් විය හැකිය. එනම් කුරුල්ලන් ගයන හැටි අප ඉගෙන ගැනීමට උත්සාහ කිරීමයි. කුරුල්ලන් නටන හැටි අප ඉගෙන ගැනීමට උත්සාහ කිරීමයි. එය සෞන්දර්යවාදී උත්සාහයකි. එය කුරුල්ලන්ට ආදරය කිරීමකි. මයුරා වන්නම බිහිවන්නේ එසේය.
හංස නැටුම හැදෙන්නේ එසේය. ගජගා වන්නම හැදුණේ කුරුල්ලන් දෙස නොව ඇතුන් දෙස බලා සිටීමෙනි.
අපේ තාලයට අනුන් හැදීම නොව අනුන් තුළ පවතින සෞන්දර්යය අප තුළට ද හැකිනම් උකහාගැනීමට උත්සාහ කිරීම වඩා හොඳ දෙයයි. එහෙත් එය කළ හැක්කේ සතුන් අප ළඟට කූඩු කරගැනීමෙන් නොව නිදහසේ හැසිරෙන උන් දෙස ඈත සිට නිරීක්ෂණය කිරීමෙනි. ඈත සිට ආදරයෙන් බලා සිටීමෙනි. ආදරයේ අරුත එයයි. ආදරය කරන වස්තුව තුළ පවතින ගුණාංග අප තුළට ද ගැනීමයි. නැතිනම් අප තුළ පවතින ගුණාංග ආදරය කරන වස්තුවට හුරු කරවීම නොවේ.
යම් වස්තුවකට අප තුළ ආදරයක් ඇත්නම් කළ යුත්තේ එයයි. එනම් ඒ තුළ පවතින ගුණාංග ද අප තුළ ඇති කර ගැනීමයි.
කුරුල්ලෙකුට ආදරය කළ හැකි හොඳම ආකාරය කුරුල්ලා අපට ඕනෑ විදිහට නැටවීම නොව උගේ නැටුම අප ද ඉගෙන ගැනීමයි. එහෙත් බොහෝ අය ආදරය වටහාගෙන ඇත්තේ මේ නිවැරදි ආකාරයෙන් නොවේ. එය තමාට ද තමා ආදරය කරන වස්තුවට ද එකසේ අහිතකරය.
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තමාගේ අතේ සිටින කුරුල්ලාට වඩා ලස්සන යැයි බොහෝ අයට සිතෙන්නේ නැත. කුරුල්ලා ලස්සන වන්නේ අත්තෙන් අත්තට පනින විට නොව තමාගේ අතේ සිටින විට යැයි යන්න බොහෝ අයගේ හැඟීමයි. අපෙන් ද සෞන්දර්ය ඈත් වී ලොවට ද සෞන්දර්ය අහිමි වන්නේ එවිටය.
ආදරය යනු සෞන්දර්යය යැයි කිව හැකිය. ආදරය සුන්දරය යනුවෙන් කීමේදී මේ අරුත සම්පූර්ණයෙන්ම හසු නොවේ. එහෙත් අපට අවශ්‍ය ආදරය හෝ සුන්දරත්වය හෝ ඒ දෙකම නම් හෝ අපට සිතෙන ප්‍රමාණයෙන් මඳක් ඔබ්බට ගොස් සිතීම අවශ්‍ය වේ. එසේ සිතීමට හැකි විය යුතුය.
අපේ ආදරයේ ව්‍යාජ ස්වභාවය නිසා නොඑසේනම් අවසානයේ සිදුවන්නේ ගිරවුන්ට ද උන්ගේ ගීත අමතක වීමය. අහසේ පියාඹාගෙන යන ගිරවුන් නගන හඬ කූඩුවක සිටින ගිරවෙකු නගන හඬට වඩා කොතරම් සුන්දරද? එහෙත් ඒ බව අපට අමතක වී ඇත්තේ කෙසේද?
ගිරවුන් දකින විට අපට මතක් විය යුත්තේ උන්ට හිතේ හැටියට ගී කියමින් පියඹන්නට ඉඩ ඇති අහසයි. එසේ නැතිව කූඩුව නොවේ.
උදයසිරි වික්‍රමරත්න