මාස 7ට පරිසර පැමිණිලි 1, 690යි - විසඳුම් 79% | Page 18 | සිළුමිණ

මාස 7ට පරිසර පැමිණිලි 1, 690යි - විසඳුම් 79%

මේ වසර ආරම්භයේ සිට ජූලි මස 31 වැනිදා දක්වා ගත වූ මාස 7 තුළ පරිසර ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 1,690ක් ලැබී ඇති බවත් මේ වන විට එයින් 79%කට පමණ විසඳුම් ලබා දී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ සිළුමිණට පැවසීය.

එම පැමිණිලි අතරෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කර්මාන්ත ආශ්‍රිතව වන අතර, එයින් ලී මඩු, වඩු මඩු සහ ගරාජ් ආදී කර්මාන්තවලින් සිදු වන පරිසර දූෂණය සම්බන්ධ පැමිණිලි මුල් තැනක් ගන්නා බවත් පොලිතින් සහ ප්ලාස්ටික් එළිමහනේ පිලිස්සීම, ප්‍රජා ඝෝෂා, කැණීම් සහ කැලෑ එළිකිරීම් සම්බන්ධයෙන්ද සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන බවත් හෙතෙම හෙළි කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ 1981 ක්ෂණික ඇමතුම් අංකයට සහ වෙඩ් අඩවියට දිනකට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවති.

ඒ අතරෙන් තම අධිකාරියට ඍජුව සම්බන්ධ නොවන පැමිණිලි අදාළ ආයතන වෙත යොමු කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඍජුව තම අධිකාරියට සම්බන්ධ පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරිය මඟින් විමර්ශනය කර විසඳුම් ලබා දෙන බවත් අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ පෙන්වා දුන්නේය.

Comments