සිංහල ශබ්ද කෝෂයට අනූව වසරක් සපිරේ. සියලු සිංහලයනට - සිංහලයෙහි වසන සියල්ලවුනට -මහ මඟුලෙකි, යම් ජාතියක් පවත්නේ එහි සංස්කෘතිය නිසා ය. සංස්කෘතියෙහි ප්‍රධාන අංගයක් නම් භාෂාවයි. භාෂාවෙහි අංග දෙකින් එකක් නම් ශබ්දය. ඒ ශබ්ද එක් කොට කැරෙන කෝෂයට අනූ වසරක් පිරීම සැබැවින් ම මඟුලක් වන හෙයිනි.
ශබ්ද කෝෂ කාර පින්වතුනට ද මෙ මඟුල් මොහොතෙහි අගය වැටහුණු සැටියෙකි. අර මකුළු දැල් බැඳුණු දූවිලි පිරුණු අඳුරු ගබඩාව අතහැර, කොළඹ හොඳ සුපිරි හලකට මැති ඇමැත්තනුදු කැඳවා මඟුල් මහ සබයක් පවත්වන්නට සිතූයේ එ හෙයින් වන. මැනැවි, මැනැවි. හැම දා ම අඳුරේ ලගින්නට කාට හැකි ද? අනූ වසක් පිරෙන දින වත් මෙ සේ නො කා කවර දා නම් මඟුලක් කන්නට ද?
අනූ වසරක් යනු ඉතා දිගු කලෙකි. වර්තමාන මනුෂ්‍ය ආයු අපේක්ෂණය ද ඉක්මවා යන දිගු කලෙකි.
අපගේ ශබ්ද කෝෂය නිකම් ලෙහෙසියෙන් නවතින්නක් නොවේ. එහෙයින් එහි නියුක්ත පින්වත් ජනයා හට තවත් සෑහෙන කලකට දිවෙල සලසා දීමේ මහ පින්කම ද ඉටු කෙරෙමින් එය නිරුපද්‍රැත වැ වැජැඹෙනු ඇත. අපි දු මේ මඟුල් මොහොතෙහි සාධුකාර දෙමින් එ පින්කම අනුමෝදන් වෙමු.
ශබ්ද කෝෂයකින් භාෂාවට වනුයේ මහත් සේවාවෙකි. බසෙහි යෙදෙන වදන් වල අරුත පිරිසිඳ දැන්මට එය ඉමහත් උදවුවෙකි. අපගේ ශබ්ද කෝෂය නම් මේ උදවුව සපුරා කරන්නට සෑහෙන කලක් ගති. එහෙත් එයට පෙර තව ද අගනාතම මෙහෙවරක් එය බසට ඉටු කළේය. එ නම් නව පිරුළක් බසට එක් කිරීමයි. කිසිදා අවසන් නොවන කටයුත්තක් සඳහා ‘සිංහල ශබ්ද කෝෂය වාගේ‘ යැයි කියන්නට එ කල ජනයා පුරුදු වැ සිටියහ. මෙසේ නව පිරුළක් බසට එක් කිරීමත් සැලැකිය යුතු මෙහෙවරෙකි.
මේ කාර්යයෙහි නියුක්ත වූ එ කල්හි වියතුනට මේ මහා කෝෂයෙහි බර වැඩිවිය. එහෙයින් ජර්මනියෙන් එ බර දරන්නට උදවු්වක් ලබා ගැන්මට සිතූ ඔවුහු මහාචාර්ය ගයිගරයන් කැඳැවූහ.
ගයිගරයෝ එසේ ෙමසේ කෙනෙක් නොවූහ. ප්‍රාචීන භාෂා විෂයයෙහි ජගත් කීර්තිමත් වියතාණ කෙනෙක් වූහ. බැරි බැරි ගණනේ නමුදු සිංහල ව්‍යාකරණයෙකුදු ඔවුන් අතින් ලියැවිණි. ඉතින් එබඳු මහා විද්වතකුගෙන් උපදෙස් ලබන කෝෂය කොතරම් උසස් විය යුතු ද? එ බව වටහා ගැන්මට තරම් නුවණ නොවූ හෙළ හවුල් කරුවෝ ඔවුනටත් ශබ්ද කෝෂයටත් ගරහන්නට වූහ.
බැලුව මැනවි නොහැදුණු තරමක හැටි ! එයින් මේ මහා කෝෂයට වූ පාඩුවක් නැති. එය සුපුරුදු ඉබි ගමනින් ම එහි නියුක්තවූවනට ජීවිකාව ද සලසා දෙමින් ඉලක්කය වෙත ඇදෙයි.
මුලින් ඇරැඹියේ නෛරුක්තික මහා ශබ්ද කෝෂයෙකි. එහෙත් මඳ කලක් යත් ම බ‘ යන්න එන්නට පෙර ම, ‘බැරි වැඩ‘ යන්නේහි අරුත අපගේ කෝෂ කාරයන්ට වැටැහිණි. එහෙයින් ඔවුහු නිරුක්ති කථනය අතහැර නිකම් ම කෝෂ කරණයෙහි නියුක්ත වූ හ. එහි ඵල විසින් ඇරැඹී හැට පස් වසරකට පසු යන්තම් අපගේ මහා ශබ්ද කෝෂය නිමහම් දක්නා ලද කෝෂ කාර්යාලයය නම් වසා දැමිය යුත්තක් නො වේ.
එහෙයින් සිංහල- ඉංගිරිසි, ඉංගිරිසි- සිංහල, දෙමළ- ඉංගිරිසි, සංක්ෂිප්ත, විස්තෘත ආදී නොයෙක් කෝෂ පළ කරමින් සිංහල භාෂාව පවත්නා තාක් කල් ශබ්ද කෝෂ කාර්යාලයය ද පවතී වා යි ආශංසනය කෙරෙමු.
හිතමිතුරා