බො‍රෝබුදුර් ඉන්දුනීසියාවේ සංකේතය | Page 2 | සිළුමිණ

බො‍රෝබුදුර් ඉන්දුනීසියාවේ සංකේතය

බොරෝබුදුර් වනාහි මහායාන බෞද්ධ සම්ප්‍රදායය අනුව ඉදි කැරුණු ආරාමයෙකි‍. එය සමචතුරස්‍රාකාර ව, මණ්ඩල ආකාරයෙන් ඉදි කරනු ලැබ ඇත. මෙය තල හෙවත් මට්ටම් තුනෙකින් සමන්විතය. ඒ

කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙනි. මේ විශ්වය

පිළිබඳ මහායාන දර්ශනය අනුව කරන ලද නිර්මාණයෙකි.

කාම ධාතු යන්නෙන් තෘෂ්ණාව හෙවත් ආශාව නිරූපණය වේ.

යමෙක් ඉන්දුනීසියාවේ, එහි දු යෝග්යකර්තාවේ හෙවත් ජෝග්ජාහි සංචාරය කෙරේ ද ඔහුට ලෝකයේ අතිවිශිෂ්ට නිර්මාණ දෙකක් දැක්මේ භාග්‍යය ලැබෙන්නේ ය. එකක් බොරෝබුදුර් ස්තූපය යි, එය ඇතුළත් ගොඩනැඟිලි පෙදෙසයි. අනෙක පරම්බනන් දේවාලය සහිත පෙදෙස යි.

‍ඉන්දුනීසියාව වනාහි සංස්කෘතික කෝෂ්ඨාගාරයෙකි. ඒ අතරින් සෙවණැලි රූකඩ, ගැමි නළු, ගැටේලන් සංගීතය ආදිය කලින් විමැසුමට ලක් විය. එ සියල්ල එසේ තිබිය දී, ඉන්දුනීසියාවේ සංස්කෘතියෙන් ලෝකයට කැරුණු සුවිශිෂ්ට සම්ප්‍රදානය වනුයේ මේ බොරෝබුදුර් විහාරය බව පොදුවේ පිළිගැනේ. එය ඉන්දුනීසියානු විශිෂ්ටත්වයේ සංකේතයයි.

බෝරෝබුදුර් ඉදිකරනු ලැබ ඇත්තේ කිතු වසින් 825 දී හෝ ඒ ආසන්න කාලයෙක දී හෝ යැයි සැලැකේ. ඒ ජාවාහි ශෛලේන්ද්‍ර රාජ සමයය යි. පරම්බනන් දේවාලයය ද මේ හා ළඟ කලෙක දී නිමැවුණු සේ සැලැකේ. බොරෝබුදුර් පිහිටා ඇත්තේ යෝග්යක‍ර්තාවේ හෙවත් ජෝග්ජාති මැගේලන් පෙදෙසෙහි ය. ප්‍රෝගෝ (Progo), එලෝ (Elo) යන ගංගා මෙ පෙදෙස මැදි කොට ගලා බසී. මෙරපි (Merapi) ගිනි කන්ද පිහිටියේ ද මේ ආසන්නයේ ය.

12 – 14 සියවස්හි දී ජාවාහි දේශපාලන බලය කේන්ද්‍රය නැඟෙනහිර ජාවා ප්‍රදේශයට මාරු වීමත් සමඟ බොරෝබුදුර් ආරාමය අනුක්‍රමයෙන් වන වැදුණු බව පෙනේ. මෙරපි ගිනිකන්ද පුපුරා එහි ලාවා අළුවලින් එය මුළුමනින් වැසී ගොස් පසුව වනයේ ආක්‍රමණයට හසු වූ බව ද කියැවේ. කෙසේ වතු දු සියවස් හතරක් හෝ පහක් හෝ පුරා මෙ බන්දක් ඇතැයි ද නො දන්නා ලදී. එහෙයින් මෙය සොබාදහමේ ම සැඟව පැවැතී ඇත.

මෙය නැවැත හෙළිදරවු කොට ලොවට හඳුන්වාදෙන ලද්දේ 1814 දී පමණ ජාවාහි බ්‍රිතාන්‍ය පාලකයා වැ සිටි ශ්‍රීමත් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් (Stamford Raffles) විසිනි. පසු කලෙක සිංගප්පූරුව සොයා ගැනීමෙන් ද කීර්තියට පත් ව‍ූයේ මෙ‍ තෙමේ ය. වනයෙන් වැසී ගිය සුවිශාල බෞද්ධ ආරාමයක් මේ පෙදෙසේ ඇතැයි ඔහුට ජනප්‍රවාදයෙන් හෙවත් පරම්පරාගත කථා මඟින් දැනගන්නට ලැබිණ. ඒ ඔස්සේ රැෆ්ල්ස් කළ ගවේෂණයෙහි ප්‍රතිඵල වශයෙන් මේ මහා බෞද්ධ ආර‍ාමය ලෝකයට හෙළි පෙහෙළි විය. එහෙත් එය මුළුමනින් පාදා ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්ෂණය කිරීම සියවස් එක හමාරකට ද වැඩි කලක් පුරා සිදු ‍කැරුණු අතිභාර කාර්යයක්. ඉතා බරපතළ කටයුත්තක් විය.

‍ෙබාරෝබුදුර් යළි පාදාගැන්මේ පළමු පියවර රැෆ්ල්ස් විසින් 1815 දී තබන ලදී. කම්කරුවෝ දෙසිය දෙනෙක් දින 45 ක් පුරා වෙහෙසවී මහ වනය සිඳ බිඳ දමා ආරාමයේ නටබුන් යන්තම් පාදාගත් හ. 1885 දී ආරාමයේ පාදමින් සොයා ගැනුණු, සංස්කෘත භාෂාවෙන් ලියැවුණු සටහන්වල අක්ෂර අනුව මෙහි කාල නිර්මාණය කැරිණ. මෙය ශෛලේන්ද්‍ර රාජ සමයයට අයත් යැයි නිගමනය කැරු‍ෙණ් ඒ අනුව ය.

1907 දී ව‍ෑන් අර්ප් (Van Erp) නම් ලන්දේසි ජාතිකයා යටතේ ඇරැඹි 1911 දී අවසන් කැරුණු කැණීම් මඟින් ආරාම භූමිය විශාල කොටසක් පාදාගත හැකි විය. මෙහිදී මහා වැ පෙනීගිය කරුණක් නම් මෙහි ඉදිකිරීම් මුල් ‍තතුවෙන් බොහෝ වෙනස් වැ, ශෛලමය නිර්මාණ විසිරී පැවැති අයුරුයි. කලක් මෙසේ පැවැති පසු 1956 දී යුනෙස්කෝ ආයතනය විසින් මෙය සංරක්ෂණය කිරීම පිණිස බෙල්ජියම් විශේෂඥයෙක් එවන ලදී.‍ ඔහුගේ අදහස වූයේ ආරාමය යටින් ඇති කන්ද ඛාදනය වෙමින් පවත්නා බැවින් ආරාමයෙහි පාදම ද කඩා වැටිය හැකි බවයි. තවද, මේ කන්ද මෙතෙක් ස්වාභාවික එකකැයි සිතා සිටිය ද එබන්දක් නොවන බව ද හෙළිදරවු විය.

යුනෙස්කෝ ආයතනයෙහි ප‍ූර්ණ අනුග්‍රහයෙන් 1968 සිට 1983 තෙක් සිදු කැරුණු අතිවිශාල ව්‍යාපෘතියක් වශයෙන් බො‍රෝ බුදුර් ආරාම ප්‍රදේශය ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්ෂණය කරන ලදී. 1991 දී යු‍ෙනස්කෝව විසින් ලෝක උරුමයක් වශයෙන් මෙය නම් කරන ලදී.

බොරෝබුදුර් වනාහි මහායාන බෞද්ධ සම්ප්‍රදායය අනුව ඉදි කැරුණු ආරාමයෙකි‍. එය සමචතුරස්‍රාකාර ව, මණ්ඩල ආකාරයෙන් ඉදි කරනු ලැබ ඇත. මෙය තල හෙවත් මට්ටම් තුනෙකින් සමන්විතය. ඒ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙනි. මේ විශ්වය පිළිබඳ මහායාන දර්ශනය අනුව කරන ලද නිර්මාණයෙකි. කාම ධාතු යන්නෙන් තෘෂ්ණාව හෙවත් ආශාව නිරූපණය වේ. එය යට ම කොටස ලෙස යොදා ඇත්තේ එහෙයිනි. සත්ත්වයා සංසාරයෙහි සැරිසරනුයේ මේ තෘෂ්ණාව නිසායි. දෙවන තලය වන රූප ධාතු යන්නෙන් රූපාත්මක හෙවත් භෞතික ලෝක - ඉන්ද්‍රිය ප්‍රත්‍යත්වයට ගෝචර වන ලෝකය - හැඳින්වේ. ඉහළ ම තලය වන අරූපධාතු යන්නෙන් ශූන්‍යතාව හෙවත් නිර්මාණය අදහස් කැරේ.

මේ කොටස් ද ඇතුළත් වන පරිදි මාලක හෙවත් මළු දහයෙකින් බොරෝබුදුර් ආරාමය සමන්විත ය.‍ ඒ මහායානා ධර්මයෙහි එන ප්‍රමුදිත, විමල ප්‍රභාකාරී, ආර්චිස්මතී, සුදුර්ජය, අභිමුත්ති, දුරංගම, අචල සාධුමතී, ධර්මමේඝ යන දශය මූර්තිමත් කරන්නකැයි ද සැලැකේ.

බොරෝබුදුර් නරඹන්නට සැලැකිය යුතු මුදලක් අය කැරෙන්නේ වුව ද එහි සිටින බලය ලත් මාර්ගෝපදේශකයකු ගේ සේවාව ද එයට ඇතුළත් වන්නේ ය. අප ගේ මාර්ගෝපදේශකයා ව‍ු තෘෂ්ණා (Thrishna) මහතා වඩාත් සිත්ගන්නා සුලු අයුරෙකින් යථෝක්ත කොටස් තුන හැඳින්වීය. එ නම් කාම ධාතු යනු ශරීරය ද, රූපධාතු යනු හදවත ද අරූපධාතු යනු මනස ද යනුවෙනි. සමස්ත විශ්වය ම මනුෂ්‍යයා වෙතියි යන දර්ශනය එහි ගැබ්වැ ඇත්තේ නොවේ ද?

රූපධාතු කොටසෙහි බිත්තිවල ගෞතම බුද්ධ චරිතය කැටයම් කරනු ලැබ ඇත. එයට මූලාශ්‍රය වී ඇත්තේ සංස්කෘත බුද්ධ චරිත කාව්‍යයක් වන ‘ලලිත විස්තරය’ යි. සිද්ධාර්ථ කු‍මාරෝත්පත්තියේ සිට බුද්ධත්වය තෙක් සිදුවීම් අතිශය මනෝහර ලෙස මෙහි කැටයම් කොට ඇත්තේ ය. ඒ කැටයම් ඉතා සියුම් ය. ලාවණය ගුණයෙන් යුතු ය.

ඇතැම් ජාතක කථා ද මෙහි කැටයම් අතර දක්නා ලැබේ. ආර්යශූරයන් ගේ ‘ජාතක කලා’ වැනි පොත්හි ආභාසය එහි ලා දැක්ක හැකි ය. අතීත ජාවා (ඉන්දුනීසියා) ජන ජීවිතය ද මේ කැටයම්වලට ජීවය දී ඇතැයි කියැවේ. රූප ධාතු කොටසෙහි බුද්ධ ප්‍රතිමා රාශියක් වෙයි‍. එය 432 ක් යැ යි පැවැසේ. මේ ධ්‍යාන බුද්ධ ප්‍රතිමා අතර අත්ෂෝභය, රත්න සම්භව, අමිතාභ, අමෝස සිද්ධි, වෛරෝචන යන මහායාන බුදුවරුන් ගේ ප්‍රතිමා දක්නා ලැබේ. මේ ප්‍රතිමා නිර්මිත වැ ඇත්තේ මුද්‍රා කිහිපයෙකින් යුක්ත වැ බව පෙනේ‍. එ නම් භූමි ස්පර්ශ මුද්‍රාව, වරද මුද්‍රාව, සමාධි මුද්‍රාව, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව යනුයි.

මහා ස්තූපය සහිත අරූපධාතු කොටසේ කුඩා ස්තූප තුළ ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතු බුදු පිළිම 72 ක් දක්නා ලැබේ. මේ කොටසේ වූ සේ සැලැකෙන අධිබුද්ධ නම් මහා ප්‍රතිමාව බෝරෝබුදුර් කටුගෙයි තැන්පත් කොට ඇත.

දැන් හුදු පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වන නමුදු ඇතැමුන් ගේ අදහස නම් මෙහි අරූපධාතු හෙවත් ‘නේවසඤ්ඤා නාසඤ්ඤා’ කොටසට ගොස් තුන් වරක් යමක් ප්‍රාර්ථනා කළ කල්හි එය ඉටු වන බවයි. එහෙයින් මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් එ සේ කරති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.

ශ්‍රීනාත් ගණේවත්ත 

Comments