සිත් සුවපත් කරන ආදර්ශයක් දුන් කැනඩා අගමැති හා ටෙනිස් ශූරයෝ | Page 2 | සිළුමිණ

සිත් සුවපත් කරන ආදර්ශයක් දුන් කැනඩා අගමැති හා ටෙනිස් ශූරයෝ

 අන්තර්ජාතික මාධ්‍යන්හි පළව තිබූ දේශපාලනය සහ ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකාශයන් කිහිපයක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීම අන්තර්ජාලයේ දැකිය හැකිව තිබිණ.

ඉන් පළමුවැන්න සහ දෙවැන්න කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රූඩෝගේ ප්‍රකාශයන්ය.

පසුගිය සඳුදා කැනඩාවේ කුවිබෙක් ප්‍රාන්තයේ ස්ටිපෝයි (Stefoy) නගරයේ ඉස්ලාමීය දේවස්ථානයකට වෙඩි තැබීමක් සිදුකර තිබිණ. කුවිබෙක් ප්‍රාන්තය කැනඩාවේ අනෙක් ප්‍රාන්තයන් හා සසඳන කල බහු සංස්කෘතික පැවැත්මට ප්‍රසාදය අඩු ප්‍රංස බස කථා කරන ප්‍රාන්තය වේ.

මේ සිද්ධිය දැනගත් ක්ෂණයකින් කැනඩා අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මේ සිද්ධි මා තුළ ඇතිකළේ බලගතු කම්පනයකි, සංවේගයකි. එමෙන්ම කෝපයකි. ඉස්ලාම් භක්තිකයන් ඉලක්ක කොට දේවස්ථානයේ යාච්ඡා කරමින් සිටියදී එල්ල කළ මේ “ත්‍රස්ත ප්‍රහාරය” අපි හෙළා දකින්නෙමු.

සියලු කැනේඩියානු ජනතාව වෙනුවෙන් මාගේ සහ මාගේ බිරියගේද අතිශය සංවේගය මියගිය සියලු දෙනාගේ පවුල් වෙත දන්වා සිටින්නෙමු. තුවාල ලද සියල්ලන්ටම ඉක්මන් සුවය ලබන්නට ප්‍රාර්ථනා කරන්නෙමු.”

“අපේ දේශයේ ශක්තිය විවිධත්වයයි. ආගමික විවිධත්වය ඉවසීම කැනේඩියානු අපගේ හදවතට ඉතා සමීප වටිනා ගුණාංගයකි. ඉස්ලාමීය කැනේඩියානුවන් යනු කැනේඩියානු ජාතියේම කොටසකි. මේ චිරස්ථිත ක්‍රියාවන් අපේ සමාජය හෝ රට කිසිසේත් අනුමත නොකරයි.”

සිද්ධිය දැනගත් මොහොතේම ඒ ගැන සංවේදී වූ ජස්ටින් ට්රූඩෝ අගමැතිවරයා සිදුකළ මේ ප්‍රකාශය නියම නායකත්වයක ගුණාංග කදිමට හෙළි කරයි. අපේ රටේද මෙවන් සිදුවීම් සිදුවූ කාලවලදී පාලන වගකීම් දරුවන්ගේ හෘදය සාක්ෂිය ප්‍රමාදවී හෝ අවදි කරවීමට මේ ප්‍රකාශය හේතුවේවායි ප්‍රාර්ථනා කරන්නට මම කැමැත්තෙමි.

ජස්ටින් ට්රූඩෝ තම ප්‍රකාශයේදී මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පැහැදිලිව අවධාරණය කර සිටියේය. මෙය සුදු ජාතිකයන් අතින් සිදුවූ ප්‍රහාරයක් වුවද මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසින් හැඳින්වීමට හෙතෙම පසුබට නොවීය.

ඔහු මේ ප්‍රකාශය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මෙවැනිම ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමෙන් අනතුරුව එම සතිය තුළදීමය.

ඇත්තෙන්ම ජස්ටින් ට්රූඩෝ තරුණ කැනේඩියානු අගමැතිවරයා බලයට පත්ව කෙටි කාලය තුළදී කරන ලද ක්‍රියාවන්, කථාවන් සහ හැසිරීම් ඇමෙරිකාවේ සහ ලොව සියලු රටවල ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ට මෙන්ම අපේ රටේ දේශපාලන වගකිව යුත්තන්ට ද ලබා දෙන්න් කදිම ආදර්ශයකි.

“ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදී ඇති විධායක නියෝග හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිව ඇමෙරිකානු ගුවන් තොටුපළවල කොටුවූ මුස්ලිම් රටවල සංක්‍රමණිකයන් භාර ගැන්මට කැනඩාව සූදානම්. යුද ගැටුම්වලට මැදිවී අසරණව, උන්හිටි තැන් අහිමිව තම මවුබිම හැර පැමිණි මේ වැසියන් තවත් අසරණ බවට පත්වීම පෙනි පෙනී කිසිවක් නොකර බලා සිටීමට මට හෝ මගේ රජයට පුළුවන් කමක් නැහැ.”

මේ දෙවන උපුටා ගැන්මද ජස්ටින් ට්රූඩෝගේ ප්‍රකාශයකිනි.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තහංචිවලට ලක්ව ඇති රටවල් බොහොමයක ජනතාව සරණාගතයන් බවට පත්ව ඇත්තේද ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් ඒ රටවල සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵල ලෙසිනි. මේ පසුබිම තුළ මේ අසරණ ජනතාව පිළිබඳ කටයුතු කිරීමේ වගකීම කැනඩාවට වඩා ඇමෙරිකාව වෙත පවතී.

එවැනි පසුබිමක ජස්ටින් ට්රූඩෝගේ මෙම මානව හිතවාදී හැසිරීමත් 60 දශකයේ කැනඩාවට නායකත්වය දුන් ලොව පුරා ජනතා ආදරය දිනා සිටි ඔහුගේ පියතුමන් වන පියරේ ට්රූඩෝ අග්‍රාමාත්‍යවරයා පිළිබඳ ආදරණීය මතකයන් අපට සිහිගන්වයි.

මෙම දේශපාලනමය වැදගත්කම ඇති ට්රූඩෝගේ සංවේදී ප්‍රකාශනයනට අමතරව ලොව ටෙනිස් ක්ෂේත්‍රයේ සිදු කරන ලද ප්‍රකාශයන් දෙකක් ද ඔබ වෙත උපුටා දැක්වීම වැදගත් යැයි මම කල්පනා කළෙමි.

පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති ලෝක ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් වටය පැවැත්වුවේ රෆායල් නඩාල් (Rafael Nadal) සහ රොජර් ෆෙඩරේර් (Roger Federer) අතරය.

මේ දෙදෙනා මෙයට පෙර 35 වතාවක් තරග වැදී ඇති අතර ඉන් 23 වතාවක්ම ජය ලබා ඇත්තේ නඩාල්ය.

ෆෙඩරේර් ජය ලබා ඇත්තේ 12 වතාවකි. මාස 06ක් තිස්සේ අනතුරකින් තුවාල ලබා රෝගීව ලෙඩ ඇ‍ඳේ සිට යළි පිටියට බට ෆෙඩරේර් මෙවර ලෝක ශූරතාව සඳහා වන අවසන් වටයෙන් නඩාල්ව පරාජය කර දැමූ අතර, 1968 න් පසු ලෝක ටෙනිස් ශූරතාව දිනූ වැඩි මහලුම පුද්ගලයා ලෙස ඔහු ටෙනිස් ඉතිහාසයට එක්වේ.

තරගය ජයගැන්මෙන් පසු ජයග්‍රාහී කුසලානය භාරගනිමින් ෆෙඩරේර් මෙසේ කියා සිටියේය.

“ටෙනිස් යනු දැඩි පීඩනයක් ගෙන දෙන ක්‍රීඩාවක්. මෙහි දී ජය පරාජයකින් තොරව තරගය අවසන්වීමක් සිදුවන්නේ නැහැ.

එසේම එය එසේ සිදුවිය හැකිනම්, එය අද රාත්‍රියේදී නඩාල් සමඟ වූ තරගය එසේ වීම මම සතුටින් භාර ගන්නවා. කරුණාකර දිගටම ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන්න. නඩාල් ටෙනිස් ක්‍රීඩාවට ඔබ අවශ්‍යම කෙනෙක්.”

ක්‍රීඩාවේදී පමණක් නොව සෑම ක්ෂේත්‍රයකදීම ජය පරාජය භුක්ති විඳිය යුතු අයුරු ගැන කදිම පාඩමක් ලොවට කියා දෙමින් ෆෙඩරේර් මෙසේ පවසා තිබුණා.

ඉතා තියුණු තරගයකින් පසුව පරාජය ලැබූ නඩාල් මෙසේ කියා සිටියා.

“මෙපමණ කලක් අසනීපව සිටීමෙන් අනතුරුව පිටියට පැමිණි ඔහු අද ක්‍රීඩා කළ අයුරු ඇත්තෙන්ම විස්මය ජනකයි. සත්තකින්ම ඔබ මේ තත්ත්වය ලබාගන්නට ගොඩක් වෙහෙස වී තිබෙනවා. ඇත්තෙන්ම ඔබ ගැන මට ගොඩක් සතුටුයි.

මමත් ගොඩක් මහන්සි වුණා මේ තත්වයට එන්නට. ඒත් ඔබ මට වඩා මේ ජය ලබාගන්නට සුදුසු තත්වයක් ඇති කරගත්තා. මම ඔබට සුභ පතනවා. මම නැවත වඩාත් හොඳ තත්වයකින් තරග කරන්නට මහන්සි ගන්නවා. උත්සාහ ගන්නවා.”

ජයග්‍රහණය සහ පරාජය ඉදිරියේ හැසිරීම ගැන මේ දෙදෙනාගෙන් ලැබිය හැකි පාඩම නම් ඉහළ වටිනාකමක් ඇත්තක්.

 

Comments