රජුන්ගේ කවිකාර මඬුව සංගීත සාජ්ජයක් කළ රූපසිංහ මාස්ටර් | Page 2 | සිළුමිණ

රජුන්ගේ කවිකාර මඬුව සංගීත සාජ්ජයක් කළ රූපසිංහ මාස්ටර්

දිලීප අබේසේකර (ප්‍රවීණ ලේඛක හා පිටපත් රචක)

 දේශීය සංගීතය ගොඩනඟන්නට දායක වූ මාස්ටර්ලා අතරින්, එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් කැපී පෙනුණ ‘තරුවක්‘ වූ බව හැඳින්විය හැකියි. ගවුස් මාස්ටර් මෙන්ම සමකාලිකයකු ලෙස සංගීතයට අනුපමේය මෙහෙයක් කළ රූපසිංහ මාස්ටර් විශේෂ සංගීත ඥානයකින් හෙබි අයෙකි. සංගීතයත්, සිංහල භාෂාවත්, යොදා ගන්නා උචිත අනුචිත භාවිතය පිළිබඳ තිබූ සුවිශේෂ නෛපුණ්‍ය හේතුවෙන් ප්‍රභූවරු පවා ඔහු වැලඳගත්හ. පුද්ගල දක්ෂතා ඉතාමත් සියුම් ආකාරයෙන් වටහාගත් රූපසිංහ මාස්ටර් අශියෝග භාර ගැනීම අතින් ද ඉදිරියෙන් සිටියේය. සැඩ සුළං චිත්‍රපටයට ‘මනරංජන දර්ශනීය ලංකා‘ ගීතය ලියා භාරතයේ රිදී සීනුව ලෙස විරුදාවලී ලත් ලතා මංගේෂ්කාර්ට සිංහල ගායනය පුහුණු කළේ ද ඔහු ය. රූපසිංහ මාස්ටර් සිංහල සංගීතයට කළ මෙහෙය පිළිබඳ තම මතකය අවදිකරමින් ප්‍රවීණ පිටපත් රචක දිලීප අබේසේකර මහතා මෙලෙස පවසයි.

‘‘රූපසිංහ මාස්ටරට ප්‍රභූවරුන් අතර තිබුණේ හොඳ පිළිගැනීමක්. ඒ කාලේ බොහෝ ධනපතීන්ට තමන්ගේ මෙහෙවර කිරීමෙන් පසු ඇති වන විඩාව නිවා ගැනීමට වින්දන මාර්ගයක් ඕන වුණා. ඒ සඳහා තමන්ගේ නිවෙස්වල සංගීත සාජ්ජ පැවැත්තුවා. මේ සංගීත සාජ්ජ නිසා රූපසිංහ මාස්ටර් ඔවුන් අතර ජනප්‍රිය වුණා. මේ වගේ සාජ්ජ කරන්න හැමෝටම බැහැ. අතමිට සරු අය විතරයි සාජ්ජ කළේ. කාන්සිය මහන්සිය නිවා ගැනීම මෙහි අරමුණ වුණත්, මිනිසුන්ගේ සාහිත්‍ය රසඥතාව මෙයින් දියුණු වුණා. ධනපතීන් පවත්වපු සාජ්ජ වෙනුවෙන් සාමාන්‍ය ගායක ගායිකාවන්ට ආරධනා ලැබුණේ නැහැ. එයට හේතුවක් තිබුණා. වින්දනයක් වගේම දැනුමක් ලබන්න මේ අයට වුවමනාව තිබුණා. මේ නිසා භාෂාව මෙන්ම සාහිත්‍යයෙන් සුපෝෂිත අයට තමයි ආරාධනා කළේ. සංගීත රසාද්වාදයක් ලැබීමේදී වුවත්, එයින් උසස් වින්දනයක් ලබන්න මේ ශ්‍රාවකයන්ට අවශ්‍ය වෙලා තිබුණ. මේ සඳහා රූපසිංහ මාස්ටර්ගේ දැනුම වගේම ඔහු සතු ප්‍රබල හඬත් හේතු වුණා. ඒ වගේම රූපසිංහ මාස්ටර් ස්වතන්ත්‍ර ගීත රචනා කළා. අපි දන්නව මේ කාලෙ ඉන්දියානු ආභාසය තමයි ගීතවලට හුඟක් බලපෑවෙ. රූපසිංහ මාස්ටර් එය වෙනස් කරන අභියෝගයට මුහුණ දුන් සංගීතවේදියෙක්. ඔහු තම ගීත රචනා සඳහා යොදාගත්තේ සමාජයට දැනුමක් අවබෝධයක් ලබාදෙන පණිවිඩ. සමාජ ශෝධනය ඕනෑම ආකාරයකින් කරන්න පුළුවන්. ඒත් ගීතයෙන් එය වඩාත් නිර්මාණාත්මකව කරන්න පුළුවන්. මං හිතන්නේ රූපසිංහ මාස්ටර් ඒ අභියෝගය භාරගත්තා කියලා.

එදා ලියැවුණ ගීත බොහෝමයක් හිතට ශාන්තියක් සුවයක් ගෙනාවා. හිත සුවපත් වෙන විට නිතැතින්ම අනිත් සියල්ල හරියනවා. මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් එදා නිර්මාණ කරුවන්ට තිබුණා. නිර්මාණයකින් විය යුත්තේ සිත සුවපත් වීම බව ඒ නිර්මාණ වඳින අපට අදත් වැටහෙනව.

මේ නිසා තමයි එදා ලියවුණ ගීත හෙටත් රස විඳින්න පුළුවන් වෙන්නෙ. ඒ ගීතවලින් අපේ සාහිත්‍ය රසය තව තවත් උද්දීපනය වෙනවා. සාහිත්‍යය මෙන්ම සමාජ යථාර්ථයත් නිසි ලෙස පිළිබිඹු කර පෙන්නනව. උදාහරණයක් ලෙස

‘සිරි බුද්ධගයා විහාර වඳිනේමු මෝක්ෂ පතාලා‘‘ ගීතය දක්වන්න පුළුවන්.

මේ ගීතය රූපසිංහ මාස්ටර් සමඟ ගායනා කළේ රුක්මණී දේවි. රුක්මණී දේවි මේ ගීතය ගායනා කරන විට දැරියක්. ඇගේ පියාට ඕනෑකමක් තිබුණා රූපසිංහ මාස්ටර් සමඟ ගීතයක් ගායනා කරනවා අහන්න. ඔහුගේ උනන්දු කිරීම සහ මඟ පෙන්වීම මත තමයි රුක්මණී දේවි මේ ගීතය ගයනා කළේ. රුක්මණී දේවි කියන්නේ මාස්ටර්ලාගේ යුගයේ කැපීපෙනුන චරිතයක්. ඒ වගේම මේ යුගයේ ග්රැමෆෝන් භාවිතය ජනප්‍රිය වෙනවා. මුලින්ම ග්රැමෆෝන් ආවේ වෙනත් දේවල් සඳහා. එහෙත් සංගීත මාස්ටර්ලා මේ ග්රැමෆෝන් සංගීතය සඳහා යොදා ගත්තා. මාස්ටර්ලාගේ සංගීතයත් ග්‍රැමෆෝන් යුගය සමඟ බද්ධ වී පැවැති සංගිතයක්.

1924දී තමයි ගුවන්විදුලි ආරම්භ කළේ. ඉන්පසු ගුවන් විදුලියේ එම්. ජී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා. ඒ සංගීත කණ්ඩායමේ රූපසිංහ මාස්ටර් ඉඳලා තියෙනවා. මං ඉස්සෙලා කිවුවාවගේ ඒ කාලේ තිබුණා ධනවතුන්ගේ සාජ්ජවලට රූපසිංහ මාස්ටර් සහභාගි කරවා ගැනීමේ ප්‍රවණතාවක්. මං හිතන්නේ මේ සාජ්ජවල මූලික ආරම්භය ඇතිවෙලා තියෙන්නේ රජකාලේ. ඒ කියන්නේ රජකාලේ රජ්ජුරුවෝ කවිකාර මඩු පවත්වලා තියෙනවා. රජතුමා කැමැති කවියන් එකතු කරලා ඒ අයට කියලා කවි ගායනා කරලා තියෙනවා. කවිය ගීතය තෙක් විකාශනය වුණා වගේ ඒ කාලෙ සාද හැඩරුව තමයි පසු කාලේ දී සංගීත සාජ්ජ කියලා ප්‍රචලිත වෙන්නේ. මේ සංගීත සාජ්ජවල වටිනා ලකුණක් තමයි සාමූහික රසවින්දනයට පාර පෑදීම. ශීල්පීන් හා රසිකයන් සාමූහිකව ජීවමානව එකතු වෙලා තමයි මේ සාජ්ජ පැවත්වුණේ.

අනෙක් දෙය තමයි මේ කාලේ ගීතවලින් සමාජයට දීමට උත්සහා කළේ නිර්මාණයක් මෙන්ම ඔවදනක්. මේ ඔවදනින් සමාජ ශෝධනයක් අපේක්ෂා කළා. මං හිතන්නේ ඒ දෙවල් හිතුවටත් වඩා සාර්ථකව සිදු වුණා. උදාහරණයක් ලෙස අපි දන්නවා මවුපිය වන්දනාව ගුරුවරු වන්දනාව යහපත් දෙයක් කියලා. ඒක රූපසිංහ මාස්ටර් ගීතයෙන් සමාජයට ඉදිරිපත් කළා. මං හිතන්නේ ගවුස් මාස්ටර් ඇරුණහම රූපසිංහ මාස්ටර් ශ්‍රාවකයන් ආදරයෙන් වැලඳගත්ත කෙනෙක්. අනෙක ගවුස් මාස්ටර් විදේශිකයෙක්. එහෙත් රූපසිංහ මාස්ටර් ස්වදේශිකයෙක්. මේ නිසා ඔහුට ලාංකික සමාජය පිළිබඳ යම් වැටහීමක් තිබුණා. පණිවිඩය ස්ථානගත කළ යුතු ආකාරය ඔහු දැනගෙන හිටියා. ගීතයේ මිහිර මෙන්ම සමාජයට සිදුවිය යුතු උන්නතිය පිළිබඳවත් ඔහුට අවබෝධයක් තිබුණා. සාධු සිරිත් ගීතයෙන් නිර්මාණත්මකව ඉදිරිපත් කිරීමටත් දක්ෂතාවක් තිබිය යුතුයි. ඒ වගේම ඉදිරිපත් කළයුතු ආකාරය පිළිබඳවත් දැන සිටිය යුතුයි. මං හිතන්නේ මේ වැටහීම රූපසිංහ මාස්ටර්ට වඩාත් හොඳින්ම පිහිටලා තිබුණා.

‘මවුපිය අාදී සොඳුරු තමාගේ කුලදෙටුවන් සෑමා‘

ඔහු ගායනා කළ එවැනි ගීතයක්.

බුදු දහමෙන් අපට කියලා දෙන්නේ ඉවසීම, මෛත්‍රිය, ඒ වගේ හිත නිවන ආකාරය. මේ සියල්ල ගීතය ඔස්සේ සමාජයට ඉදිරිපත් කළ විට සමාජය ඒ සියල්ල ඒ ආකාරයෙන්ම පිළි ගත්තා. සමාජයට වචනයෙන් ඉදිරිපත් කළ යුතු දෙයක් ගීතයෙන් ඉදිරිපත් කළ විට ඒ රසය, ඒ මිහිර අඩුවක් නැතුව විඳගත්තා. ලැබිය යුතු දේ ගිත රචකයා මෙන්ම ගායකයා තමා අපේක්ෂා කළ ආකාරයට සමාජයට ලබා දුන්නා.

මේ කාලයේ බොහෝ ගීත රචනා වූයේ ග්රැමෆෝන් තැටි සඳහා. තමන් කැමැති යාළුවන් පිරිසක් සමඟ ශාලාවක එකතු වී මේ ගීත ඇසුවා. මේ හැම ගීතයක්ම සමාජයේ පවතින යම් නිමිත්තක් පාදක කරගෙන රචනා වූවක්. මේ නිසා ඉක්මනින්ම සමාජය මේවා වැලඳගත්තා.

‘අඩු ක‍ෙළ් සෙලවීම නිසා එහි අඩුකම පාවි ‍කොවුලෙකු සේ රූපේ කපුටා නාදෙන් හඳුනාවි‘

මෙවැනි සෑම රචනාවකින්ම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළා. මේ ප්‍රබෝධය ජනතාව වැලඳගත්තා. මේ රචනා පමණක් නෙමෙයි, ඒ ප්‍රබල හඬටත් ජනතාව ආකර්ෂණය වුණා. එපමණකුත් නෙමෙයි, රූපසිංහ මාස්ටර් ක්ෂේත්‍රයට වටිනා සම්පත් මතු කිරීමටක් කැප වුණා.

‘අද අඬනව හිමියනි යසෝදරා‘

මේ ගීතය රුක්මණී දේවි ගායනා කරනවිට ගම්වල පවා බොහෝ බෞද්ධ කාන්තාවන් ඒ ඔස්සේ සංවේදී වුණා. ඇත්තටම යසෝදරාගේ වැලපීම ගමේ කාන්තාවටත් දනවන්න රුක්මණීගේ සුගායනය සමත් වුණා. මේ ආකාරයට රුක්මණී වැනි ගීත කෝකිලාවන් බිහිවීමට හේතුව වූයේ මාස්ටර්ලාගේ සංගීත ඉගැන්වීම. රුක්මණී දේවි ඉදිරියට ගත්තෙ රූපසිංහ මාස්ටර්. මාස්ටර්ලාගේ යුගයේ ගීත ගැයූ පළමු කාන්තාව ඇයයි. ඇත්තටම බෞද්ධ දර්ශනය නිර්මාණාත්මකව ස්ථාපිතව කිරීමට දායක වුණේ අබෞද්ධ අසිංහලයන්. මට තවත් දාහරණයක් මතක් වෙනවා. එදා අපේ රටේ නිදහස් සටහනේ අරගලය වෙනුවෙන් කවියෙන් තමන්ගේ සටන ආරම්භ කළේ එස්. මහින්ද හිමියන්. මහින්ද හිමියන් ලාංකිකයෙක් නෙවෙයි. මේ හැම දෙයින්ම මට කියන්න තියෙන්නේ අද අපේකම රැකලා දෙන්න සිංහල නොවූ ඒ වගේ ම බෞද්ධ නොවූ පිරිසක් විශාල කැප වීමක් කළා කියලයි.

 

Comments