දිළිඳු නූගත් මිනිසුන් වෙතටත් සතුට සැනසුම ගලන මඟ | Page 2 | සිළුමිණ

දිළිඳු නූගත් මිනිසුන් වෙතටත් සතුට සැනසුම ගලන මඟ

 විචාරය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කෙරෙන්නේ විචාර බුද්ධියෙන් මැදිහත්ව සිතා බැලීමයි. එහෙත් අවසානයේ විචාරයම අන්ධානුකරණයක් වේ. ලෝකයේ බොහෝ දේ සිදුවන්නේ එලෙසය. එනම් පටන් ගැන්ම වෙනස්ය. එහෙත් එය පැතිරෙත්ම එහි විශේෂත්වය අහෝසි වේ. නොඑසේනම් එහි පරමාර්ථය අහෝසි වේ. අන්ධානුකරණය පිටුදැකීම උදෙසා, මැදිහත්ව සිතීම උදෙසා බිහිවන විචාරය ම අන්ධානුකරණය වීම සිදුවන්නේ එසේය. එනම් මැදිහත්වීම උදෙසා පටන්ගන්නා විචාරය අවසානයේ විවේචනයක් පමණක් බවට පත්වේ. අද සාහිත්‍ය කලාව පමණක් නොව දේශපාලනය ආදී සියලූ තැන්වල ඇත්තේ විචාරයට වඩා විවේචනයයි. මේ විවේචන අන්ධානුකරණයෙන් පිළිගන්නෝ ඒ සියලූ තැන්වල සිටිති.

අන්තවාදය යනු යම් දෙයක් දැඩිව බදාගැනීම ලෙස නිර්වචනය කිරීමට මම කැමැත්තෙමි. මේ නිසාම අන්තවාදීන්ට හොඳින්ම පෙනෙන්නේ වෙනත් අන්තවාදීන්ය.

ආගම් බිහිවන්නේ ම මිනිසා අන්තවාදයෙන් මුදවාගැනීම උදෙසාය. එහෙත් මිනිස්සුම අවසානයේ ආගම් ද අන්තවාදයක් බවට පත්කර ගනිති. සුවිශේෂී නිර්මාණයන් සාමාන්‍ය මිනිසුන් විසින් සාමාන්‍යකරණය කරගනු ලැබීමේ ප්‍රවණතාවක් පවතියි.

ආගම් අන්තවාදයන් වන්නේ එසේය. උත්තම මනුෂ්‍යන්ගේ උත්තම දර්ශනයන් සාමාන්‍ය මිනිසුන් අත සාමාන්‍ය දේ බවට පත්වෙයි. නොඑසේනම් පිරිහෙයි.

හොඳම ආගම ලෙස මා සලකන්නේ යම්කිසි දෙයක් බදාගැනීමෙන් වැළකී සිටීමට හැකිවීමයි. එවන් බුද්ධාගම්කාරයා කතෝලික ආගමේ ද වටිනාකම දකියි.

තමන්ගේ දෙයට ආදරය කරන්නාට තවත් අයෙකු ඔවුන්ගේ දෙයට ආදරය කිරීම ගැටලුවක් නොවේ. තමන්ගේ දරුවන්ට ආදරය කරන මවට අනෙක් මවුවරුන් ඔවුන්ගේ දරුවන්ට ආදරය කරනු දැකීමද සතුටකි. එහෙත් සමහරවිට තමන්ගේ දරුවන්ට ආදරය නොකරන මවකට වෙනත් මවක් ඔවුන්ගේ දරුවන්ට ආදරය කරනු දැකීම එතරම් පී‍්‍රතිමත් දසුනක් නොවීමට ඉඩ ඇත.

තමාගේ දෙයෙහි අගය දකින්නා අන් සතු දෙයෙහිද අගය දකියි. තමන්ගේ ගෙදර අස්පස් කරගෙන තබාගෙන ඉන්නා තැනැත්තිය අනුන්ගේ ගෙදරකට ගිය ද එය ද අස්පස් කර තබාගැනීමට උදව් වෙයි. ඇයට තමාගේ බව යනු තමාගේ ගෙයටත් වඩා පිළිවෙළට ක්‍රමවත් බවට දක්වන ළැදියාවයි.

ලෝකයේ විචිත්‍රත්වය ලොව ලස්සණ කරයි. එක් මලක් ලස්සණ එය වෙනත් මලකට අසමාන නිසාය.

එක මලක් ලස්සන වන්නේ වෙනත් මලක එයට වඩා වෙනත් ලස්සනක් ඇති නිසාය. මේ අනුව අපේ වෙනස අප ලස්සන කරයි. එහෙත් එහිදී වැදගත් වන්නේ තමන්ගේ වෙනසට මෙන්ම අනුන්ගේ වෙනසට ද ඉඩ තිබිය යුතු වීමයි. තමන්ට වෙනස් වීමට ඉඩ ඇත්තා සේ ම අනුන්ට ද වෙනස් වීමට ඉඩ තිබිය යුතුය. තමන්ට සේම අනුන්ට ද ලස්සන වීමට ඉඩ තිබිය යුතුය.

අනුන් ලස්සන වන තරමට තමන් ද ලස්සන වේ. තමන් ලස්සන වන තරමට අනුන් ද ලස්සණ වේ. මලකින් තවත් මලක් ලස්සන වේ. එක මලක ලස්සන නිසා තවත් මලක් අවලස්සණ වීම සිදු නොවේ. එහෙත් බොහෝ අය සිතන්නේ එලෙසය.

ලස්සන වනාහී අමුතුවෙන් නිර්මාණය කළ යුත්තක් නොවේ. එය නිර්මාණය කිරීමට ද නොහැකිය. සතුට ද එලෙසමය. එය නිර්මාණය කිරීමට නොහැකිය. එය පවතියි. එහෙත් එය පවතින තැන සොයාගත යුතුය.

මේ අනුව ජීවිතයේ සතුට හා ලස්සන රඳා පවතින්නේ එය සොයාගැනීම උදෙසා අප තුළ පවතින වුවමනාව හා උද්යෝගයේ තරමටය. එහෙත් සමහර අය ලස්සන අමුතුවෙන් නිර්මාණය කිරීමට උත්සාහ කරති. සතුට නිර්මාණය කිරීමට උත්සාහ කරති. නිර්මාණයට වඩා වැදගත් වන්නේ අපට නොපෙනී අප අවටම අප තුළ ම පවතින සතුට සහ ලස්සන සොයාගැනීමය.

නිර්මාණය යනු සොයාගැනීමයි. කෙසේවුවත් අවශ්‍ය නම් මේ සොයාගැනීම නිර්මාණාත්මක කටයුත්තක් ලෙස නම් කළ හැකිය.

සැබවින්ම සියලූ දේ නිර්මාණවලට වඩා ප්‍රතිනිර්මාණ වෙයි.

ජීවිතය තුළ පවතින හාස්‍යය හා විහිළුව හාස්‍ය නාට්‍යයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙයි. එහිදී සිදුවන්නේ ජීවිතය තුළ පවතින හාස්‍යය සොයාගැනීමය.

මේ අනුව අප විසින් කළ යුත්තේ මහා කර්තව්‍යයන් නොවේ. සියුම් දේ ය. එහෙත් ඒ සඳහා දැවැන්ත යැයි කිවහැකි වුවමනාවක් තිබිය යුතුය.

මේ සියල්ල මැද අනතුරු හෙවත් අනපේක්ෂිත දේ තිබිය හැකිය. ඉරණම යැයි කිවහැකි වන්නේ එයයි. තරහ ගිය මිනිසෙකුට ශාන්ත මිනිසකු හමුවීම අනතුරක් නොවේ.

එහෙත් තරහ ගිය මිනිසකුට එසේම තරහ ගිය මිනිසකු හමුවීම අහම්බයකි. සම්භාවිතාවකි. එය අනතුරකි. කොතරම් හොඳින් කටයුතු කළත් සිතාමතා කටයුතු කළත් හදිසි අනතුරු අහම්බ හා අනපේක්ෂිත සිදුවීම්වලින් බැහැර වීමට නොහැකිය. එය ද ජීවිතයේ එක්තරා ස්වභාවයකි. මේ අනුව අනතුරුවලට ද බර තබා සාමාන්‍ය ප්‍රමාණය ද ඉක්මවා කල්පනාකාරී වීම අවශ්‍යය.

ජීවිතයේ අර්ථය රඳා පවතින්නේ මහා සංකල්ප හා මහා වචන මත නොවේ. ඉතා දිළිඳු හා නූගත් මිනිසුන්ට පවා ජීවිතයේ සැනසුම හා සතුට අත්පත් කරගත හැක්කේ ඒ නිසාය. ඒ අනුව අපට කලබලවීමට තරම් දෙයක් මේ ජීවිතයේ නැත.

උදයසිරි වික්‍රමරත්න 

Comments