
ලෝරා ගටීරේස් බවර්, 1964 ඔක්තෝබර් මාසයේදී බොලීවියාවට පැමිණියාය. ඇය ජනශ්‍රැති විෂය පිළිබඳ විශේෂඥවරියකි. සිය වෘත්තියටම ගැළපෙන විද්වත් ප්‍රභූ පෙනුමකින් යුතු ලෝරා ඕනෑම කෙනෙකුගේ සිත් ඇද ගන්නා සුළු මිත්‍රශීලී චරිතයක් වූවාය. ආකර්ෂණීය පෞරුෂයකට උරුමකම් කී ඇය සතුව තිබූ ගුප්ත අනුරාගී බැල්ම මේ සියල්ලට වඩා කැපී පෙනිණ, එහි බලපෑම කෙතරම්ද යත්, බොලීවියානු ඉහළ විද්වත් සමාජයේ ජනප්‍රිය චරිතයක් වන්නට ඇයට වැඩි කාලයක් ගත නොවීය. ඊටත් වඩා වැඩි වේගයකින් බොලීවියානු රජයේ ඉහළම පෙළේ නිලධාරීන් සමඟ ඉතා බලවත් සමීප සබඳතා ඇති කර ගන්නට ඈ සමත් වූවාය. මේ සබඳතා කෙතරම් දුරදිග ගියේද කිවහොත් බොලීවියානු ජනාධිපති රෙනේ බැරියෙන්ටොෂ්ගේ අති විශේෂ පෞද්ගලික මිතුරියක බවට පත් වූ ඇය වරෙක ඔහු සමඟ නිවාඩුවක් ගත කිරීමට පේරු රටටද ගියාය.
මේ අතරතුර ඉතා සංයමයෙන් තම පර්යේෂණ කටයුතුවල නිරත වූ ඇය බොලීවියානු ජන සංගීතය ආශ්‍රිතව ඉතාම වටිනා තොරතුරු සම්භාරයක් රැස්කර ගැනීමට සමත් වූයේ තම වෘත්තිය නිපුණත්වය මොනවට විදහා පෙන්වමිනි. බොලීවියාව ලෝරාටද, ලෝරා බොලීවියාවටද වශී විය. තරුණයකු සමඟ පෙමින් බැඳුණු ඇය ඔහු සමඟ විවාහ වී බොලීවියාවේ පුරවැසිභාවයද ලබා ගත්තාය. ඔවුහු ඉතාම උණුසුම් ෙප්‍ර්මණීය ජීවිතයක් ආරම්භ කළෝය.
එහෙත් ලෝරා පදිංචිව සිටි නිෙවසේ බිත්ති ඇතුළත රේඩියෝ සංඥා උපකරණ සඟවා තිබිණ. එම උපකරණ මගින් කියුබාවේ රාජ්‍ය නායකයා වූ පිදෙල් කැස්ත්‍රෝට පමණක් නොව ‘චේ’ ගුවේරා වෙතද රහසිගත සංඥා යැවිණ. තම නිවෙසේ ආදරයෙන් වෙළී සිටින පෙම්වත් යුවළට නිතර නිතර බාධා කෙළේ ඔවුන්ට සේවය සැපයූ ගුවන් විදුලි සමාගමේ කාර්මික ශිල්පීන්ය. නිවෙසට ඇතුළුවන ඔවුහූ, ඔවුන්ටම පමණක් වැටහෙන තාක්ෂණික වචන කියමින් අලුත්වැඩියා කටයුතු සිදු කළෝය. ඒ ‘‘තාක්ෂණික වදන්’ ඇත්තෙන්ම කුමන අරුතක් දෙන්නේ දැයි ඔවුන් පවා දැන සිටියේ නැත. ඒ වචනවල නියම අරුත දැන සිටියේ බොලීවියාවේ නම් එකම එක් අයෙක් පමණී. මෙසේ ගුවන් විදුලි සමාගමේ සේවකයන් බව අගවමින් ලෝරාගේ නිවෙසට පැමිණියේ ‘චේ’ ගුවේරා ගේ ඔත්තුකරුවන්ය. සන්නද්ධ අරගලයක් මගින් බොලීවියාවේ බලය ලබාගෙන සමාජවාදී පාලනයක් බිහි කිරීමට මේ කාලයේදී ‘චේ’ මූලික අධ්‍යයනයක් කරමින් සිටියේය.
ජනශ්‍රැති පර්යේෂිකාවක ලෙස ලෝරා නිතරම පාහේ බොලීවියාවේ ඈත ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් ජන ගී, ජන කවි, සහ ගීත ප්‍රස්තාර එකතු කිරීමට පුරුදුව සිටියාය. මේ අතර දිනක් ඇය නන්චෝෂි ප්‍රදේශයට ගියාය. එක්තරා නිවෙසක් ඉදිරිපිට තම රථය ගාල් කළ ලෝරා පා ගමනින් අතුරු මාර්ගයක ගමන් ගත්තාය. අමතක වීමකින් ඈ තම සටහන් පොත රථයේම දමා ගොස් තිබුණේය. ඒ අමතක වීම සුළු පටු අමතක වීමක් නොවුණේ ලෝරා ගටීරේස් බවර් නම් ජනශ්‍රැති පර්යේෂිකාවගේ සැබෑ වතගොත එම සටහන් පොත තුළින් එළියට පැනීම නිසාය. ඇය කියුබානු රජයේ සහ විශේෂයෙන්ම ‘චේ’ ගේ අති විශේෂ ඔත්තුකාරියක බව බොලීවියන් බලධාරීන් විසින් අනාවරණය කර ගනු ලැබිණ. එහෙත් ඊට පෙර ලෝරා තමා පිළිබඳව නූල්පටකවත් සාක්ෂියක් ඉතිරි නොකර අතුරුදන් වූවාය.
හයිදි ටමාරා බන්කෙ බයිඩර් 1937 නොවැම්බර් මස 19 දා ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හි උපන්නාය. එරික් බන්කේ, සහ නාඩියා බයිඩර් ඇගේ දෙමාපියෝ ය. එරික් ජර්මන් ජාතික කොමියුනිස්ට්වාදියෙකු වූ අතර නාඩියා පෝලන්ත ජාතික කාන්තාවක් වූවාය. නාසිවාදීන් ජර්මනියේ බලය පතුරන විට මේ දෙදෙනා ආර්ජන්ටිනාවට පලා ආවෝය. ඒ 1933 දීය. බන්කෙ මලල ක්‍රීඩාවට මෙන්ම ඉගෙනුමට ඉතා දක්ෂ වූවාය. ඇය දකුණු ඇමෙරිකානු ජන සංගීතයට ඉමහත් ලෙස ඇලූම් කළාය. කෙසේ වෙතත් ඇය ඇතුළු පවුලේ සාමාජිකයෝ 1952 දී නැගෙනහිර ජර්මනිය බලා පිටත්ව ගියෝය.
බන්කෙ ඉතා තරුණ වියෙහි සිටියදීත් ඇයට ඉතා චතුර ලෙස රුසියන්, ස්පාඤ්ඤ, ජර්මන් සහ ඉංග‍්‍රීසි යන භාෂා කතා කිරීමේ හැකියාව තිබිණ. මෙය විදේශ රටවලදී ඇය ඉහළ ඇගයීමකට ලක් වූ අති විශේෂ හැකියාවක් විය.1960 වන විට බන්කේ ගේ වයස අවුරුදු 23 කි. මේ කාලයේ දී කියුබානු වෙළෙඳ දූත කණ්ඩායමක් සමඟ ‘චේ’ නැගෙනහිර ජර්මනියට පැමිණි අතර ඔවුන්ගේ භාෂා පරිවර්තිකාව වූයේ බන්කේය. ඇය කොහොමටත් ‘චේ’ තම ලෝකයේ වීරයා ලෙස අදහමින් සිටියාය.
කියුබානු විප්ලවයේ අත්දැකීම් අධ්‍යයනය කිරීම සඳහා ඇය 1961 දී කියුබාවට පැමිණියාය. මුලින්ම ඇය ස්වේච්ඡා සේවිකාවක ලෙස ග්‍රාමීය ප්‍රදේශවල ඉගැන්වීම, ගොඩනැගිලි සහ පාසල් සංවර්ධනය වැනි කටයුතුවල යෙදුණාය. මැය ඉතා දක්ෂ ලෙස වැඩ කරන ආකාරය බලධාරීන් ගේ නිරීක්ෂණයට ලක් විය. එහි ප්‍රතිඵලයක් වූයේ වඩාත් බරපතළ රාජකාරී ඈ වෙත බාර වීමයි. බන්කේ තමා වෙත කැඳවාගත් ‘චේ’ ඇය ඩේරියල් රමිරේස්ට බාර දුන්නේය. අවි ආයුද පරිහරණය කරන ආකාරය පමණක් නොව රහස් පණිවිඩ හුවමාරුව, රහස් සංකේත මගින් පණිවිඩ සකස් කිරීම ඇතුළු තවත් බොහෝ දේ ඇයට පුරුදු පුහුණු කරන ලෙස බෙනිග්නෝට නියම කෙරිණ. මේ විශේෂ පුහුණු කාලයේ දී ඇගේ නම ටානියා ලෙස වෙනස් කෙරිණ. බෙනිග්නෝ වරෙක ටානියා පිළිබඳව ‘චේ’ ට යැවූ පණිවිඩයක මෙසේ දැක්වෙයි.
‘‘.....ඇය ඉතා විනීතයි, හොඳටම ලස්සනයි, කරුණාවන්තයි, නමුත් ඒ වගේම කිසිසේත්ම යටත් නොවන කෙල්ලක්.......’’
තම දුෂ්කර පුහුණු කාලය අතරතුරු ලැබෙන ඉතා කෙටි විවේකයේදී ඇය ආර්ජන්ටිනියානු ජන ගී ගායනා කරමින් අන් අයටද මිහිරක් ගෙන දුන්නාය. ඉතාම සමාජශීලී යුවතියක වූ ටානියා ඕනෑම කෙනෙකු සමඟ ඉතා පහසුවෙන් මිතුරු වීමේ කලාවද මැනවින් දැන සිටියාය. ‘චේ’ කල්පනා කෙළේ මේ නම් විදේශ රටකින් කියුබාවට ලැබුණු තවත් අනර්ඝ තෑග්ගක් ලෙසිනි.
1964 ඔක්තෝබර් මාසයේ දී ලෝරා ගටීරේස් බවර් නම් ජනශ‍්‍රැති පර්යේෂිකාව ලෙස ඇය බොලීවියාවට සැපත් වන්නේ, මාර්තා ලිරියේට්, හයිදි ගොන්සාලේස්, සහ විටෝරියා පන්සිනි ආදී නාමයන්ගෙන් පෙනී සිටිමින් රටවල් ගණනාවකට විවිධ පුරවැසිභාවයන් පෙන්වමින් රහස් තොරතුරු සෙවීමෙන් පසුවය. ටානියා බොලීවියාට එන විටත් ‘චේ’ අනුගාමිකයෝ සුළු පිරිසක් නාගරිකව සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් සිටියහ. එහෙත් ටානියාට පැවරී තිබුණේ බොලීවියානු රජයේ ඉහළම පෙළේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී දේශපාලන හා මිලිටරිමය රහස් සොයා ගැනීමය. ඇය එය කෙතරම් ශූර ලෙස ඉටු කළාද කිවහොත් ඉතා කෙටි කලකදී බොලීවියානු ජනාධිපතිවරයාගේ අතිශය සමීප පෞද්ගලික මිතුරියක බවට පත් වූවාය.
කෙසේ වෙතත් අත් වැරදීමක් හේතුවෙන් තමා හෙළිදරවූ වීමෙන් අනතුරුව ටානියා ආයුද සන්නද්ධ ගරිල්ලා ක්‍රියාකාරකම්වලට සම්බන්ධවෙමින් බොලීවියාවේ වනගත රහසිගත ජීවිතය ආරම්භ කළාය. මෙහිදී උණ රෝග, සහ දරුණු පරපෝෂිත ආක්‍රමණයකටද ගොදුරු වූ ඇය වරෙක පාදයේ තුවාලයක් හේතුවෙන්ද පීඩා වින්ඳාය. පසු කලෙක ‘චේ’ බොලීවියාවට පැමිණි අතර එම සටනේදී ඔහු සමඟම එකට එක්ව සටන් කළ එකම කාන්තාව ලෙස ටානියා ඉතිහාසයට එක් වූයේ තම ජීවිතයද පූජා කරමිනි. කෙසේ වෙතත් ‘චේ’ ට පෙර ටානියා ජීවිතයෙන් සමුගත්තාය.
1967 අගෝස්තු 31 දා සවස 5.20 ට පමණ ටානියාගේ නායකත්වයෙන් ගරිල්ලා කණ්ඩායමක් බොලීවියාවේ රියොග‍්‍රාන්ඩේ ගංගාව තරණය කරමින් සිටියේය. සී.අයි.ඒ. සංවිධානය මෙවර සාර්ථකව ක්‍රියා කරමින් ටානියා පසුපස හඹා යමින් සිටියේය. ඔවුන් එම තොරතුරු බොලීවියානු රජයේ හමුදාව වෙත ලබාදුන් අතර ටානියා කෙසේ හෝ විනාශ කළ යුතු බවට දැඩි බලපෑමක් ද එල්ල කෙළේය. ටානියා සහ පිරිස එන ගමන් මාර්ගය ඔස්සේ ඔවුන්ගේ මාරයාද ගමන් ගනිමින් සිටියේය. ග‍්‍රාන්ඩේ ගංගාව අසල දී එම ක්ෂණික මාරක ප්‍රහාරය දියත් කෙරිණ. ඇගේ අතට සහ ළයට වෙඩි ප්‍රහාරය එල්ල විය. ඈ සමඟ ගරිල්ලා භටයෝ අට දෙනෙක් ද මරුමුවට පත්වූහ. මේ වන විට ඊට තරමක් ආසන්නයේ වනගත ප්‍රදේශයක ‘චේ’ තවත් කණ්ඩායමක් සමඟ සටනකට සූදානම් වෙමින් සිටී අතර ටානියා ගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය ඔහු විශ්වාස කෙළේ නැත. එය බොලීවියානු හමුදාව විසින් ගරිල්ලන්ගේ චිත්ත ධෛර්ය බිඳ දැමීම සඳහා ගෙන යන ප්‍රචාරක උපක්‍රමයක් යැයි ඔහු සැක කෙළේය.
පසුව පිදෙල් කැස්ත්‍රෝ ටානියාගේ මරණය තහවුරු කර ගත් විගසම ඇය වෙත විප්ලවීය උත්තමාචාරය පළ කෙළේ, 'ටානියා ලා ගරිල්ලා' යන නාමය ප්‍රදානය කරමිනි. ඇය කියුබන් විප්ලවයේ වීරවරියක ලෙස නම් කෙරිණ. එහෙත් බොලීවියානු හමුදාව, ඇගේ මළ සිරුරෙන් පවා පළිගන්නා බවක් දක්නට විය. ඔවුන් ටානියාගේ මළ සිරුර සොයා ගත් බව නිවේදනය කෙළේ දින කිහිපයකට පසුව, සැප්තැම්බර් 06 දාය. ඒ වන විට මළ සිරුර පිරන්හා මත්ස්‍යයන් අතින් විරූප වී තිබිණ. බොලීවියානු ජනාධිපති බැරියෙන්ටොස්ටද එකී මළ සිරුර දැකීමට තදබල වුවමනාවක් තිබිණ. කාන්තාවක ලෙස ක්‍රිස්තියානි ආගමික පිළිවෙත් අනුව ඇය මිහිදන් කළ යුතු බවට නැගුණු කාන්තා හඬ යටපත් කිරීමට මේ උපාය ක්‍රියාවට නැගූ බව කියවේ. කෙසේ වෙතත් ඇගේ මළ සිරුර මිහිදන් කෙරුණේ රහසිගත ස්ථානයකය.
ටානියා හෙවත් හයිදි තමාරා බන්කෙ තම පෞද්ගලික දින පොතේ අවසන් වැකිය ලියා තිබුණේ 1966 අගෝස්තු 31 දාතම යොදමිනි. හරියටම ඊට වසරකට පසුව ඇගේ මරණය සිදුවිය. ඇගේ අවසන් වැකිය මෙසේ විය.
‘‘....යම් දිනෙක මගේ නම අමතකව ගියහොත්, මා මේ මහ පොළාවට ඉතිරි කර ගිය දෙයක් නැත.’’