ඔහු මේ රටේ ම නිපදවනු ලැබූ සංගීත වස්තුවක් | Page 3 | සිළුමිණ

ඔහු මේ රටේ ම නිපදවනු ලැබූ සංගීත වස්තුවක්

- මහාචාර්ය කාලෝ ෆොන්සේකා

• අනෙක් කලාකරුවන්ගෙන් වෙන්ව වික්ටර් රත්නායක නම් වූ සංගීතවේදියා ඔබ හඳුනා ගන්නේ කෙසේ දැ යි පැහැදිලි කළ හොත්...

වික්ටර් මා මුලින් ම හඳුනා ගන්නේ විජය කුමාරණතුංගයන් මාර්ගයෙන්. අපි සියලු දෙනාම ඒ කාලයේ ජීවත් වුණේ තලකොටුව වත්ත නාරාහේන්පිට ප්‍ර‍දේශයේ. මා ඔහු බෙහෙවින් අගය කරන්නේ සහ ආදරය කරන්නේ ඔහුගෙන් මා දකින සුවිශේෂ ගති ලක්ෂණ පහක් නිසයි. පළමුවැන්න අතිශයින් ම පෞද්ගලික දෙයක්. මම වෛද්‍ය වෘත්තිකයෙක්. මම සංගීත ක්ෂේත්‍රයට අයිති කෙනකු නොවුණත් ඔහු වෛද්‍යවරයකු වූ මගේ ගීතයකට පදමාලාව සහ තනුව රචනා කර දුන්නා. එය පළමුවරට 1972 දී ගුවන් විදුලියේ ගායනා කරලා පටිගත කළ ඉහළ පෙළෙහි සංගීතවේදියා ඔහු යි. ඒ කළ සත් ක්‍රියාව නිසා මට සංගීත ක්ෂේත්‍රයේ දිගට ම රැඳී සිටින්න ධෛර්යය ලැබුණා. ඒ නිසා මා ඔහුට සදහට ම ණය ගැතියි. තව ද මා ඔහු මා හා එක් වී අමද්‍යප ව්‍යාපාරයට කළ මෙහෙය අතිවිශිෂ්ටයි. තවත් මා ඔහුගෙන් හඳුනා ගත් ගති ලක්ෂණ මේ සාකච්ඡාව අතරතුර සදහන් කරනවා.

• ඒකපුද්ගල ගී ප්‍රසංග සම්පුදායට මූලාරම්භය සපයන්නේ වික්ටර් ගේ 'ස' ප්‍රසංගය යි. එය 1973 වසරේ දී ආරම්භ වීමත් සමඟ මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනස් මඟකට යොමු වුණ බව ඇතැමුන්ගේ මතයයි...

සැබැවින් ම එය සත්‍යයක්. කවුරුත් එතෙක් ඒ වගේ විශ්වකර්ම දෙයක් කළේ නැහැ. අද වුවත් ' ස' ප්‍රසංගයක් පවත්වනවා නම් එදා වගේම රසිකයන් අතිවිශාල වශයෙන් ඇදී එනවා නියත යි. ඒ තරම් ජනතාව ඇද බැඳ තබා ගැනීමට 'ස' ප්‍රසංගයට හැකි වුණා. එය සංගීත ක්ෂේත්‍රය වෙනස් මඟකට යොමු කළා.

මා ඔහුට ප්‍රිය කරන තවත් කාරණයක් වන්නේ ඔහු සංගීත කලාවට 'ස' ප්‍රසංගයෙන් කළ මෙහෙය යි. එහි මුල සිට ම අඩු වැඩි වශයෙන් මා සම්බන්ධ වෙලා සිටියා. මා 'ස' ප්‍රසංගයේ පෙරපුහුණුවීම්වල සිට ම සිටියා. මුල් අවස්ථාවටත් සිටියා. එහි පනස් වැනි ප්‍රසංගයට මා ලිපියක් ලියා පළ කර තිබෙනවා. 'ස' ප්‍රසංගය නරඹා අසා රස විඳි වාර ගණන මට මතක නැහැ. 'ස' ප්‍රසංගය ආරම්භ වන්නේ 'අපි ඔක්කොම රජවරු...' කියන මනහර ගීතයෙන්. අපේ රටට නිදහස ලැබීමෙන් අනතුරු ව ඒ නිදහස ඉතා හොඳින් ප්‍රකාශ වන ගීතයක් කියා මා ඒ ගීතය හඳුන්වන්න කැමැති යි. මා ඒ වගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් දැකල ම නැහැ! මා සංගීත කලාවේ ලබපු අතිවිශිෂ්ට ආස්වාදය එය යි.

• පණ්ඩිත් අමරදේවයන්, වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි සූරීන් වැන්නවුන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ මං සලකුණු ලෙස හඳුනා ගන්න පුළුවන්. නව පරපුරට මේ සංගීතඥයන් අතික්‍රමණය කිරීමට නොහැකි වී ඇති බවත්, ඉදිරි සංගීත කලාවට මේ අයගෙන් පසු පසුපෙළක් සැකසී නැති බවත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අදහස යි...

මා නම් ඒ මතයට එතරම් එකඟ නැහැ. මක් නිසා ද කියනවා නම්: එන්න එන්න ම මනුෂ්‍ය වර්ගයා දියුණු වෙනවා. කෙටිකාලීන කඩා වැටීමක් නැතුවා නො වෙයි. අපි වනන්තරේ හිටිය කාලයකුත් තිබුණා. සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක් නැති අපිට භාවාත්මක ආමන්ත්‍රණය සඳහා අද තිබෙන ප්‍රධාන මාධ්‍යය නූතන ගීත කලාව යි. ඒ කලාවට ඇත්තේ ද අඩ සිය වසක පමණ ඉතිහාසයක්. ඒ ඉතිහාසය ආනන්ද සමරකෝන් යුගය, සුනිල් සාන්ත යුගය සහ අමරදේව යුගය ලෙස හඳුනාගෙන තිබෙනවා. අමරදේවගේ අභාවයෙන් අනතුරුව එළැඹී තිබෙන මේ යුගය වික්ටර්ගේ යුගය යි. ඉහත කී තිදෙනා ම ගී පද රචනය, සංගීත නිර්මාණය සහ වාදනය ප්‍රගුණ කළ කලාකරුවෝ. පද මාලා රචනයට, ස්වරමාලා තැනුමට, වැයුමට සහ ගී ගැයුමට එක් සේ දස්කම් පෑ හැකි කලාකරුවන් සිටින්නේ අතළොස්ස යි. එහෙත් විශ්වවිද්‍යායවල අද ඉගෙනුම ලබන දක්ෂ ළමයින් ඕනෑ තරම් සිටිනවා. ගායනයට අතිදක්ෂ දරුවෝ ඉන්නවා. ඒත් ඉහත සඳහන් ආකාරයේ නිර්මාණ ශක්තියක් - භාෂා සංවේදිතාවත්, ගායන කුසලතාවත් - අඩංගු සංගීතවේදීන් බාල පරපුරේ දකින්න ලැබෙන්නේ නැහැ. මිනිසා දියුණු වුණෙත් සෙමෙන්. අද වන විට මිනිසා ඉදිරියට ම ඇවිත් තිබෙනවා. අවශ්‍ය වටපිටාව සහ පරිසරයක් හදා ගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. සංගීතයටත් මේ තාවකාලික කඩාවැටීමෙන් ගොඩ එන්න පුළුවන් වෙයි. අවිවාදයෙන් කියන්න ඕනෑ, ශතවර්ෂයකට වරක් බිහි වන යුගයක් මේ උදා වී තියෙන්නේ. මේ යුගයේ බිහි වූ මෙවැනි සංගීතඥයන් නම් යළිත් බිහි වන එකක් නැහැ.

අග්‍රගණ්‍ය සංගීතවේදියකු වන වික්ටර් නව පරපුරේ ගායකගායිකාවන් පිළිබඳ ව දක්වන්නේ වෙනස් මතයක්.

ඍජු ව අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ අතිවිශිෂ්ට ගතිලක්ෂණයක් කියා මා කියනවා. ඒත් අපේ ළමයි විවිධ නාලිකාවල සුපිරි ගායකයන් බවට පත් වෙලා එක දවසක් හෝ බබළනවාට මම කැමැති යි. එයට මම සහාය දෙනවා. ඒ ළමයි ගායනයට හරි දක්ෂයි. ඒත් වික්ටර් එයට දැඩි සේ විරුද්ධ යි. මා එක් නාලිකාවක විනිශ්චය මණ්ඩලයට ගියා කියා මා පිළිබඳ ව දැඩි විවේචන එල්ල කළා. මට ම ඇසුණා එක් අවස්ථාවක වික්ටර් කියනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අයත් මේ වගේ දේට සහාය දෙනවා කියලා. ඒත් වික්ටර්ගේ ඒ අදහසට මම එකඟ නැහැ. මෙතැන දී මා ඔහු අගය කරන්නේ තැන තැන විවේචනය නොකර කෙළින් ම මා විවේචනය කිරීමේ හැකියාව ඔහුට තිබීම නිසා යි. ඒ නිසා ඔහු උදාර පුරුෂයෙක්.

• ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ස්ථානගත වන්නේ කිනම් තැනක ද?

සුනිල් ආර්. ගමගේ 1993 වසරේදී වික්ටර් පිළිබඳ පොතක් ලියා පළ කළා. ඊට වික්ටර්ගේ සංගීත කලාව ගැන ලිපියක් ලියන්න මට අවස්ථාව ලැබුණා. එහි දී මම සිංහල සංගීත ක්ෂේත්‍රය ම පිළිබඳ සිතා බලා එක්තරා ආන්දෝලනාත්මක අදහසක් මතු කළා. මා ලිපිය ලියා පළ කරන අවස්ථාව වන විට සිංහල සංගීත ක්ෂේත්‍රයේ අවිවාදයෙන් ම සක්විති වූයේ වෙන කවුරුත් නො වෙයි; අමරදේවයන් ම පමණ යි. අනභියෝගයෙන්ම එය එසේමයි. එතුමාගේ අභාවයෙන් පසු කවුරුන්ද කියන කාරණය මම එහි දී මතු කළා. එදා ඊට ඍජු පිළිතුරක් දෙන්න මා මැළි වුණා. මට එදා මතකයට ආවා ශේක්ස්පියර්ගේ ඔතෙලෝ, නාට්‍යයේ එක තැනක තිබුණු කියමනක්: ''ඇත්ත ඇති සැටියෙන් කීම අනතුරුදායක යි.'' ඒ කියමන මගේ හිතේ කොනක තිබුණා. ඒ නිසා මම සිහිනයක ස්වරූපයෙන් ඒ කරුණ එදා මතු කළා. එහි දී මා සිහින හතක් දකිනවා, ඒ සිහිනයේ දී ශක්‍රයා ඇවිත් කියනවා, ''කවුද මේ 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ' ගීතය ගායනා කරන ගායකයා?'', කියා. හුදෙක් ඒ ගීතය පදනම් කරගෙන ''යුවරජු නුඹ යි! අමරදේවයන්ගෙන් පසු නුඹ යි රජු!'' කියා ශක්‍රයා කියනවා. අමරදේවයන්ගේ අභාවයෙන් පසු ''එය එසේමයි'' කියා මා අද කියනවා. එතැන යි ඔහු අද සංගීත ක්ෂේත්‍රයේ ස්ථානගත වන්නේ. අද වන විට ඒ සිහිනය සැබෑ වී ඇතැයි මා සිතනවා. ඒ නිසා අද සංගීත ක්ෂේත්‍රයේ රජු ඔහු බව මා ඍජු ව ම කියනවා. එදා අනාගත සංගීත ක්ෂේත්‍රයේ සක්විති රජු හඳුනා ගැනීමට මට අවකාශ ලැබීම පිළිබඳ මා අද සතුටු වෙනවා.

• වික්ටර්ගේ ගී තනු නිර්මාණ කෙබඳු ද?

ගී තනුරචකයකු ලෙස මා කෙටියෙන් ම කියන්නම් රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පද වැළක් වන 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති...' ගීතයට ඔහු යෙදූ තනුව නිධානයකින් මතු වන මිණිකැට වගෙයි. ඔහුගේ ගී තනු නිර්මාණ සියල්ල අතිවිශිෂ්ට යි. මා ඒ ගීතයට වශී වී ඒ ගීතය ඇසෙන සෑම විට ම එයට සවන් දෙනවා. ඒ ගීතය ඇසීමේ දී අප නිරායාසයෙන් සමාධියකට පිවිසෙන්නා වැනි යි. අමරදේව, සනත් නන්දසිරි, එච්.එම් ජයවර්ධන, සරත් දසනායක, රෝහණ වීරසිංහ හා සමාන විශිෂ්ට 

ගණයේ තනු නිර්මාණ ශිල්පියෙකැයි කිව හොත් නිවැරැදි යි. ඔහුගේ බොදු ගී කලාව අද්‍යතන සිංහල සංගීතය සතු සියලු ශිල්පීය ක්‍රම උපයෝගී කර ගෙන තිබෙන බව පෙනෙනවා. ජන සංගීතයේ එන ස්වර සංගති, උත්තර භාරතීය සංගීතයේ ආභාසය, අපරදිග සංගීතයේ සියුම් බලපෑම ආදි සියල්ලෙන් පෝෂිත කලාවක් ඔහු ප්‍රගුණ කර තිබෙන්නේ. එහෙත් ඒ සියල්ලෙන් වෙන් වී කැපී පෙනෙන ඔහුට ම ආවේණික සුවිශේෂ වූ ස්වාධීන දේශජ නිර්මාණ ශෛලියක් ඔහු ගොඩ නඟා ගෙන තිබෙනවා. එහි රහස ඔහු හුදෙක් අප රටේ ම නිපදවනු ලැබූ සංගීත වස්තුවක් වීම යි. 'ආදරයේ උල්පත වූ අම්මා...' යන ගීතය ඇතුළු සියල්ල මා අතිශයින් ම අගය කරනවා. මේ රටේ ඉතා ඉහළ ම ගණයේ ගී තනු නිර්මාණ ශිල්පියකු ලෙස ඔහු මා හඳුනාගෙන තිබෙනවා.

• ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මරණයෙන් පසු වික්ටර් රත්නායකයන්ගේ සංගීත ගමන කෙබඳු වූයේ දැ යි කිව හොත්...

ප්‍රේමකීර්තිගේ අභාවය නිසා ඔහුට කියා නිම කරන්න බැරි පාඩුවක් සිදු වුණා. ඒත් වික්ටර්ට හැකි වුණා සියලු දේ විඳ දරා ගෙන හොඳ ගමනක් යන්න. බෞද්ධ දර්ශනය හොඳින් අදහන කෙනෙක් ලෙස මේ සියලු වියෝවන් විඳ දරා ගෙන ඉදිරියට යෑමෙන් අපට මහත් වූ ආදර්ශයක් සපයන්න වික්ටර්ට හැකි වුණා. නොයෙක් දුක්කම්කටුලු විඳ දරා ගෙන තාරකාවක් සේ බබළන්න ඔහුට ශක්තිය තිබෙනවා.

• ඔහුගෙන් නව පරපුරට ලැබුණු ආභාසය කෙබඳු ද?

මම හිතන්නේ භෞතික දියුණුවත් සමඟ සෑම දේ ම වෙනස් වෙලා. එදා නාලිකා අතළොස්සයි, සංගීතඥයන් ටික දෙනයි හිටියේ. අද සියලු දේ ප්‍රජාතාන්ත්‍රික වෙලා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ යි. මම වෛද්‍යවරයකු වුණත් මමත් සංගීත තැටියක් බිහි කළා! මේ දියුණුව පසුපෙළට හොඳ ආදර්ශයක්. අමරදේවයන්ගේ තනුවකින් තොර ප්‍රසංගයක් නැති තරම්. ඒ අතිවිශිෂ්ට ගණයේ කලාකරුවන් පූර්වාදර්ශයට ගෙන ඉදිරියේ දී හොඳ නිර්මාණකරුවන් බිහි වේවි. සාම්ප්‍රදාය ද රැක ගෙන ධනාත්මක වෙනස්කම් කරමින් ඉදිරියට යන්න නව පරපුරට හැකි වේවි. මම ඕනෑ ම වේදිකාවක දී කියනවා: හොඳ ගුරුවරයකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ තමාගේ ගෝලයන් තමාටත් වඩා ඉහළ තැනකට යනවා දැක සතුටු වීම යි.

 

 
 

Comments