පෞද්ගලික තේ වත්තක් දකුණම අඳුරට තල්ලු කළ හැටි | Page 4 | සිළුමිණ

පෞද්ගලික තේ වත්තක් දකුණම අඳුරට තල්ලු කළ හැටි

දිනෙන් දින වැඩිවන මේ විදුලිය ඉල්ලුම සපුරා ලන්නට පවත්නා විදුලිය බලය ප්‍රමාණවත් නොවේ. එම නිසා අලුතෙන් අවශ්‍ය වන විදුලිය බලය සපුරාලන්නට මෙන්ම විදුලිය පාරිභෝගිකයන්ගේ වැඩිවන අවශ්‍යතා සපුරාලන්නට විදුලි බලය උත්පාදනය වැඩි කළ යුතුය. එසේම ජනනය කෙරෙන විදුලි බලාගාරවල සිට ඒ ඒ ප්‍රදේශ කරා ගෙන යාමට වරින් වර සම්ප්‍රේෂණ කුලුනු ඉදි කළ යුතුය. සම්ප්‍රේෂණ අධි බල රැහැන් ඒ කුලුනු උඩින් ගෙන යා යුතුය.

එසේ සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ විදුලිය බලය රැගෙන යාමේදී අනුගමනය කරනු ලබන ආරක්ෂිත ක්‍රමවේද මෙන්ම ප්‍රතිපත්ති රැසක් විදුලි බල මණ්ඩලය සතුව ඇත.

දකුණු පළාතටම අවශ්‍ය වන විදුලිය බලය එසේ ලබා දෙන්නට ලක්ෂපාන පහළ ජනන බල පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා අධි බල විදුලි රැහැන් ඇදීමට යෝජනා වූයේ මීට දශකයකට පමණ පෙරය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේය. පොල්පිටිය සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 150ක දිගකින් යුත් මෙරට දීර්ඝතම දුරක් විදුලිය බලය රැගෙන යන සම්ප්‍රේෂණ මාර්ගය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඒ වොට් 220,000 අධිබල විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයක් ලෙසිනි.

එමඟින් දකුණු පළාතේ විදුලිය අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම විසඳීමට සැලසුම් සකස් කෙරිණි. එම සම්ප්‍රේෂණ මාර්ගයේ අධි බල කණු සිටුවා විදුලි රැහැන් ඇදීම ක්‍රමයෙන් සිදු කරගෙන යන ලදී. ඒ උදෙසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් හරහා අධි බල රැහැන් ඇදීමට සිදු විය. ආසියානු බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මේ විදුලි බල යෝජනා ක්‍රමයට විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු ආයතන එක්ව කටයුතු කරන ලදී. ඒ අනුව අදාළ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා අවශ්‍ය තැන්හිදී දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ වෙනුවෙන් ඇප කැපවී අවශ්‍ය කටයුතු සම්පාදනය කර පෞද්ගලික ඉඩම් උඩින් රැහැන් ගෙන යාමේදී අවශ්‍ය වන්දි කඩිනමින් ගෙවා සම්ප්‍රේෂණ රැහැන් ඇදීම සිදු කරන ලදී.

කිලෝමීටර් 150ක දුරකින් යුක්ත මාර්ගයේ රැහැන් ඇදීම කඩිනම් කරනු පිණිස පොල්පිටිය සිට එක් රැහැන් පද්ධතියක් හා හම්බන්තොට සිට තවත් රැහැන් පද්ධතියක් රැගෙන එන ලදී.

ඒ අනුව කිලෝමීටර් 150ක දුරින් යුත් රැහැන් පද්ධතියේ කිලෝමීටර් 143.5ක දුරක් අධි බල රැහැන් සම්ප්‍රේෂණ විදුලි කනු සිටුවා රැහැන් ඇද අවසන් කළ ද අතර මැද මීටර් 650ක දුරක් රැහැන් ඇදීමට ආ විරෝධයක් නිසා එම වැඩ කටයුතු මුළුමනින්ම ඇණ හිටියේය.

මීටර් 650කට අඩු දුරක් එසේ විදුලිය රැහැන් ඇදීමට බාධා මතු වූයේ පෞද්ගලික තේ වත්තක් උඩින් රැහැන් ගෙන යාමට අදාළ ඉඩම් හිමිකාරියකගේ විරුද්ධත්වය නිසාය. පසුව ඒ වෙනුවෙන් අදාළ ආටිගල පරපුරේ බව පවසන ඉඩම් හිමිකාරිය සමඟ සාකච්ඡා ආරම්භ කළේ 2018 වසරේ සිටය. එම භූමිය සිවු දෙනකුට අයත් බව පැවසෙන අතර ආටිගල පරපුරට අයත් බව කියන මේ භූමිය සම්බන්ධ සාකච්ඡා කිරීමට ඔවුන් සමඟ ගනුදෙනු කිරීම සාමාන්‍ය නිලධාරියකුට පවා කළ නොහැකි තත්ත්වයක පවතී.

තේ වත්තේ හිමිකාරිය පළමුව පැවසුවේ තමන්ට වන්දි කිසිවක් අවශ්‍ය නොවන බවත් රැහැන් ඇදීම ඉඩම මතින් සිදු නොකර වෙනත් ප්‍රදේශ හරහා ඇදීම කරන ලෙසයි. එසේ කළ නොහැකිද? අපි ඒ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන්ගෙන් අදහස් සොයා බැලුවෙමු.

අධි බල රැහැන් හරහා විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේදී අනුගමනය කරනු ලබන හා ප්‍රමිතිගත ක්‍රමවේද රැසක් තිබේ. ඇතැම් ප්‍රතිපත්ති සැකසී ඇත්තේ අන්තර්ජාතික ක්‍රමවේදයන් අනුවය. ඒ අනුව අධි බල රැහැන් සම්ප්‍රේෂණ පද්ධතියක් එසේ අවශ්‍ය පරිදි වෙනස් මාර්ගවලින් යැවීමට නොහැකිය.

ආරක්ෂිත හා ප්‍රමිතිගත ක්‍රමවේද අනුව හා ප්‍රායෝගික ක්‍රමවේද අනුව මිස අධිබල සම්ප්‍රේෂණ මාර්ගයක් වෙනස් කළ නොහැකිය. අධිවේගී මාර්ගයක් අංශක 90කින් මාර්ගය හැරවීමට නොහැක්කාක් සේ අධිබල සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ද එසේ වෙනස් කළ නොහැකිය. ඒවා වෙනස් කළ හැක්කේ අදාළ ප්‍රමිතියට අනුව පමණකි.

ඒ අනුව පොල්පිටිය සිට හම්බන්තොට දක්වා ඇදී යන මේ රැහැන් මාර්ගයට අදාළ තේ වත්ත හරහා යාම හැර වෙනත් විකල්පයක් නැත.

ඒ බව අදාළ පාර්ශ්වයට ඒත්තු ගැන්වීමෙන් පසුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ‘එසේනම් තේ වත්තේ මායිමෙන්ම පමණක් රැහැන් ඇදීම කරන‘ලෙසයි. එය ද අප පෙර පැවසූ පරිදි කළ හැක්කක් නොවේ. විදුලිය බලය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඔස්සේ සම්ප්‍රේෂණය කළ යුත්තේ ආරක්ෂිතව මෙන්ම විදුලිය බලය අපතේ නොයා අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමටය.

එමෙන්ම විදුලි බල මණ්ඩලය විසින් අධිබල රැහැන් ඇදීමේදී අනුගමනය කරනු ලබන ආරක්ෂිත හා ප්‍රතිපත්ති ක්‍රමවේද මෙහිදී සලකා බැලිය යුතුය.

ඉන් පළමු වැන්න නිවාසයන්ට ඉහළින් අධිබල සම්ප්‍රේෂණ රැහැන් ගෙන යාම හැකි උපරිම ලෙස වළක්වා ගැනීමය.

දෙවැන්න වන්නේ පාසල් හා ක්‍රීඩාංගණවලට ඉහළින් එම සම්ප්‍රේෂණ අධිබල රැහැන් ගෙන යාම ඉතාම අවම ලෙසට පත් කිරීමය. පාසල් දරුවන් වැඩි වශයෙන් ගැවසෙන නිසා මේ පියවර ගෙන තිබේ.

තුන්වැනිව රෝහල්වලට ඉහළින් සම්ප්‍රේෂණ අධිබල රැහැන් ගෙන යෑම ද ඉතාම අවම මට්ටමකින් තබා ගැනීමය.

මේ දක්වා අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීමේදී විදුලි බල මණ්ඩලය විසින් 99%කටත් වැඩි වශයෙන් පාසල් හා රෝහල් වලින් යාම වළක්වාගෙන තිබේ.

එසේ නම් මේ අධිබල සම්ප්‍රේෂණ රැහැන් ගෙන යාමට වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ කුමන භූමීන්ද?

ඉන් පළමු වැන්න ලෙස විදුලි බල මණ්ඩලය සලකන්නේ කුඹුරු ඉඩම්ය. කුඹුරු ඉඩම් මතින් රැහැන් ඇදීමේදී අදාළ කුඹුරු හිමියන්ට සැලසෙන්නේ වාසියක් මිස අවැඩක් නොවේ. ඒ අදාළ කුඹුරු මතින් එම රැහැන් ඇදීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන්ට කරනු ලබන ගෙවීම් නිසාය. කුඹුරු ඉඩම්වලින් එම රැහැන් ඇදීමේදී ගස් කොළන් කපා ඉවත් කිරීමට ද සිදු නොවේ.

දෙවැනි භූමිය වන්නේ තේ වතුය. තේ වතු හරහා ද අධි බල සම්ප්‍රේෂණ රැහැන් ගෙන යාමේදීද කුඹුරු ඉඩම් උඩින් රැහැන් ගෙන යාමේ ක්‍රමවේදයම සිදු වේ. එයින්ද අදාළ වතු හිමියන්ට වාසියක් සිදු වන අතර විදුලි බල මණ්ඩලයේ සේවාව ද සලසා ගත හැකිය.

තුන්වෙනුව අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීමේදී අවධානය යොමු කරන්නේ උක් වගා භූමීන් කෙරෙහිය. පොල්පිටිය සිට හම්බන්තොට දක්වා වන මේ අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීමේදී සෙවණගල උක් වගා බිම් හරහා එම රැහැන් ගෙන ගොස් තිබේ. එම උක් වගාබිම් හිමිකරුවන් ඉතා කැමැත්තෙන් තම වගා බිම් හරහා අධිබල රැහැන් ගෙන යාමට අනුමැතිය ලබා දී ඒ වෙනුවෙන් අදාළ මුදල් ද ලබා ගෙන තිබේ.

එමෙන්ම කෙසෙල් වගා භූමි වෙත ද මෙවන් ව්‍යාපෘතිවලදී අවධානය යොමු කෙරේ. මේ ලෙසින් අධිබල සම්ප්‍රේෂණ විදුලි රැහැන් ඇදීමේදී සම්මත මෙන්ම ප්‍රමිතිගත නිර්ණායක රැසක් තිබේ. නිරතුරුවම විදුලි බල මණ්ඩලය කටයුතු කරන්නේ ඒ නිර්ණායක අනුවය.

එවන් වගා බිම් හරහා අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීම යනු ඇත්තෙන්ම වගාබිම් හිමිකරුවන්ට මෙන්ම මණ්ඩලයට ද ලැබෙන ප්‍රසාද දීමනාවකි. ඒ විදුලි බල මණ්ඩලයට ගොඩනැගිලි හෝ වෙනත් වටිනා ගස් වෙනුවෙන් වෙනම මුදල් ගෙවීමට සිදු නොවීමත්, භුමිය හිමිකරුට තම වගා සිදුකරන අතරතුර අමතරව වන්දි මුදලක් ද ලැබීමත්ය.

අපගේ මාතෘකාව බවට පත් වූ පොල්පිටිය සිට හම්බන්තොට දක්වා වන අධිබල සම්ප්‍රේෂණ රැහැන් ගෙන යාමට බාධා වූ තේ වත්ත පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වේවැල්වත්ත පාරේ ගොස් හමුවන සිරිපාගම, පලාබද්දල ප්‍රදේශයේය. එක් පසෙකින් කළු ගඟට ආසන්නයේ ස්ථාපිත කානිවත්ත නම් වන මේ අක්කර 200ක පමණ භූමි භාගයකින් යුක්ත තේ වත්ත හරහා අධිබල සම්ප්‍රේෂණ රැහැන් ගෙන යාමට හිමිකාරියගේ විරෝධතාවය නිසා මේ වන විට අදාළ විදුලි බල ව්‍යාපෘතියේ කටයුතු 2018 වසරේ සිට මුළුමණින්ම ඇණ හිට තිබේ.

මේ තේ වත්ත දෙස විමසා බැලීමේදී පෙනී ගියේ එක් පසෙක පමණක් තේ වගා කළ අනෙක් පැත්තේ සම්පූර්ණයෙන්ම ලඳු කැලෑවලින් වැසී ගිය භූමියක් බවයි.

කානිවත්ත නම් මේ තේ වත්තට යාබඳ තේ වත්තේ හිමිකරු මේ ව්‍යාපෘතිය ගැන සැල කළ වහාම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ඒ භූමියට ඉහළින් අදාළ අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට තම අනුමැතිය ලබා දී තිබේ. එසේම ඒ තේ වත්තට ඉහළින් මේ වන විට රැහැන් ඇද අවසන්ය.

අදළ ඉඩමට උඩින් රැහැන් ගෙන යන්නේ නම් රුපියල් ලක්ෂ 400ක වන්දි මුදලක් ඉල්ලා ඇත. එහෙත් රජයේ තක්සේරු වන්දිය වී ඇත්තේ රුපියල් ලක්ෂ 16ක් පමණකි. එය පෞද්ගලික තක්සේරුකරුවන්ගේ වන්දි මුදලට ඒ හා ආසන්න මුදලක් වන්නේය.

එවන් තත්ත්වයක් මත රුපියල් ලක්ෂ 400ක වන්දියක් ලබා දීමට කිසිසේත්ම හැකියාවක් තිබී නැත. එම නිසා මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වය සමඟ විදුලි බල මණ්ඩලය සාකච්ඡා වට 5ක් පවත්වා ඇති නමුත් එහිදී අදාළ පාර්ශ්වය නම්‍යශීලී නොවීම නිසා ඒ සාකච්ඡා අසාර්ථක විය.

පසුව අමාත්‍යාංශය මැදිහත්වී මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡා ද අසාර්ථක වූයේ අදාළ පාර්ශ්වයේ ‘මස් රාත්තලේ‘ න්‍යාය නිසා ය.

පසුව ආසියානු බැංකුව විසින් මේ කාර්යය සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඉඩම් හිමි පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමට උපදේශකවරයෙක් ද පත් කළ නමුත් එම සාකච්ඡා ද අසාර්ථක විය. එය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට කළු තිතක් එක් කරන්නක් බව කිව යුතුය.

එසේ ඉඩමක් මතින් විදුලි රැහැන් ඇදීමට නොහැකි වීම අවසානයේ ජාතික මට්ටමේ ප්‍රශ්නයක් බවට පත් විය. පසුව මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම හා රත්නපුර උප දිසාපතිවරයා ස්ථානීය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ රැහැන් ඇදීමට උපදෙස් ලබා දුන් නමුත් අදාළ ඉඩම් හිමි පාර්ශ්වය විසින් මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට දැනුම් දීම නිසා ආසියානු සංවර්ධන බැංකුව විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත්තේ අදාළ ඉඩම් හිමි පාර්ශ්වය සමඟ සාකච්ඡා කර ඔවුන්ට වන්දි ගෙවා මිස ඉඩම් මතින් අධිබල සම්ප්‍රේෂණ රැහැන් ඇදීම නොකරන ලෙසයි.

මේ ලෙසින් අවස්ථා 3කකදී රැහැන් ඇදීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූයේ අදාළ පාර්ශ්වය ආසියානු සංවර්ධන බැංකුවට එය දැනුම් දීමෙන් පසුව ආසියානු බැංකුව එය අත්හිටුවන ලෙස දැනුම් දීම නිසාය.

එහිදී උප දිසාපතිවරයා කළ එම ස්ථානීය පරීක්ෂණයේදී අදාළ වත්තේ කනුවක් සිටුවීමට උපදෙස් ලබා දී ඇත.

අධිබල විදුලි රැහැන් යන සම්ප්‍රේෂණ රැහැනක් භූමි මට්ටමෙන් මීටර් 7කින් ඉහළින් ගන යාම අන්තර්ජාතික සම්තයයි. එහෙත් මේ රැහැන් ගෙන යනු ලබන්නේ මීටර් 10ක්ම ඉහළිනි.

එවක් තත්ත්වයක් තුළ මේ රැහැන් ගෙන යාමට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විරෝධය හුදෙක් මුදල් මතම ඇති විරෝධයක් බව මතුව ඇති කරුණු විලින් පෙනී යයි.

විදුලි බල මණ්ඩලය මේ රැහැන් ගෙන ඒමේදී සිරිපාගම කඩ මණ්ඩිය අසලින් ඉතා අසීරුවෙන් කඩ මණ්ඩිය බේරා ගෙන මේ තේ වත්ත අයත් පෙදෙසට ඇතුළු වී තිබේ අදාළ භූමිය පිහිටි ස්ථානයෙත් වම් පැත්තට සම්ප්‍රේෂණ මාර්ගය ගෙන යා නොහැක්කේ ඒ සමනල අඩවිය නිසාය. සිරිපාදේ ආසනයටම එය ආසන්න වේ. එසේම දකුණු පෙදෙසට එම සම්ප්‍රේෂණ මාර්ගය ගෙන යා නොහැක්කේ ජනාකීර්ණ නිවාස නිසාය.

අවසානයේ ලක්ෂ 400 ඉල්ලීම ලක්ෂ 96ක් දක්වා අඩු කරන්නට අදාළ ඉඩම් හිමි පාර්ශ්වය කටයුතු කර තිබේ. එහෙත් රජයේ මූල්‍ය රෙගුලාසි තක්සේරු අනුව එවන් ගෙවීමක් පවා කළ නොහැකිය.

අදාළ භූමියේ කිසිදු වෘක්ෂයක් පවා කපා දමන්නට සිදු නොවේ. එමෙන්ම එම භූමියේ කනුවක් ඉදි කරන්නේ නම් එයට ද ගෙවීම් කරන්නට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

ලක්ෂ 16ක තක්සේරුවකට ලක්ෂ 96ක් ගෙවන්නට මෙරට මූල්‍ය රෙගුලාසිවල හැකියාවක් නොමැත.

එහෙයින් මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡා දෙකක් පසුගිය 10 වැනි බ්‍රහස්පතින්දා හා සිකුරාදා පැවැත්වුණි. එමන්ම මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ අනුමැතියකින් තොරව කිසිදු කටයුත්තක් කළ නොහැකි තත්ත්වයක් තිබේ.

කෙසේ හෝ මේ කාර්ය කඩිනමින් සිදු කළ යුතු නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ද මැදිහත් වීම මත පසුගිය සතියේ රුපියල් ලක්ෂ 96ක මුදල දිසාපති කාර්යාලයේ තැන්පත් කර තිබේ. මේ ඉදිකිරීම් පමා වීම නිසා අදාළ කොන්ත්‍රාත් සමාගමට දිනකට ලක්ෂ 30ක ගාස්තුවක් ගෙවන්නට සිදුව ඇති බවත් වාර්තා වේ.

 

සේයාරූ- තුෂාර හෙට්ටිආරච්චි - කහවත්ත

 

Comments