අධ්‍යාපනය ද භාණ්ඩයකි | Page 2 | සිළුමිණ

අධ්‍යාපනය ද භාණ්ඩයකි

වර්තමානය වන විට කළමනාකරණය, වෛද්‍ය විද්‍යාව, විද්‍යාව, නීතිය, ඉංජිනේරු විද්‍යාව යනාදී සෑම අංශයකම අධ්‍යාපනය මිලක් ගෙවා ලබාගත හැකි පහසුකම සැලසී තිබේ. රාජ්‍ය අංශය විශ්වවිද්‍යාල සංඛ්‍යාව මෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව ද වැඩි කරමින් සුබසාධන භාණ්ඩයක් ලෙස අධ්‍යාපනය නිපදවන අතර පෞද්ගලික අංශය ද වෙ‍ෙළඳ භාණ්ඩයක් ලෙස අධ්‍යාපනය නිපදවීමේ නියුක්තව සිටී. වෙනත් රටවල මෙන්ම අපේ රටේද අධ්‍යාපනය නමැති භාණ්ඩය රජය විසින් ද පෞද්ගලික අංශය විසින් ද නොඅඩුව නිපදවනු ලබයි.

මිනිස් අවශ්‍යතා ඉබේ පිරිනොමැසෙන විට එම අවශ්‍යතා පිරිමසා දෙන භාණ්ඩ හා සේවාවන්වලට ඉල්ලුමක් නිර්මාණය වේ. ඔක්සිජන් හා උණුසුම පිළිබඳ අවශ්‍යතාව ඉබේ සපිරෙන බැවින් ඒ සඳහා ඉල්ලුමක් නිර්මාණය වී නැත. එදිනෙදා ජීවිතයේ දී කිසිවකු මුදලක් ගෙවා වාතය හා හිරු එළිය ලබාගැනීමට නොපෙලඹී සිටීම නිසා ඒවා භාණ්ඩ වශයෙන් නොසැලකේ. ආර්ථිකයේ භාණ්ඩ/සේවා නිෂ්පාදනය කරනුයේ ඊට ඇති ඉල්ලුම මතය. මුදල් ගෙවා ද නොගෙවා ද ඉල්ලුම් කළ හැකිය. මුදල් නොගෙවා ඉල්ලුම් කිරීමට නම් රජය සුබසාධන අරමුණින් ඒවා නිපදවිය යුතු අතර ඒවා සැපයුමෙහි සීමාවන් පැවතිය හැකිය. මුදල් ගෙවා ඉල්ලුම් කරන භාණ්ඩ රජය හෝ පෞද්ගලික අංශය විසින් නිපවනු ලබන අතර ඒවායෙහි සැපයුම් සීමාකම් සාමාන්‍යයෙන් දැකිය නොහැකිය.

ආර්ථිකයක් තුළ භාණ්ඩ/සේවා නිෂ්පාදනය කිරීමේ පදනම වන්නේ ඉල්ලුමයි. එක්කෝ රජය මගින් හෝ පෞද්ගලික අංශය විසින් භාණ්ඩ/සේවා නිෂ්පාදනය කරයි. රජය භාණ්ඩ/සේවා නිෂ්පාදනය කිරීමේ දී සුබසාධනය හෝ ලාභය අපේක්ෂා කරයි. ලාභය අපේක්ෂා කරන විට ඒවා වෙළඳපළෙහි විකුණනු ලබයි. සුබසාධනය පිණිස නිපදවීමේ දී ඒ සඳහා දැරිය යුතු පිරිවැය පියවා ගන්නේ මහජනයා මත බදු බර පටවා ඔවුන් සූරා කෑමෙනි. බදු අයකර ගැනීමට රජයට බලයක් තිබෙන බැවින් රජයට එසේ නිෂ්පාදන පිරිවැය පියවා ගත හැකිය.එහෙත් පෞද්ගලික අංශය නිෂ්පාදන පිරිවැය පියවාගන්නේ සිය නිෂ්පාදන වෙළෙඳප‍ෙළහි අලෙවි කොට උපායගනුලබන ආදායමෙනි. මහජනයා මත බදු බර පටවා නිෂ්පාදන වියදම පියවා ගත නොහැකි බැවිනි. ඒ අනුව සුබසාධනය පිණිස සිදුකරනු ලබන රජයේ නිෂ්පාදන කටයුතු මහජන පීඩාවක් ගෙනදෙන අතර පෞද්ගලික අංශයේ නිෂ්පාදන ක්‍රියාවලිය මහජන පීඩාවක් ගෙනදෙන්නේ නැත. කුමක් කවුරුන් විසින් කොපමණ නිපදවිය යුතු ද යන්න තීරණය වන්නේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මතය. ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරනුයේ ඒ ඒ අවස්ථාවට උචිත පරිදි මහජන අවශ්‍යතා පොදුවේ සැලකිල්ලට ගෙනය.

ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමට පෙර පැවැති පිරිවෙන් හා පන්සල් ආශ්‍රිත අධ්‍යාපනය නොමිලේ ලැබුණු නමුදු එහි ප්‍රයෝජනය ලැබුණේ අතළොස්සකට පමණි. එම අධ්‍යාපනය ද නොමිලේ ලැබුණු බව පිළිගැනීම සාවද්‍ය වේ. ඒ මක් නිසාද යත් එසේ අධ්‍යාපනය ලද පිරිස් ඒ වෙනුවෙන් පන්සල්වලට නොයෙක් ආධාර උපකාර කරන ලද බැවිනි. ඉංග්‍රීසි අධ්‍යාපනය සුභසාධන භාණ්ඩයක මෙන්ම වෙ‍ෙළඳ භාණ්ඩයක ස්වරුපය ගත්තේ මුදල් ගෙවා මෙන්ම නොගෙවා ද පාසල් අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩකඩ සලසා දී තිබුණු බැවිනි. එහෙත් වෛද්‍ය හා නීති විද්‍යාල පවත්වාගෙන ගියේ මුදල් අයකරගනිමිනි. පී. රත්නායක, කන්නන්ගර යනාදීන් විසින් අධ්‍යාපනය නොමිලේ ලබාදීම සඳහා ගෙන එන ලද යෝජනා ඔස්සේ අධ්‍යාපනයේ මහත් ප්‍රතිසංස්කරණ හටගැනිණි. ඉන් අපේක්ෂා කරන ලද්දේ මිලක් ගෙවීමට නොහැකි පිරිස්වලට ද අධ්‍යාපන හිමිකම ලබා දීමය. එසේ වුවද එදා පටන්ම අධ්‍යාපනය පෞද්ගලිකව නිපදවීම සඳහා ඇතැම් පාසල් පැවතියේය.

විවෘත ආර්ථික පිළිවෙත හඳුන්වා දීමෙන් පසුව ජාත්‍යන්තර පාසල් ක්‍රමයක් පැනනැගුණු අතර ඒ මගින් එංගලන්තයේ විභාග සඳහා පෙනී සිටීමට අවකාශ සැලසිණි. එම විද්‍යාල විසින් ද අධ්‍යාපනය නිපදවා ඊට මිලක් අයකර ගනු ලැබේ. එපමණකුදු නොව ටියුෂන් පන්ති ක්‍රමයක් 1980 ගණන්වල පටන් ආරම්භ වූ අතර එය ද මිල ගෙවා ලබාගත යුතු විය. වර්තමානය වන විට කළමනාකරණය, වෛද්‍ය විද්‍යාව, විද්‍යාව, නීතිය, ඉංජිනේරු විද්‍යාව යනාදී සෑම අංශයකම අධ්‍යාපනය මිලක් ගෙවා ලබාගත හැකි පහසුකම සැලසී තිබේ. රාජ්‍ය අංශය විශ්වවිද්‍යාල සංඛ්‍යාව මෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව ද වැඩි කරමින් සුබසාධන භාණ්ඩයක් ලෙස අධ්‍යාපනය නිපදවන අතර පෞද්ගලික අංශය ද වෙ‍ෙළඳ භාණ්ඩයක් ලෙස අධ්‍යාපනය නිපදවීමේ නියුක්තව සිටී. වෙනත් රටවල මෙන්ම අපේ රටේද අධ්‍යාපනය නමැති භාණ්ඩය රජය විසින් ද පෞද්ගලික අංශය විසින් ද නොඅඩුව නිපදවනු ලබයි.

අධ්‍යාපන නිදහස වනාහි නිදහස් අධ්‍යාපනයට වඩා පුළුල් විෂය ක්ෂේත්‍රයකි. නිදහස් අධ්‍යාපනය යනු රජයේ (මහජනයාගේ) වියදමින් අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව වේ. අධ්‍යාපන නිදහස යනු කුමන තරාතිරමක, කුමන වයසක පුද්ගලයෙකුට වුව අවශ්‍ය පරිදි අධ්‍යාපනයක් ලබාගැනීමේ හිමිකම වේ. ඒ අනුව නිදහස් අධ්‍යාපනය කිසිවෙකුගේ හිමිකමක් නොව වරප්‍රසාදයක් පමණි. එහෙත් අධ්‍යාපන නිදහස යනු මහජන අයිතියකි. එම අයිතිය යම් තරමකින්වත් සාක්ෂාත් කර දෙනු වස් මහජන වියදමින් නිදහස් අධ්‍යාපනය ලබා දීමට රජය ක්‍රියා කරයි. මිනිසාට අධ්‍යාපන නිදහස ලබා දීම රජයේත් සමාජයේත් මූලික වගකීමක් වේ. ඒ මක් නිසාද යත්, සමාජ ප්‍රගමනය රඳා පවතින්නේ එම සමාජයේ අධ්‍යාපන අවස්ථා පුළුල් වන තරමට වන බැවිනි. අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීම හෝ නොගෙවීම තීරණය වන්නේ අධ්‍යාපනය නමැති භාණ්ඩය නිපදවන්නේ රජය විසින් ද පෞද්ගලික අංශය විසින්ද යන කාරණය මතය. මුදල් ගෙවා හෝ නොගෙවා අධ්‍යානපනය ලැබීමේ අයිතියට බාධා කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නොමැති අතර එසේ බාධා කිරීම සමාජ ද්‍රෝහී ක්‍රියාවකි. අප රටේ නිදහස් අධ්‍යානපනයේ පියවරුන් මියගිය පසු නිදහස් අධ්‍යාපනයේ බාප්පලා රොත්තක් බිහිවිය. ඔවුන්ගෙන් ඇතැමුන් අධ්‍යාපනයවත් දේශපාලනයවත් නිසි ලෙස නොදත් මිනී මැරීම න්‍යාය කොටගත් කොට්ඨාසයකි. නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල නෙළා ගැනීමට නොහැකි වූ ඔවුන් අධ්‍යාපනය ඔවුන්ගේ අභිමතය පරිදි සකස්කිරීමට ක්‍රියාකරයි. අධ්‍යාපන නිදහසට බාධාකිරීම මිනීමැරීම තරම්ම අකුසල කර්මයක් බව තේරුම් ගැනීමට තරම්වත් ඔවුන් අබුද්ධිකය.

වෛද්‍ය වෘත්තීය පුරාණයේ පටන් පැවත එන වැදගත් වෘත්තියකි. වෛද්‍ය සේවය එකල සුබසාධන භාණ්ඩයක් ලෙස පැවති බැවින් මහත් පිළිගැනීමක් විය. රෝගී භාවයට පත්වන මිනිසා මොහොතක් හෝ වැඩිපුර ජීවත්වීමට තිබෙන ආසාව මෙන්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට ඇති ආසාව හේතුකොට ගෙන වෛද්‍ය වෘත්තියට මහත් පිළිගැනීමක් ලැබේ. ඒ අනුව ජීවිතයේ වටිනාකම කොපමණ ද යන්න ඒ ඒ පුද්ගලයාට දැනෙන තරම අනුව වෛද්‍ය සේවාවෙහි වටිනාකම ද වෙනස් වේ. දුප්පතුන් නොමිලේ ලැබෙන අඩු වෛද්‍ය පහසුකම් ද ධනවතුන් හා බලවතුන් මුදල් ගෙවා වැඩි වෛද්‍ය පහසුකම් ද ලබාගන්නේ එබැවිනි. නුතන සමාජයේ වෛද්‍ය වෘත්තීය පරපුරෙන් පැවත එන්නක් නොව අධ්‍යාපනය මතින් පැනනැගෙන වෘත්තියකි. එබැවින් වෛද්‍ය වෘත්තියට පිවිසීමට සුදුසුකම් ලැබීමට ඕනෑම පුද්ගලයෙකුට අවකාශ තිබිය යුතුය.

සමාජයේ පැවැත්මට වෛද්‍ය වෘත්තිය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. වෛද්‍ය වෘත්තිය යනු දහසක් වෘත්තීන් අතර එක වෘත්තියක් පමණි. ගොවියා සිය වෘත්තීය නොකරයි නම් ආහාර හිඟයෙන් වෛද්‍යවරු ඇතුළු සියලු ජනයා මරණයට පත්වෙති. එහි දී අවසාන වශයෙන් ජීවත් වන්නේ ගොවියාය. ඉන්ජිනේරුවා, කළමනාකරුවා, කම්කරුවා, ගුරුවරයා, කසළ ශෝධකයා, නාටාමි, ගෘහ සේවකයන්, ඇඟලුම් සේවකයන්, වතු කම්කරුවන්, නක්ෂත්‍රකරුවන් ඇතුළු සියලු දෙනාට ද වෙද්‍යවරුන්ට මෙන්ම වැදගත් කාර්ය භාරයක් පැවරී තිබේ.

වෛද්‍යවරුන්ට වැටුප් ලැබෙන්නේ ද චැනල් ගාස්තු ලැබෙන්නේ ද එම වෘත්තීන්වලින් උපයනු ලබන ධනය කරණකොට ගෙනය. ඔවුන් වැඩ වරයි නම් මුළු සමාජ ක්‍රමයම බිඳවැටේ. වෛද්‍යවරුන්ට ද ඉන් ගැලවීමක් නැත. ඒ අනුව වෛද්‍ය වෘත්තියට ලැබෙන්නේ නිරපේක්ෂ‍ වටිනාකමක් නොව සාපේක්ෂ වටිනාකමකි. සුබසාධන භාණ්ඩ හෝ වේවා වෙළෙඳ භාණ්ඩ හෝ වේවා භාණ්ඩ සැපයීමේ හැකියාව මත සමාජයක ප්‍රගතිය තීරණය වේ. වෛද්‍ය උපාධිය නමැති භාණ්ඩය වැඩිවැඩියෙන් සපයනු ලබන රටවල තත්වය ද ඉහළ ගොස් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. වෛද්‍ය වෘත්තිය සෞඛ්‍ය කර්මාන්තය හා බැඳී පවතී. ජපානය, ජර්මනිය, ඇමෙරිකාව, ප්‍රංසය යනාදී රටවල් පමණක් නොව ඉන්දියාව සම්බන්ධයෙන් වුව ද දැවැන්ත ‍ෙසෟඛ්‍ය කර්මාන්තයක් බිහිවී තිබෙනු දැකිය හැකිය.

(ඉතිරි කොටස ලබන සතියේ)

 මහාචාර්ය මිල්ටන් රාජරත්න 

 

Comments