රටම කතා කරන පණු කරඳ කතාවේ ඇත්ත නැත්ත මෙන්න | Page 4 | සිළුමිණ

රටම කතා කරන පණු කරඳ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ලෝකයෙන්ම වඳ වී ගොස් ඇතැයි සිතා සිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් පසුගිය දිනවල මෙරට උණුසුම් පුවත් මැව්වේය. ඒ පුවත්වලට නිමිත්ත වූයේ පණු කරඳ ශාකයකි. ඒ කතාවේ ඇරඹුම 2019 වසර දක්වා ආපස්සට දිවෙයි. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් පිහිටි වන ලැහැබකින් මුලින්ම පණු කරඳ ශාකයක් හඳුනා ගත්තේ 2019දීය. මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම කොටස ඉදිකිරීම් කටයුතුවලදී මෙම ශාකය එතැනින් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් මතුවීමත් සමඟ එය ඒකදේශික ආවේණික ශාකයක් බව පවසමින් එම ශාකය පැවිදි කරන්නට භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කළ අතර, තවත් පිරිසක් මාර්ගය ඉදි කිරීමේදී එම ගස කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවට සමාජ මතයක් ගොඩනඟන්නට ද වෙහෙස වූහ. අවසානයේ එම පණු කරඳ ශාකය කැබිනට් අනුමැතියකින් ඉවත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාද කරළියට ආවේය. මේ කතාවල ඇත්ත නැත්ත විමසීම වැදගත් යැයි අප අදහස් කළේ එම ශාකය ඉවත් කිරීමට සිදු වූයේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් හේතුවෙන් නිසාය. 

ඉවත් කෙරුණු පණු කරඳ ශාකය පිහිටි දාරළුවට ආසන්නව පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය මේ කතාවේදී බැහැර කළ නොහැකි ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්භිද උද්‍යාන හය අතරට ඇතුළත් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය කී පමණින්ම බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ රබර් වගාවය. 1876දී ශ්‍රී ලංකාවේ රබර් වගාව පර්යේෂණාත්මකව ආරම්භ කිරීමට සුදුසු භූමියක් පිළිබඳ විමසිලිමත් වීමේදී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය ජී.එච්. කේ. ත්වේයිට්ස් විසින් මුල්ම රබර් බීජය රෝපණය කිරීමට තෝරා ගත්තේ මේ භූමියයි. එතැන් සිට මේ දක්වා දුර්ලභ ශාක සහ සුන්දර මල් වර්ගවලින් සුන්දර මෙම උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ විඩාව නිවන සුන්දර හරිත පාරාදීසයක් ලෙස ජනප්‍රියව ඇත.

ඉකුත් දිනෙක අප හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට, නැතහොත් කවුරුත් දන්නා ගම්පහ මල්වත්තට ගියේ ආන්දෝලනයට තුඩුදුන් පණු කරඳ ශාකයට නෑකම් කියන තවත් විසල් පණු කරඳ ශාකයක් දැකගන්නටය. උද්‍යානයේ ඇළක් අසල තෙත් පරිසරයක අතු පතර විදහාගෙන සිත් සේ අහස සිඹින මේ පණු කරඳ ශාකයට වයස අවුරුදු සීයයකට වැඩි මිස අඩු නොවිය හැකි බව අපට දැනගන්නට ලැබිණි. ඒ ගස තරම්ම වයස නැති තරුණ පණු කරඳ ගස් තුනක් ද ඒ අසල ඇත. ඒ ආශ්‍රිතව තැනින් තැන සිටවූ ළදරු පණු කරඳ පැළ 7ක් ද අපට දැකගත හැකි විය. විනාශ කළ බවට මහා ආන්දෝලනයට තුඩුදුන් දාරළුවේ පණු කරඳ ගස අසල ද තවත් පණු කරඳ ශාක දෙකක් ඇති බව දැනගන්නට ඇත. එසේ නම් මෙම ශාකය වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති ශාකයක් බව කිව හැකිද? මේ ගැන නිවැරැදිම තොරතුරු විමසන්නට අපි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආර්.එස්. ඩබ්ලිව්.ගෝමස් හමුවීමු. පණු කරඳ නම ඒ ශාකයට යොදන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම ඇයගෙන් විමසුවෙමු.

“මේ ශාකයේ පත්‍රවල ස්වරූපය අනුව ඒ නම යෙදුණා විය හැකියි. පණුවෙක් කෑ ස්වරූපයක් තමයි මේ පත්‍රවල තිබෙන්නේ. ඒ වගේම සිවුරු පඬු පොවන්න භාවිත කළා කියන අදහසින් පඬු කරඳ කියලා කියනවා වෙන්නත් පුළුවන්. ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්න බැහැ. කෙසේ වෙතත් 1864දී කළුතරට ආසන්න ගල්පාත ප්‍රදේශයේදී ලංකාවේ පළමු වරට පණු කරඳ ශාකය හොයාගෙන තියෙන්නෙ ආචාර්ය ජී. එච්. කේ. ත්වේයිට්ස් විසින්. රනිල කුලයට අයත් මෙම ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නේ කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නමින්.”

දාරළුව ප්‍රදේශයෙන් පණු කරඳ ගස හඳුනා ගැනීමෙන් පසු උද්භිද උද්‍යාන මැදිහත්වීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඒකරාශී කරන්නට උත්සුක විය. ඒ පර්යේෂණ කටයුතු සිදුකළ ආකාරය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආර්. එස්. ඩබ්ලිව්. ගෝමස් මෙසේ කරුණු දැක්වූවාය.

“මේ ගහ මෙතැන තිබුණට අපි මල් දැකල තිබුණේ අඩුවෙන්. සාමාන්‍යයෙන් ගහක මල් පිපෙන්න හොඳට හිරු එළිය ඕනේ. මේ ගහ අඳුරු තෙත් පරිසරයක පිහිටලා තියෙන නිසා මල් පිපෙනවා අඩු වෙන්නත් පුළුවන්. පේරාදෙණිය උද්භිද විද්‍යා විද්වතුන් සමඟ දැනට හඳුනාගෙන තිබෙන පණු කරඳ ශාක පිහිටි ස්ථාන බලන්න ගියාම මම දැක්කේ ඒ හැම තැනම වගේ තිබුණේ මේ වගේම තෙත් පරිසරයක්. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක පණු කරඳ ගහ සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් සිදුකර තිබෙනවා. දාරළුවේ තිබූ ගස බලන්න ආචාර්ය අචලා සමඟ මමත් ගියා. එතැන ඒ ගසට අමතරව තරමක ප්‍රමාණයේ පණු කරඳ ශාක දෙකක් තිබෙනවා. ඒවාට කිසිම තර්ජනයක් නැහැ. ඊට අමතරව මගලෙගොඩ, දොරනාගොඩ, උඩුගම්පොල හැන්දිමහර, කදිරාන, බියගම සහ මල්වාන ප්‍රදේශවල පණු කරඳ ශාක තිබෙනවා. මේ ගස් ප්‍රභේදය හැදෙන්නෙ ජලය ආශ්‍රිතව. ගලාගෙන යන ජලයේ පාවෙලා යන බීජවලින් පැළ බෝ වීම සිදු වෙනවා විය හැකියි. මගලගොඩ පණු කරඳ ගහ තියෙන්නේ පාලමක් එක්ක. එතැන සෑහෙන්න බීජ සංඛ්‍යාවක් වැටිලා තිබුණා. ඒ බීජ මෙහේ ගෙනත් තවාන් දමා පැළ කරන්න සූදානම් කළා.”

නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සහ කෘෂි නිලධාරිනී තමරා සමඟ අප උද්භිද උද්‍යානය තුළ පිහිටි පැළ තවානට ගියේ පණු කරඳ පැළ දැකගන්නටය. ඒ යන අතරේදී මෙම උද්භිද උද්‍යානයේ ඇති ඉපැරණි හල්, ගල් සියඹලා, ගුයාපර්චා, රත් හඳුන් වැනි ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග දැක ගතිමු. ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වයසට පැමිණ තිබූ පණු කරඳ පැළ රැසක් මෙන්ම වැලි පසෙහි තවාන් දමා තිබූ පණු කරඳ බීජ රාශියක් ද එහිදී දැකගත හැකි විය.

"මේ විදිහට සංරක්ෂණය කරන්නේ ක්ෂේත්‍රයෙන් අහුලගෙන ආව පණු කරඳ බීජ. මේ බීජ තියෙන්නේ ආවරණයක් තුළ. බීජ මෝරද්දි ඒ ආවරණය ඉවත් වෙනවා. ඊට පස්සේ තමයි තවාන් කරන්නෙ”යැයි අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය. ශාක සංරක්ෂණය ක්‍රම දෙකක් යටතේ සිදු කරන අතර, ශාකයක් හෝ සත්ත්වයකු හැදුණු පරිසරය තුළම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණ ලෙස හැඳින්වේ. එසේ නොමැතිව යම්කිසි ශාකයක් හෝ සත්ත්වයෙක් හැදුණු හෝ පිහිටි පරිසරයෙන් වෙනස් ස්ථානයකට ගෙන ගොස් ඊට අදාළ අවශ්‍ය පරිසරය සකස් කර සංරක්ෂණය කිරීම විතැන් සංරක්ෂණයයි. මෙරට උද්භිද උද්‍යානවල සිදු කෙරෙන්නේ විතැන් සංරක්ෂණයයි. එම සංරක්ෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය. 

“ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක වඳවීමේ තර්ජනයට ලක්වෙන ශාකයක් හඳුනා ගත්තාම පේරාදෙණියෙ පිහිටි ජාතික ශාකාගාරයෙන් ඒවායේ වියළි නිදර්ශක විදිහට හදනවා. එහෙම නැත්නම් බීජවලින් හෝ අතු කැබලිවලින් හෝ පැළ බෝ කරගන්න කටයුතු කරනවා. මේ පණු කරඳ ශාකය වඳ වීමේ තර්ජනයට ලක්වෙලා තියෙනවා කියන්න බැහැ. අපිට මේ ශාකය සංරක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. පැළ අරගෙන හිටවන්න පුළුවන්. ඒ නිසා දාරළුවෙන් ඉවත් කළේ එකම පණු කරඳ ශාකය කියන අදහස දැන් බැහැර කරන්න සිදු වෙනවා. පණු කරඳ කියන්නෙ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් මිස වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති ශාකයක් නොවෙයි. නමුත් මේ ශාක අපි සංරක්ෂණය කරනවා. මේ ශාක අවට පරිසරය නිතර සුද්ධ කරන්නෙ නැහැ. තිබෙන පරිසරයේම පරිවර ශාක එක්ක පවතින්න ඉඩ සැලසීමෙන් ශාකය හොඳින් වර්ධනය වෙනවා."

එසේ නම් පණු කරඳ ශාකය රතු දත්ත පොතට ඇතුළත් වූයේ කෙසේද යන ප්‍රශ්නය අප ඇයගෙන් විමසුවෙමු. 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ ලොවින් වඳ වී ගිය ශාක විශේෂයක් ලෙස දක්වා ඇති කෲඩියා සිලනිකා ශාක විශේෂය, 2021 වසරේදී පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යෑමට ආසන්න ශාකයක් ලෙස නම් කර ඇත.

“රතු දත්ත පොතට ඇතුළත් වෙන්නෙ වඳවීමේ තර්ජනයට මුහුණ දී තිබෙන ශාකයි. සෑම වසර හතරකට වරක් රතු දත්ත පොත හදනවා. 2012දී ඒ පර්යේෂණ කටයුතු සිදුවෙලා තියෙන්නේ යම් අඩුපාඩුවක් ඇතිවයි. ඕනෑම ගහක් පරිසරයේ මුල්, කඳ සහ බීජවලින් හඳුනා ගත හැකියි. විශේෂයෙන් පේරාදෙණිය ජාතික ශාකාගාරය ලංකාවේ තියෙන හැම ශාකයකටම වියළි නිදර්ශක හදනවා. ඒවා සැබෑ ශාකය සමඟ සසඳා බලනවා. ඒ වගේම ඊට අදාළ උද්භිද විද්‍යාත්මක පොතපත පරිශීලනය කරනවා. එහෙම නැතිව මේක වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන ශාකයක් නියලා නිකම්ම කියන්න බැහැ. පණු කරඳ ශාකය රතු දත්ත පොතට ඇතුළත් වුණේ හඳුනා ගැනීමේ ප්‍රමාදයක් තිබුණ නිසයි. නමුත් මේ හඳුනා ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුයි. ශාකයක් දුටු පමණින් එය මේ වර්ගයේ ශාකයක් කියලා හඳුනා ගැනීම කරන්නෙ නැහැ.”

පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුභානි රණසිංහ පණු කරඳ ශාකය පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණවල නියැළී සිටිති. මේ වන විට පණු කරඳ ශාකය ව්‍යාප්ත කිරීමේ අරමුණින් එම පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ද සිදු කරගෙන යනු ලබයි. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැළ කළ බීජ 30ක් ලබා දී ඇත.

පණු කරඳ ශාකය තවදුරටත් වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ශාකයක් නොවේ. මහජනතාවට මේ ශාකය හඳුනා ගත හැකි නම් පණු කරඳ ගහනය තවත් වැඩිකර ගත හැකිය.

ඡායාරූප - මාලන් කරුණාරත්න

Comments