
යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට එම සංගමය ඉකුත් දා තීරණය කරනු ලැබිණි. එම තීරු බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි. යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින් පවතින, අඩු ආදායම්ලාභී රටවල්වලට ලබා දෙන ප්‍රධාන වරණීය වෙළෙඳ ගිවිසුමක් නැතහොත් විශේෂයෙන් වෙළෙඳාම සඳහා සකස් වූ ක්‍රමවේදයක් ලෙස GSP ප්ලස් තීරු බදු සහනය හඳුන්වා දිය හැකිය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවල්වල යම් තෝරාගත් භාණ්ඩ ප්‍රමාණයක් යුරෝපා සංගමයේ සාමාජික රටවල වෙළෙඳපොළට යැවීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මඟින් සැලසේ.
ශ්‍රී ලංකාවට මෙවර GSP ප්ලස් තීරු බදු සහනය අහිමි විය හැකි බවට පසුගිය කාලයේදී විවිධ පාර්ශ්වයන්, යම් යම් දේශපාලන නායකයන් විසින් අනාවැකි පළ කරනු ලැබිණි. එවැනි තත්ත්වයක් තුළ තවත් වර්ෂ 4කට GSP ප්ලස් තීරු බදු සහනය ලබා දීමට යුරෝපා සංගමය විසින් තීරණය කරනු ලැබීම ඉතා වටිනා අවස්ථාවකි. වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල් උද්ධමනයෙන් බැට කයි. රුසියානු, යුක්රේන යුද්ධය ද ඒ සඳහා බලපාන අතර, තවදුරටත් එම යුද්ධය පවතින තත්ත්වයක් තුළ යුරෝපයේ භාණ්ඩ මිල ඉතා ඉහළ මට්ටමක පැවතීමේ විශාල ඉඩකඩක් ඇත. උද්ධමනයක් තුළ පාරිභෝගිකයා නිතරම පෙලඹෙන්නේ අඩු මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති GSP ප්ලස් තීරු බදු සහනය යටතේ අඩු මිල ගණන් යටතේ එම වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවස්ථාව ලැබීම විශාල වාසියකි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ගවලදී GSP ප්ලස් තීරු බදු සහනය නැවත ලැබීම මහඟු ආශීර්වාදයක් ලෙස සැලකිය හැකිය.
යුරෝපා සංගමයේ GSP සහ GSP ප්ලස් යන වැඩසටහන් ද්විත්වය යටතේම ශ්‍රී ලංකාව මීට වසර කිහිපයක සිට තීරු බදු සහන ලබයි. එම බදු සහනය කුමක්ද යන්න මෙසේ පැහැදිලි කරගත හැකිය. විදේශ රටකින් යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඒ භාණ්ඩයට අදාළව සියයට 10,15, 20 ආදී ලෙස තීරු බදු අය කිරීමක් සිදුවන අතර, එම බද්ද ගෙවීම අනිවාර්ය වේ. රට තුළ එම භාණ්ඩයේ වෙළෙඳපොළ මිල තීරණය වන්නේ අදාළ බද්ද ද එකතු වීමෙනි. GSP ප්ලස් තීරු බදු සහනය යටතේ ලැබෙන මූලිකම වාසිය වන්නේ ශ්‍රී ලංකාවෙන් යම් භාණ්ඩයක් යුරෝපා සංගමයේ රටකට අපනයනය කරන විට සාපේක්ෂව අඩු මිලක් යටතේ එම භාණ්ඩය වෙළෙඳපොළට රැගෙන යෑමට හැකියාව ලැබීමයි. එසේ අඩු මිල ගණන් යටතේ අපේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළට යෑමට හැකියාව ලැබෙන විට ශ්‍රී ලංකාව වැනි රටවලින් වැඩි වැඩියෙන් භාණ්ඩ ආනයනය කිරීමට යුරෝපා සංගමයට අයත් ආනයනකරුවන් පෙලඹේ. මේ වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකාව වැනි සීමිත රටවල් ප්‍රමාණයකට වීම ඉතා වැදගත් කරුණකි. GSP සහනය රටවල් රැසකට තිබෙන නමුත් GSP ප්ලස් තීරු බදු සහනය ලැබෙන්නේ ඉතාමත් සීමිත රටවල් ප්‍රමාණයකට, සාමාන්‍යයෙන් රටවල් 20කට වඩා අඩු සංඛ්‍යාවකට වීම විශේෂත්වයකි.
ලෝක වෙළෙඳ සංවිධානය ඇති වීමට පෙර පැවතියේ GATT නමින් පොදු වෙළෙඳාම සහ තීරු බදු සම්බන්ධ පොදු එකඟතාවකි. පසුකාලීනව එය ලෝක වෙළෙඳ සංවිධානය බවට පත්වූ අතර, ඒ මඟින් රටවල් අතර සිදු කෙරෙන වෙළෙඳාම යම් යම් කොන්දේසි මත යම් විධිමත් ආකාරයකට ක්‍රියාත්මක විය. ඊට පරිබාහිරව වරණීය වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක වූ අතර, මූලික වශයෙන් සියලු දෙනාට එක සමානව සැලකීම ලෝක වෙළෙඳ සංවිධානයේ මූලික කොන්දේසිය විය. සංවර්ධිත රටවල් විසින් පසුකාලීනව සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට උපකාර කිරීම සඳහා GSP විශේෂ තීරු බදු සහනය හඳුන්වා දෙනු ලැබිණි. එම බදු සහනය යටතේ අඩු ආදායම්ලාභී රටවල්වල නිෂ්පාදනය කරන භාණ්ඩවල අඩු තීරු බදු සහන යටතේ සංවර්ධිත රටවල්වල වෙළෙඳපොළ සඳහා විවෘත විය. GSP ලෙස ක්‍රියාත්මක වූ එම තීරු බදු සහනය 2007දී පමණ තෝරාගත් රටවල්වලට අදාළව තවදුරටත් ලිහිල් කෙරිණ. ඒ අනුව GSP තීරු බදු සහනයට වඩා ඉතා ත්‍යාගශීලි, එනම් ඉතා පහළ තීරු බදු හෝ තීරු බදු කිසිසේත්ම නැති තත්ත්වයක් GSP ප්ලස් තීරු බදු සහනය යටතේ ලැබේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂ අවස්ථාවකි. තායිලන්තය, මැලේසියාව වැනි රටවල් සමඟ තරග කර එම වෙළෙඳපොළවල්වලට අපේ භාණ්ඩ ගෙනයෑමට නොහැකි වුවත් GSP ප්ලස් තීරු බදු සහනය තුළ අපට එම අවාසි සහගත තත්ත්වය අවම කර ගත හැකිය. ඉකුත් වසර 10ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ ධීවර කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන විවිධ බාධක මැද වුවත් එම වෙළෙඳපොළවලට යැවීමට හැකි වීම අපට විශේෂ ආශීර්වාදයක් වූයේ ඒ නිසාය.
මගේ අදහස අනුව GSP සහනය යනු දැනට ලොව පවතින ත්‍යාගශීලීම වරණීය වෙළෙඳ ගිවිසුම් අතරින් එකකි. GSP ප්ලස් තීරු බදු සහනය ලැබෙන රටකට යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 25ක විශාල වෙළෙඳපොළක් හිමි වේ. තනි රටක වෙළෙඳපොළකට වඩා රටවල් සමූහයක වෙළෙඳපොළ සඳහා අපේ රටට දැන් අවස්ථාව ලැබී ඇත. ඒ අවස්ථාව අප ප්‍රයෝජනයට ගන්නා ආකාරය මත අපේ රටට කෙතරම් වේගයෙන් දුප්පත්කමින් ඉවත් විය හැකි ද යන්න තීරණය වේ. GSP ප්ලස් තීරු බදු සහනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රටක් ලෙස අප සංවිධානය විය යුත්තේ කෙසේ ද යන්න විමසිය යුතුය.
2022 ජනවාරි සිට නොවැම්බර් කාල සීමාවේදී සිදු වූ අපනයන සමඟ සැසඳීමේදී 2023 ජනවාරි - ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 15කින් පමණ පහළ ගොස් ඇත. එසේ පහළ යෑමට මූලික හේතුව උද්ධමනකාරී තත්ත්වය තුළ රෙදිපිළි හා ඇඳුම් මිලදී ගැනීම කල් දමන තත්ත්වයක් ඇති වීමයි. මේ සම්බන්ධයෙන් අප කළ අධ්‍යයනයකදී හෙළි වූයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අතරෙන් අපනයන පහළ ගොස් ඇත්තේ කාන්තා ඇඳුම් බවයි. එවැනි තත්ත්වයක් තුළ GSP ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පෙර පැවති මට්ටමට අපනයන වෙළෙඳපොළ ජයගැනීම සඳහා ඉතා වැදගත් අවස්ථාවක් අපට ලැබී ඇත. මෙවර GSP ප්ලස් තීරු බදු සහනය ලැබීම ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පැත්තෙන් බැලුවත් ගෝලීය ආර්ථික අර්බුදයේ ස්වරූපය දෙසින් බැලුවත් එය ශ්‍රී ලංකාවට ලැබුණු ඉතා අනගි අවස්ථාවකි. විශේෂයෙන් ඍජු සහ වක්‍ර ආකාරයට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වී සිටින බහුතරය අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් බැවින් වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ යම් ආකාරයකින් ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමට තිබූ අවදානම මෙම තීරු බදු සහනය තුළින් දුරුකර ගත හැකිය.
එහෙත් වඩාත් වැදගත් වන්නේ මෙම තීරු බදු සහනය රටක් ලෙස අප කෙතරම් ප්‍රයෝජනයට ගන්නවාද යන කරුණයි. ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම, ශ්‍රී ලංකා පකිස්ථාන වෙළෙඳ ගිවිසුම, දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම සහ බැංකොක් ගිවිසුම ආදී ගිවිසුම් කිහිපයක්ම තිබුණත් මේ දක්වා ඒවායින් ලැබෙන අවස්ථා අප කොතෙක් දුරට අපේ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට භාවිත කර තිබෙනවා ද යන්න විමසුවහොත් පෙනී යන්නේ රටක් ලෙස අප ඊට අසමත් වී ඇති බවයි. ඒ ආසාර්ථක වීම පිටුපස දේශීය නිෂ්පාදකයාට, දේශීය කර්මාන්තකරුවාට විදේශ වෙළෙඳපොළ පිළිබඳ නිසි තොරතුරු ලබා දීම සහ මඟපෙන්වීම රාජ්‍ය යන්ත්‍රණය මඟින් නිසි ආකාරව ඉටු වී නොමැති බව පෙනෙන්නට ඇත. ලෝකයේ බොහෝ රටවල තානාපති කාර්යාල තුළ එරට වෙළෙඳ අමාත්‍යාංශයේ හෝ වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ස්ථානගත කර ඇති අතර, ඔහුගේ මූලික වගකීම වන්නේ අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති අවස්ථා සොයා බලා ඒ පිළිබඳ දේශීය නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමයි. එහෙත් වෙළෙඳාම ප්‍රවර්ධනය වෙනුවෙන්ම පිහිටුවා ඇති වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවෙන් එම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම පසුගිය අය වැයෙන් වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ආදී අංශ එකතු කර විදේශ වෙළෙඳාම පිළිබඳ විශේෂ ඒකකයක් පිහිටු වීමට යෝජනා කෙරිණ. එහි ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා අවශ්‍ය වන ගෝලීය මැදිහත්වීම ලබා දීමයි. ඊළඟ වසර හතරක කාලය සඳහා GSP ප්ලස් තීරු බදු සහනය ලැබී ඇති බැවින් එම සහනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට වෙළෙඳාම පිළිබඳ මූලික වගකීම ඇති රාජ්‍ය අංශ වෙනදාටත් වඩා රටට අවශ්‍ය එම සහාය ලබා දීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි.
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍යම සාධකය වන්නේ ශ්‍රී ලංකාව භාණ්ඩ සහ සේවා අපනයන වැඩිකර ගත යුතු වීම බව අප කවුරුත් දන්නා කරුණකි. ලෝකයේ වෙනත් රටවල් දෙස බලන විට, විශේෂයෙන් බංග්ලාදේශය, මොරොක්කාව, කෙන්යාව වැනි රටවල විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පිරිස තම දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අපනයනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බව දැකගත හැකිය. භාණ්ඩ මිලදී ගැනීමට කැමති පිරිස සහ දේශීය නිෂ්පාදකයන් යන දෙපාර්ශ්වය අතර 'කපුකම' ඔවුහු ඉතා සාර්ථකව ඉටු කරති. එම නිසා GSP ප්ලස් තීරු බදු සහනය ලැබුණු පමණින් සියල්ල විසඳෙනු ඇතැයි සිතාගෙන සිටීම නොව, GSP ප්ලස් තීරු බදු සහනයේ වාසිය උපරිම කරගත හැකි සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් යුරෝපා සංගමයෙන් අපට ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැක්කේ සියයට 35 - 50ක් පමණක් විය හැකිය. ඒ සඳහා මූලික කාර්යභාරය පැවරී ඇත්තේ දේශපාලඥයන්ට, මුදල් අමාත්‍යාංශයට හෝ මහ බැංකුවට නොවේ. වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, විදේශ තානාපති කාර්යාල ඇතුළු අදාළ රජයේ අංශ GSP ප්ලස් තීරු බදු සහනය වගේම අනෙකුත් වෙළෙඳ ගිවිසුම් යටතේ පවා උපරිම ප්‍රයෝජන ගත හැකි යම් විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. වෙනත් රටවල අධ්‍යාපනය , සෞඛ්‍යය, මහාමාර්ග, කෘෂිකර්මාන්ත, ධීවර, නාවුක කටයුතු යන සියලු අංශ අපනයන අංශය සමඟ සම්බන්ධ කර කටයුතු කරනු දැකගත හැකිය. අපනයන අංශය ශක්තිමත් කිරීමට අදාළව පාසල් ළමුන්ට පවා දැනුම ලබා දෙයි. අපනයන කර්මාන්තකරුවන් මුණගැස්වීම, ලොව ප්‍රධාන රටවල් භාවිත කරන භාෂාවන් ඉගැන්වීම ආදී පෙළගැස්මක් සහිතව එම රටවල් කටයුතු කරනු පෙනෙන්නට ඇත.
ශ්‍රී ලංකාව ද අපනයන අංශය සම්මුඛ කරගත් එවැනි පෙළගැස්මකට යා යුතුව ඇත. ගමේ ගොඩේ, කඩපිලේ පුරවැසියාගේ සිට ඉහළම පුරවැසියා දක්වා අපනයනය පුළුල් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට අදාළ ආකාරයට කටයුතු කළ යුතුය. සංචාරක කර්මාන්තයට ද මෙය වලංගු වේ. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට විවිධ බාධක, අභියෝග මැද ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින නමුත් අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතනවල එවැනි කැපකිරීමක් තිබේද යන්න ගැටලුවකි. මුදල් අමාත්‍යාංශය, මහ බැංකු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට තාවකාලික ක්‍රියාමාර්ග ගන්නා අතරේ, දිගුකාලීනව අර්බුදයෙන් ගොඩඒමට නම් අපනයන සැලසුම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඉදිරි වසර පහ වෙනුවෙන් සකස් කළ විවිධ ප්‍රතිපත්ති සැලසුම් තිබුණද ගැටලුව වන්නේ ඒවා ක්‍රියාත්මක නොවීමයි.
GSP ප්ලස් තීරු බදු සහනය යටතේ ඇති කොන්දේසි තුළ මූලික වශයෙන් පවතින්නේ යහපත්, නීතිගරුක සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සඳහා වන මූලධර්මය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පුද්ගල දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කම්කරු නීති ආරක්ෂා කිරීම, පරිසර නීතිවලට අවනත වීම යන කාරණාය. මහජනතාව විසින් ඉටුකළ යුතු කොන්දේසි මේ තුළ නැත. කෙටියෙන් කියනවා නම් එම කොන්දේසි සැකසී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කම්කරු සහ පාරිසරික නීති ආරක්ෂා කිරීම අරමුණු කරගනිමිනි.
රටවල් බොහොමයක් මේ කොන්දේසි යටතේ මේ GSP ප්ලස් තීරු බදු සහනය ලබාගන්නා අතර, ශ්‍රී ලංකාව පමණක් මෙහිදී විශේෂිත තත්ත්වයක් යටතේ කල්පනා කළ යුතු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය මෙවැනි වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවට විවිධ කොන්දේසි පනවන බව ඇතැම්හු පවසති. ඒවා කොන්දේසි ලෙස සලකනවාට වඩා යහපත් සමාජයක පැවැත්ම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු ලෙස සැලකිය යුතු බව මගේ අදහසයි.