
භාරතය විසින් ලෝකයට ප්‍රදානය කැරුණු විශිෂ්ටත්වයේ සංකේත බොහෝ ය. මහාභාරතය හා රාමායණය එයිනුදු විශේෂ වේ. වීර කාව්‍ය ගණයෙහි ලා ගැනෙන මෙ දෙක අතුරින් මහාභාරතය ලෝකයේ මෙ තෙක් ලියැවී ඇති දීර්ඝතම වීර කාව්‍යය ලෙස සැලැකේ. එහි ශ්ලෝක ප්‍රමාණය ලක්ෂය ද ඉක්මවයි. එ නම් ඉලියඩ් හා ඔඩිසි මෙන් දස ගුණයකි. මේ කාව්‍ය සැලැකිය හැක්කේ සාහිත්‍යයට පමණක් නො ව, සමස්ත මානව ශිෂ්ටාචාරයට කරන ලද අගනා සම්ප්‍රදානයක් වශයෙනි. මහා භාරතයත් රාමායණයත් භාරතීය ජීවිතයේ ප්‍රාණවායුව සම වෙයි. ඔවුන් ගේ ආගමයන් එය මූලික කැරගත් සංස්කෘතියක් මතු නො ව, සමස්ත ජීවිතය ම ගොඩ නැඟී ඇත්තේ මේ කාවය, විශේෂයෙන් මහා භාරතය, පදනම් කැරගෙන යැ යි කීම වැරැදි නො වේ. උපතේ සිට මරණය තෙක් භාරතීය ජීවිතයේ සියලු අවස්ථාවල මෙහි බලපෑම ඉතා දැඩි වැ දක්නා ලැබේ.
මහා භාරතය වනාහි ක්‍රිස්තු පූර්ව 400 පමණ කාලයේ සිට අනුක්‍රමයෙන් වර්ධනය වී ගුප්ත රාජ සමයයේ දී, එනම් ක්‍රි.ව. 4 වන සියවසේ දී පමණ ලේඛනගත වූවකැ යි සැලැකේ.
ඇතැම් වියතුන් ගේ මතය අනුව නම් මෙයට පසුබිම් වන්නේ වේද යුගයේ මුල් කල වූ වීර කාව්‍යයෙකි. කෙසේ වුව ද මහා භාරතය ගැන මුල් ම සඳහන ලැබෙන්නේ මහර්ෂි පාණිනී: අගේ අෂ්ටධ්‍යායී ව්‍යාකරණයෙනි.
මෙයි අන්තර්ගතය හස්තිනාපු පාලනය අරබයා කළ කුරු - පාණ්ඩව යුද්ධය ද ඒ හා සබැඳි පසුබිම් තොරතුරුවලිනුදු සමන්විත වේ. වඩා වැදැගත් වනුයේ එහි ඇතුළත් සදාචාරය, ධර්මය, ආගමය පිළිබඳ දාර්ශනික කාරණා යි යුද්ධය හා ධර්මය පිළිබඳ ව සමස්ත මානව සංහතියට ම අදාළ වූ සර්වකාලීන අගයෙන් හොබනා ඒ දර්ශනය භාරතීය සංස්කෘතිය මුළුමනින් වසා සිටින සුවිසල් සෙවණැල්ලක් වැනිය. හින්දු ආගමයේ අත්පොත වන ‘භගවද්ගීතාව’ ද ඇතුළත් වැ ඇත්තේ මහා භාරතයෙහි ය. එහි ආගමික අගයෙහි පරමෝත්තම භාවය ඉනුදු මනා වැ පෙනේ.
රාමායණය ද එ බඳු ම වීර කාව්‍යයෙකි. යට දැක්වුණු පරිදි මහා භාරතයේ සංක්ෂිප්ත වැ දැක්වෙන කථාවක් විදහාලමින් ශ්ලෝක විසිහතර දහසෙකින් පරිමිත කොට වාල්මීකීන් විසින් රචිත එය කාණ්ඩ සතෙකින් ද සර්ග පස්නියයෙකින් ද සමන්විත ය. මෙහි චරිත පරමාදර්ශ ලෙස සලකන භාරතීයයෝ මෙය පරම සත්‍ය කථාවක් සේ ද සලකති. ඔවුනට මෙය සාහිත්‍ය කෘතියක් නොව සිය ජීවිතයෙහි ම කොටසෙකි. ලංකාධිපති රාවණයන් පරම දුෂ්ටයකු, රාක්ෂස රාජයකු ලෙස දක්නා ඔවුන් දැනුදු ‘දුස්රා’ නමින් උත්සවයක් පවත්වා රාවණ ප්‍රතිරූපයක් ගිනි දෙවියාට පුද දී සැතැපෙන බව කියැවේ.
රාමායණ කථාවට ලංකාව ද සම්බන්ධ ය. එහෙයින් මේ රට දු එ ගැන මහත් අවධානයක් පවතී. විශේෂයෙන් රාවණා චරිතය පිළිබඳ මතිමතාන්තර පවතී. ලෝක සාහිත්‍යයට ලංකාවෙන් පිරිනැමෙන තිළිණයක් බඳු ‘ජානකීහරණය’ වැනි මහා කාව්‍යයක් මහා කවි කුමාරදාසයන් අතින් බිහි වූයේ රාමායණ කථාව අතීතයේ දී පවා මෙ රට එ තරම් ප්‍රචලිත වැ පැවැති හෙයිනි. අද නම් රාවණා චරිතය ඇතැමුනට කෙළි බඩුවක් වී ඇති සෙයෙකුදු පෙනේ.
තම තමන් ගේ අවශ්‍යතාව අනුව ඔහු එය අර්ථකථනය කරති.
ඉන්දියාව, ලංකාව වැනි රටවලින් බැහැර ව ද මේ වීර කාව්‍යවල බලපෑම පැතිර පවත්නා බව කියතුදු එය සැබැවින් ම දක්නට ලැබුණේ ඉන්දුනීසියාවේ අප කළ සංචාරයේ දී ය. ඉන්දුනීසියා සංස්කෘතිය ද මේ මහාභාරත, රාමායණ වීර කාව්‍ය සමඟ අවියෝජනීය ලෙස ප්‍රතිබද්ධ වැ පවතී.
විශේෂයෙන් ම, ඉන්දුනීසියා කලාව මේ වීර කාව්‍ය පදනම් කොට පවත්නා බවක් දක්නට ලැබිණ. පෙර ලිපියෙක දැක්වුණු පරිදි ඉන්දුනීසියාවේ රූකඩ කලාව සඳහා පාදක වන්නේ මේ වීර කාව්‍ය යුගයය යි. රාමායණයේ රාම, සීතා, ලක්ෂ්මණ, හනුමාන්, සුග්‍රීවන් වැනි චරිත රූකඩ මඟින් දක්වනු ලැබේ. සම්පූර්ණ රාමායණ කථාව රූකඩ මඟින් දැක්වේ. මහා භාරතයේ චරිත වන පංච පාණ්ඩවයන් - අර්ජුන, භීම, යුධිෂ්ඨිර, නකුල, සගදේව - දුර්යෝධන ආදි කෞරවයන්, භීෂ්ම, කුත්ති, ධ්‍රැතරාෂ්ට්‍ර ආදීන් රූකඩවලින් නිර්මාණය ැර ඇති සැටි ද එ බඳු රූකඩ නිමවන අයුරු ද දක්නා ලැබිණ.
මේ වීර කාව්‍ය මෙ රට විවිධ නාමකීය ආකාරයෙන් රඟදක්වනු ලැබේ. මුද්‍රා නාටකය එහි ලා විශේෂ වේ. 1961 සිට ඉන්දුනීසියාවේ අඛණ්ඩ වැ හැම වසරෙක ම පවත්වන රාමායණ මුද්‍රා නාටකය ලෝකයේ අඛණ්ඩ, දීර්ඝතම වේදිකා රංගයක් වශයෙන් ගිනස් පොතට ද ඇතුළු වැ ඇතැ යි කියැවේ.
ඉන්දුනීසියාවේ ඇතැමුනට ඇත්තේ ‘මහා භාරත උන්මාදයකැ’ යි කිය යුතුය. 2014 දී නැඟෙනහිර ජකර්තාවේ තමන් මිනිහි පැවැති මහාභාරත සජීව සන්දර්ශනයෙහි (Maha reality show) අර්ජුන චරිතය රඟ දැක්වූයේ භාරතයෙන් පැමිණි ෂහීර් ෂේක් නම් නළුවා ය. මෙය අතිමහත් ජන සහභාගිත්වයක් ලැබූ ප්‍රසංගයෙකි.
කලාවේ පමණක් නො ව සාමාන්‍ය ජන ජීවිතයේ පවා මේ වීර කාව්‍ය බලපෑම දැඩි ලෙස දක්නා ලැබේ. අප රටෙහි නම් මහ මං අයිනේ, තුන් මංසල්හි, සිවුමංසල්හි තනා ඇත්තේ නූතන පුද්ගල ප්‍රතිමා ය. එ නමුදු ඉන්දුනීසියාවේ අප දුටු බොහෝ එබඳු තන්හි මූල්‍ය මහා භාරත, රාමායණ කථාවලට අයත් අවස්ථා හෝ පුද්ගලයන් හෝ දක්වන ප්‍රතිමාව ය. එ ද ඉතා සියුම් ලෙස, සවිස්තර වැ, මනහර ලෙසින් අඹනු ලැබ තිබිණ. එ බඳු නිර්මාණ කරන්නට මහත් කාලයක් ද පරිශ්‍රමයක් ද නිසැක ව ම අවශ්‍ය වනු ඇත. බාලි දූපතේ උලුවටු දෙවොලේ (Uluwatu temple) ඇතුළු වන තැන ම අප දුටු සුවිශාල ශ්වේතවර්ෂ කුම්භකර්ණ ප්‍රතිමාව ද රාමායණ කථාව සිහියට නැංවී ය.
මෙ පමණක් නො ව, ඉන්දුනීසියාවේ ඇතැම් විට සුවිසල් වෙළෙඳහල් ආදිය පවා රාමායණ - මහා භාරත චරිතවලින් නම් කරනු ලැබීමෙන් තවමත් ජනතාව එ කෙරෙහි දක්වන සැලැකිල්ල මැනැවින් පෙනේ.
මෙහි සාමාන්‍යයෙන් නූගත් යැ යි සිතිය හැක්කනුදු මේ වීර කාව්‍ය පිළිබඳ වැ මනා සේ දන්නා අයුරු දක්නා ලැබිණ. අයුං ගඟේ පාරු ගමනකට ගිය විට එහි පාරු පදවන්නා වූ අලිහන්ද්රි නම් තැනැත්තා පවා මේ වීර කාව්‍ය - විශේෂයෙන් රාමායණය - පිළිබඳ ව බොහෝ තොරතුරු පවසන්නට වීම පුදුමය දැනැවී ය. ඔහු එසේ රාමායණය ගැන කතා කෙළේ අප ලංකාවෙන් පැමිණි බව දැනගත් හෙයිනි. ලංකාවත් රාමායණයත් අතර සබඳතාව ද හේ මැනැවින් දැන සිටියේ ය.
බාලි දූපත - හින්දු බහුතර ජනයාගෙන් සමන්විත ය. එ හෙයින් එහි මේ හින්දු වීර කාව්‍ය තව මත් මෙ තරම් ජනප්‍රිය වැ පැවැතීම පුදුමයක් නො වේ. එහෙත් යෝග්‍යකර්තා, සූරතර්තා (සොලෝ) ආදි අනෙක් ඉන්දුනීසියා ප්‍රදේශ අතිමහත් වූ මුස්ලිම් බහුතර ජනයා ගෙන් සමන්විත ය. එ බඳු පෙදෙස්හි පවා මේ හින්දු වීර කාව්‍ය මෙ තරම් ජනප්‍රිය ව තිබීම එක් අතෙකින් පුදුමයට කරුණෙකි. රාමායණ මුද්‍රා නාටකයේ නළුවකු වන අලි නූර් සොත්ය, (Ali Nur Sothya) පවසන පරිදි “අපි මුස්ලිම් පමණක් ම නො වෙමු. අපි ජාවා වැසියෝ වෙමු. එ හෙයින් අපි බෞද්ධ හා හින්දු කථා ද උගනිමු.”
පරපුරෙන් පරපුරට පැවැත එන සංස්කෘතිය යනු කො තරම් බලසම්පන්න වූවන් ද, ජාති ආගම භාෂා භේද ඉක්මවා යන්නක් ද යනු එයින් මැනැවින් පෙනේ.