පරපුරෙන් පරපුර සංගීතයෙන් යා කළ ආර්. ඒ. චන්ද්‍රසේන | Page 2 | සිළුමිණ

පරපුරෙන් පරපුර සංගීතයෙන් යා කළ ආර්. ඒ. චන්ද්‍රසේන

සංගීතය යනු විශ්ව භාෂාවකි. විවිධ භේදවලින් බෙදී ගිය මිනිසුන් සංගීතයෙන් ඒක රාශී කරයි. ඒ හදවතින් හදවතට කෙරන සංගීතවත් ආමන්ත්‍රණයකි. ඉන් හදවත් නිවී සැනසී යයි. එකිනෙකා අතර ‍ෙභ්ද මැකී යයි. එවැනි සංගීත මිහිරක් මැවීමට සමත් සංගීතවේදීන් ඇත්තේ අල්පයෙකි. ඒ අතර සිටින ආර්. ඒ චන්ද්‍රසේන සංගීතවේදියා පිළිබඳ, ප්‍රවීණ පිටපත් රචක දීලීප අබේසේකර මහතා තම අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

‘‘ආර්. ඒ. චන්ද්‍රසේන කියන්නෙ රාගධාරී සංගීතය පිළිබද සුවිශේෂ දැනුමක් තිබූ පුද්ගලයෙක්. ඇත්තටම ඔහු දැනගෙන හිටියා සංගීතය කියන්නේ කොතනකටවත් කොටු නොවූ දෙයක් කියා. කොටු වීමකට නතු වුවොත් නිර්මාණයක් කරන්න බැහැ කියන එක පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. මේ නිසාම රාගධාරී සංගීතය පිළිබඳ දැනුමක් තිබුණත් ඉන් බැහැරව නිර්මාණයක් කරන්න ඕනෑ කියන හැඟීම ඔහුට තිබුණා. මං හිතන්නේ නව නිර්මාණ බිහි වෙන්න නම් එවැනි ආකල්පයක් තියෙන්න ඕනේ.

අපි චන්ද්‍රසේන මහතා චන්ද්‍රසේන මාස්ටර් කියලත් හඳුන්වනවා. ‘දසබලධාරී බුදුරජ පෙර කල - ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා‘ කියන ගීතයට ඒ මහතා තනුව නිර්මාණය කරනවා. එමෙන්ම ඔහු එය ගායනා කරනව. මේ ගීතය රචනා වෙන්නේ වසන්ත කුමාරගේ සඳ කිඳුරු කියන මුද්‍රා නාට්‍යයට. මේ නාට්‍යයේ තේමා ගීතය වන්නේත් මෙයයි. මේ ගීතය රචනා කරන්නේ සුමිත් ලාල් කැකුණවෙල කියන මහාචාර්යවරයා. පසුව මොහු කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවටත් පත් වන බවත් මෙහිදී සිහිපත් කරන්න ඕනෙ. චන්ද්‍රෙස්නයන්ගෙ මුල්ම ගායනය එමෙන්ම මතකයේ රැඳෙන පළමු තනු නිර්මාණය එයයි.

මං හිතන්නේ මේ සියලු බෙදීම් අමතක කරවන විශ්ව භාෂාවෙන් චන්ද්‍රසේන මාස්ටර් ජනතාවට ආමන්ත්‍රණය කරන්න හදනවා. ඒ සඳහා සංගීතයේ එතෙක් මිනිසුන් බෙදා තිබූ බෙදීම් ද අමතක කර දානව. සීමා මායිම් නොතකා වැඩ කරනව.

හැමදේම අත්හදා බලමින් තමන්ට අවශ්‍ය අනන්‍යතාවක් සෑදීම උදෙසා පෙරගමන්කරුවෙක් බවට ඔහු පත්වෙනව. සෑම විටම සංගීතය ආදරණිය ආමන්ත්‍රණයක් බවට පත් කරගන්නවා.

‘ලොව පූජිත වූ රමණී
සිරිපා මුනිරාජාගේ‘

ඔහු සිය බිරිය සමඟ ගායනා කරන මෙවැනි ගීත මඟින් නව ආරක ගමනක් ගැන අපේ සිත්වල රඳවනව. ඒ වගේම ධර්මදාස වල්්පොළ, වික්ටර් රත්නායක, පුන්සිරි සොයිසා, ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ ආභාෂය ලැබූ අය; නැති නම් හුරුව ලැබුව අය. ඔහු සංගීතය නිර්මාණය කළේ තමන්ගේ පරපුර උදෙසා පමණක් නොව අනාගත පරපුරද උදෙසා. අද මෙවැනි රසවත් සංගීතයක් ඉතිරි ඒ නිසා. ඔහුගේ පරපුර පමණක් නොව මතු පරපුර උදෙසා ද ඔහු නිර්මාණ කළා.

වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල, පුන්සිරි සොයිසා බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ අය එකම පරම්පරාවෙ නෙමෙයි. ඒ පරම්පරා කිහිපයක අය චන්ද්‍රෙස්න මාස්්ටයර්ගෙ සංගීතයෙන් යා වුණා. යුගයේ බිහි වූ බොහෝ ගීතවලට සංගීත අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රසේන මාස්ටර්.

‘ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳෙයි සුවේ‘

මේ ගීතය ගායනා කරන්නේ ධර්මදාස වල්පොළ, මේ සඳහා සංගීතය සැපයූවේ චන්ද්‍රසේන මාස්ටර්. ඒ වගේම මේ ගීතය ලිව්වේ කරුණාරත්න අබේසේකර මහතා, මේ ගීතයට සරසවි සම්මානය පවා හිමි වෙනවා. මේ ගීතයෙන් සූක්ෂ්ම ආකාරයට ගැහැනු හඬක් හූ මිටි දෙනවා. මේ ගැහැනු හඬ සියුම්ව යොදාගෙන තිබීම දක්ෂ සංගීතඥයෙකුගේ වැඩක්. එක අතකින් රාගධාරී සංගීතය අනෙක් අතින් බටහිර සංගීතය මේ දෙක පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණත් මේ දෙකෙන් එකකටවත් ඔහු කොටු වුණේ නැහැ. එහෙම කරන්න පුළුවන් අය හිටියේ කීපදෙනයි. ඒ කියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න, සුනිල් සාන්ත වගේ අය.

මොහු තමන්ගේ දූලා පවා සංගීතයට පුහුණු කළා. ඒ අනුව තමයි තිලංගනි සහ දර්ශනී යන දූලා දෙන්නා සංගීතයට යොමු වන්නේ. ඒ කියන්නේ එක් පරපුරකින් තවත් පරපුරකට සංගීතය ගෙනයන්න ඔහු උත්සාහ කරනවා. මොහු සංගීතය රචනා කළ ගීතවල චිත්ත රූප මැවෙන ස්වරූපයක් තිබීම විශේෂයක්.

‘උඩරට කඳුකරේ
වෙත යන දුම්රියේ‘

කණ්ඩායම් ගීතය ගැන අපට සිහිපත් කරන මෙවැනි ගීත හඳුන්වා දුන්නේ ආර්. ඒ.චන්ද්‍රසේන මාස්ටර්ය. කණ්ඩායම් ගීත ශෛලිය ජනතාව ප්‍රචලිත වීමට ඔහුගෙන් ලද පුරෝගාමීත්වය අමතක කළ නොහැකිය. කණ්ඩායම් සංගීතය චිත්‍රපටවලට ගෙන ඒමට තිස්ස අබේසේකර මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් දායක වුණා.

ලෙස්ටර්ගේ දෙලොවක් අතර චිත්‍රපටයේ කණ්ඩායම් සංගීතය නිරූපණය කරන ආකාරයේ සංගීත කණ්ඩායමක් ද යෙදෙව්වා. ඒ වගේම ඔහුටම කියලා ආර්.ඒ.සී. නමින් තැටි සමාගමක් තිබුණා. මේ තැටි සමාගම මඟින් හොඳ නිර්මාණ බිහි කළා.

‘ලස්සනට පිපුණ වන මල්
ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්‘

කරුණාරත්න අබේසේකර මහතා විසින් රචනා කළ මේ ගීතයේ සංගීතය ආර්. ඒ චන්ද්‍රසේන මාස්ටර්. ඒ මහතා හැමවිටම විවිධත්වයක් දායාද කරන්න උත්සාහ කළ බවට මේ ගීතය නිදසුනක්. නිහාල් නෙල්සන්ගෙ පළමු ගීතය මෙය වීමත් ඔහු ඉන් පසු වේගරිද්ම ගීතයේ නොමැකෙන සටහන් තැබූ ගායකයකු වීමත් චන්ද්‍රෙස්න මාස්ටර් ගැන අපට බොහෝ දේ අඟවනව.

බොහෝ මාස්ටර්ලා රාගධාරී සංගීතය හරි යැයි කියන කොට සියල්ලෙන් ගත යුතු දේ ගෙන අපට ගැළපෙන සංගීතයක් නව පරපුර වෙත පිරිනැමීමට ඒ මහතා උත්සාහ කළ බව නොවේ ද මෙවැනි දෙයින් පෙනී යන්නේ? බටහිර මෙන්ම දේශීය වාද්‍ය භාණ්ඩ පිළිබඳව ද ඒ මහතාට නිවැරැදි අවබෝධයක් තිබිම විශේෂයක්. මේ අවබෝධය නිසාම නව නිර්මාණ කිරීමට උත්සාහ කළා. හැම විටම දෙයක් සෙවීම, පර්යේෂණය කිරීම ඒ ඔස්සේ නව සංගීත ආරක් මතු කිරීම උදෙසා තම හැකියාව යොදාගත් පුද්ගලයකු ලෙස චන්ද්‍ර‍සේන මාස්ටර් හඳුන්වා දෙන්න පුළුවන්. අපට කේමදාස මාස්ටර් කෙනෙක් ගැන අසන්න ලැබෙන්නෙත් චන්ද්‍රසේන මාස්ටර් නිසා.

Comments